ප්රිහානුත් අලුත් ගීතයක් කරලා. කාලයකට පස්සේ නේද අලුත් නිර්මාණයකින් රසිකයන් අතරට ආවේ..?
අවුරුදු අටකට පස්සේ තමයි මම ගීතයක් කරන්නේ. ඒ "යන්න එපා සුදෝ" ගීතය. මට ආස හිතුණ, මට දැනුණ නිර්මාණයක් තමයි මම කළේ. කරන දෙයක් හදිසියෙන් කරන්න ඕනේ නෑ. අවුරුදු අටකට පස්සේ කළ දේ තමයි මට තියෙන ලොකුම සතුට.
යන්න එපා සුදෝ කිව්වේ කාටද..?
ඒක සිඩ්නි අයියාගෙන් තමයි අහන්න ඕන. මේ ගීතය අවුරුදු දෙකකට විතර කලින් හැදුණේ. සිඩ්නි අයියා ඒ ගීතයේ වචන ටික ලිව්වට පස්සේ මම ඒක කියනවා කියලා තීරණය කළා.
ගීතයක් කරන්න මෙච්චර කාලයක් ගත වුණේ..?
සමහර දේවල් අපිට තීරණය කරන්න බෑ. දෙවියන්ට තමයි තීරණය කරන්න පුළුවන්. හරි වෙලාවටම කරන්න අවශ්‍ය දේ කළා කියලා මට හිතෙනවා. කලබලෙන් දෙයක් කරනවට වඩා මේ වගේ වැඩක් කරන එක හොඳයි කියලා හිතෙනවා.
මියුසික් වීඩියෝවත් අමතක කරන්න බෑ. සෙනාලිව මේ වැඩේට සම්බන්ධ කරගන්න හිතුවේ..?
සෙනාලි මේ නිර්මාණයට කැමැත්තෙන්ම සම්බන්ධ වුණා. වීඩියෝවට ගොඩක් ප්රතිචාරතියෙනවා. ඒකෙන් ලොකු වෙනසක් ඇවිත් තියෙනවා. සෙම්බුවත්ත ලේක්හි තමයි මෙය රූගත කළේ. ඒකත් බොහෝ අයගේ ආකර්ෂණය දිනාගන්න හේතුවක් වුණා.
නතාශයි ප්‍රිහානුයි එකම කාලේ ගීත රිලීස් කළේ සැලසුම් කරලද..?
ඇත්තටම ඒක සැලසුම් කරපු වැඩක් නෙවෙයි. අපි දෙන්නගේම ගීත කළේ එකම සංගීතඥයා. ඒ තමයි ඒ-ඛ සෙරිෆ්. මීට අවුරුදු දෙකකට කලින් එයා අත්වින්ද සිද්ධියකින් තමයි මේ ගීත දෙකම හදලා තිබ්බේ. මේ කාලේ දැම්මොත් හොඳයි කියලා හිතුවට අපි දෙන්නම එකට ගීත රිලීස් කරනවා කියලා ප්ලෑන් කළේ නැහැ.
"යායට පායනා" ගීතය එක්ක ප්‍රිහාන් ලොකු ජනප්‍රියත්වයක් හිමිකර ගත්තානේ. ඒ ජනප්‍රියත්වය තාම තියෙනවද..?
ඒ ජනප්‍රියත්වය තාම තියෙනවා කියලා මම හිතන්නේ නෑ. කාලයත් එක්ක මිනිසුන්ට අපිව අමතක වෙනවා. අවුරුදු අටක් කියන්නේ සෑහෙන කාලයක්නේ. යායට පායනා ගීතය කළාට පස්සේ මට මේ වෙනකල් ගීතයක් කරන්න හිතුණේ නැහැ. හිතුණ වෙලාවේ මේ නිර්මාණය කළා. ඒ කරපු වැඩෙත් මෙච්චර හොඳට වෙයි කියලා හිතුවේ නැහැ. අවසානයේ ප්‍රතිඵලය දැක්කම මටත් සතුටක් තියෙනවා. මේ කාලයට උචිත නිර්මාණයක් කරන්න පුළුවන් වීම ගැනත් සතුටුයි.
ඔබ ව්‍යාපාර කටයුතුවලට නේද වැඩි බර දීලා තියෙන්නේ..?
පසුගිය අවුරුදු 8ම වැඩිබර දුන්නේ ඒ පැත්තට තමයි. නමුත් දැන් ගීතයක් කළානේ. ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාරය එක්ක ගායනයටත් වැඩි බරක් දෙන්න හිතෙනවා. ව්‍යාපාර කළත් කලාව කියන දේ අපේ ඇඟෙන් අයින් කරගන්න බැහැ. කලාව කරන්නත් මුදල් ඕන. ව්‍යාපාරවලින් ඒ අවශ්‍ය මුදල් හොයාගත්තා. ඉදිරියෙදි මුදල් හම්බ කරන්න විතරක් ව්‍යාපාර කරන්නේ නෑ. ඉදිරියෙදි කලාවයි ව්‍යාපාරයි දෙකම සමබරව කරගෙන යනවා.
දැන් එහෙනම් දිගටම නිර්මාණ කටයුතුවල නියළෙයි නේද..?
නිර්මාණ කටයුතු කරන්න ආසයි. මේ ගීතය රසිකයන් අතරට ගෙනියන්න උත්සාහ කරනවා. ඊට පස්සේ හිමින් සැරේ වැඩ ටික කරගෙන යනවා.
වැඩි කාලයක් ලංකාවෙන් පිට ඉන්නද අදහස..?
නැහැ. අපි විවාහ වෙලා ලංකාවේ ඉන්න තමයි බලාපොරොත්තු වුණේ. නමුත් හදිසි උත්සාහයක් නිසා නතාශටයි මටයි දෙන්නටම ස්ථිර පදිංචිය ඕස්ට්‍රේලියාවේ හම්බවුණා. ඒත් එක්ක ඒ රටට යන්න ඕන. අපිට ස්ථිර පදිංචිය හම්බවෙලා අවුරුද්දයි. ඒ අවුරුද්ද ඇතුළත මම ලංකාවට ආවා, ගියා. මම පෞද්ගලිකව තීරණය කළා මට හරියන්නේ ලංකාව කියලා. කවදා හරි මම ඉන්නේ ලංකාවේ.
ඇයි ඒ..?
ඉස්සර නම් රට යන්න හරි ආසයි. දැන් එහෙම නෑ. ලංකාව ජීවත් වෙන්න හොඳයි. ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය නැති කරගන්න කැමැති නැති නිසා එහේ යනවා එනවා. ලංකාව කොහොමවත් අතහරින්න බෑ.
නතාශයි ප්‍රිහානුයි දෙන්නම එකතු වෙලා නිර්මාණයක් කළොත් නරකද.?
එහෙම ගීතයක් කරන්නත් අදහසක් තියෙනවා. අපි විවාහ වුණා කියලා නිර්මාණ එකටම කරන්න ඕනේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. නතාශට ලොකු රසික පිරිසක් ඉන්නවා. මට ඊට වඩා පොඩි රසික පිරිසක් ඉන්නවා. අපි වෙන වෙනම වගේම එකටත් නිර්මාණ කරනවා නම් හොඳයි.
ඒ කියන්නේ නතාශා ලබලා තියෙන ජනප්‍රියත්වයේ තරම ප්‍රිහාන්ට ගන්න තරගයක් නැද්ද..?
නතාශාගේ ජනප්‍රියත්වය මට ලබන්න බෑ. මට එහෙම වුවමනාවකුත් නැහැ. නතාශාට ලැබිලා තියෙන ජනප්‍රියත්වය කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ ජනප්‍රියත්වය එයාට ලැබිලා ඉවරයි. එයාට ඉන්න රසික පිරිස සතුටු කරන්න එයා දෙයක් කරන්න ඕන. මම ඒකට එයාට උපරිම සහයෝගයක් දෙනවා. මගේ ගීත බලාපොරොත්තු වෙන අයට යමක් හොඳ විදිහට කරන්නත් මට පුළුවන් වුණා කියලා හිතනවා.
කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්?
ඔව්. මම මේ ක්ෂේත්රයට ඇවිත් ගායනය, රංගනය, නිවේදනය වගේ විවිධ දේවල් කරමින් හිටියා. ගොඩක් කාලයකට පස්සේ මගේම තනි නිර්මාණයකින් මම රසිකයන් අතරට ආවේ. ඒ 'ආරාධනා' ගීතයෙන්. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.
ගීතයේ නිර්මාණ පසුබිම ගැනත් කතා කරමු?
මේ ගීතයේ පද රචනය කළේ අචල සොලමන්ස්. මෙහි සංගීතය ඒ-ඛ සෙරිෆ්ගේ. ඒ දෙන්නා තමයි මේ ගීතය හැදෙන්න හේතු වුණේ. ගීතයේ වීඩියෝව වාසුල කළේ. ගීතයේ වීඩියෝවටත් මේ වෙනකොට ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. තව බොහෝ දෙනෙක්ගේ උදවු මෙයට ලැබුණා.
මේ නිර්මාණයත් එක්ක නිර්මාණ පැත්තෙන් නිහඬතාව බිඳියිද?
ඔව්. ගොඩක් අය මගෙන් ඇහුවා මොනවද අලුත් වැඩක් කරන්නේ නැද්ද කියලා. හැමදාම ගීතයක් එළි දක්වනවා කියලා මම බොරු කිය කියා හිටියා. දැන් මේ ඒ කියපු දේවල් ඉෂ්ට කරන්න කාලය. ඒ වගේම නිර්මාණ කරන එක ආත්ම තෘප්තියක්.
නතාෂා අලුත් දෙයක් කරනකල් බොහෝ දෙනෙක් බලාගෙන හිටියානේ. අලුත් දෙයක් කරන්න කල් ගත්තේ වෘත්තීයමය කටයුතු නිසාද? නැත්නම් විදේශගත වෙලා හිටපු නිසාද?
ඔය හේතු කිහිපයම ඒකට බලපෑවා. මම ක්ෂේත්රයේ බොහෝ වැඩ කළා. කාලයක් මම ක්ෂේත්රයේ වැඩවලින් විවේකයක් ගත්තා. ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඊට පස්සේ මම නීතිඥවරියක් වුණා. විදෙස්ගත වුණා. කාලයක් ගත වෙලා හරි මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වුණා.
කාලයකට පස්සේ කරපු වැඩේට ප්‍රතිචාර ජයද?
ගොඩක් කාලයකට පස්සේ වුණත් මිනිස්සුන්ට මාව අමතක වෙලා නෑ කියන එක සින්දුවට ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා. ගීතය රිලීස් කරලා සති කිහිපයයි. ලක්ෂ හයහමාරකට වඩා මඪඥඹඵ තියෙනවා. ඉතිං මේ ලැබෙන ප්‍රතිචාර ඇති.
දැන් ගීත කලාවේ විවිධ රැලි හැදිලා තියෙනවා. ඒ රැලි අතරේ මේ ගීතය මොනවගේ තැනකට ගෙනියන්න පුළුවන් වෙයිද?
මාව ප්‍රෙක්ෂකයන්ට මතක නිසා තමයි මගේ ගීතයට ප්‍රතිචාර දක්වන්නේ. විවිධ කාලවල විවිධ රැලි ආවා. මේ ගීතය ඒ රැලිවලට අහුවුණ ගීතයක් නෙමෙයි. අලුත් දෙයක් දැම්මම මිනිස්සු ඒක වැලඳ ගන්නේ නැත්තේ නැහැ. මිනිසුන්ට දැනෙන දෙයක් නම් අලුත් යමක් නම් ඔවුන් ඒක වැලඳ ගන්නවා.
ප්‍රිහාන් සහ ඔබ එකම කාලයේ ගීත දෙකක් රිලීස් කළේ. සැමියා සහ බිරිය තරගයක්ද මේ දෙන්නේ
මට නම් කොහොමත් තරගයක් නෑ. මම හිතන්නේ ප්‍රිහාන්ටත් එහෙම තරගයක් නෑ. ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා. මම ඒකට එකඟ වුණා. සැමියා, බිරිය මෙහෙම එකම කාලයේ ගීත රිලීස් කරලා නැතුව ඇති. ඒකත් ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක්. අපිට ඕන වුණේ හොඳ නිර්මාණ රසවිඳින කිහිපදෙනාට හරි නිර්මාණයක් කරන්න. දැන්වත් ඇවිත් නිර්මාණයක් කළ එක හොඳයි කියන එක ගොඩක් අය කියනවා.
ක්ෂේත්රයෙන් නිවාඩු අරගෙන හිටපු නිසා නතාශාව මාධ්‍යවලට අමතක වෙලා නැද්ද?
මාධ්‍යවලටත් මාව අමතක වෙලා කියලා මම හිතුවා. නමුත් එහෙම වෙලා නැහැ. මම ගොඩක් වාසනාවන්තයි. මම සෝෂල් මීඩියාවලින් ජනප්‍රිය වුණ කෙනෙක් නෙමෙයි. මම මේ ක්ෂේත්රයට ආවේ, අවුරුදු පහළොවකට කලින්. අවුරුදු පහළොවකට කලින් කරපු නිර්මාණය ගැන තාමත් කතා කරනවා. මාධ්‍යවල ඉන්න පිරිසගෙන් මට ලැබුණු සහාය ඉතාම වටිනවා. තවමත් මට ඒ සහාය දෙනවා.
කොච්චර නිහඬ වෙලා හිටියත් නතාෂාව ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන්නේ ඔබ සමාජ මාධ්‍යවලින් තොරව ජනප්‍රිය වුණ චරිතයක් නිසාද?
මම එහෙම හිතනවා. සමාජ මාධ්‍යවලින් ජනප්‍රිය වෙන එක හොඳද, නරකද කියලා මගේ අදහසක් නැහැ. මම ක්ෂේත්රයට ආවේ වෙන විදියකින්. අද මම සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒ හරහා මගේ ප්‍රේක්ෂකයන් එක්ක ඉස්සරට වඩා මම එකතු වෙලා කතා බහ කරනවා. නමුත් මගෙන් අදටත් කොහේ ගියත් සුළඟක් වී ගීතය ගැන අහනවා. මීට අවුරුදු දහතුනකට කලින් කරපු දඟමල්ල ගැනත් අහනවා. මේ ළඟදි මම දඟමල්ල ටෙලි නාට්‍යයේ ඡායාරූපයක් දැම්මම ඒකට උන්මාදයක් වගේ පුදුම ප්‍රතිචාරයක් ලැබුණා. මට ලැබුණ ආදරය තාම ලැබෙන එක පුදුම දෙයක්.
'දඟමල්ල' එක්ක ඔබ ජනප්‍රිය වුණා. ඊට පස්සේ රංගනයෙන් නිහඬ වුණේ ඇයි?
මම කලා ක්ෂේත්රයේ වැඩ කටයුතු කළේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක. මම දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ කියන වේදිකා නාට්‍ය වෙනුවෙන් 2003 වර්ෂයේ ළමා නාට්‍ය උළෙලේදි හොඳම නිළිය සම්මානය ගත්තා. ඒ වසරෙදිම මම පන්තියේ පළමුවැනියා වුණා. ඒ වගේම සුළඟක් වී මං යනවා ගීතයත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම යනවා. මම කලා කටයුතු ඔක්කොටම වඩා අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා. මගේ අම්මි තමයි ඒකට හේතුව. අම්මි මගේ පස්සෙන්ම හිටියේ නැත්නම් කවදාවත් මට මේ තරම් දුර යන්න බෑ. පසුකාලීනව මම නීති ක්ෂේත්රය පැත්තට යොමු වෙනවා. නීතිඥවරියක් කියන භූමිකාව මගේ වෘත්තිය. කලාවෙන් නිහඬ වෙන්න වුණේ ඒ දේවල් එක්ක.
සමහරු ජනප්‍රියත්වය පස්සේ හඹායද්දී නතාෂා ජනප්‍රිය දේ පැත්තක තිබ්බේ?
කවදාවත් මට ජනප්‍රියත්වය පස්සේ හඹා යන්න ඕන වුණේ නෑ. තාමත් මම එහෙමයි. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය කියන වචනයවත් දන්නේ නැති කාලෙක තමයි මම ජනප්‍රිය වෙන්නේ. ජනප්‍රියත්වය මට දෙවියෝ දුන්න දෙයක්. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න කැපවීම දක්ෂතාව තියෙන්නත් ඕන. ඒ ජනප්‍රියත්වය පස්සේ හඹා නොගියත් ජනප්‍රියත්වය තාමත් මට ලැබෙන්නේ වාසනාවකට වෙන්න ඕන.
ආයෙත් රංගනයෙන් දකින්න ලැබෙන එකක් නැද්ද?
මම ලංකාවට ආවා කියලා තාම වැඩි දෙනෙක් දන්නෙත් නැහැ. ලංකාවට ආවට පස්සේ නිර්මාණයකට කතා කළා. ඒ නිර්මාණයේ ස්ක්‍රිප්ට් එක සකස් කරමින් යන නිසා මට ඒ ගැන දැනුම් දෙන්නම් කිව්වා. හොඳ නිර්මාණයක් වුණොත් ඉදිරියෙදි සම්බන්ධ වෙනවා.
පහුගිය කාලේ නතාෂා විදේශගතවනේ හිටියේ. වැඩි කාලයක් ලංකාවේ රැඳෙන්නේ නෑ නේද?
ඕස්ට්‍රේලියාවට යන්න ඕන කියලා අපි තීරණයක් ගත්තා. පශ්චාත් උපාධිය සඳහා තමයි මම ඕස්ට්‍රේලියාවට මුලින්ම ගියේ. දැන් මම නීතිය වෘත්තියක් කරගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ දිගටම ඉන්නව කියන අදහසක් නෑ. නැවත ලංකාවට එනවා කියන තීරණයේ ඉන්නේ.
නතාෂාගෙයි ප්‍රිහාන්ගෙයි කැදැල්ලට පුංචි අමුත්තෙක් ගේන්න දැන්ම අදහසක් නැද්ද?
දැන්ම එහෙම අදහසක් නෑ. අපේ නිර්මාණ තමයි අපේ දරුවෝ වෙලා තියෙන්නේ. නිර්මාණකරණයට තමයි අපේ කාලය සහ අවධානය වැඩිපුර යොමු කරලා තියෙන්නේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම