වසර විස්සකට අධික කාලයක් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ නියුතු වූ ඔහු අතින් ලියැවුණේ ස්වතන්ත්‍ර නිර්මාණ ග්රන්ථ පහක් පමණි. ඒ අතරින් නිල් දිය යහන සිනමාවට ද නැඟිණි. එහෙත් ඔහු වඩාත් ප්‍රචලිත වූයේ පරිවර්තකයෙකු වශයෙනි. දාස භාර්යා, දිරි දැරිය, පර්වානා, දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ, තුන් මෝල්ලු, යස්ස ලමිස්සී, ඇට ගැහියං වැනි පරිවර්තන කෘති 35ක් අප වෙත ගෙන එන ඔහු දිලීප ජයකොඩි නම් වෙයි. ටෙලි නාට්‍ය තිර රචනා, වාර්තා වැඩසටහන් නිර්මාණය කරන ඔහු සමඟ අපි මෙසේ කතා බහ කළෙමු.
සාහිත්‍ය මාසේ ඔබ විශේෂයෙන් මොනවද කරන්නේ?
මේ වෙද්දි ගත්ත පොත් කියවගෙන යනවා. ඒ එක්කම ඉදිරියට පරිවර්තනය විය යුතු පොත් ගැනත් හිතමින් ඉන්නවා. 'ද ගර්ල් ඉන් රූම් නම්බර් 105' තමයි ඉන්දියාවේ එළි දකින චේතන් භගත්ගේ අලුත්ම පොත. ඒ පරිවර්තනයත් මගේ අතින් සිදුවේවි. එය මගෙ දැඩි ඇල්ම වගේම විනෝදාංශය නිසා දවසට අඩුම ගාණේ පැයක් හෝ වැඩිම පැය 4ක් 5ක් ලියනවා. කොහොමටත් අවුරුද්ද පුරාම මගේ අතින් දිගටම පොත් ලියැවෙනවා. ඒ නිසා මේ මාසේ ලිවීමට විරාමක් තියලා කියවනවා.
අපේ පාඨකයන් ගන්න පොත් ඇත්තටම කියවනවා කියා ඔබ විශ්වාස කරනවාද?
කුඩා කාලේ සිට පුරුද්ද ඇති අය පාසලේ 8-10 පන්තිවලදි වේගයෙන් පොත් කියවනවා. ඒත් ඉන් පස්සේ වෙලාව සමඟ පුරුද්ද නතර වෙන්නත් පුළුවන්. උසස් පෙළ, රැකියා නිසා කාලය සමහරුන්ට අඩු වුණත් පොත් ගුල්ලන් කියවීම අත් හරින්නේ නෑ, පොත් ගන්න එක තමන්ට නැතත් ඊළඟ පරපුරට හරි යහපතක්. අනෙක මොන තාක්ෂණය ආවත් පොත් කියන දේ ලෝකෙන් තුරන් වෙන්නේ නෑ.
ඔබ චේතන් භගත්ට පෙම් බැඳී පරිවර්තකයෙක්?
මට චේතන් හමු වන්නේ අහම්බෙන්. 'වන් නයිට් ඇට් අ කෝල් සෙන්ටර්' කියන පොත මගේ වෙළෙඳ ප්රචාරක ආයතනයේ සේවය කළ ඉනිදීය ගැනු ළමයෙක් මෙහෙන් යද්දි දීලා ගියා. ඉන්දියාවේ ඉංග්‍රීසියෙන් ලියන අය අතර ජනප්‍රියම ලේඛකයා චේතන්, මගේ හිත දිනා ගත්තා. මම කළේ 'හලෝ හලෝ 'කියලා ඒ පොත පරිවර්තනය කිරීම. ඇත්තෙන්ම සල්ලි බලාගෙන නොවේ මම පොත් ලියන්න පටන් ගත්තේ. මම අත් විඳී මිහිර අන් අය සමඟ බෙදාගන්න එක සතුටත් නිසා. චේතන්ගේ පොත් වෙනස් නිසයි මම ඒවාට පෙම් බැන්දෙ.
ඔබ භගත්ගේ ලේඛනයේ දකින විශේෂත්වය?
ඔහුගේ පොත්වල උඩින් පේනවාට වඩා යම් දේශපාලන දැක්මක් යටි පෙළින් දිවෙනවා. අනෙක නිරන්තර තරුණයින් යොදාගෙන තමයි ඔහු කතාවක් කියන්නේ. කතා තුළ තවත් කතා දිවෙනවා. තවත් විශේෂම ලක්ෂණයක් වන්නේ මෙතෙක් අපේ රටේ පළ වුණු බොහෝ ඉන්දියානු පරිවර්තන උදාහරණයක් ලෙස අපේ රටේ මුලින්ම සිංහලට 'කුණාටුව' නමින් පරිවර්තනය වූ රබීන්ද්‍රනාත් තාගෝර් ලියූ 'නවකාඩොබි' සිට මේ දක්වා පරිවර්තනය වූ ඉන්දියානු නව කතා සියල්ලම පාහේ කුල භේදය, විවාහ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, දරිද්‍රතාව ආදී දුක පමණක් මූලික කරගත් වස්තු බීජ අතුළත් ඒවා. චේතන්, බිල් ගේට්ස් කියනවා වගේ කෙනකු දුප්පත් වෙලා ඉපදීම තමන්ගේ වැරැද්දක් නෙමෙයි ඒත් දුප්පතෙක් ලෙසම මිය යනවා නම් එය තමන්ගේ වැරැද්දක් කියන දේ තමන්ගේ පෞද්ගලික මතය ලෙස විශ්වාස කළ කෙනෙක්. ඒ නිසා ඔහුගේ චරිත අවසානයේ ජයග්‍රහනය කරනවා, ආදරයෙන් හෝ වෙන යම් දෙයකින්. ආර් කේ නාරායන් හාස්‍යය මුසු කතා ලීවා වගේ මොහුත් ඉදිරි දැක්මක් සහිතව ලියන කෙනෙක්. ඔහුගේ තීරු ලිපිවලින් ඔහු අහන්නේ, ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හිමිකම් කියන ඉන්දියාව වගේ රටක් මේ විදිහට ඉන්නේ ඇයි කියලායි. ඒ වගේම ඒ තත්ත්වයෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියන එකත් ඔහු පොත්වලින් සාකච්ඡා කරනවා. ඒ නිසා ඔහු ධනාත්මකව ලියන විශේෂ ලේඛකයෙක්.
ඔබේ පොත්වලට නම් යොදන්නේ වෙනස් ආකාරයකට?
මගේ පොත්වලට නම් දැමීමේ කලාවට පාඨකයන් හරි කැමතියි. පොත් 40න් 'ද කී' කියන එකම පොතයි 'හදදොර යතුර' ලෙස ප්‍රකාශකයා නමක් දැමුවේ. මම අවුරුදු 22ක පමණ දිගු කාලයක් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ කටයුතු කිරීමේ අත්දැකීම තමයි නම්වල ආකර්ශනයට හේතුව. තත්පර 30කදී වචන 50න් විතර සියල්ල කියන්න පුරුදු වෙලා නිසා විශේෂයෙන් 'ටැග් ලයින්' එකකුත් යොදන්න වන නිසා ඒ හුරුවෙන් හිතට වැදෙන විදිහේ නම් මගේ පොත්වලටත් යෙදෙනවා. ඉන් පසු කවරය සහ පසුපිටුවත් පොතට බලපානවා.
අපේ රටේ පරිවර්තන කලාව ගැන මොකද හිතෙන්නේ?
මෑත කාලීන පරිවර්තන කලාව ගැන නොවේ මම රසවින්ද ලංකවේ පරිවර්තන අතරින් ඒ පි ගුණරත්න මම කැමතිම පරිවර්තකයා. ඔහුගේ පරිවර්තන මට ආභාසයක් වුණා. ඒ එක්කම කේ ජේ කරුණාතිලක, සිරිල් සී පෙරේරා, දැදිගම වී රොද්‍රිගු වැනි දැවැන්තයන්ගේ විශේෂත්වය ඒ අය ද්විභාෂා නිපුණයන්. ඔවුන් සමඟ සසඳද්දී මෑත කාලීන අයගේ රසයේ අඩුවක් මම දකිනවා. සමහර සාහිත්‍ය මතවාද, රීතීන්ට ගිහින් නියම අර්ථය ළඟා කරන්න බැරිවුණු ගතියක්, මුල් කෘතියේ යෙදුමෙන් වෙනස් වු අරුත් නැඟීම නිසා වන අඩුපාඩු වැනි විවිධ හේතු නිසා රසය අඩුවන බවක් දැනෙනවා. ආධුනිකයන්ගේ පරිවර්තනවලදි සමහර විට මුල් කෘතියේ හීනෙකින් වත් නොසිතන අර්ථ ඇති වී තිබෙන අවස්ථා ඕනෑ තරම්. ඒ ගැනත් විවිධ විවේචන තිබෙනවා.
පරිවර්තනයට පොත් තෝරා ගන්නේ?
මගේ මුල්ම නිර්ණායකය පොත මට රසවිඳීය හැකි ද යන්නයි. උදාහරණයකින් කීවොත් චේතන්ගේ ශෛලිය හරි සරලයි. එවිට මගේ ශෛලියත් සරල වෙනවා. ස්ටීවන් කිංගේ 'තිනර්' මම 'ඇටගැහියං' කියා පරිවර්තනය කළේ. ඔහුගේ සමහර කරුණු අපේ සමාජයට ආගන්තුක බව දැනගෙනයි. ඒත් මම පරිස්සම් වෙනවා අපේ අයට මේ දේවල් තේරුම් ගන්න හැකි අයුරින් සකස් කරගන්න, සංස්කෘතිකමය වශයෙන් මුල් කෘතියට අනුගතව. අනෙක පාඨකයෙක් පොතකට වියදම් කරන මුදලට සාධාරණයක් ඉටු කරන්න ඕනා. කතා තෝරා ගැනීමෙත් වැදගත් කමක් තිබෙනවා. පරිවර්තතකයාට ඉවක් තියෙන්න ඕන අප පය ගසා ඉන්න සමාජය හා මිනිසුන් පිළිබඳ. මගේ පොත් 40න් එකක් වත් කිසිම ප්‍රකාශකයකු තෝරා දුන් ඒවා නොවෙයි. රසය ප්‍රතිනිර්මාණය කිරීමේදී එය අපේ සමාජයට ගැලපෙනවාද යන්න ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් තිබෙනවා. එය පරිවර්තකයාගේ වගකීමක්. මම නම් සංස්කෘතික සදාචාරාත්මක කරුණු ගැනත් සැලකිලිමත් වෙනවා.
පරිවර්තනයක් වඩා සාර්ථක වන්නේ?
එය ලියවුණු මුල් භාෂාව පිළිබඳ පරිවර්තකයාට දැනුමක් තිබෙනවා නම් වඩා හොඳයි. මොකද ඉංග්‍රීසියට පෙරළුණු කෘතියක ඒ පරිවර්තනයේ දෝෂ සමහර විට අපේ පරිවර්තනයට බලපානවා. එහෙම නැත්නම් මුල් ලේඛකයා ඉංග්‍රීසියෙන් ලියා තිබේ නම් එය වඩාත් පහසුයි.
පරිවර්තකට මුල් කෘතියේ වෙනස්කම් කිරීමට අයිතියක් තිබෙනවාද?
සමහරු පරිවර්තකට ඒ ගැන අයිතියක් නෑ කිවට මුල් කෘතියේ දේවල් නිවැරදි කළ අවස්ථා වගේම ගෙඩි පිටින්වැරදුණු තැන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. සමහර දේවල් තිබෙනව කතාවට අදාලත් නෑ. කිසිම තේරුමකුත් නෑ අපේ පාඨකයාගේ පැත්තෙන්. සමහර වාක්‍ය 3-4 අඩු කළ තැන් තිබෙනවා. ඒ වගේම මම අවශ්‍යතාව මත විස්තරාත්මකව දීර්ඝ කිරීම් පවා කරනවා.
පරිවර්තනවලට අපේ පාඨක රුචිකත්වය කොහොමද?
පරිවර්තනවලට සෑහෙන හොඳ රුචිකත්වයක් තිබෙනවා. පොත් ප්‍රකාශකයන් සමඟ සාකච්ඡාවලදි කියන්නෙත් වැඩියෙන්ම විකිනෙන්නේ පරිවර්තන කියලා.
එහි යටි පෙළ ස්වතන්ත්‍රවලට ඒ ඉල්ලුම නෑ කියන එකද?
ඔව්. ස්වතන්ත්‍ර අවශ්‍ය මට්ටමට නෑ. පරිවර්තනය ලේසීයි කියලා අපි දන්නවා. භාෂාව හා කලාව පුළුවන් නම් පරිවර්තනය අපට වරිදින්නේ නෑ වෙහෙස අඩුයි. එහෙත් ස්වතන්ත්රයට යෙදවිය යුතු කාලය, චරිත ලක්ෂණ, සමාජ විපර්යාසය, ලේඛකයාගේ කාර්ය වැඩියි. ඩෑන් බ්‍රවුන් කියවනා ඩාවින්සි කෝඩ්වලදි එයා ඒ තැන්වලට ගියා කියලා. මම නිතරම කියන දේ පිටරට ලේඛකයන් ඉතා සියුම් කරුණුවලට හරියටම යනවා. ඔළුවට වෙඩි තිබ්බා නම් තුවක්කුවේ වර්ගය උණ්ඩ වර්ගය මොකක්ද ඔළුවේ හැදෙන සිදුරේ තරම කෙස් පිච්චෙනවාද කියලා. අපේ ඒවා එතරම් පර්යේෂණාත්මක නෑ. ඉක්මනට ඉවර කරන්න හදන ගතියක් තිබෙන්වා. අනෙක අද ලේඛකයන් තමන්ගේ ඔළු ඇතුළෙ තිබෙන විවිධ මතවාද සමාජගත කරන්න පොත් ලියන්න හදනවා. විශේෂයෙන්ම තමන් සපුරා ගන්න සිහින දකින, ඒත් බැරි වුණ මනෝ ලිංගික ෆැන්ටසි පොත්වලින් සපුරා ගන්නයි, සමාජයට වෛර කරමින් තමන්ගේ ඇරියස් කවර් කරගන්නයි කරන නිර්මාණ මාර, පට්ට සම්මානනීය ඒවා හැටියට උඩ දැමීම නිසා ලොකුම හානිය වෙන්නේ පාඨකයන්ට. මොකද ඔවුන්ට විවිධ රසභාවයන් විඳීන්න තිබෙන අවස්ථාව අහිමි වෙලා බ්ලයින්ඩර්ස් දාලා තරගෙට ලෑස්ති කළ අශ්වයෝ වගේ ඔවුන් අවට නොදැක ඒ පොත් කියවනවා.
ඔබේ නිර්මාණ මේ තත්ත්වයෙන් වෙනස් කරන්න උත්සාහ ගන්නවාද?
මම කැමතියි සිංහල සාහිත්‍ය විවධ ශානර සොයාගෙන යනවා නම්. නව නළු රසයම පාඨකයන්ට දිය හැකි පොත් අපි ලියන්න ඕන. ඒ නිසා තමයි මමත් විවිධ ලේඛකයන්ගේ විවිධ ශානරවලට අයිති පරිවර්තන කරන්නේ. ඒ ඔස්සේ නිර්මාණයක් ආනන්දයෙන් ප්‍රඥාවට ඉබේම යනවා මිස බලෙන් පාඨකයා ප්‍රඥාවන්ත කරන්න නිර්මාණ කරන්න බෑ.
සාහිත්‍ය සම්මාන පිළිබඳ මොකද හිතන්නේ?
මගේ ස්වතන්ත්‍ර කෘති තිබෙන්නේ පහක් පමණ. ඒත් සම්මාන ගැන කිසි ආසාවක් නෑ. සම්මානයක් ලේඛකයකුට ධෛර්යයක් වුණත්, අද ඒවා පිරිනැමෙන ක්‍රමය ගැන, ගුරුකුලවලට බෙදීම පිළිබඳ මටත් ප්‍රශ්නයක් තිබෙනවා. විනිශ්චය මණ්ඩලත් විවාදාපන්නයි. කොහොමත් මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නෑ.
අරුණි මුතුමලී
සරසවිය
ඡායාරූප - නිශ්ශංක විජේරත්න