මෙරට චිත්‍රකලාවේ පතාක යෝධයකුගේ සමුගැනීමක් මීට සතියකට පමණ පෙර සිදු වුණා. පසුගිය 17 වැනිදා සදහටම දෙනෙත් පියාගත් ඔහු, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බළන්ගොඩ සරත් මධුයි. 70 සහ 80 දශකයන්හිදී අතිශය ජනප්‍රියත්වයට පත්වූ චිත්‍ර කතාකරුවකු වූ සරත්මධු, පාඨකයන්ගේ අසීමිත ප්‍රතිචාර ලැබූ චිත්‍ර කතා රැසක් එකල නිර්මාණය කළා.
ඉතින් ඊට පස්සේ සහ යුනිකෝ වැනි චිත්‍ර කතා ඒ අතරින් ප්‍රධානයි. සතුට, සිත්තර, සත්සිරි, දසුන, හිතවත, ඇතුළු චිත්‍ර කතා පුවත්පත් රැසකට සරත් මධු සිය දායකත්වය ලබා දුන්නා. 1949 මැයි 18 වැනිදා සරත් බැද්දගේ නමින් උපත ලැබූ ඔහු, බළන්ගොඩ සරත් මධු යන සිය අන්වර්ථ නාමයෙන් රටම දන්නා හඳුනන චිත්‍ර ශිල්පියෙකු බවට පත් වූයේ තමන් උපතින්ම ගෙන ආ විශිෂ්ට ප්‍රතිභාව නිසාම බව අමුතුවෙන් කිව යුතු නැහැ.
අයියා තමන්ගේ ගෝලයන්ට දැඩි පුහුණුවක් ලබා දීපු චිත්‍ර කලා ගුරුවරයෙක්. ඔහු මට මුලින්ම චිත්රකලාවට අනුබල දුන්නේ නැහැ. හැබැයි පස්සේ මගේ දක්ෂතා දැකලා දැඩි පුහුණුවක් යටතේ මට චිත්‍ර කලාව හුරු කළා. මට චිත්‍ර කලා ගුරුවරු දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් බන්ධුල හරිස්චන්ද්‍ර මහත්තයා. අනික් කෙනා මගේ අයියා. අපේ අතින් යම්කිසි රූපයක් නිවැරදිව සිතුවම් වුණේ නැතිවුණොත් ඒක ආපහු මුල ඉඳන්ම අඳින්න කියලා අයියා නියෝග කරනවා. එහෙම කීප වතාවක් ඇඳලා නිවැරදි රූපය ලැබුණාම තමයි අයියා සෑහීමකට පත් වෙන්නේ. මෙහෙම කියන්නේ සරත් මධු මහතාගේ බාල සොහොයුරා වන, ප්‍රවීණ චිත්‍ර ශිල්පී සිනෙත් බැද්දගේයි. දරුවන් සත්දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා වූයේ සරත් මධුයි. ඒ තම සොහොයුරා සමග ගෙවූ අතීතය ඔහු මෙලෙස සිහිපත් කළා.
1967 වසරේ රාජ උදහස නමැති චිත්‍ර කතාව අඳිමින් තමයි අයියා චිත්‍ර කතා කලාවට පිවිසුණේ. එතකොට අයියා පාවිච්චි කළේ සරත් බැද්දගේ කියන තමන්ගේ ඇත්තම නම. 1972 දී සතුට පත්තරේට නියුරෝ කියන චිත්‍ර කතාව අඳිද්දී තමයි අයියා චිත්‍ර කලාවේදී බළන්ගොඩ සරත් මධු කියන අන්වර්ථ නාමය භාවිත කරන්න පටන්ගත්තේ.
70-80 දශකයන් හිදී සරත් මධුගේ චිත්‍ර කතා වටා විශාල පාඨක පිරිසක් නිර්මාණය වුණා. මේ හේතුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් සහිත චිත්‍ර ශිල්පියකු බවට ඔහු එකල පත් වුණා. 80 දශකයේදී මෙරට වැඩිම ආදායමක් ලැබූ චිත්‍ර ශිල්පියා බළන්ගොඩ සරත් මධු බවද ප්‍රකට කාරණයක්. ඔහුගේ සොහොයුරා එම අතීතය සිහිපත් කළේ මේ විදිහටයි.
හුඟක් ආයතනවලින් අයියා ඉවත් වුණේ වැටුප් ප්‍රශ්න නිසයි. මොකද ඒ කාලේ හුඟක් චිත්‍ර කතා පුවත්පත් ආයතන හිමි කරුවෝ චිත්‍ර කතා කරුවන්ගේ හැකියාව සහ මහන්සිය නිසා පොහොසත් වුණාට ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් ගෙව්වේ නැහැ. මේ අසාධාරණයට විරුද්ධව අයියා සටන් කළා. මේ නිසා ඒ කාලේ අනික් චිත්‍ර කතා කරුවන්ටත් හොඳ මාකට් එකක් හැදුණා. සිනෙත් බැද්දගේ එසේ පවසනවා.
බළන්ගොඩ සරත් මධු සිය ජීවිතයේ අවසන් සමය රෝගාතුරවයි ගත කළේ. ඔහුගේ අවසන් කාලය පිළිබඳව බොහෝ දෙනා නොදන්නා රහසක්ද ඔහුගේ සොහොයුරා මෙලෙස හෙළි කළා.
අයියා ජීවත් වූ අවසන් වසර හරියට ඔහුට ලැබුණු බෝනස් කාලයක් විදිහටයි මම දකින්නේ. මොකද 2017 වසරේ අගෝස්තු 16 වැනිදා රාත්‍රි 2ට හෘදයා බාධයකින් ඔහු ජීවිතයට සමු දුන් බවක් අපි දුටුවා. කෙනෙකුට විශ්වාස කරන්න අපහසු වුණත් මේක මමත් ඇසින් දුටු සහ අත් විඳපු සත්‍ය සිදුවීමක්. අයියාගේ කකුලේ ඇතිවෙලා තිබුණු තුවාලයට බෙහෙත් ගන්න අපි එදා කොස්ගමට ගියා. ඒ අතරතුරයි අයියාට හෘදයාබාධයක් ඇති වුණේ. අයියාව රෝහලකට ඇතුළත් කරලා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙද්දී එක්තරා අවස්ථාවක අයියා සම්බන්ධ කරලා තිබුණු යන්ත්‍ර සියල්ලේම ප්‍රශ්නාර්ථ ලකුණු සටහන් වුණා. වෛද්‍යවරු අයියාගේ ජීවිතය බේරා ගැනීමේ උත්සාහය අත්හැර දැමුවා. ගෙදර අයත් අයියාගේ අවසන් කටයුතු කරන ආකාරය ගැන සැලසුම් කළා.
ඒ වෙලාවේ මම අයියගේ චුති සිත නැතහොත් ඊළඟ ආත්මය යහපත් එකක් බවට පත්වීම පිණිස ඔහුව ළං කරගෙන බණක් කිව්වා. හැමෝම පුදුමයට පත් කරමින් ටික වේලාවකට පස්සේ අයියා නැවතත් ඇස් ඇරියා. අයියා මට කියන්නේ චුට්ටා කියලා පස්සේ අවස්ථාවක අයියා කියලා තිබුණා ඒ වෙලාවේ චුට්ටා මාව පපුවට තියාගෙන ඔළුව අත ගාමින් මොනවාද කියනවා මම බලාගෙන හිටියා කියලා. ඊට හරියටම අවුරුද්දකුත් දිනකට පස්සේ තමයි අයියා සදහටම දෙනෙත් පියා ගත්තේ.
කිෂාන් කනංකෙ
ලක්බිම