මාධනී මල්වත්ත කියන්නේ මේ දිනවල රූපවාහිනි තිරයේ ආකර්ශනීය චරිත රැසකම අයිතිකාරියක්. පසුගියදා කුසුමාසන දේවිය හි කරළියැද්දේ බිසවගේ චරිතයෙන් පේ්රක්ෂක අවධානය ඇද බැදගත් මාධනි අද දවසේ පෝටාවැටියෙන් හා පැකේජ් තුලින් යළි යළිදු පේ්රක්ෂක අවධානය යොමු කරගෙන සිටිනවා.
මාධනී පැකේජ් තුළ ඔබට ඉඩකඩ වෙන්වන්නේ කොහොමද ?
පැකේජ් ස්වර්ණවාහිනියෙන් රාත්‍රි 9.30 ට විකාශය වෙනවා. මේක සුදර්ශන බණ්ඩාර ගේ පළමු නිර්මාණය. සුදර්ශනත් මාත් එකම වයසෙ. මම සුදර්ශනව අවුරුදු 18 විතර කාලයක් තිස්සේ හදුනනවා. සුදර්ශන මා ගැන තියෙන විශ්වාසය අපේ යාළුකම දැන හැදුනුම්කම මතයි මට මේ චරිතය භාරදෙන්නේ.
විකාශනයවීම ඇරඹි ටික දිනකින්ම කතාබහට ලක්වෙන්න තරමටම මෙහි ඇති සුවිශේෂතා මොනවාද ?
මේක මේ කාලයේ අපිට දකින්නට ලැබෙන ටෙලිනාට්‍ය වලට වඩා වෙනස් වූ නිර්මාණයක්. පටන් ගැන්මේ ඉදන්ම විශාල කුතුහලයක් එක්කයි නාට්‍ය ගලායන්නේ. ඒ වගේම අපි වැඩ කරන්නේ හරිම විනෝදයෙන්. මේ ටෙලි නාට්‍යයේ කතාවත් විනෝදයෙන් ගලායන එකක්. මේ නාට්‍යයේ මට වඩා බොහෝ ප්‍රවීණ ඒ වගේම අපිත් එක්ක නිතරම වැඩ කරන කුසුම රේණු ගිරිරාජ් වැනි අය එක්ක වැඩ කිරීමත් සුන්දර අත්දැකීමක්.
පැකේජ් හැරුණම ඔබව තවත් නිර්මාණ කිහිපයකම ඉන්නවා ?
ඔව්, ටිකිරි රත්නායකගේ කුසුමාසන දේවි ෂර්ලි පී. දෙලංකාවලගේ පෝටාවැටිය යන ටෙලිනාට්‍ය දෙක මේ දිනවල විකාශනය වෙනවා. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ඉඩෝරය ළගදීම විකාශයවීමට නියමිතයි. ළගදීම විකාශය වීමට නියමිතය.
මේ හැම ටෙලිනාට්‍යකම රූගත කිරීම්වලත් ඔබ රැදී ඉන්නවාද ?
පෝටාවැටිය නම් මීට වසර දෙකකට පමණ පෙර කළ නිර්මාණයක්. අනෙක් නිර්මාණ වල රූගත කිරීමවලට සහභාගි වෙනවා. ඒ හැරුණම තවත් නාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා.
මේ කාර්ය බහුලත්වය රංගනය නිසියාකාරව කරගෙන යන්න බාධාවක් නෙවෙයිද ?
ඔය හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ දින වකවානු කලින් ලබාගෙන. කිසියම් සැලැස්මක් හදාගෙන. ක්රමාණුකූලව හා ඉවසීමෙන් වැඩ කරනවා නම් දැඩි කාර්යබහුලත්වයකට.මැදි වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණය අපි දවසින් දවස වෙනස් වෙනස් අය එක්කනේ වැඩ කරන්නෙ. ඒකාකාරී බවක් දැනෙන්නෙත් නැහැ. මට නම් ඒ නිසාම වයසට යන බවක්වත් දැනෙන්නෙත් නැහැ.
මාධනී වේදිකාවේ හරිහම්බ කරගත් පරිචය ටෙලිතිරයේ නොමසුරුව වැය කරමින් ඉන්න බවයි අපට හැඟෙන්නේ ?
ඇත්තටම මම මූලිකව නාට්‍ය පාසල හරහා ඊට පස්සේ ජාතික තරුණ සේවා සභාවෙන් හා වේදිකාව හරහා ඉගෙන ගත් දේ වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය හා සිනමාවේ ලැබෙන චරිතත් එක්ක යම් යම් අත්හදාබැලීමක යෙදෙනවා.
මාධනී මෙගා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප නොකරන කෙනෙක් නේද ?
අපේ ලංකාවේ කලා ශිල්පීන්ට වෘත්තීය මට්ටමක් හැදිලා නැහැනේ. නමුත් අපි අපේ වෘත්තිය විදහට මේකනේ කරගෙන යන්නේ. මෙහි වැඩකරද්දි අපිට යම්කිසි තෝරා බේරාගැනීමක් සිද්ධ වෙනවා. හැබැයි දීර්ඝ හෝ වේවා කෙටි හෝ වේවා නාට්‍ය නිර්මාණාත්මක ගුණය ආරක්ෂා කරගෙන කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ.
ඔබ ඔය පවසන නිර්මාණ ගුණය කෙසේ වෙත්ත දිර්ඝ ටෙලි නාට්‍ය වල එකම විදිහේ චරිත හා කතාවන්මයි කියන්න හදන්නේ.
සමහර අධ්යක්ෂවරු හා තිර පිටපත් රචකයෝ යම්කිසි චරිතයක් ජනප්‍රිය වුණහම ඒ වගේම චරිතයක් කරන්න අපට කතා කරනවා. ඒක රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිණියකට කරන අසාධාරණයක්. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ වැරැද්ද කරන්න එපා කියලා.
ඔබ එවැනි අවස්ථා මගහරිනවාද ?
එවැනි දේවල් මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහරු ඒ ජනප්‍රිය වු චරිතයේ නම සදහන් කරලා ඒ වගේ චරිතයක් කරන්න කියලා කතා කරනවා.
මාධනී පෞද්ගලිකව ප්‍රිය කරන්නේ මොනවගේ චරිත රගපාන්නද ?
මම මම නොවී වෙනස් කෙනෙක් විදිහට වෙන්න පුළුවන් කිසියම් අධ්‍යයනයක් කරලා කරන්න හැකි චරිත රගපාන්න ලැබෙනවා නම් කැමැතියි.
ඔබ ගේ රංගන දිවිය හැඩකළ චරිත දෙස ආපසු හැරුණු විට ?
වේදිකාව තුළ මම සෑහෙන සතුටක් විදිනවා. ඒ අද වෙනකොට මට ලැබිලා තියෙන චරිත සහ ලැබිලා කියන සම්මාන ගැන සිහිපත් කරමින්. ටෙලි නාට්‍යවලත් යම් යම් තැනවලදී හොද චරිත ලැබෙනවා. මම අධ්‍යක්ෂකවරුන්ට රචකයන්ට කියන්නේ මාධනී මල්වත්ත කියන කෙනාව හදුනා ගන්න කියලයි. ශිල්පිණියක් විදිහට මගෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ටික මගෙන් ගන්නවා නම් මම කැමැතියි’
මාධනි හිතන්නෙ මාධනිගේ දිවියට කදිමට පෑහෙන වෘත්තිය කුමක් කියලාද ?
මේ වෘත්තියට වඩා මට ලැබුණා නම් කියලා මම කවදාවත්ම හිතලා නැහැ මම පුංචි කාලේ ඉදන්ම හීන මැව්වේ සංගීත ගුරුවරියක් වෙන්න. මම හොදට නාට්‍ය නැරඹුවා. උසස් රසවින්දන ශක්තියක් ඇතිකර ගත්තා. හැම වෙලාවේම සංගීතය තමයි මගේ ඔළුවේ තිබුණේ. හැබැයි උසස් පෙළ හදාරණ කාලේ රංගන ශිල්පිණියක් වෙන්න ඕනෑ කියන තැනට ඒ බලාපොරොත්තුව මාරුවුණා. මම කවදාවත් හිතන්නේ නැහැ මට වෙන වෘත්තියක මේ විදිහට නියැලෙන්න පුළුවන් වෙයි කියලා. මම මේ ජිවිතය හරියට විදිනවා.
ඒ තෘප්තිය ඔබට ගෙන එන්නේ රංගකාර්යයේදී ද පේ්රක්ෂකාගාරය තුළින්ද ?
මට ලැබුණ චරිතයක් පෝෂණය කරන්නේ කොහොමද? ඒක රග දක්වලා එය නරඹලා ලබන සතුට පෞද්ගලික දෙයක්නේ. පේ්රක්ෂකයන් ගේ ආදරය හරියට හිතට දැනෙන දෙයක්. මම පෙරළා පේ්රක්ෂකයන්ට ආදරය කරන එකත් ඒ වගේම සතුටක්. මේ ආදරය වාසනා ගුණයක් නිසා කෙනෙකුට ලැබෙන දෙයක්නේ. මම හැම වෙලාවේම හිතන දෙයක් තමයි අපිට මේ දේවල් ලැබෙන්න ලැබෙන්න අපි නිහතමානී වෙන්න ඕනෑ කියලයි.
කලාව හා බැදුන ආදරය සතුට වැනි දෙවල් අද අලූත් පරපුරට නොවටිනා කාරණාවන් වෙලානේ ?
ඒ ගැන නම් කියලත් බැහැ. ඒත් නොකියත් බැහැ. හැබැයි හැමෝම එහෙම නැහැ. ක්ෂේත්රයට අලූතින්ම එන අය බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ මේ ලොකේ නෙවෙයිද කියලා හිතෙනවා. එයාලාගේ සියළුම ගණුදෙණු තියෙන්නේ ජංගම දුරකථතනය එක්ක. සෙසු ශිල්පීන් එක්ක කතාබහක් කරන්නෙත් නැහැ. පෙර පුහුණුවීම්වලට එන්නෙත් නැහැ. කෙලින්ම දුරකථනයෙන් කැමරාව ඉදිරියටයි එන්නේ. එකට වැඩ කරන පිරිසක් විදිහට අපි දැන හදුනාගෙන අපි ගැන අවබෝධයක් ඇතිකර ගන්න ඕනෑ. අපි මේ කරන්නේ සාමූහික වැඩක්නේ. මේ සාමූහික කාර්ය සාර්ථක කරගන්න අනෝන්‍ය අවබෝධය හරිම වැදගත්.
වේදිකාවේ ඔබ දායක වී සිටින අලූත්ම නිර්මාණ මොනවාද ?
ජයලත් මනෝරත්නගේ වනළැහැබ නාට්‍යයේ පුහුණුවීම් කරනවා. මේ වසර අවසන් වෙන්න කලින් ඒ නාට්‍ය පේ්රක්ෂකයන්ට දැකගන්න ලැබෙයි.
ධම්මිකා සුරංජි පතිරණ
දිවයින