සටන් උගන්වලා මම ඔවුන්ගෙන්ම ගුටි කෑ යුගයක් තිබුණා
‘මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා තමයි. ඒත් . . . ඒ වේදනාව පරයා යන විශාල සතුටකුත් තියෙනවා”
“ඒ මොකක්ද?”
“ඒ තමයි මගේ රසිකයින්ගෙන් මම ලබන ආදරය. දැන් බලන්න ඔයාලා වුණත් මාව හොයගෙන මගේ සැපදුක් සොයා බලන්න ආවේ මට තියෙන ආදරය, ගෞරවය හින්දා නේද? ලංකාවේ ඕනෑම කෙනෙක් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කිව්වම මාව හොඳින්ම දන්නවා. මොන දේ මේ ජීවිතයේදී මට නොලැබුණත් රසිකයන්ගෙන් අදටත් ලැබෙන ආදරය හැම මොහොතකම මාව ශක්තිමත් කරනවා.”
ඉහත සටහන් කෙරුණු සංවාදය චිත්‍රපටයක ටෙලි නාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක එන දෙබස් කණ්ඩයක් නොවේ. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් කලක් තිරයේ සටන්කාමියාගේ සැබෑ දිවියේ වත්මන් තොරතුරු සොයා ගිය අපට ඔහුගේ වචනයෙන්ම අහන්නට ලැබුණු දේය.
අතේ සතේ නැතත් ඔහු ඒ ගැන සිතා කම්පා නොවන්නේය. එදා ළඟින්ම සිටිමින් එක පත බෙදාගෙන කෑ එකට හිනැහුණු එකට විනෝද වුණු එකට රඟපෑ මිතුරු මිතුරියන්, සහෝදර නළු නිළියන් අද ඔහු සමඟ නොසිටිය ද ඒ ගැන විශාල දුකක් කණගාටුවක් ඔහුට නැත. මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදුවන බව අදටත් ඔහු තරයේ විශ්වාස කරන නිසයි ඒ.
“මගේ ගම කොළඹ කොච්චිකඩේ. තාත්තා වරාය සේවකයෙක්. මමයි අක්කයි, නංගියි තමයි අපේ පවුලට හිටියේ. අම්මා ගෘහණියක් විදිහට අපිව බලා හදා ගත්තා. ඒත් ඇය මට අවුරුදු 6 දී මිය යනවා. අපි රෝමානු කතෝලික. මම පාසල් ගියේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි විදුහලට. 1957 දී මම එස්. එස්. සී. සමත් වුණා. එයින් පසුව මම ක්‍රීඩා කටයුතුවලට බොහෝ නැඹුරු වුණා. මල්ලව පොර ශූරයෙක් වෙන්නට මට අවශ්‍ය වුණා. ආම්ස්ට්‍රෝන් රෙස්ලින් ක්ලබ් එකට බැඳුණා. එයින් මට අන් බීට්න් නැෂනල් චැම්පියන් විදිහට ජයග්‍රහණය කරන්නට හැකි වුණා. එයින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන්න මට හැකි වුණා. මල්ලව පොර තරගාවලිය සඳහා මමත් තවත් බොක්සර් කෙනෙක් විදිහට මැල්කම් බුල්නර් අපි දෙදෙනා ඕස්ට්‍රේලියාවට ගියා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට. එයින් පසුව මාව තේරුණා ටෝකියෝ ඔලිම්පික් උලෙළට. කොහොම හරි මගේ කකුල තුවාල වෙලා මට එයට සහභාගි වෙන්න බැරි වුණා.”
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු තම අතීත මතකය අප සමඟ පවසන්නේ ඉතා සතුටිනි. ඒ අතර ඔහුගේ නෙතඟ බොඳ කරමින් එක්වන කඳුළු ඔහු තම දෑතින් පිස දමයි. අද සිනමාවෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද බොහෝ සේ දුරස්ව සිටින ඔහු තම නිවෙසට වී හුදෙකලා දිවියක් ගත කරයි.
