කාලයකට පස්සේ ඔබේ හඬින් අපූරු ගීතයක් ඇහෙනවා. 'මම දෝංකාරයයි' ගීතයේ නිර්මාණ පසුබිම ගැන මුලින්ම කියමු?
නිර්මාණවලින් ගත්තොත් කාලයකට පස්සේ තමයි මගේ ගීතයක් ඇහෙන්නේ. නමුත් මම පසුගිය කාලයේ ගීත කිහිපයක්ම පටිගත කළා. ඔය අතරේ මම අශෝක හඳගම අයියගෙන් ඇහුවා මට ගීතයක් ලියලා දෙන්න පුළුවන්ද කියලා. මොකද මම ඔහුගේ ගීත රචනා ශෛලියට කැමැතියි. හැබැයි හඳගම අයියා කිව්වා 'මම ගීත ලියන කෙනෙක් නෙවෙයි. මට ගීත ලියවෙන්න ඕනේ' කියලා. එහෙම ලියැවුණ ගීත දෙකක් තියෙනවා, කැමැති එකක් තෝරාගන්න කියලා ඔහු කිව්වා. මම දෝංකාරයයි සහ ඔන්න රැය බෝ වෙනවා කියන ගීත දෙකම මට දුන්නා. ඒ දෙකටම මම කැමැතියි කියලා මම ඔහුට කිව්වා. ඒ ගීත දෙකම පටිගත කළා. එයින් "මම දෝංකාරයයි" ගීතය සංගීතවත් කළේ චිත්‍රාල් සෝමපාල. අනෙක් ගීතය සංගීතවත් කළේ කසුන් කල්හාර.
ඒ අතරින් "මම දෝංකාරයයි" තමයි මුලින්ම රසිකයන් අතරට ගේන්නේ?
ඔව්. මේ ගීතයට ඉක්මනින් රූප රචනාවක් කරන්නත් ඒක රසිකයන් අතරට ගෙනැවිත් ඒ පිළිබඳ සංවාදයක් ගොඩනඟන්නත් හඳගම අයියට ඕන වුණා. හඳගම අයියා තමයි මේ ගීතයේ සංගීත නිර්මාණයට චිත්‍රාල් අයියව යෝජනා කළේ. මේ පසුබිම එක්ක ගීතයට මියුසික් වීඩියෝවක් නිර්මාණය වෙලා රසිකයන් අතරට ගෙනාවා.
සංගීත නිර්මාණයට එකතු වෙන්නෙත් ප්‍රවීණයෙක්. ඔහුගේ සංගීතයේ බර මේ නිර්මාණයට එකතු වුණේ කොහොමද?
චිත්‍රාල් අයියා එක්ක අපි මේ ගීතයේ ට්‍රැක් එක ගැන කතා කළා. ඔහු මට කිව්වා 'කේම්බුෂ්' වගේ බටහිර ශිල්පීන්ගේ ගීත ශෛලියට මේ ගීතය ගායනා කරන්න කියලා. එකම රාමුවේ යන සරල ගී රටාවට නැතිව වෙනත් ශෝනරයක් ඔස්සේ මේ ගීතය ගයන්ත ඕන කියන අදහස තිබ්බේ. ට්‍රැක් එක හදලා දුන්නට ඔහු කිව්වා.' සින්දුවක් කියන්නේ ගායකයාට හෝ ගායිකාවට අයිති දෙයක්. ඒ නිසා ඔයාගේ ගායන පරාසයට ඕන විදියට වැඩ දාන්න කියලා. ඔහු හදලා දුන්න ගයිඩ් එක නෙවෙයි අවසානයේ සිද්ධ වුණේ. අපි සුහදව කතා කරලා මේ ගීතය උසස් විදියට නිර්මාණය කරන්න පසුබිම ගොඩනඟා ගත්තා.
ඔබේ ගායන පරාසයේ වෙනස් හැඩයක් මේ ගීතයේ තිබෙනවා නේද?
බොහෝ දෙනෙක් මාව හඳුනන්නේ ඉහළ පරාසයක ගීත ගයන්න පුළුවන් ගායිකාවක් කියලා. නමුත් මේ ගීතයේ මන්ද්‍ර ස්වර ඇසුරු කරලා තියෙනවා. මගේ ගායන පරාසය මේ ගීතයේදී තල තුනකට විතර අරගෙන ගිහින් තියෙනවා.
