සැබෑ ජීවිතේ වෙලාවකට පෙම්වතියක්. වෙලාවකට නැහැ. මේ දවස්වලනම් නැහැ.
දිනක්ෂි මොකද මේ වෙස් පෙරළෙන්නේ?
මේ දවස්වල හැමෝගෙම වෙස් පෙරළීගෙන යනවා. සතියේ දවස් පහේම රාත්‍රී අටට තමයි ඒ වෙස් පෙරළීම සිදු කරන්නේ. ධනුෂ්ක රත්නායක අයියාගේ හරි අපූරු නිර්මාණ අධ්‍යක්ෂණයක්. ඉතින් මේ දවස්වල වෙස් පෙරළන්න තමයි වැඩිපුරම කාලය ගතවෙලා තියෙන්නේ.
සංජානා කියන චරිතය ගැන ටිකක් කතා කළොත්?
සංජානා කියන්නේ අවුරුදු දහයකට කලින්නම් හරිම අහිංසක පෙම්වතියක් තමයි. හැබැයි කාලයත් එක්ක වෙන සිදුවීම් එක්ක පලිගැනීම්, පාවාදීම් එක්ක එයාගේ ආදරය වෙනුවෙන් සංජානාට කරන්න වෙන දේවල් එක්ක එයා වෙනස් වෙනවා.
සැබෑ ජීවිතේදිත් දිනක්ෂි අහිංසක පෙම්වතියක්ද?
සමහර තැන්වලදී අහංසකයි. හැබැයි ඉතින් හැමවෙලාවෙම අහිංසක වෙලත් බැහැ.
මේ දවස්වල දිනක්ෂිව තවත් නිර්මාණ කිහිපයකින්ම දැකබලාගන්න පුළුවන්. එහෙම නේද?
ඔව්. වෙස්වලට අමතරව මිනිගංදෑල නාට්‍යයේ, ඒක දිග කතාවක් නාට්‍යයේ තාමත් මාව ප්‍රේක්ෂකයන් දැක්කේ නැහැ. සැප්තැම්බර් දෙවැනි සතියේ ඉඳන් තමයි මාව දකින්න පුළුවන් වෙන්නේ. සංජානාගේ චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මිනිගංදෑල ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ. එක්දාස් අටසිය ගණන්වල එන චරිත තමයි මිනිගංදෑල ටෙලිනාට්‍යයෙන් විකාශය වෙන්නේ. ඉතින් ඒ චරිත දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.
හිටපුගමන් දිනක්ෂිව පේන්න නැත්තෙ ඇයි? මොකද සැරෙන් සැරේට විදෙස්ගත වෙන්නේ?
පසුගිය කාලයේදී වරින්වර ප්‍රසංගවලට රට යන්න සිද්ධ වුණා. ඒ අතරේ නර්තන ප්‍රසංග වගේම සමහර වෙලාවට සින්දු කියන්නත් ආරාධනා ලැබෙනවා. හැබැයි පහුගිය ටිකේම විදෙස්ගත වුණේ නර්තන ප්රසංගවලටයි.
දිනක්ෂි වැඩිපුරම රට යන්නේ කා එක්කද?
ඒ රටේ ප්‍රසංග සංවිධායකවරුන්ගේ ඉල්ලීම් හා ආරාධනා මත තමයි අපි සහභාගී වෙන්නේ. සමහර වෙලාවට කණ්ඩායම් එක්කත් මම සංචාරය කරනවා. හැබැයි පහුගිය කාලයේදීම ලැබුණේ ආරාධිත කලාකාරියක් විදිහට තමයි. පිටරටවල ඉන්න අපේ නංගිලා මල්ලිලාගේ නර්තන කණ්ඩායම් එහෙමත් තියෙනවනේ. ඒ නිසා වැඩිපුරම අපි එකතු වෙන්නේ ඒ නර්තන කණ්ඩායම් එක්ක තමයි.
පහුගිය කාලේ නංගිත් එක්ක දිනක්ෂි ස්ටාර් සිටි වේදිකාවේ නටලා ජයග්‍රහණය කළානේ. අවසන් මහ තරගයට පහුවදාම ආයෙමත් විදෙස් සංචාරයක නිරත වුණා?
ඔව්.. ඒ ගියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මියැසි රංගන කියලා ප්‍රසංගයක් තිබුණා. ඒ ප්‍රසංගයට ලංකාවෙන් මටයි සාරංග අයියටයි තමයි ආරාධනා කරලා තිබුණේ. ඉතින් ස්ටාර් සිටි තරගය ඉවර වෙලා පහුවදාම මම සාරංග අයියත් එක්ක ඕස්ට්‍රේලියාවට ගියා. අපි දෙන්නට ආරාධිත රංගන ශිල්පීන් විදිහට තමයි ආරාධනා කරලා තිබුණේ. ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලාංකික පිරිස අසූවක් විතර විවිධ ඉදිරිපත්කිරීම් කළා. ඉතින් එදා මම නැටුම් අංග පහක් විතර කළා. සාරංග අයියා සින්දු කිව්වා වගේම නර්තනයත් කළා. ඉතින් එදා හැමෝම සතුටු වුණා.
ස්ටාර් සිටි තරගය නිසා මහන්සි වෙලා හිටපු දිනක්ෂිට පිටරට ගිහින් නර්තනවලට සහභාගී වෙන්න මහන්සියක් දැනුණේ නැද්ද, ළඟ ළඟම ඇයි ඒ දේවල් බාරගත්තේ?
මියැසි රංගන ප්‍රසංගය සංවිධානය කරපු අය මටයි සාරංග අයියටයි මේ ප්‍රසංගයට ආරාධනා කළේ කාලයක ඉඳලමයි. ඉතින් ඒ ආරාධනාව අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. හැබැයි ඉතින් හරිම මහන්සියි. මායි නංගියි ස්ටාර් සිටි අවසන් තරගයට ගොඩක් මහන්සි වෙලයි හිටියේ. නමුත් ඒ ගැම්මෙන්ම ගිහින් අපි ඕස්ට්‍රේලියාවේ නර්තන පහම හොඳට කරලා ආවා.
ඇත්ත කියන්න... දිනක්ෂි දැන් පෙම්වතියක්?
නෑ. තවම නැහැ. හැබැයි හැම නාට්‍යයකම ආදරය කරන්න තමයි ලැබෙන්නේ. සැබෑ ජීවිතේ වෙලාවකට පෙම්වතියක්. වෙලාවකට නැහැ. මේ දවස්වලනම් නැහැ.
මාලනී ෆොන්සේකා කලාකාරියගේ කලා ජීවිතයට වසර පනහක් පිරෙන උපහාර උළෙලේ දිනක්ෂියි, ශනුද්‍රියි නර්තනයක් ඉදිරිපත් කළානේ. දැන් දෙන්නම එකට නටනවා නේද?
නංගියි මායි නටන්නේනම් ගෙදර පුංචි කාලේ ඉඳන්ම තමයි. ඒකට අපිට වෙලාවක් තැනක් කියලා නෑ. නංගිලා දෙන්නටයි, මටයි වෙලාවක් ලැබෙන හැමවෙලේම සින්දුවක් දාගෙන අපි නටනවා. සමහර වෙලාවලට අපි කුස්සියේ නටනවා. සාලේ නටනවා. අපේ කාමරේ නටනවා. හැබැයි ස්ටාර් සිටි තරගයෙන් ඒ නටන නැටුම් ගොඩක් අයට දකින්න ලැබුණා. ඒ තරගයෙන් පස්සේ තමයි මාලනී ඇන්ටිගේ උපහාර නර්තනය ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලැබුණේ.
අක්කයි නංගියි දෙන්නම දැන් හොඳ නිළියොනේ. දෙන්නට එකට රඟපාන්න අවස්ථාව මෑත කාලයේදී ලැබුණේ නැද්ද?
එහෙම අවස්ථාවක් ලැබිලයි තියෙන්නේ. ඒ සඳරුවන් ජයවික්‍රම අයියගේ නාට්‍යයක. ඒකේ කොටස් කිහිපයක රූගතකිරීම් මම කළා. ඒකේ ඉදිරියට එන චරිතයකට නංගිත් ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නටම එකටම රඟපාන්න අවස්ථාව ලැබේවි. ඒකේ මායි නංගියි වගේම සාරංග අයියත් රඟපානවා. සාරංග අයියගේ නංගිගේ චරිතයට තමයි ශනූ ඉන්නේ. ඒ නිසා සමහරවිට අපි දෙන්නටම එකට රඟපාන්න අවස්ථාව ලැබේවි. හැබැයි මීට කලින් සඳගිරි පවුව නාට්‍යයේත් අපි දෙන්නටම එකට රඟපාන්න ලැබුණා. මගේ පොඩි චරිතයට එදා රඟපෑවේ ශනුයි. හැබැයි ඒ නාට්‍යයෙත් මටයි නංගිටයි එකට රඟපාන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ වගේම ශනූ අද වෙද්දී හරිම ජනප්‍රියයි. නංගි ගැන මට ඇත්තටම හරි සතුටුයි.
දිනක්ෂි මේ දවස්වල වැඩ කටයුතුත් එක්ක ගෙදර රැඳෙන්න තියෙන කාලය හරි අඩුයි නේද?
ඔව්.. ගෙදරනම් එහෙම ලොකු කාලයක් ඉන්න ලැබෙන්නෙම නැහැ. මම හරි ආසයි ගෙදරට වෙලා ඉන්න. අම්මගේ රහ කෑම කකා නංගිලා දෙන්නා එක්ක ගෙදරට වෙලා ඉන්න ආසයි. ඒ වුණාට බාරගත්තු වැඩ සහ ඒ නාට්‍ය විකාශනය වෙන නිසා ටිකක් වැඩ වැඩියි.
ඉතින් දිනක්ෂි ඔහොම කියද්දි බලමුද සාරංග මොකද කියන්නේ කියලා..
දිනක්ෂිට වගේම සාරංගටත් මේ දවස්වල වෙස් පෙරළෙනවා. මොකද මේ දෙන්නා එක්ක වෙස් පෙරළන්නේ?
ඔව්.. ඒ අපේ අලුත්ම නාට්‍යය නිසයි. ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන වෙස් කියන ටෙලි නාට්‍යයේ අපි රඟපානවා. හුඟාක් කාලයක් අරගෙන ලොකු පෙර සූදානමක් අරගෙන අතගහපු, දැන් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන හරි අපූරු නිර්මාණයක්. ඒ නිසා මහන්සියේ ප්‍රතිඵලයත් එක්කම ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි හොඳ ආරම්භයක් ලබාගත්තා කියලා මම හිතනවා.
මේක වෙනස් විදිහේ චරිතයක් නේද?
ඔව්.. මට වෙස් ඇතුළේ එකම පුද්ගලයාගේ කාල දෙකක ද්විත්ව චරිතයන් රඟපාන්න ලැබෙනවා. වසර දහයකට පස්සේ දේවින්ද කියන මේ චරිතය නැවතත් රයන් කියන නමත් එක්ක වෙනස් කෙනෙක් වෙනවා. දේවින්දගේ ඇත්ත ස්වරූපය තවමත් රයන් තුළ තියෙනවා. ඉතින් මේක හරි අපූරු චරිතයක්. ටිකක් සංකීර්ණ චරිතයක්.
ඒ අමතරව නියැලිලා ඉන්නා නිර්මාණ මොනවද?
වෙස්වලට අමතරව කෝටිපතියෝ නාට්‍යයේ ලාරා වසර කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට කාවැදුණු චරිතයක්. ඉතින් ලාරා කියන චරිතය වටා ගොනු වුණු වෙනම ප්‍රේක්ෂක පිරිසක් ද ඉන්නවා. ඉතින් ඔවුන් ද මේ වෙනසට කැමතියි. එකම නාලිකාව තුළ මේ චරිත දෙකම දැකබලා ගන්නට පුළුවන් වෙනවා.
සාරංග කාලයක් නිවේදනයටත් එකතු වුණා..
නිවේදන කලාව මම පූර්ණකාලීනව කරනා කටයුත්තක් නෙවෙයි. නිවේදකවරයෙක්ටත් වඩා මම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ රංගන ශිල්පියෙක් විදිහට තමයි මම මාව දකින්නේ. ස්ටාර් සිටි තුළත් සම්ප්රදායක කරන නිවේදනයෙන් එහා ගිය චරිතාංග ඉදිරිපත් කරන්නට තමයි උත්සහ කළේ. ඒ වගේම රණවිරු රියල් ස්ටාර් වැනි කාලෙන් කාලෙට මට ලැබෙන දැවැන්ත ව්‍යාපෘතිවලට මම සහභාගී වෙනවා. ඊට අමතරව අම්මත් එක්ක මම අපේ ශ්‍රේෂ්ඨයන් එක්ක පිළිසඳරේ යෙදෙනවා. එහෙම මම ගැලපෙන, මට යමක් ප්‍රේක්ෂකයන්ට දිය හැකි, මටත් ආත්ම තෘප්තියක් ලැබෙන නිවේදන කටයුතු සහ ඉදිරිපත්කිරීම් කටයුතුවලට දැනටත් සහභාගී වෙනවා.
මේ දවස්වල කාර්යබහුලකමත් එක්ක ගෙදර රැඳෙන්න තියෙන කාලය හරි අඩුයි නේද?
කාර්යබහුලකම මේ ක්ෂේත්රයට ආපු කාලේ ඉඳන්ම තිබුණා. ඒ නිසා මගේ අම්මා තුළ මම ගැන ලොකු අවබෝධයක් තියෙනවා. අම්මත් කලාවේ නියැලෙන කෙනෙක්. ගුවන් විදුලි සංස්ථාවේ අම්මා වැඩ කරද්දීත් නිශ්චිත වෙලාවක් තිබුණේ නැහැනේ. සමහර දවස්වල ඇයත් පාන්දර තුනට හතරට ප්රවෘත්ති කියන්න පවා ගිහින් තියෙනවා. මම පුංචි කාලෙදිත් අම්මා රැකියාවට ආදරය කරපු ඒකට ගොඩක් කැපවුණු කෙනෙක්. ඒ නිසා මගේ අම්මා මේ වෘත්තියේ තියෙන වගකීම් සහ වෙන මහන්සිය ගැන දන්නවා. හැබැයි ගෙදර වැඩවලදීත් මට පුළුපුළුවන් විදිහට සහභාගී වෙනවා. උත්සව අවස්ථාවලට, සිනමාපටයක් බලන්න යන්න, මංගල උත්සවයක් වගේ දේවල්වලට පුළුවන් විදිහට මම සහභාගී වෙනවා. මේ ළඟදිත් ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් තිබුණා. අම්මාත් මාත් එක්ක සහභාගි වුණා. ඒකෙදිත් අම්මත් මාත් එක්ක සින්දු කිව්වා.
සාරංග විදෙස් සංචාරවලදී වැඩිපුරම ගායනා කරන්නේ කාගේ ගීතද?
මම නර්තන සහ ගායන ප්‍රසංග දෙකටම සහභාගී වෙනවා. ඉතින් මම වැඩිපුරම මගේ තාත්තාගේ ගීත ගායනා කරන්න තමයි පෙළඹෙන්නේ. බොහෝ අය ඉල්ලන්නෙත් මගෙන් තාත්තාගේ ගීතම තමයි. මම උරුමයක් තියෙන මගේ පියාගේ ගීත ඉදිරිපත් කරන්න කැමතියි. තාත්තාගේ ගීත ගුවන්විදුලියෙන් හෝ වෙන කෙනකුගේ හඬින්වත් ඇහෙන්නේ නැති නිසා මම දැන් ඒ ගීත ගායනා කරනවා. ඒ වෙනුවෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කවදාවත් තාත්තාගේ කටහඬ අනුකරණය කරන්නේ නෑ. මගේ ශෛලයකින් ඒ ගීතවලට හානියක් නොවී මම ගායනා කරන්න උත්සාහ කරනවා. මෑත කාලයේදී සම්බන්ධ වුණු ප්‍රසංගවලත් පියාගේ ගීත තමයි ගායනා කළේ. ඒ වගේම මට ප්‍රදීපා ධර්මදාස මහත්මිය එක්කත් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. අමරසිරි පීරිස් මහතා ගයන නෙක උයන් වතු මැදින් කියන ගීතයයි ලක්ෂ්මන් විජේසේකර මහතා ගායනා කරනා සුපෙම් හැඟුම් ඔබෙන් එපා කියන ගීතයත් ගායනා කළා. ඒක මට ලැබුණ හොඳම අවස්ථාවක්.
සාරංග මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තුව?
වසර කිහිපයක ඉඳන් වෙනස් විදිහේ චරිතාංග රංගනයක නියැලෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඉතින් ඒකට මම කැමතියි. ඒ තුළින් මම රංගනය ටිකින් ටික දියුණු කරගෙන තියෙනවා කියලා මට හිතෙනවා. මේ යන දිශාව හරි කියලා දැන් මට තේරෙනවා. මේ හෙමින් ගමනක්. ඒ ගමනට මම කැමතියි. පසුකාලීනව මම රඟපෑ චරිත දිහා සියුම්ව බැලුවොත් මම ඒ සෑම චරිතයකටම යම් හෝ වෙනසක් කරන්න හැකියාව මට ලැබිලා තියෙනවා. ඒ තත්ත්වය රඳවාගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න ඉදිරියේදිත් මම බලාපොරොත්තු වෙනවා. චිත්‍රපට කිහිපයකටත් දායක වෙන්න ලැබුණා. ඒ අතරින් නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටයේ ළඟදීම තිරගත වෙනවා. කාර්යබහුල ජීවිතයත් එක්ක පෞද්ගලික ජීවිතේ කියලා එහෙම වෙනම වෙන් කරන්න කාලයක් ලැබිලා නැහැ. මේ ගලාගෙන යන ජීවිතේ තමයි මට හොඳම විදිහ වෙන්නේ. මම මේ ගමනට කැමතියි.
දේශය
2018.08.25