යුරේනි නොෂිකා සිය පළමුවැනි සිනමා කෘතියෙන්ම හොදම සහාය නිළියට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූවාය. ඒ 2017 වසරේ තිරගත වූ නිනෝ ලයිව් චිත්‍රපටය වෙනුවෙනි. ඒ පිළිබඳවත් සිනමාව පිළිබඳවත් ඇයට කීමට ඇති දේ බොහෝය. අපි ඉන් කොටසක් මෙසේ සටහන් කරමු.
මෙවර ඔබේ පරපුරේ ශිල්පීන්ට සරසවිය සම්මාන රැසක් වෙන් වුණා?
හරිම සතුටුයි. මොකද ම හැමදාම දුටු දුර්වලකමක් තමයි ලංකාවේ සිනමාවේ හැම උලෙළකම නවකයන්ට දුන් තැන හරිම අඩුයි. ප්‍රවීණයන්ට අප ගරු කරන අතරම නවකයන් මේ සිනමාව ඉදිරියට ගෙනයන බවත් මතක තබා ගත යුතුයි.
මෙය ඔවුන්ට බරක් නොවේද?
අනිවාර්යයෙන්ම ලොකු වගකීමක්. ලංකාවේ පැරැණිම උලෙළක් වගේම අන් කිසිවකට සම කළ නොහැකි සරසවිය සම්මානය ලබා ගැනීමෙන් පසු ඒ ප්‍රමිතිය නඩත්තු කිරීමට සහ තමන් කරන කියන හැම දේ ගැනම වගකීමක් තිබෙනවා සම්මානයේ ගෞරවය රැක ගැනීමට.
මොකද හිතෙන්නේ 'නිනෝ ලයිව්' ගැන?
ඇත්තෙන්ම මම හරිම ආසාවෙන් කළ චිත්‍රපටයක්. අනෙක මගේ පළමුවැනි සිනමා රංගනය. මෙය රූපගත කළේ මම මගේ පළමුවැනි ටෙලි නාට්‍යය කිඳුරංගනා රඟපාන කාලේ. ඒ කියන්නේ 2009 විතර. ඒ චිත්‍රපටය ඒ කාලේම ආවා නම් දැවැන්ත නිර්මාණයක් බවට පත් වෙනවා. අවාසනාවකට තිරගත වීම ප්‍රමාද වුණත්, අවුරුදු දහයකට පස්සේ හරි තිරගත වීම ගැන සතුටුයි.
කිඳුරංගනා සහ නිනෝ ලයිව් චරිත දෙක බොහොම වෙනස්?
ඔව් සම්පූර්ණයෙන්ම. කිඳුරංගනාවල මම කළේ බොහොම කැපී පෙනෙන, ලස්සන චරිතයක්. ඒකට හාත්පසින් ම වෙනස් නිනෝ ලයිව් ලුලුගේ චරිතය බොහොම අවලස්සන, තරමක් ග්‍රාම්‍ය, තැන්පත් වගේ හරි වෙනස් එකක්. ඉතින් හරි සුන්දර මතකයන් නිනෝ ලයිව් එක්ක තිබෙන්නේ.
මේ ඔබේ පළමුවැනි සරසවි සම්මානය?
ජීවිතේට හිතුවේ නෑ මට සරසවි සම්මානයක් ලැබෙයි කියලා. මොකද ලංකාවේ සරසවි සම්මාන කියනකොට මට හැඟෙන්නේ දැවැන්ත වැඩ කරන ප්‍රවීණ විද්වතුන්ට පමණක්ම වෙන්වුණ සම්මානයක් කියලා. ඉතින් යුරේනි නොෂිකා වගේ කෙනකුට සරසවිය සම්මානයක් ලැබුණු එක ගැන පුදුම සතුටක් තියෙන්නේ. මොකද මම කලාවට බොහොම ආදරේ කරන කෙනෙක්. ඒ වගේම ජීවිතේ ගොඩාක් දේවල් මම කලාවෙන් ලබාගෙන තිබෙනවා. ඒ නිසා කලාවට මගෙන් යමක් කෙරෙන්න ඕන කියන හැඟීම මට තිබෙනවා. ඒත් හිතේ පොඩි දුකකුත් තිබුණා කලාව වෙනුවෙන් මෙච්චර කැපවෙද්දි කිසිම ඇගයීමක් මේ රටේදි නොලැබීම ගැන. මම හිතුවේ මට නම් ජීවතුන් අතර ඉන්නකල් සම්මානයක් ලැබෙන්නේ නැති වෙයි කියලා. ඒත් මේ වසර නම් වාසනාවන්ත වසරක් වුණා. කලාකාරිනියක් ලෙස ආඩම්බරයෙන් ජීවත් වෙන්නත්, කලාවෙන් සමුගන්නවා නම් අභිමානයක් ඇතිව ඒ දේ කරන්නත් සරසවිය සම්මාන ලාභියෙක් ලෙස මට පුළුවන්. මට තව ලොකු ගමනක් තිබෙනවා යන්න. මම ආසාවෙන් ඉන්නේ ජාත්‍යන්තරයක් එක්ක යන ගමනකට. ලංකාවේ කලා නිර්මාණ කිසිසේත්ම අඩුකොට සලකනවා මම කැමති ඔස්කා වගේ උලෙළකදී ලංකාව නියෝජනය කරන්න. ඒක තමයි මට තිබෙන අන්තර්ජාතික හීනය.
ඒ සඳහා ඔබට බොහෝ මහන්සියක්, කැපවීමක් කරන්න වෙයි?
ඔව් මම ඒ සඳහා පොඩි පොඩි අඩිතාලම් දමමින් ඉන්නේ. මහන්සි වෙනවා. කවදා හරි ඒ සිහිනය සැබෑවෙයි කියන අපේක්ෂාවෙන්.
ඒ කියන්නේ ඔබ රංගනය හදාරනවාද වැඩිදුරටත්?
නැහැ. ඇත්තටම අපේ වයසත් එක්ක රංගනය ඉගෙන ගන්න කාලයක් දැන් නෑ. ඒත් අන්තර්ජාතික නිෂ්පාදනායතන තිබෙනවා, කාස්ටිං ඒජන්සීස් තිබෙනවා. ඒවා සමඟ සම්බන්ධතා පවත්වමින් පිටරටවල ඔඩිෂන්වලට සහභාගී වනවා. උත්සාහය අතහරින්නේ නෑ. බොලිවුඩ් හෝ හොලිවුඩ් තමයි ඉලක්කය.
ඔබ චරිතයකට ආරූඪ වන්න මොනවගේ ක්‍රම ද යොදා ගන්නේ? කොහොමද හදාරන්නේ?
සමහර දේවල් තිබෙනවා මට මගේ ජීවිතේ අවස්ථා මතක් වෙනවා. සමහර විට මට නැරඹූ චිත්‍රපටයක් මතක් වෙනවා. ඒ වගේ අපේ ජීවිතේ අත්දැකීම් ලබද්දී, විවිධ සමාජ පරිසරයන්ට, අවස්ථාවලට නිරාවරණය වුණාම තමයි විවිධ චරිත නිරූපණය කරන්න අපට හැකියාව ලැබෙන්නේ. අමතරව අපි පිටපත කියවද්දි මැවෙන චරිතය සමඟ අප පෙර දුටු චරිතයක් සැසඳෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නැත්නම් අධ්යක්ෂවරයා අවබෝධ කර දෙන ආකාරය අනුව තේරුම් ගන්න. හැබැයි මම වඩාත් කැමති නිදහසේ රඟපාන්න. මේ දෙබස කියද්දි අතන්ට යන්න ඊළඟ දෙබසෙදි කෝප්පය මෙසෙන් තියන්න කියලා සීමා කරනවාට වඩා අපේ නිදහසේ රඟපාන්න දීලා අපි චරිතෙන් පිට පනිනවා නම් ආපසු පීල්ලට දාන එකටයි මම එකඟ. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා චරිතයේ ජීවත් වෙන්නයි මම කැමති. හැබැයි අද ශිල්පීන්ට සීමා පැනවෙනවා මූල්‍යමය සාධකය නිසා. දවසකට සීන් මෙපමණ ඉවර කළ යුතුයි කියන තැනට ආවාම කිසිම රසඥතාවයකින් තොරව රඟපාන්න වන අවස්ථාත් තිබෙනවා.
රංගන පාසලක් තිබුණා නම් හොඳද?
අනිවාර්යයෙන්ම ඔව්. අවාසනාවකට ලංකාවේ එහෙම හරි තැනක් නෑ, ඒත් මම බැලුවා නිව්යෝක් ඇකඩමි එක පවා. හරි අමාරුයි ප්‍රායෝගිකව ඒ ආයතනවල පූර්ණ කාලීනව රංගනය හදාරන්න කාලය වෙන් කරන්න. ඒ නිසා මට තවත් හීනයක් තිබෙනවා මට අන්තර්ජාතික තලයට යන්න හැකි වුණොත් මේ රටට, රටේ තරුණ පරපුර මේ ක්ෂේත්රය සඳහා සූදානම් කරවන, දක්ෂතාවන් හඳුනාගෙන ඒවා ඔප මට්ටම් කරන ආයතනයක් ගොඩ නඟන්න. මොකද අපේ තරුණ තරුණියන් සම්මුඛ සාකච්ඡාවකට ගියත් අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. ඒවාට පිළියම් යෙදිය හැකි හොඳ කලාකරුවන් බිහි කරන ස්ථානයක් ගොඩ නඟන්න පොඩි හීනයක් තිබෙනවා.
තවත් හීන තිබෙනවාද ඔබට?
ඔව්. ඔව්. (සිනාසී) මගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟන්න මට ලොකු හීනයක් තිබෙනවා.
සහය නිළියගෙන් මිදිලා ප්‍රධාන චරිතයක් කළා ඔබ?
නයට් රයිඩර් - එය වාණිජ සහ කලාත්මක මිශ්‍ර නිර්මාණයක්. ලස්සන චිත්‍ර පටයක්. වැඩේ ඉතින් කවදා තිරගත වෙයිද කියන එක තමයි.
ඔබ හිතන විදිහට ඔය ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද?
එකක් සමහර චිත්‍රපට අවශ්‍ය ගුණාත්මක බව ප්‍රමිතිය අතින් අඩුයි. ඒ චිත්‍රපට තිරගත වන්න කල් යනවා. ඒක මම දකින්නේ එක අතකින් හොඳ දෙයක් විදිහට මොකද ඉදිරියට හැදෙන චිත්‍රපට 'තිබ්බා ගැහුවා' ක්‍රමයට අටවන්නේ නැතිව ප්‍රමිතිය පවත්වා ගන්න එය හේතු වන නිසා. ඒත් මේ රටේ තිබෙනවා තවත් ප්‍රශ්නයක් එක රැල්ලක් පටන් ගත්තට පස්සේ ඒ රැල්ලේ චිත්‍රපටවලට තමයි අවස්ථාව දෙන්නේ. ඒවා තමයි දුවන්නේ කියලා හිතනවා. සිනමාව කියන්නේ එක වර්ගයකට අයිති නිර්මාණයක් නෙවෙයි. ක්‍රියාදාම, හාස්‍යෝත්පාදක, කලාත්මක, විද්‍යාප්‍රබන්ධ, හාස්‍යෝත්පාදක ප්‍රේම කතා වගේ විවිධ ගණයේ චිත්‍රපට සියල්ලම එයට අයිතියි. ඒ නිසා සිනමාවේ අලුත් දෙයක් කරන අයට ඉඩ දෙන්න ඕනා. අනෙක් කාරණේ අවාසනාවකට අපේ චිත්‍රපටවලට තරග කරන්න සිදු වෙලා තිබෙන්නේ පිටරට ඒවාත් සමඟ. තවත් එකක් රටේ තිබෙන සිනමා ශාලා කෙතරම් දුරට ප්‍රේක්ෂකයන්ට වැදගත් විදිහට ගිහින් බලන්න පුළුවන් මට්ටමේ පවතිනවාද කියන දෙය. කොළඹ පවා සිනමා හල් එක ප්‍රමිතියකට ගේනවා නම්, සර්කිට් ගණන වැඩි කරන්න, පිට රට ආයෝජකයන් හෝ ගෙන්වා සිනමා ශාලා සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් නම් අඩු ගානේ ප්‍රමාදය අඩුවෙයි. ඒ වගේම සාධාරණ තීරණ ගන්න ස්වාධීන කමිටුවකින් මේ කටයුතු පාලනය වෙන්න ඕනේ.
කමිටුවක්ද ජාතික ප්රතිපත්තියක්ද?
ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා නම් හොඳයි. ඒත් ඒකට රජයේ පූර්ණ සහයෝගය අවශ්‍යයි. මේ වෙද්දි අඩුගානේ කලාකරුවන්ට එකමුතුවකවත් හරියට නෑ තමන්ගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා වෙන්නේ නෑ. අයවැයෙන් පොඩි හරි විශේෂයක් මේ වෙනුවෙන් කරන්නේ නෑ. කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන්, අලුත් අධ්යක්ෂවරුන් දිරි ගැන්වීම වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙයි අලුත් අයට අලුත් නිර්මාණයක් සඳහා අත තබන්න. අපේ නිර්මාණකරුවන්ගේ හැකියාවල ප්‍රශ්නයක් නෑ.
අද සිනමාකරුවන් බොහෝ දෙනකු කරන්නේ පිටරට උලෙළ සඳහා චිත්‍රපට නිපදවීම කියලයි සමහරු චෝදනා කරන්නේ?
ඉතින් ඒ අය හම්බ කරගන්නේ ඒ උලෙළවලට ඉදිරිපත් වීමෙන් නේ... මම ඔවුන්ගේ පැත්තේ වරදක් දකින්නේ නෑ. මොකද ලංකාවේ චිත්‍රපටයක් තිරගත කරලා හම්බ කරන්න බැරි මුදලක් ඒ අය උලෙළවලින් උපයනවා. ලංකාවේ සිනමා කර්මාන්තය ශක්තිමත් නම් ඔවුන්ට එහෙම කරන්න වෙන්නේ නෑනේ...
නිෂ්පාදකයන් පිළිබඳ ප්‍රශ්නයකුත් තිබෙනවා?
ඇත්තටම අපේ නිෂ්පාදකයන් රැක ගන්නත් අපේ අධ්යක්ෂවරුන් දැන ගන්න ඕනා. ඒ අයගේ තිබෙන වත්කම් ඉවර කරලා පාරටම ඇදලා දැම්මාම කොහොමද අනෙක් අය බය නොවී ඉන්නෙ. ඒ නිසා ලැබෙන මුදල් හරි ආකාරව කළමනාකරණය කරලා විශ්වාසය රැකෙන පරිදි කටයුතු කරන්නත් වගකීම තිබෙන්නේ අධ්යක්ෂවරුන්ටම තමයි. එතනත් ප්‍රශ්න තිබෙනවා.
ඔබ චරිත තෝරා ගැනීමක් කරනවාද?
කරනවා... හැබැයි ලංකාවේ සිනමාව සහ ටෙලි නාට්‍ය කියන ක්ෂේත්රවල තෝරාගන්න ලොකු පරාසයක් නෑ. එනිසා රැල්ලක යන්න වෙලා තිබෙනවා අකමැති වුණත්. මොකද වෙනස් දේවල් කරන්න කොච්චර ආසා වුණත් ඒ සඳහා බලා හිටියොත් හැරමිටියෙන් යනකල්ම ඉන්න වෙයි. තරුණ වයසේ හම්බ කරගන්න බැරි වෙයි.
එහිදී ඔබ රංගනය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්නවාද?
ඔව්. එතැනදි අභියෝගය කියන දෙයත් සමඟ නිරුවත කියන ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ නිරුවත කියන දේ හරි වෙනස්. බටහිර චිත්‍රපටවල අපි ඕනෑ තරම් නිරුවත දකිනවා හැබැයි එතැන අපි දකින්නේ කලාවක් මිස 'වල් කමක්' හැටියට නොවෙයි. නිළියකගෙ ශරීරය ගැන කතා වෙන්නේ ඒ චරිතයට කෙතරම් සාධාරණයක් ඉටු කළාද කියන දේ පමණයි. ඒත් අවාසනාවකට ලංකාවේ අපට රිසි සේ එහෙම චරිතයකට පණ පොවන්න බෑ. අනෙක කැමරාකරු නිළිය හසු කර ගන්නා කෝණය සහ අධ්යක්ෂවරයා යොදා ගන්නා අවස්ථාව අනුව ඔවුන්ගේ ඇසින් බලන විදිහ පළමුකොට වැරදුණොත් ප්රේක්ෂකයාත් එය දකින්නේ වැරදියටමයි. ඒ නිසා එවැනි චරිතයකදී අධ්යක්ෂවරයා සහ කැමරාකරු පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්.
අද නව තාක්ෂණය නිසා දුරකථන මඟින් පවා සිනමා කෘති තනන මට්ටමක් ඇවිත්?
මම නම් එය වෘත්තීය මට්ටමක් ලෙස ගෙන සිනමා ශාලාවල තිරගත කරන්න සුදුසුයි කියා හිතන්නේ නෑ. මට හිතෙනවා ඒ අය වෙනමම ඇගයීමකට ලක් කිරීම සුදුසුයි කියලා. ප්‍රධාන ධාරාවේ සිනමාව සඳහා ලෝකයට යද්දි ඔය දේ කරන එක එතරම් සුදුසුයි කියලා මම හිතන්නේ නෑ. මොකද මේ රටේ සිනමාව ලෝකයට ගිය ස්වර්ණමය යුගයක් අපට තිබුණා. අද අහසට පොළොව වගේ ඒ වෙනස වැඩි වෙලා. නැවත අපි ඒ තත්ත්වයට සිනමාව ගන්න නම් අප නිවැරැදි ප්‍රමිතියෙන් යුතු සිනමාවක් කළ යුතුයි.
නිළියක් ලෙස ඔබ අපේ තිර පිටපත් රචනයේ යම් අඩුපාඩු දකිනවාද?
පිටරටවල තිර රචනාවට වෙනම පිරිසක් ඉන්නවා. පළමු කටු සටහන හදන්නේ එක් කෙනෙක්. ඒ කතාවේ පසුබිම සොයා එය වර්ධනය කරන්නේ තව කෙනෙක්. ඒ සියල්ල එක් කර අවසන් පිටපත සකසන්නේ තවත් එක්කෙනෙක්. ඒත් අපේ රටේ ඒ විෂයට විශාල අඩුවක් තිබෙනවා. බොහෝ විට අධ්යක්ෂමයි පිටපත ලියන්නේ. සමහර විට ලියන ගමන් අධ්‍යක්ෂණය කරන්නේ.. එයට හේතුව තිර රචනය පිළිබඳ නිස හැදෑරීමක් නැතිකම. එය විශාල අඩුවක්. ඒ නිසාමයි පිටරටවල චිත්‍රපට ආදිය අනුකරණය කරන්නේ.
ඔබ හිතන්නේ ඉදිරියේදී මේ දේවල් වෙනස් වෙයි කියලද?
මම හිතනවා එහෙම වෙයි කියලා. ඒ සඳහා අපේ පරපුර රැල්ලට යන නිර්මාණවලට බැහැ කියන්න කොන්ද පණ තිබෙනවා නම් හොඳ නිර්මාණවලට ඉඩ හැදෙන එක නවත්වන්න බෑ. හැබැයි ඒක කරන්න හරි අමාරුයි. දැන් පඳුරකට ගැහුවත් නළු නිළියන් ඉන්න තත්ත්වෙට පත්වෙලා තිබෙන වාතාවරණයක ප්‍රමිතියකින් යුතුව දක්ෂයන් තෝරා බේරා ගැනීමත් ක්ෂේත්රයේ නියැලෙන්නන්ගේම වගකීමක්.
සමහරු කියනවා අද කලාකරුවන්ට ශිල්පීය වටිනාකමක් නෑ කියලා?
තමන් ඇති කර ගන්නේ නැත්තේ ඇයි ඒ දේ... ඒ ගැන කාටවත් දොස් කියලා වැඩක් නෑ. රටේ ශිල්පීය වටිනාකමක් ඇති කර ගන්න තමන් ඒ විදිහට කටයුතු කරන්න ඕනා. සමහර කලාකරුවන් අතිදක්ෂයි. එත් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා ගැන විශ්වාස කරන්නේ නෑ. මම අහන්නේ කලාවේ නාමයෙන් දුක් විඳීන්නේ ඇයි මේ අය? සමහරු රැඩිකල් කියලා හිතලා ප්ලේන්ටියට වඩේ එකට රඟපානවා. මම ඉන්නේ ඊට වඩා වෙනස් තැනක. අපේ යාළුකම් වෙනයි. වෘත්තියේදී එකිනෙකා අනෙකාගේ වෘත්තීය ගෞරවය රකින්න ඕනා. ඒ සඳහා නියම වටිනාකම ගෙවන්න ඕනා. අනෙක තමන්ට තමන් ගැන නිසි තක්සේරුවක් ඇතිව කොන්ද පණ තියාගෙන තමන්ගේ වටිනාකම තියාගන්න දැන ගන්න ඕනා. කලාකරුවන් කියන්නේ දෙවියනේ යාචක පිරිසක් නම් නොවේ. දැක්මක් ඇතිව වැඩ කරනවා නම් ඒ තත්ත්වයට වැටෙන්නනේ නැතිව ඉතා හොඳීන් ජීවිතේ ගෙවන්න කලාකරුවන්ට අපේ රටේ අවස්ථාව තිබෙනවා. පෞද්ගලික ජීවිතේ තමන් මොනවා කළත් එය තමන්ගේ වෘත්තියට කලාවට ගෙනෙන්නේ නැතුව විනයකින් කටයුතු කරනවා නම් ඔය දේ වෙන්නේ නෑ. අනෙක හදිසියේ මේ ගමන යන්නත් බෑ. තුන්වේලටම කහට තේ එකයි විස්කෝතුයි විතරක් කකා හිටිය කාලයක් මටත් තිබුණා. හැබැයි ඒ කටු කද්දිත් මට විශ්වාසයක් තිබුණා කවදා හරි මේ කැපවීමට ලැබීමකුත් තිබෙයි කියලා. මම මේ සම්මානය දිනා ගන්නේ වසර 11ට පස්සේ. මගේ ගමන හෙමින් හැබැයි ස්ථාවරයි.
සටහන - අරුණි මුතුමලී
සේයා රූ - නිශ්ශංක විජේරත්න
සරසවිය