මෙවර සරසවිය සම්මාන උලෙළ අභිමානවත්ව නිමාවට පත්වූයේ සරසවිය සම්මාන උලෙළ වාර්තා පොතට අලුත් වාර්තා කිහිපයක්ම එක් කරමිනි. ඒ අතර චිත්‍රපට ලෝකයේ ප්‍රවීණයකු මෙන්ම ඔහුගේ එකම දියණියත් සරසවිය වේදිකාවේ සම්මානනීය වන්නට වාසනාව ලද්දෝය. ඒ වාර්තාවක් ද තබමිනි. ඒ වාසනාව උරුමකරගත් පියා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගමය.
දියණිය සඳලි හඳගමය. ඇගේ ඇස අග චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔහු 2016 වසරේ හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස පිදුම් ලබන විට සදලි දියණිය එම චිත්‍රපටයේ තම කුලුදුල් රංගනය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවේ එකම චිත්‍රපටයක් සඳහා එකම වේදිකාවකදීය. එලෙස පියකු සහ දියණියක සම්මානනීය වීමෙන් මෙවර සරසවිය සම්මාන උලෙළට අලුත් වාර්තාවක් එක් වුයේ එය මෙවර සම්මාන උළෙල ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් බවට පත්කරමිනි.
සරසවිය සම්මාන උළෙලේදී පියා මෙන්ම ඔබත් සම්මානයක් ලබන්නට වාසනාවන්ත වූවා?
ඔව්. මට හිමි වුණේ කුසලතා සම්මානයක්. ඒ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන්. එහි මම රඟ පෑවේ මහාචාර්යවරයාගේ දියණිය ලෙසයි
ඒ චරිතය ඔබට දැනුණේ කොහොමද?
මම ඒ යුවතිය දැක්කේ තාරුණ්‍යයේ එළිපත්තේ සිටින හුදෙකලා වූ යුවතියක ලෙසයි. ඇය නිරතරම කාලය ගත කරන්නේ රූපවාහිනිය නරඹමින්. ඒවගේම ඇගේ මවයි පියයි දෙන්නම සුදුයි .මේ දරුවා කළුයි. කෙට්ටුයි. දෙපැත්තටම නැති දරුවෙක්. එයා මේ හැමදෙයක් ගැනම දැනගෙනයි ජීවත් වෙන්නේ. ගෙදර සිදු වන සිදුවීම් දිහා ඇය හොඳට බලාගෙන ඉන්නේ. නිවෙසට එන කැම්පස් යුවතිය නිසා ඇගේ සැබෑ චරිත ලක්ෂණ ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. තාත්තා සහ කැම්පස් ගෑනු ළමයා අතර වෙන දේවල් ඇය දැනගෙන ඉන්නේ. මේ සිදුවීම් නිසා ඇගේ විතරක් නෙමෙයි ගෙදර හැම දෙනාගෙම ජීවිත වෙනස් වෙන්නට පටන් ගන්නවා.
මෙවැනි චරිතයක් රඟපාන එක පහසු වුණා ද?
හරිම අසීරු වුණා. මේ චරිතය මම රඟපාන කොට මට අවුරුදු 22ක් වගේ ඇති. මට රඟපාන්න ලැබුණේ අවුරුදු 15ක 16ක නව යෞවනයේ සිටින ගැහැනු ළමයකුගේ චරිතයක්. ඇගේ චරිත ලක්ෂණ අනුව හැම තිස්සෙම රවාගෙන තරහින් තමයි කාලය ගත කරන්නේ. පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. ඒ වගේ මානසික මට්ටමක් ඇති යුවතියකගේ හැසිරීම් චරිත ලක්ෂණ රංගනයක් ඇසුරෙන් ඉදිරිපත් කරන එක මට අසීරු වුණා. මොකද මම සැබෑ ජීවිතයේ දී එහෙම කෙනෙක් නොවන නිසා. ඒ චරිත රංගනයෙන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නට මට සෑහෙන කලක් ගත වුණා.
සැබෑ ජීවිතයේ ඔබ කොහොම කෙනෙක්ද?
ජීවතේ හැම දෙයක් දෙසම සතුටින් සුබවාදීව බලන කෙනෙක්.
මේ චිත්‍රපටයේ ඔබට රඟපෑමට සිදු වු අසීරුම අවස්ථාවක් මතකද?
ස්වර්ණා නැන්දට කෑගහල බණින දර්ශනයක් තිබුණා. මේ අවස්ථාව නිරූපණය කරන එක මට ඉතාම අසීරු වුණා. මොකද මට එහෙම කරන්න තියා හිතන්නවත් බැරි නිසා.
ඔබේ කලා දිවියේ ඇරැඹුම ?
මම හිතන්නේ මගේ පාසල. මගේ මුල්ම පාසල මියුසියස් විදුහල. පසුව කොළඹ ඕවර්සීස් විදුහල. එහිදී මම සිංහල හා ඉංග්‍රීසි දෙඅංශයෙන්වේදිකා නාට්‍යවලට දායක වුණා. විශේෂයෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරුවා. පසුකළෙක මම ඒ විදුහලේම වසර තුනක් පමණ ගුරුවරියක ලෙස සේවය කළා. ඉන්පසුව ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් උපාධිය හදාරන අතරම සිනමාකරණයේ හැම අංශයක් ගැනම වැඩිදුර අධ්‍යාපනය ලබන්නට මට හැකි වුණා. ඒ ඉබභඤඥදබ ජ්ඪතථඵ වලට සම්බන්ධවීමෙන්.
ඔබ කැමැති වේදිකාවටද? සිනමාවටද?
මම බිහි වුණේ වේදිකාවෙන්. නමුත් කැමරාව ඉදිරියේ රංගනය මට වඩාත් පහසුයි. කැමරාව ඉදරියේ සිදු කරන රංගනයේදී මට ඉතා පහසුවෙන් චරිතයට අනුගත විය හැකියි.
කුඩා කල සිටම සිනමාව ගැන ඇල්මක් අවබෝධයක් ඔබට ඔබේ පවුලෙන්ම ලැබෙන්න ඇති?
ඇත්තටම. මම පොඩි කාලෙ තාත්තා චිත්‍රපට කරත්දී මමත් දර්ශන තලයේ ඉන්නවා. ඒ වෙලාවල්වලදී මගේ දඟකාරකම් නිසාම තාත්තාගෙන් අනන්තවත් බැණුම් අහලා තිබෙනවා. එදා වගේම අදත් දර්ශන තලයේ රැදී ඉන්න මම හරි ආසයි. මොකද එතැන ඉන්නේ ලොකු කණ්ඩායමක්. ඒක සාමුහික ප්රයත්නයක්. ඒ වගේම මගේ තාත්තා ලෝකෙ හැම රටකම වගේ සිනමා උළෙල සඳහා සහභාගි වෙනවා. ඒ අවස්ථාවලදී තාත්තා ඒ රටවල්වල ආර්ට් චිත්‍රපට මෙරටට ගෙන එන්නට අමතක කරන්නේ නැහැ. තාත්තා රැගෙන එන ඒ හැම චිත්‍රපටයක් වගේම මමත් නරඹනවා. ඒ පුරුද්ද මට කුඩා කාලෙ ඉඳන්ම තිබුණා.
එය ඔබේ සිනමා දිවියට බලපෑවේ කොහොමද?
එය මට ලෝක සිනමාව ගැන ඉගෙන ගන්නට ලොකු පන්නරයක් වුණා. එක්එක් රටවල සිනමා කෘතියක් කියන්නේ ඒ රටේ ජන සමාජයේ සියල්ල පෙන් වන කැඩපතක් බඳුයි කියලයි මම අසා තිබෙන්නේ. රංගනය, රූපරාමු, විවිධ චරිත මම මේවා ඔස්සේ අධ්‍යයනය කළා. ඒ ඔස්සේ මට චිත්‍රපට කලාවට රංගනයට ආශාවක් ඇති වුණා.
ඔබ රංගනයට පිවිසෙනවට තාත්තා කැමැති වුණාද?
තාත්ත කැමැති වුණේ නැහැ කිසිසේත්ම. මම කලාවට කැමැති නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටියා චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව දෙන්න කියලා. එනිසා ඔහු මගේ ඉල්ලීමට අවස්ථාවක් මට දුන්නා. මම හැමවිටම කලා නිර්මාණයකට දායක වෙන්නේ එයින් ඉගෙන ගැනීමට යමක් ඇත්නම් පමණයි. තාත්තාගේ චිත්‍රපටයක ස්වර්ණා මල්ලවාරච්චි වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් එක්ක රඟපාන්න ලැබීම රංගන දිවියේ වැදගත් සංධිස්ථානයක් ලෙසයි මට හැගෙන්නේ.
ඔබේ පියාගේ චිත්‍රපටයක රඟපාමින් පියාත් දියණියත් එකම වේදිකාවේ සම්මාන හිමි කර ගත්තා ?
මගේ ජීවිතයේ මා ලද පළමු සිනමා සම්මානය. මම එදා සම්මානයක් කිසිලෙසකත් බලාපොරොත්තු වුණේ නැහැ. සම්මාන උළෙලට එන්නත් නෙමෙයි හිටයේ. ඒත් අනපේක්ෂිත අයුරින් සම්මානයක් හිමි වුණා. මම බයෙන් බයෙන් තමයි ස්ටේජ් එකට නැඟලා සම්මානය ගත්තෙත්. මට හුඟක් සතුටුයි. තාත්තටත් හුඟක් සතුටුයි. මම හිතන්නේ මේ ලංකාවේ ඓතිහාසික අවස්ථාවක්.
ඇගේ ඇස අඟ රඟපාද් දී තාත්තගෙන් ලැබුණු ගුරු හරුකම් මතකද?
තාත්තා නිතරම කිව්වේ රිලැක්ස් එකේ රඟපාන්න කියලයි. ඒක කරන්න මට හරිම අපහසු වුණා. නිතරම බැණුමුත් ඇහුවා. තරහ ගිය වාරත් අනන්තයි. මගේ තාත්තාගේ චිත්‍රපටවල රංගනය ලේහෙසි නැහැ.
මොනවද ඔබ මේ දිනවල නිරතවෙන කලා කටයුතු?
නවකතාවක් ලියමින් සිටිනවා. මීට පෙරත් මම නවකතාවක් රචනා කළා. ඒ ඉංග්‍රීසි භාෂාවෙන්. එය ෆෙයාවේ නැෂනල් ෆේස්ටිවල් එකේ දි නොමිනේට් වුණා.
ඔබේ අනාගත බලාපොරොත්තු?
මම කැමතියි මගේම චිත්‍රපට අධ්යක්ෂණයට යොමු වෙන්නට. ඒ වගේම විවිධ ලිපි පුවත්පත්වලට ලියන්නත් , නවකතා කෙටි කතා ලියන්නත් විවිධ විෂයන් ගැන හදාරන්නටත් ඉගෙන ගන්නත්. මේ හැමදේටම හෙවණැල්ලක් සේ මා පසුපස ඉදිමින් මට දිරි දෙන්නේත් මට හැමදේටම උදව් කරන්නේත් ඒ සඳහාඅවශ්ය අවකාශය සලසා දෙන්නේත් ආරක්ෂාව දෙන්නේත් මගේ තාත්තා. තාත්තා හරිම කැමැතියි මම ලියනවාට. ඉගෙන ගන්නවාට.
සටහන තුෂාරි නේරංජා වික්‍රමසිංහ
සරසවිය