මිහිඳු සංස්කෘතික පදනමත් එක්ක ආරම්භ කළ ගමන ගැන මුලින්ම කියමු?
මිහිඳු සංස්කෘතික පදනම පිහිටුවලා දැන් අවුරුදු 9ක් වෙනවා. මේ පදනම පිහිටුවීමේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. සාරධර්ම අධ්‍යාපනය, පරිසරය සුරැකීම සහ කෘතවේදීත්වය තමයි එම අරමුණු.
පළමු වැනි අරමුණ ඉෂ්ට කිරීම සඳහා පාසල්, විවිධ ආයතන සහ ධර්මායතන ආදියට ගොස් දේශන පැවැත්වීම සිදු කරනවා. ඊට අමතරව ආකල්ප සංවර්ධනය උදෙසා පොත්පත් 25ක් පමණ රචනා කර තිබෙනවා. එය වසර පුරාම අඛණ්ඩව කෙරීගෙන යනවා.
2010 සහ 2011 වර්ෂවලදී 'ජලය සහ මිනිසා' නමින් විශාල ප්‍රදර්ශනයක් දිවයිනේ ප්‍රධාන නගර 25ක පැවැත්වුවා. මේ වගේ විශාල කාර්යභාරයක් අපි ඉටු කරනවා.
එයින් සංවිධානය කරන සුවඳ පද්ම උපහාර උළෙල මෙවරත් පවත්වනවා නේද?
මිහිඳු සංස්කෘතික පදනමේ තුන්වැනි අරමුණ වන කෘතගුණ සැලකීම උදෙසා තමයි සුවඳ පද්ම උපහාර උළෙල සංවිධානය කළේ. මේ සම්මාන උළෙල 07 වැනි වතාවටයි මෙලෙස සංවිධානය කරන්නේ.
සම්මාන උළෙල පවත්වන්නේ කවදා කොහේදීද?
ඔක්තෝබර් 07 වැනිදා ප.ව. 3.00ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සම්මාන උළෙල පවත්වනවා.
සුවඳ පද්ම උපහාර උළෙලේදී සම්මාන බෙදී යන්නේ කුමන පදනමක් මතද?
මේ උළෙලේ සම්මාන පිරිනැමීමේ අවස්ථා 03ක් තිබෙනවා.
ඒ යටතේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය, ආර්ථික දුෂ්කරතා, වයෝවෘද්ධ වීම ආදී කරුණු ගැන සලකා බලා විවිධ කලා ක්ෂේත්රවල සේවාවක් කරපු සමහර විට කවදාවත් ඇගයීමට ලක් නොවුණු විසි දෙනකුට සුවඳ පද්ම රජත සම්මාන විස්සක් පිරිනැමීම සිදු කරනවා මුදල් තිළිණයක් සමඟ. ඊට අමතරව සුවඳ පද්ම ස්වර්ණ සම්මාන 16ක් පිරිනමනවා. එහිදී කලාව පමණක් නොවෙයි, විවිධ ක්ෂේත්රවල විශේෂ සේවා ඉටු කළ අය ඇගයීමට ලක් කිරීම සිදු කරනවා.
සුවිශේෂී සේවාවක් ඉටු කළ පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් සුසේවාභිමානී සම්මාන දෙකක් පිරිනැමීමට නියමිතයි. මෙම සම්මාන දෙක පිරිනැමීම ඇරඹුණේ ගිය වසරේ සිටයි. ගිය වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සහ කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට එම සම්මානය සහ රුපියල් 50,000ක මූල්‍යමය තිළිණය ප්රදානය කළා.
මෙවර සුසේවාභිමානී සම්මානයේ හිමිකරුවන් කවුද?
කලාසූරී ලතා වල්පොළ මහත්මිය හා ප්‍රවීන චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය මෙවර මෙම සම්මානයට හිමිකම් කියනවා.
විශේෂ ආරාධිත අමුත්තන් ගැනත් මතක් කරමු?
ආචාර්ය ජේ.බී. දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙනවා. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වෙනවා.
උත්සවය තව තවත් පොහොසත් කරන්න ශිල්පීන් බොහෝ පිරිසකගේ දායකත්වය ලැබෙනවා නේද?
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතා උත්සවයේ ආරාධිත දේශනය පවත්වනු ලබනවා.
චන්දන වික්‍රමසිංහ ප්රමුඛ කණ්ඩායම නර්තනාංග ඉදිරිපත් කිරීම සිදු කරනවා. දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල මහා විද්‍යාලයෙන් වැදි නර්තනාංගයකුත් මෙම උළෙලට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සුනිල් එදිරිසිංහ, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි ගායන ශිල්පීන්ගෙන් උත්සව සභාව සංගීතවත් වීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය ජයන්ත රත්නායක මහතා විසින් සිදු කරනවා. පළපුරුදු නිවේදක නිවේදිකාවන් විසින් නිවේදන කටයුතු සිදු කරන්නේ.
සංගමයේ සභාපතිවරයා හැටියට මෙයින් ඔබට විශේෂ වාසියක් තිබෙනවාද?
මේකෙන් මගේ සාක්කුවට කිසිවක් එන්නෙත් නැහැ. මගේ සාක්කුවෙන් යන්නෙත් නැහැ.
ඔබ මේ දවස්වල කලා කටයුතුවල නම් පේන්න නෑ. ඇයි ඒ?
කලා කටයුතුවල නම් මම මේ දිනවල වැඩිය නැහැ. මේ දිනවල සමාජ සේවා කටයුතු සහ සාහිත්‍ය මාසය වෙනුවෙන් විවිධ ප්‍රදේශවල සාහිත්‍ය උත්සවවල දේශන සඳහා සහභාගි වෙනවා.
කලා කටයුතුවලින් අෑත් වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබෙනවාද?
නැහැ. එහෙම එකක් නැහැ. හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ හොඳ පිටපතක්, හොඳ චරිතයක් ලැබුණොත් මම ඒ නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. අවරගණයේ මෙගා නාට්‍යවලට නම් මම සම්බන්ධ වෙන්නේ නැහැ.
සිංහයෝ බඩගිනි වුණාට තණකොළ කන්නේ නැහැනේ.
ඉරේෂා කල්හාරි සේනාධීර
මව්බිම