ආදරයෙන් සිත පිරී තියෙන විටදී කිසිදු නපුරකට සිතකට රිංගන්න බැහැ
මේ දවස්වල මොකද කරන්නේ...?
මේ දවස්වල “ෆීනික්ස් ආයතනයේ ආරාධනාව පරිදි වෙළෙඳදැන්වීම් කිහිපයක් නිර්මාණය කළා. ඒකේ වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුල වුණා. අලුත් පිටපත් රචකයන්, අලුත් නළු නිළියන්, අලුත් දැන්වීම් නිෂ්පාදනයන් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.
ඒ කියන්නේ පත්‍ර කලාවෙන් සමුගත්තට පස්සෙ ආයෙත් පැරනි රස්සාවටම ඇවිත්ද...?
මෙහෙමයි... පත්‍ර කලාවේ සිටියදීත් මම වෙළෙඳ දැන්වීකරණයේ යෙදුණා. හැබැයි ප්‍රධාන කතෘධුරය ලැබුණාට පසුව සම්පූර්ණයෙන්ම එයින් මම ඈත් වුණා කියලා කියන්න පුළුවන්. ඉන් ඉවත්වීමත් සමඟ ජීවිතය සම්පූර්ණයෙන්ම කලාවට යොමුකරන තත්ත්වයක් යටතේ වෙළෙඳ දැන්වීම් නිර්මාණය සඳහා ලැබෙන ආරාධනා මම බාර ගන්නවා.
ඔබේ අලුත් අපූරු නිර්මාණය වුණ “ඝරසර්ප චිත්‍රපටය අගෝස්තු මස 10 වැනිදා තිරගත වෙනවා. “ඝරසරප කියන නම ටිකක් වෙනස් නමක් නේද...?
“ඝර කියන්නේ සංස්කෘතික භාෂාවේ ගෘහයට කියන නමක්. “සරප කියන්නේ සර්පයාටයි. ඉතින් වාච්යාර්ථයට අනුව නම් මේ කියන්නේ “ගෙට රිංගන සර්පයා එහෙමත් නැත්නම් “ගේ තුළ රිංගා සිටින සර්පයා කියලයි. හැබැයි මෙහි අර්ථය ඊට වෙනස් වියහැකියි. ඒ නිසා මගේ සිනමා නිර්මාණය තුළින් ඔබට යෝජනා කරන සිනමා අර්ථය වන්නේ ඔබේ සිත නැමැති ගෘහයට අනවසරයෙන් රිංගන්නා වගේ අදහසක්.
ආදරයත් එක්ක ඔය කියන කතාවේ තියෙන සම්බන්ධය මොකක්ද...?
මම සිතන අන්දමට මිනිසත් භාවයට අයත් ඉහළම සිත තමයි මෛත්‍රියෙන් පිරුණු සිත. කරුණාව, මුදිතාව, කියන්නේ එහිම වෙනත් ස්වරූප. ඒවගේම එය අතිශය බලවන්ත සිතක්. අසීමිත ශක්තියක්. ඒ තත්ත්වයට පත්වූ අය ලෝකයේ නොසිටියා හෝ නොසිටිනවා හෝ නොවේ. හැබැයි විරලයි. ඔවුන් පෘථග්ජන තත්ත්වයෙන් එහාට ගිය අය. දැන් පෘථග්ජන අයටත් එහෙම බලයක් ලබාදෙන මනෝභාවයක් තියෙනවා. ඒක තමයි ආදරය කියන්නේ. ඒකත් එක්තරා විදිහක ප්‍රබල ශක්තියක්. ආදරයෙන් සිත පිරී තියෙන විටදී කිසිදු නපුරකට සිතකට රිංගන්න බැහැ. ඔන්න ඕක තමයි ඒ කතාවයි, ආදරයයි අතරේ තියෙන්නේ.
ඒ කියන්නේ ඝරසරප කියන්නේ ආදර කතාවක්...?
එය ආදර කතාවක් පමණක් නොවේ. ආදරය විප්ලවයන් සේ භාවිතා කරන්නේ කොහොමද කියන එකත් ප්‍රකාශයට පත්වන කතාවක්.
ඔබේ නිර්මාණයක සුළු කොටසකට හෝ දායකවෙන්න මේ රටේ කලාකරැවන් කලාකාරියන් කැමතියි. ජයන්ත චන්ද්‍රසිරි යටතේ වැඩ කිරීමත් පාසලක ඉගෙන ගැනීමක් වගෙයි ඔවුන් සලකන්නේ. ඔබේ නිර්මාණ සාර්ථක වීමට ඔවුන් තුළ පවත්නා මේ හැඟීමත් බලපානවා ඇති නේද...?
ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඔවුන් මම ගැන දක්වන ගෞරවය ඊට හේතුවක් වෙන්නත් ඇති. ඊටත් අමතරව බොහෝ විට මම සිදුකරන පුහුණුවීම් සහ රංග අභ්‍යාසයන් ඔවුන්ට විශාල බලපෑමක් කළබව මම දන්නවා. අනෙක් කාරණාව තමයි නළු නිළියන් මෙහෙයවීමෙන් මම පුදුමාකාර තෘප්තියක් ලබන්නෙක්. මගේ පරිකල්පනීය සිත යමකට අනුව යම් රංගධරයෙකු හෝ රංගධාරිනියක හෝ රූපාන්තරණයකට පත්වන විට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මේ පරම සතුට ඔස්සේ තමයි මම ඔවුන් මගේ කෘතියෙන් ධ්වනික වන අවසාන ඉලක්කය කරා මෙහෙයවන්නේ. ඉතින් මේ ගමනේදී අපි එකිනෙකා ඉහළම බුද්ධිමය සංවාද තලවලදී හමුවෙන්නට වීම පුදුමයක් නොවේ.
මෑත කාලයේදී ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න “ගාමිණි ෆොන්සේකාගෙන් පසුව ඒ විදිහට ශූර ලෙස නළු නිළියන් මෙහෙයවන්නෙකු ලෙස ඇයට හමුවූයේ ඔබයි කියා කීවා...?
ඔවුන් මාව අගේ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂකවරයාගේ කලාව බව ඇත්ත. එහෙත් නළු නිළියන්ටත් ඔවුන්ට ආවේණික කලාවක් තියෙනවා. රංගවේදයේ එය හඳුන්වන්නේ චරිත නිරූපණ කලාව (Art Of Character Delineation) කියලයි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මේ චරිත නිරූපණ කලාව ගැඹුරට දැනගෙන තිබිය යුතුයි කියන අදහස් අපේ ක්ෂේත්රයේ නැහැ. ලෝකයෙත් නැහැ. නමුත් ඒ කාරණාව සහිතව කටයුතු කරන අධ්යක්ෂකවරැන්ගේ නිර්මාණ තුළ ඔවුන් තම නළු නිළියන් මෙහෙයවා කළ විවිධ රූපණ අත්හදා බැලීම් පවා දකින්න පුළුවන්. නොර්වේහි මම සහභාගී වූ පැවැති රූපණ සැසියකදී එහෙම වැඩක් කළා. එයට සහභාගි වුණු අත්දැකීම් බහුල ප්‍රකට ඉන්දීය නිළියක වන සුලභා දේශ්පාණ්ඩේ (English Vinglish චිත්‍රපටයේ ශ්‍රී දේවිගේ මව) “මම ඉන්දියාවේ චිත්‍රපට රාශියක් රඟපාලා තියෙනවා. හැබැයි නුඹ වගේ භාවයන් පිළිබඳව, හඬ පාලනය පිළිබඳව මේ තරම් වචනයෙන් වචනය විස්තර කරන කෙනෙක් මට හමුවෙලා නැහැ කියලා මට කීවා. ඇය මගෙන් “මොකක්ද ඔබේ ශ්‍රී ලංකාවේ රංග පාසැල කියලා ඇහුවා.
ඇත්තටම ඔබේ රංග පාසල මොකක්ද...?
එවැන්නක් මට තිබුණේ නැහැ. හැබැයි ඉතාම විශිෂ්ඨ රංග කලා ගුරුවරුන්ගෙන් උගත් දැනීමක් මට තිබුණා. පළමුවැන්නා ආචාර්ය නෝබට් ජේ. මයර්, දෙවැන්නා ආචාර්ය සාලමන් ෆොන්සේකා. ඒවාගේම තෙවැන්නා වුණේ ආචාර්ය ක්ලාවුස් ෆිඩ්ලර් මේ අය රූපණ කලාවේ ඉතාම සම්භාව්‍ය ගුරුකුල තුනක් නියෝජනය කළ අය. මම හිතන්නේ මම ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වූ කරදරකාරයෙකු වුණත් හොඳ ශිෂ්‍යයෙකු කියලයි. ආචාර්ය ක්ලාවුස් ෆිඩ්ලර්ගේ උපදේශනය යටතේ බර්ලින් නුවර ගිම්හාන නාට්‍ය වැඩමුළුවේදී මට නාට්‍ය කොටසක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. “ටෙම්පස්ට් නාට්‍යයේ කොටසක් නිර්මාණය කරන්නයි. මම සමඟ එයට සහභාගී වූ ශ්‍රියන්ත මෙන්ඩිස් එහි චරිතයක් නිරූපණය කළා. ඊට අමතරව ඉන්දියානු හා බංගලාදේශ නළුවන් දෙදෙනෙකුගේ සහයද මට ලැබුණා. අපි බර්ලිනයේ වෘත්තීය නළු නිළියන්ගේ වෘත්තීය සමිති රංග ශාලාවක විශාල පිරිසක් ඉදිරියේ ඒක ඉදිරිපත් කළා. එහිදී වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනාගත් “නාට්‍ය කැබැල්ල නොවේ නම් ඒ අතරින් එකක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. නාට්‍ය කොටස් අවසානයේදීත් බර්ලින් රූපණ වෘත්තිකයන් නැගූ ප්රශ්නය තමයි “ඔබේ රංග පාසල කුමක්ද කියලයි.
හැබැයි අද වෙද්දී ඔබ රංග පාසලක් පවත්වාගෙන යනවා...?
ඔව්... ඒ “ඩිල් ෆිල්ම්ස් ඇක්ටින් ඇකඩමියයි. මට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සපයමින් ඩිල් ෆිල්ම්ස් ආයතනයේ අධිපති ප්‍රවීන් ජයරත්න තමයි එහි පසුබිමේ සිටින්නේ. එය රූපණය පිළිබඳව සහතික පත්‍ර පාඨමාලාවක්. දැන් එහි දෙවැනි කණ්ඩායම සඳහා පන්ති පැවැත්වෙනවා.
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකවරයෙකු පමණක්ම නොව ගී පද රචකයෙකුද වෙනවා...?
නෑ... මම හිතන්නේ නැහැ... මම හොඳ ගී පද රචකයෙකු කියල. මම ගී පද රචනා කළානම් බොහෝ විට ඒ මගේ නිර්මාණවල මඟහැරිය නොහැකිම අවස්ථාවක් උදෙසායි. උදාහරණයක් මම කියන්නද...? මම “වෙදහාමිනේ ටෙලි නාට්‍යයේ ප්‍රදීපා ගයන දූවිලි ගීතය ලිව්වේ එහි සංගීතවේදියා වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ බලවත් ඉල්ලීම නිසයි. ඉන්පසුව එතුමාගේම ඉල්ලීම මත මම “අකාල සන්ධ්‍යා හා “සතර දෙනෙක් සෙන්පතියෝ වැනි නිර්මාණවල ගීත රචනා කළා. ඉන්පසුව බාහිර ගීත රචනා සඳහා මට දර්ශන රුවන් දිසානායක බලකළා. ඒ අනුව මම රචනා කරපු ගීත කිහිපයක් ඔය යනඑන අතරේ මට ඇහෙනවා.
ඝරසරප චිත්‍රපටයෙන් ඔබ අලුත් මුහුණ දෙකක් ප්‍රධාන චරිතවලට ගෙන එනවා. එය අභියෝගයක් වුණේ නැද්ද...?
නළු නිළියන්ගේ අලුත්කම හෝ පැරැණිකම මට කොයිවෙලාවකදීවත් අභියෝගයක් නොවෙයි. හැබැයි අලුත් අය එක්ක ගතකළ යුතු කාලයේ වැඩිකමක් තියෙන්න පුළුවන්. නමුත් ඝරසරපට පැමිණි කවින්ද්‍යා අධිකාරි සහ දෙව්නක පෝරගේ සමඟ ඒ ප්‍රශ්නයවත් තිබුණේ නැහැ. ඔවුන් ඒ තරම්ම දක්ෂ දරුවෝ. කවීට තිබුණේ විශාල චකිතයක් පමණයි. “අංකල්... මම කවදාවත් රඟපාලා නැහැ. මට පුළුවන් වෙයිද...? කියා කවී අහපු එකම ප්රශ්නයයි. “ඔයාට තියෙන හොඳම සුදුසුකම ඒකම තමයි කියලයි මම කවීට කිව්වේ. දෙව්නකට රඟපෑමේ යම් යම් අත්දැකීම් කිහිපයක් තිබුණා. ඒත් ආරම්භයේදී ඔහුට චිත්ත ඒකාග්‍රතාව පිළිබඳ සුළු ගැටලුවක් තිබුණා. නමුත් අපගේ සුපුරුදු පුහුණු සැසියකින් පසුව ඔහු කටයුතු කළේ පළපුරුදු නළුවෙක් වගේයි. ඒවගේම මෙය නිෂ්පාදනය අර්ජුන් කමලනාත්. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම පිළිබඳව ඔහු ඉතා පුළුල් අවබෝධයක් සහිත කෙනෙක්. ඝරසරප සාර්ථකත්වයට එයත් විශාල ශක්තියක් වුණා.
ඔබේ නිර්මාණ හැරුණු විට ඔබ මේ රටේ මාධ්‍ය කැමති සිනමා නිර්මාණ මොනවාද...?
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “නිධානය තමයි මම වඩාත්ම කැමති චිත්‍රපටය වන්නේ. ඒ හැරුණු විට “රේඛාව, මහගමසේකරයන්ගේ “තුංමං හන්දිය, ටයිටස් තොටවත්තයන්ගේ “හාරලක්ෂය, එම්.ඩී. ප්‍රේමරත්නයන්ගේ “සෙයිලම, අශෝක හඳගම “ඉන්අවන්, තිස්ස අබේසේකරයන්ගේ “විරාගය, ධර්මසේන පතිරාජයන්ගේ “බඹරු ඇවිත්* ඇතුළු මට මේ මොහොතේ කල්පනාවට නොඑන තව චිත්‍රපට රාශියක් තිබෙනවා.
මේ රටේ ඔබේ ප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කවුද...?
කීපදෙනෙක් ඉන්නවා. ඒ අතරින් අශෝක හඳගම ප්‍රධානයි. මතවාදී වශයෙන් මම හිතන්නේ අපි නිර්මාණ ප්‍රවාහයත් දෙකකට අයිති දෙන්නෙක්. නමුත් ඔහු ඉතා ශූර අධ්යක්ෂවරයෙක් විදිහටයි මම නම් හිතන්නේ.
දේශය