කේමදාස මාස්ටර්ගෙන් ලබපු පුහුණුව, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලබපු අත්දැකීම් සහ බටහිර ගායනයේ අත්දැකීම් එක්ක පද රචනයට අදාළ වෙන විදියට මගේ ගායනය හැසිරුවා. මේක ග්‍රීක කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ ගීයක් නිසා එහි හින්දුස්ථානී හෝ ජන හඬක් ඇහෙන්න බැහැ. බටහිර සංගීත ශෛලියට මෙය ගයන්න ඕන වුණා. මගේ මන්ද්‍ර ස්වර ගායන හැකියාව බොහෝ නිර්මාණවලට පාවිච්චි වෙලා නැහැ. නමුත් ඒ හැකියාව මේ ගීතයේ පාවිච්චි කරන්න පුළුවන් වුණා.
ඒ කියන්නේ ඔබේ සැඟවුණ හැකියාවන් පෙන්වන්න මේ ගීතය හොඳ අවස්ථාවක් වෙලා?
අනිවාර්යයෙන්ම. මේ ගීතයෙන් ඒ හැකියාව එළියට ගේන්න පුළුවන් වුණාට මම හඳගම අයියට සහ චිත්‍රාල් අයියට ස්තුතිවන්ත වෙනවා. මේ ගීතයට විෂුවල් එකකුත් කරලා රසිකයන් අතරට ඉක්මනින් ගේන්න පුළුවන් වුණා. අපි කතාබහ කරලා සාමූහිකව කළ කාර්යයක් නිසා මේ නිර්මාණය ඉතා සාර්ථකව එළියට ගේන්න පුළුවන් වුණා.
මේ ගීතයේ තිබෙන්නේ අපූර්ව කතන්දරයක්?
ඔව්. පැරැණි ග්‍රීක පුරාවෘත්ත දෙකක් පදනම් කරගෙන තමයි මේ ගීතය ලියැවිලා තියෙන්නේ. නාසියස් සහ එකෝ කියන සංකල්ප දෙක මේ ගීතයට මුල්වෙලා තියෙනවා. නාසියස් කියන්නේ ඉතාම කඩවසම් තරුණයෙක්. තමන්ගේ රූපය දිහා ගඟ දියෙන් බලාගෙන, තමන්ගේ රූපයටම ඔහු වශී වෙලා ඉන්නේ. 'එකෝ' කියන්නේ අප්සරාවියක්. ඇය නාසියස්ට ආදරය කරනවා. සාපයක් නිසා එකෝ කියන දේවල් කාටවත් ඇහෙන්නේ නැහැ. එකෝගේ ආදරය නාසියස්ට දැනෙන්නේ නෑ. නාසියස් ගඟ දියෙන් තමන්ගේ රුව දිහා බලාගෙන ඉඳලම මිය යනවා. එකෝ නාසියස්ට තිබෙන ආදරය නිසා ක්ෂය වී ගොස් ඇය අවසානයේ රූපයක් නොමැති හඬක් බවට පත් වෙනවා. මේක තමයි මේ ගීතයේ පද සංකල්පයේ කතාව. නාසියස් සංකල්පය වර්තමාන සමාජයට ගළපාගෙන තිබෙනවා. දැන් කාලේ සෙල්ෆිවලින් කරන්නෙත් තමන් තමන්ගේ රූපයට ප්‍රේම කිරීමක්.
'මම දෝංකාරයයි' ගීතයේ මියුසික් වීඩියෝවත් රැල්ලට නොයෙන වෙනස් හැඩයක නිර්මාණයක්. එහි ආලෝකයත් මේ ගීතයට ලැබුණා නේද?
ඔව්. මේ වීඩියෝවේ සංකල්පයත් හඳගම අයියගේ. එක දවසක් ඇතුළත මේ වීඩියෝව ෂුට් කළාට ඒ වෙනුවෙන් පුහුණුවීම් ගණනාවක් කරන්න වුණා. එක කැමරා ෂොට් එකකින් තමයි මේ රංගනය එකතු වෙලා එළියට එන්නේ. එක කැමරා ෂොට් එකක් ඇතුළේ රඟපාන්න මමයි චිත්‍රාල් අයියයි මහන්සි වුණා වගේම ඒ වෙනුවෙන් පිටුපස විශාල පිරිසක් මහන්සි වුණා. ඉතිං ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි දැන් මේ තියෙන්නේ.
අශෝක හඳගම කියන අධ්යක්ෂවරයා යටතේ වැඩ කරන්න පහසු වුණාද?
