මගේ අතීතය මගේ වර්තමානය. මගේ අනාගතය, මේ කිසිවක් ගැන මට නිනව්වක් නැතුව ගියා. සියල්ලම හිස් වෙච්ච අවකාශයක් විතරයි මට ඉතුරු වුණේ.
හීනෙන් වගේ මගේ නම කියවෙනවා ඇසුණ නිසාත්, ළඟ ඉඳගෙන හිටිය මගේ ඥාති සොයුරිය කලබල කළ නිසාත් ඉබේටම පුටුවෙන් නැගිට්ටුණා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයෙන් නැඟුණු අත්පොලසන් හඬවත්, වේදිකාවෙන් මතු වුණු අති ආකර්ෂණීය සංගීත ඛණ්ඩයවත් මට ඇහුණෙ නෑ. මට හිතුණෙ මගේ දෙසවන් බිහිරි වෙලාද කියලත්. මගේ ජීවිතේ ලොකුම සම්මානය සුළඟිල්ලක වෙලිලා මාත් එක්කම වේදිකාවට එනවා. ඒ එන්නෙත් මගේ ජීවිතේට ලැබෙන පළමු වැනි සම්මානය ආදරයෙන් බාරගන්න. 2016 වසරේ හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මානය දැන් මගේ දෝත මත. පියවි සිහිය ලැබෙන්න තත්පර ගාණක් ගත වෙනවා. එතකම් මම හිටියෙ කිසිවක් හිතාගන්න බැරිව ඔහේ පාවුණු ලෝකයක.
සරසවිය සම්මානයක අභිමානය පෙරටු කොටගත් ආදරණීය කිරුළ දැන් මා හිස මත. මේ හීනෙන් මම මිදුණෙ සම්මානයේ බර මා දෝතට දැනුණ පසුව. ඒ අභිමානවත් මොහොත සිහිපත් වන සෑම වාරයක් පාසාම ගත හී ගඩු පිපෙන වචනයෙන් කිව නොහැකි කුමක්දෝ සතුටකින් මා සිත පිරී යනවා. මේ සැබෑ වුණේ කාලයක් පුරා මා ප්‍රාර්ථනා කළ හීනයක්. මගේ ජීවන ගමන් මඟ තුළ සිනමාවේ අසිරිමත් භාව මට ළඟා වුණේ මා ඉතාම ළදරු වියක සිටි අවදියක. ළමා ගායිකාවක වශයෙන් චිත්‍රපට පසුබිම් ගීත ගායනයට මා එක්වන්නේ හෙළ ගී රැජින ලතා වල්පොල හා ග්‍රේෂන් ආනන්ද සමඟ. ඒ අතීතය තවමත් මගේ දෑස ඉදිරියට අද ඊයේ දුටු සිතුවමක් සේම ජිවමානය. එතැන් සිට ඇරඹී චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්රය තුළ මගේ දායකත්වය පිරි නැමූ චිත්‍රපට මගේ මතකයේ හැටියට සියයටත් අධිකය. දශක කිහිපයක් තිස්සේ ක්ෂේත්රයේ රැඳී සිටියද චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ඇගයීමක් මෙතෙක් මා හට නොලැබී තිබුණ බැවින් හිතේ කොනක තැන්පත් වූ දුකක්, කනගාටුවක් සිත් වේදනාවක් මා තුළ නොවූවා යැයි කීම අසත්‍යයක්. එවැනි ඇගයීමක් නොලැබෙන්නට මා තුළ වන්නා වූ අඩුපාඩු කවරේදැයි නොයෙක් විට මා කල්පනා කළා. සමහර විට එවැනි වාසනා මහිමයක් මගේ දෛවයේ ලියැවී නොමැතිදැයි සිතමින් නොයෙක් අවස්ථාවල කම්පා වුණා.
ඒත් වාසනාව දොර ළඟට එන්නේ කාටවත් කියන්නේ නැතුවය කියල දැන් මට හිතෙනවා. මගේ ජීවිතේ මා ලද පළමු සම්මානය මා ළඟට ආවේ එහෙමයි. සම්මාන උළෙලට සහභාගි වෙනවාද? නැද්ද? කියල තීරණයක් එදා උදේ වනතුරුවත් මට තිබුණේ නෑ. ඒකට හේතුව මගේ මවුපියන් මේ දිනවල රටින් බැහැරව සිටින නිසාත්, දියණිය බලාගන්නා කෙනා නොමැති වීම නිසාත්ය. අහම්බෙන් මෙන් එදා උදෑසන පැමිණි ඥාති සොයුරිය නිසා දියණියත් රැගෙන උත්සවයට පැමිණීමට මට අවකාශ ලැබුණා. නිසි සූදානමක් නොමැතිව මේ ගමන පැමිණි නිසා වෙන් උත්සවය ආරම්භයට ප්‍රථම පැමිණීමට ද මට නොහැකි වුණා.
වසරේ හොඳම ගායිකාව ලෙස මා ලද සරසවිය සම්මානය මට මහ මෙරක්. මේ මොහොතේ මගේ කල්පනාවට නැඟෙන්නේ. අනේ එදා මා නෑවිත් සිටියා නම් මා කෙතරම් අවාසනාවන්තියක් ද කියාය. දෙනෝ දාහකගේ අත්පොළසන් මධ්‍යයේ, අභිමානවත් හේතු පාඨ හා ගෞරව සම්ප්‍රයුක්ත සංගීත ඛණ්ඩ මධ්‍යයේ, කලා ක්ෂේත්රයේ හිතවතුන් අතරින් වේදිකාවට නැඟ ලබා ගන්නා සම්මානයේ ප්‍රහර්ෂය අන් කිසි විදයකින් ලබා ගත හැකිද යන්නය. කෙසේ වෙතත් මා එතරම්ම අවාසනාවන්තියක් නොවිම පිළිබඳ අද ද දෙවියන්ට ස්තූති කරනවා.
සම්මානය රැගෙන පැමිණ වාඩිගත් මොහොතේ සිටම මගේ සිත නොසන්සුන්. මගේ ජීවිතයේ සමීපතමයන් වන මවුපියන්ට හා ආදරණීය කසුන්ට මේ පණිවිඩය දෙනතුරු මට ඉස්පාසුවක් තිබුණේ නෑ. ඒ මොහොත වනවිට කසුන් සංගීත ප්‍රසංගයක්, මවුපියන් කැනඩාවේත් සිටි නිසා ඔවුන්ට මා සම්මාන ලබාගත් ආකාරය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව ගිලිහී ගියා. දුරකතනය ඔස්සේ ලද දැනුම් දීමෙන් මවුපියන්ගේත්, කසුන්ගේත් උණුසුම් සුබ පැතුම් ගලා ඒත්දී, වේදිකාවේදී ලද ප්‍රහර්ෂය මා නැවත වතාවක් වින්දා.
සම්මානයේ සතුටත් සමඟ මගේ හිත දිව ගියේ 2015 වර්ෂයට මට “ආදරණීය කතාවක්” චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට පි‍්‍රයන්ත කොළඹගේ කතා කරන්නේ 2015 වර්ෂයේ. චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වූ පි‍්‍රයන්තත්, සංගීත අධ්යක්ෂවරයා වූ උදාර සමරවීරත් මීට ප්‍රථම මා දැන හඳුනාගෙන නොසිටි අය. එහෙත් මේ නිර්මාණයේ නැවුම් බවටත්, උදාර විසින් නිර්මාණයක කර තිබූ සංගීත ඛන්ඩ පිළිබඳත් ඇති වූ සුවිශේෂ උනන්දුව නිසාමයි. මම මේ නිර්මාණයට එක්වන්නට තීරණය කළේ. මේ අවදිය වනවිට දියණිය “ දිව්‍යා” ලැබෙන්නට ඉතා ආසන්නයෙන් සිටි බැවින් තරමක අපහසුතාවයද මැඩ ගෙනයි මම මේ ගීත ගායනා කළේ. ආදරණීය කතාවක් චිත්‍රපටයට ගීත 3 ක් ගායනා කළා. යුග ගීත දෙකක් ගායනා කළා. කසුන් කල්හාර හා අමල් පෙරේරා සමඟ. චිත්‍රපටයේ තේමා ගීතය වුණේ මම තනිවම ගායනා කරපු ගීතය. දියණිය කුසේ තියාගෙන ගැයූ ගීතයට දියණියත් සමඟ ගොස් සම්මාන ගන්නට තරම්, මම කෙතරම් වාසනාවන්ත අම්ම කෙනෙක්ද කියලත් වෙලාවකට මට හිතෙනවා.
මේ සමිමානය මට ලැබෙන්නේ සුවිශේෂී මොහොතක. සුවිශේෂී පුද්ගලයෙකු අතින්. දේශීය සිනමා වංශ කතාවේ ශ්‍රේෂ්ඨතම අධ්යක්ෂවරයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් පැවැත් වූ ප්රණාම සම්මාන උළෙලකදී. පළමු සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව වශයෙන් සම්මාන දිනූ ආචාර්ය නන්දා මාලනිය අතින් සම්මානය ලබන්නට තරම් භාග්‍යයක් මට තිබුණා.
ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී මගේ වෘත්තීය ජීවිතේට කොයි තරම් මම කැපවුණාද කියන එක ගැන සතුටක්. අභිමානයක් මට තියෙනවා. සංගීතය, ගායනයට මට පරම්පරා උරුමයත් තියනවා තමයි. හැබැයි ඒ උරුමය විතරක් කරපින්නාගෙන යන්න මම කොයි මොහොතකවත් උත්සාහ කළේ නෑ. පුංචි කාලේ ඉඳලම විෂයක් විදියට න්‍යායිකව, ප්‍රායෝගිකව මේ විෂය මම ඉගෙන ගත්තා. ඒ හින්දා තමයි ඉතාම ලාබාල වයසකදී ගායන හා නෘත්‍ය විශාරද උපාධිය ලබාගන්නට මට පුළුවන් වුණේ. නිර්මාණයකට දායක වුණත් ඒ වෙනුවෙන් මගෙන් විය යුතු උපරිම කැපවීම කරන්න කොයි මොහොතක හෝ පැකිලීමක් නෑ.
පසුගිය වසර කිහිපයක කාලයක් මගේ නිර්මාණ දිවිය තුළ කිසියම් පසුබැසීමක හිටියා නම් ඒ මගේ පෞද්ගලික ජීවිතේ. බිරිඳ, ගැහැනිය, මව කියන තනතුරු මම ආදරයෙන් බාරගත් නිසා. කුඩා දියණියගේ මවක් විදියට මට අවශ්‍ය වුණේ ඈට ආදරය, සෙනහස, උණුසුම අවශ්‍යම කාලයේදී නොඅඩුව එය පිරිනැමීමය. දැන් ඈ දුව පැන ඇවිදින තුන් හැවිරිදි විය ඉක්මවන්නට සූදානම් සිඟිත්තියක්. ඉදිරියට මීට වඩා කාලයක් මගේ නිර්මාණ දිවිය වෙනුවෙන් කැප කරන්න ඉඩ ලැබේවි කියලා මම විශ්වාස කරනවා.
පුංචිම කාලේ පටන් සිනමාවට ආපු මට ඉස් ඉස්සරලම සරසවිය සම්මානයක් ලැබීමත් දෛවෝපගතයි. අම්මගේ තාත්තාගේ අතේ එල්ලිලා කොයිතරම් ..... මම සරසවිය සම්මාන උළෙලවලට ඇවිත් ඇත්ද කියලා මට හිතෙනවා. අම්මා තාත්තා සිංදු කියන්න යද්දී ස්ටූඩියෝ වල, දර්ශනතලවල ඕනතරම් මම රස්තියාදු වෙලා ඇති. ඒ හින්දා සිනමාවටත්, සරසවිය පුවත්පතටත් මගේ තිබෙන්නේ සමීප ඥාති සම්බන්ධතාවක්. මේ තීන්දු තීරණ ලබා දුන් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත්, හැමදාමත් මා පසුපස සිටිමින් මගේ හැකියාවත්, දක්ෂතවත් ඉහළ තලයට ඔසවා තබන ආදරණීය ප්‍රේක්ෂක ජනතාවත් මගේ හද පිරි භක්තියාදරය පුද කර සිටිනවා. නැවත වතාවක් සිහිපත් කරන්නේ මගේ හැකියාව දක්ෂතාවය ගෞරවනීය කිරුළ පැලැන්දූ ඔබ සැමට පින් සිදුවේවා කියායි.
හේමාලි විජේරත්න
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
සරසවිය