“බොහොමයක් නළු නිළියන් වගේම මමත් සිනමාවට එකතු වෙන්නේ අහම්බෙන්. ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පියෙක් වුණු ලෙනින් මොරායස් මගේ සමීපතම මිතුරෙක්. මම ඔහුත් සමඟ ඒ කලේ සිලෝන් ස්ටුඩියෝ එකට යනවා. කොහොම හරි එතැන හිටි අය දන්නවා මම මල්ලව පොරවලට ඕස්ට්‍රේලියාවට ගියා කියලා. මගෙන් අහනවා චිත්‍රපටයක ෆයිට් එකක් තිබෙනවා කරන්න පුළුවන් ද කියලා. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටී. සෝමසේකරන් කියන අධ්යක්ෂවරයා. 1963 දී ‘වෙන ස්වර්ගයක් කුමටද’ කියන චිත්‍රපටයට මේ විදිහට මම සටන් නළුවෙක් විදියට දායක වෙනවා. එදා මට ඒ චිත්‍රපටයේ ෆයිට් කරන්න සිදු වුණේ හෙන්රි ජයසේනත් එක්ක. හෙන්රිට සටන් කරන්න බැහැ. මම එයාට ෆයිට් කරන හැටි උගන්වමින් තමයි සටන් කළේ. කොහොම හරි ඒ චිත්‍රපටයට අපේ සටන් ජවනිකාව ඇතුළත් කළේ නැහැ. ඉන්පසුව මම සුපුරුදු විදිහට ක්‍රීඩා කරන්න පටන් ගත්තා. 1964 දී මට රොබින් ප්‍රනාන්දුව හඳුනාගන්නට ලැබෙනවා. ඒ වෙන කොට රොබින් ‘චණ්ඩියා’ චිත්‍රපටයේ සටන් කරලා ජනප්‍රියයි. ඒත් මම 1963 දී තමයි චිත්‍රපටයක සටන් කරන්නේ. එය ආවේ නැහැ. කොහොම හරි ලෙනින් මොරායස් මාර්ගයෙන් රොබින් මගෙන් ඇහුවා චිත්‍රපටයක සටන් කරන්න එනවද කියලා. මම බෑමයි කිව්වා. ඒත් මගේ යාළුවො ‘අපි බඩගින්නේ මචං, මොනවා හරි කරපන් කිව්වා’ පසුව මම කැමැති වුණා. මම රුපියල් පන්සීයක් ඉල්ලුවා. රොබින් මට ඇඩ්වාන්ස් තුන්සීයක් දුන්නා. ඒ ෆිල්ම් එක ඩබ්. එම්. එස්. තම්පෝගේ ‘රුහුණු කුමාරි’. රොබිනුයි මමයි දෙන්නම එහි ෆයිට් කළා. ඉන්පසුව මාව සිනමා ක්ෂේත්රයේ ජනප්‍රිය වෙන්නට පටන් ගත්තා. රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හැම දෙනාම හිතුවේ අපි දෙන්නා අයියයි මල්ලියි කියලා. මොකද ප්‍රනාන්දු නමින් හිටිය නිසා. අපි ඉතා හොඳ මිතුරන් පමණයි’ ඇලෙක්සැන්ඩර් පවසයි.
“සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ චිත්‍රපටවලින් මට ප්‍රධාන චරිත නිරූපණය කරමින් සිනමාවට එක්වෙන්න ලැබුණා. ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටය ඒ අතරින් විශේෂයි. ‘පස මිතුරෝ’ චිත්‍රපටයේ ‘වේලු’ගේ චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂී ස්ථානයක්.”
සටන් නළුවෙකු ලෙස සිනමාවේ බොහෝ කැපකිරීම් කළ මේ ශක්තිවන්ත නළුවා රිදී තිරයේ බොහෝ පෙම්වතුන්ට සටන් උගන්වා ඇත. “එදා මෙදා සිනමාවේ බිහි වූ සෑම නළුවෙකුටම වගේ මම සටන් කලාව කියලා දුන්නා. ගාමිණී ෆොන්සේකා, රෝයි ද සිල්වා, සනත් ගුණතිලක වගේ ප්‍රවීණ නළුවන්ට මම සටන් පුහුණු කෙරෙව්වා. වෙලාවකට හිතෙනවා මම සටන් උගන්වලා ප්‍රතිවාදියා විදිහට මම ඔවුන්ගෙන්ම ගුටි කෑවා නේද කියලා.
වර්තමාන සිනමාවේ සටන් කලාව ඔබ දකින්නේ කොහොමද? මම පැනයක් අසමි.
“අද හුඟක් නළුවෝ සටන් කරන්න කම්මැලියි. මහන්සි වෙන්න කැමැති නැහැ. සටන් නළුවෙක් වුණාම ඔහු ක්‍රියාශීලී විය යුතුයි. ජවසම්පන්න විය යුතුයි. චිත්‍රපටයක් කැමරා කරද්දී අමාරුම කොටස තමයි සටන් ජවනිකා රූගත කිරීම. අනෙක අද තාක්ෂණය දියුණුයි. එනිසා හුඟක් ෂොට් ගන්නේ මැෂින්වලින්. අද සටන් නළුවන්ගේ කිසිම පිරිමි ගතියක් නැහැ වගේ තමයි පෙනෙන්නේ.”
එදා අප දුටු සටන් නළු භූමිකාවේ පෞර්ෂයය තවමත් ඔහුගෙන් දැකිය හැකිය. එහෙත් අද හුදෙකලාව ගෙවන සැඳෑ සමය ඔහුට තරමක වේදනාවක් ගෙන දෙන බව සැබෑය.
“මම එදා සිනමාව තෝර නොගත්තා නම් හොඳ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රජයේ නිලධාරියෙක්. මම ඒ කාලේ කොළඹ නගර සභාවේ ක්‍රීඩා උපදේශකවරයෙක් විදිහට කටයුතු කළා. එලෙස සේවය කරද්දී තමයි අතරමඟදී සිනමා රංගනයට එක් වුණේ. වෙලාවකට ඒ ගැන කණගාටුවක් ඇති වෙනවා. ඒත් මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය මතක් වෙද්දී ඒ වේදනාව යටපත් වෙනවා.
ඔබ අද ජීවත් වෙන්නේ කොහොමද?
මා ඇසූ පිළිතුරට ඔහුගේ දෑස කඳුළෙන් පිරෙනු මම දුටුවෙමි. මුහුණ බිමට නැඹුරු කර ඔහු දෙනෙතට නැඟි කඳුළක් ඇඳ සිට සරමේ වාටියකින් පිස දැමුවේය. මොහොතක් කල්පනා කරමින් සිට නැවත මා සමඟ කතාබහට එක් විය.
අද ජීවත් වෙන එක නම් විශාල යුද්ධයක් තමයි. සිනෙස්ටාර් පදනමින් වගේම රජයෙන් කලාකරුවනට දෙන සුළු මුදලකින් මම ජීවත් වෙනවා” ඔහු පවසන්නේ සත්‍යයකි. ලොවක් ඉදිරියේ අප රටේ සිනමාව පෝෂණය කරමින් ඉදිරියට ගෙන යමින් එය බබළවන්නට තම ජීවිතය පවා පරදුවට තැබූ කලාකරුවන් බොහෝය. ඒ අතරින් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඉදිරියෙන් සිටියි. ඔවුන් කොපමණ දුෂ්රකරතාවලින් පෙලුණත් ඒ නැති බැරිකම් කියමින් කාටවත් ඇඟිල්ල දිගු කරන්න ඔවුන් සූදානම් නැත.
“මම කියන්නේ පොදුවේ කලාකරුවනට මීට වඩා නැඟී සිටීමට ශක්තියක් අවශ්‍යයි. අපි එදා අපේ ජීවිතය පවා නොසිතා තමයි ප්‍රේක්ෂකයන් පිනවූයේ. රට වෙනුවෙන් මෙහෙවරක් ඉටු කළේ. ඒ නිසා අපේ සැඳෑ සමය ගෙවී යන කාලයේදීවත් අපිට යම් සහනයක් ලැබෙනවා නම් අපි සතුටුයි.”
එදා ඔබ සමඟ ඇසුරු කළ නළු නිළියන් අද ඔබගේ සුවදුක් සොයා බලන්න එන්නේ නැතිද?
මම ලංකාවේ හිටපු ප්‍රවීණ නළු නිළියන් හැම දෙනාම සමඟ රඟපා තිබෙනවා. ඔවුන්ව විවිධ උත්සව අවස්ථාවලදී මට හමු වෙනවා. ඒ ඇරෙන්න කවුරුවත් මම ඉන්නවද නැද්ද කියලා බලන්නවත් එන්නේ නැහැ. මොනවා කරන්නද? එත් පිටරට ඉන්න නළුවෙක් නම් නිතරම එනවා. ඔහු තමා ‘බිලි වොන්ග්’ එයා නව පරපුරේ නළුවෙක්. එයා ලංකාවට ආවම මගේ සුවදුක් සොයා බලා යනවා.
මාධ්‍ය මඟිනුත් ඔබ ගැන විමසා බලනවා අඩු නැද්ද? මම විමසුවෙමි.
ඒක අද ඊයේ විතරක් නෙමෙයි, අපි ජනප්‍රිය කාලෙත් සිදු වුණා. සමහර ජනප්‍රිය නළුවන්ගේ හැමදේම පත්තරවල මාධ්‍යවල පළ වෙනවා. දවසක් මට තරහා ගිහින් මාධ්‍යවේදියෙකුට කිව්වා “උඹලා ජනප්‍රිය නළුවන්ගේ කකුලක් වැදිලා ලේ ගැලුවත් ලියනවා. පත්තරේ දානවා. අපි චිත්‍රපට කරලා සටන් කරන්න ගිහින් අතපය කඩාගෙන මාස ගණනක් එක්තැන් වෙලා හිටියත් ලියන්නේ නැහැ කියලා. එහෙම තත්ත්වයක් තමයි එදා තිබුණෙත්, අද තිබෙන්නෙත්. ජනප්‍රිය නළු නිළියන් ගැන ලියවෙන තරම් අපි ගැන ලියවෙන්නේ නැහැ. ඒ ගැන දුකකුත් නැහැ, කණගාටුවකුත් නැහැ. මොකද අද අවුරුදු 78 ක් ගත වෙලත් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන මතකය මුලු රටටම තිබෙනවා. ඒ කල් පැවැත්ම ජනතා ආදරය අද කරළියට එන ජනප්‍රිය නළුවන්ට නැහැ.
අද දවසේ ඔබේ තනි නොතනියට ළඟින්ම ඉන්නේ කවුද?
මගේ බිරිය අනෝමා වගේම දරුවන් තුන් දෙනත් මං ළඟින්ම ඉන්නවා. ඒ අය මගේ දුක සැප සොයා බලනවා. මොනව වුණත් පසුගිය අතීතය ගැන හිත හිතා දුක්වෙන සිරිතක් මගේ නැහැ. ලද දෙයින් සතුටු වෙලා, බොහොම සරලව ජීවිතය ගෙවනවා.
තුෂාරි නෙරංජා වික්‍රමසිංහ
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ
සරසවිය