ඇත්තටම ඔහු එක්ක වැඩ කරන්න පහසුයි. මීට කාලයකට උඩදී ඔහු මට ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළා. හැබැයි ඒ අවස්ථාව මට ගිලිහුණා. ඒ ගැන මට පසුතැවීමක් තිබුණේ. නමුත් ඔහු සමඟ නැවත වැඩක් කරන්න ලැබීම ගැන සතුටක් තිබ්බේ. ඔහු සොඳුරු ආඥාදායකයෙක් වගේ. මගේ පළමු සංගීත වීඩියෝව ප්‍රවීණ අධ්යක්ෂවරයකු සමඟ කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම චන්න දේශප්‍රිය වගේ ප්‍රධාන පෙළේ කැමරා අධ්යක්ෂවරයා සහ තවත් ප්‍රවීණ සහ දක්ෂ පිරිසක් මේ නිර්මාණය වටා එකතු වුණා. කලාවට තිබෙන ආදරයට සහ අලුත් දෙයක් කරන්න තිබ්බ වුවමනාවට තමයි ඔවුන් මහන්සි වුණේ.
මේ ගීතය මේ වෙන කොට රසිකයන් දිනාගෙන තිබෙන පසුබිම ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්. අද මේ ගීතය ගැන බොහෝ දෙනා කතා කරනවා. ගීතය අහපු අය කියන්නේ හොඳ උසස් නිර්මාණයක් රසවිඳින්න අවස්ථාව ලබලා දීපු එක ගැන. ඒ ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටක් දැනෙන්නේ.
ඔබේ නිර්මාණයක් පසුගිය කාලේ නොඇසුණේ ඔබ නිර්මාණ නොකළ නිසා නෙවෙයිනේ. ඇත්තටම මොකක්ද එතකොට සිද්ධ වුණේ?
ඒක කරපු නිර්මාණවල තිබුණ අඩුපාඩුවක් නෙවෙයි. මම කොහොමත් අවරගණයේ නිර්මාණ කරන කෙනෙක් නෙවෙයි. ගීත කළත් ඒවාට රූප රචනා කරන්න තරම් මගේ අතේ මුදල් තිබ්බේ නැහැ. ඒ නිසා ඒ ගීත මගේ ගීත එකතුවේ රැඳෙන ගීත බවට පමණක් පත්වුණා.
මම පසුගිය කාලේ පත්තිනි කියලා ගීතයක් ගායනා කළා. ජැක්සන් ඇන්තනී තමයි ඒ ගීතය ලිව්වේ. සමන් පෙරේරා තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ 'පුතුනි මේ නැළවිල්ල නුඹටයි' කියන ගීතයත් නිර්මාණය කළා. ඒ වගේ නිර්මාණ කිහිපයක්ම පටිගත කර මගේ ගීත එකතුවේ තියාගෙන ඉන්නවා.
ඒ ගීතවලට මාධ්‍යවල ඉඩකඩ ලබාගන්න ඔබ මහන්සි වුණේ නැද්ද?
මම ඒ ගීත අරගෙන මාධ්‍යවලට ගිහින් නැහැ. ඒ ගීතවලට ප්‍රචාරයක් අරගෙන දෙන්න තරම් මුදල් මං ළඟ නැහැ. 2010දී මම 'සඳ පහන් රැයේ' කියන මගේ පළමු සංයුක්ත තැටිය එළිදැක්වූවා. ඒ සංයුක්ත තැටියේ ගීත මාධ්‍යවලට අරගෙන ගියාම මේවට විෂුවල් තියෙනවද කියලයි ඇහුවේ. අද සංගීත කලාව නෙවෙයි ප්‍රචාරණ කලාවක් තියෙන්නේ. ඒක බිස්නස් එකක් වෙලා තියෙන්නේ. ඒ බිස්නස් එක මට හරියට කරන්න තේරෙන්නේ නැහැ.
ඉදිරියට කරන්න සැලැසුම් කරගත් වැඩත් ඇති?
මම ඒපබ ඉධභදඤ කියලා ඇකඩමියක් කරනවා. පසුගිය කාලේ එහි ප්‍රසංගයක් කළා. ලබන වසරෙදිත් ඒ ඇකඩමියේ දරුවන් එකතු කරගෙන ප්‍රසංගයක් කරන්න ඉන්නේ. අලුත් ගීත රැසක් එහිදී ගැයෙයි. එයට හොඳ උත්තේජනයක් මේ ගීතයෙනුත් ලැබිලා තිබෙනවා. ඒ වගේම අලුත් සංයුක්ත තැටියක් නිර්මාණය කරන්නත් ඉන්නවා. මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන මේ වැඩකටයුතු හිමින් කරගෙන යනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම