'ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව' හේමාලි විජේරත්නගේ කුලුඳුල් ග්‍රන්ථයයි. ප්‍රවීණ රංගනවේදියකු වන සනත් ගුණතිලක කේන්ද්‍ර කොට ලියැවුණු මේ කෘතිය පිළිබඳ පාඨකයන් සහ සිනමා රසිකයන් නැඟූ පැන කීපයක් ඇතුළුව ඇගෙන් දැනගත යුතු තොරතුරු කීපයක් මෙසේ ඇසුවෙමු...
මේ ග්‍රන්ථයේ නම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා?
ඒ නම යොදන්න හේතුව මම පර්යේෂණය කරන්න කලින් සනත් ගුණතිලක කියන පුද්ගලයා පිළිබඳ අධ්‍යයනයක යෙදී ඉන්න විට මට අවබෝධ වුණා ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි සුපිරි නළු ගණයට අයත් වන අවසන් නළුවා සනත් ගුණතිලක බව. ඒ සුපිරිබව තීරණය වන්නේ ඔහු සතු ජන ආකර්ශනය වගේම රොමෑන්ටික් බව නැත්නම් රසික උන්මාදනීය බව එක් වුණු විටයි. තවත් සුපිරි තරු කෙතරම් හිටියත් ආවත්, වෙනත් ක්ෂේත්රවල සුපිරි තරු බිහි වුණත්, සිංහල සිනමාවේ මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව වන්නේ මොහුයි. එය තමයි මේ නමට පදනම.
ඔබේ මේ පර්යේෂණයට කොපමණ කල් ගත වුණාද?
වසර දෙකකට මඳක් වැඩි කාලයක්... මේ පර්යේෂණයට මූලිකවම ක්‍රමවේද කීපයක් භාවිත කළා. පළමුවෙන්ම සනත් ගුණතිලක මහතා සමඟ කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡා සඳහා ඉඩ දීම පිළිබඳව ඔහුට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. ඊළඟට ඔහු රඟපෑ බොහෝමයක් චිත්‍රපට නැරඹුවා. ඔහු පිළිබඳ ලියැවුණු ලිපි ලේඛන, වාර්තා ආදිය ඇසුරු කළා මූලාශ්‍ර විදිහට. ඊළඟට අප සීමා පනවා ගත්තා 1978 අග භාගයේ විජය ධර්ම ශ්‍රී ගේ සිටුකුමරියෝ චිත්‍රපටයෙන් සිනමාවට එන සනත් ගුණතිලක මගේ පර්යේෂණය සිදු කