ඕෂධිගේ කැදැල්ලට තවත් අමුත්තියක් එකතු වෙලා. ගොඩක් සතුටින් ඇත්තේ?
ඇත්තටම හරිම සතුටින්. අපිට හිටියේ පුතෙක්නේ. දැන් දුවෙක් අපේ පවුලට එකතු වෙලා. පවුල සම්පූර්ණයි වගේ හැඟීමක් දැන් දැනෙනවා.
පුතෙක් හිටපු නිසා ඕෂධිගේ දෙවැනි බලාපොරොත්තුව වෙන්න ඇත්තේ දුවෙක්ද?
මම ඉස්සර ඉඳන් පුතාලට ගොඩක් ආසයි. ඒත් සැමියා වගේම පවුලේ අයත් කිව්වේ පළමු වැනියා පුතෙක් නිසා දෙවැනියට දුවෙක් ලැබුණොත් හොඳයි කියලා. පුතෙක් වුණත්, දුවෙක් වුණත් කමක් නෑ කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඉතින් දෙවැනියා දුවෙක් වුණා. දුවෙක් ලැබුණම මාත් සතුටු වුණා.
පුතා කැමැති වුණෙත් නංගියෙක්ටද?
එයා ඉල්ල ඉල්ල හිටියේ මල්ලි කෙනෙක්. ඒත් අපිට දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැන ගත්තම අපි නංගි කෙනෙක්ට ආස වෙන විදියට එයාගේ මනස හැදුවා. එයා ඉතින් නංගි එනකල් හරි ආසාවෙන් බලාගෙන හිටියේ.
පුතත් තාම හුරතල් වයසෙනේ. නංගිව මුලින්ම දැක්කම පුතාගේ ප්‍රතිචාර කොහොමද?
මට දුවව ලැබෙන්න යද්දී හස්බන්ඩ්ට විතරයිනේ තියටර් එකට එන්න පුළුවන් වුණේ. පුතාටත් ඇතුළට එන්න ඕනේ කියලා එයා දැඟලුවා. ඒත් එයාව අම්මලා එක්ක තියලා අපි ඇතුළට ගියාම අපි එළියට එනකල් එයා ඉවසිල්ලක් නැතිව ඉඳල තියෙන්නේ. හස්බන්ඩ් මුලින්ම එළියට ගියාම එයාගෙන් ඇහුවලු "කෝ අම්මයි නංගියි" කියලා. ට්රෝලියේ දාලා මාව එළියට ගෙනෙද්දී පුතා දුවගෙන ඇවිත් මායි නංගියි දිහා හරි ආසාවෙන් බලන් හිටියා.
එහෙනම් අයියා නංගිටත් ගොඩක් ආදරේ ඇති?
අම්මෝ ඔව්. එයාට නංගිව දැනෙන්නේ බෝනික්කෙක් වගේ. දැන් පුතාට අවුරුදු පහ හමාරයි. නංගිට පුදුම ආදරයක් තියෙන්නේ. නංගිව හුරතල් කරන්න, අතගාන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. ආදරේ වැඩි නිසා හැම තිස්සෙම අවධානයෙන් ඉන්නේ.
දුවගේ පෙනුම ඕෂධිගේ වගේලු නේද?
ඔව්. පුතා බඩෙන් එළියට ගත්ත ගමන් හැමෝගෙම කටේ තිබ්බේ පුතා තාත්තා වගේ කියලා. ඒ දවස්වල මට දුකත් හිතුණා අනේ එයා මං වගේ නැද්ද කියලත්. ඒත් දුව හම්බුණාට පස්සේ ප්‍රතිචාරය ඊට වෙනස්. හැමෝම කියන්නේ දුව අම්මා වගේ කියලා. ඉතින් සතුටින් පිරිලා ඉතිරිලා යනවා මාව.
දුවෙක් ලැබුණ නිසා රංගනයට දිග නිවාඩුවක් දෙයිද?
දුව ලැබෙන්න ඉද්දී තුෂාරි අබේසේකරගේ අසමජ්ජාතියා ටෙලි නාට්‍ය කරමින් හිටියේ. ඒත් ඒකේ කොටස් කිහිපයයි රූගත කරන්න පුළුවන් වුණේ. පුතා ලැබිලා නම් මාස හතරකින් වගේ මම වැඩ පටන් ගත්තා. ඉතින් කරපු වැඩේ සම්පූර්ණ කරන්න මට ඉක්මනට එන්න වෙයි. ඒ නිසා රංගනයට ලොකු විරාමයක් ලැබෙන එකක් නෑ.
රංගනයට එකතු වුණොත් මවකගේ වගකීම් මඟහැරෙන එකක් නැද්ද?
මම පුතා ලැබුණට පස්සෙත් වැඩ කරන ගමන් හැම වගකීමක්ම ඉෂ්ට කළා. ඒකට මට සැමියාගෙන්, මගේ අම්මාගෙන්, තාත්තාගෙන්, සැමියාගේ නැන්දගෙන් ලොකු සහායක් ලැබුණා. මේ සැරෙත් මට එයාලගෙන් සහාය ලැබෙයි.
දුවක් ලැබුණ නිසා කලින්ටත් වඩා ඕෂධීට රංගනයේ තෝරා ගැනීම් තියේවිද?
මම කොහොමත් සීමාවක් ඇතිව වැඩ කළ කෙනෙක්. ඒ නිසා ගැටලුවක් වෙන එකක් නෑ. හැබැයි පුතා ලැබුණ වෙලාවට වඩා දුව ලැබුණට පස්සේ මට ලොකු වගකීමක් දැනුණා. ඉතින් මම කළ තෝරා ගැනීම් ඉදිරියටත් තියෙයි.
ඕෂධීට වැඩ කිහිපයක් මඟහැරුණා කියලත් ආරංචියි?
ඔව්. රියැලිටි ෂෝවලට එහෙම ආරාධනා කළා. මුල් කාලේ බබා ලැබෙන්න ඉන්නවා කියලා කියන්න බැරි නිසා බොරු හේතු කියලා සමහර වැඩ මඟහරින්න වුණා.
ක්ෂේත්රයට ඇවිත් කාලයක් ගත වුණත් ඕෂධීට තාමත් ඉල්ලුම තියෙනවා නේද?
පුතා ලැබිලා මහත් වෙලා හිටපු කාලෙත් මට රංගනයට ආරාධනා ලැබුණා. හැබැයි තරුණම කාලේ වගේ දැන් කාර්යබහුල නැහැ. ඒ කාලේ නම් අවුරුද්දට ටෙලිනාට්‍ය විස්සක් විතර කළා. දැන් එහෙම නෑ. නව යොවුන් චරිත දැන් අපිට කරන්න බැහැ. ඒ අවස්ථා අලුත් අයට යනවා. අපිට ගැළපෙන චරිතවලට දැන් අපිට ආරාධනා කරන්නේ.
දුවයි, පුතයි අනාගතයේ දවසක කලා ක්ෂේත්රයට එකතු වෙනවට ඕෂධී කැමැතිද?
පුතාට කලා හැකියාවන් තියෙනවා. හැබැයි එයාව දැන් ප්‍රසිද්ධ කලාවට දාන්න මගේ අදහසක් නෑ. මොකද එතකොට එයාලගේ ළමා කාලය නැති වෙනවා. පුතාව කලාවට යොමු කරන්නත් මගේ අදහසක් නැහැ. මොකද පිරිමි දරුවෝ දවසක ලොකු වගකීම් දරන්න ඕන. කලාවේ නිරත වෙලා ඒවා කරන්න අමාරුයි. ගැහැනු දරුවෙක්ට නම් තාත්තා හෝ සැමියාගේ රැකවරණය යටතේ හොඳ යමක් කරගෙන යන්න පුළුවන්. දවසක දුව කැමැති වුණොත් එයා කලා ක්ෂේත්රයට එකතු වෙනවට මගේ අකැමැත්තක් නැහැ. හැබැයි බලෙන් එයාව යොමු කරන්නේ නෑ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම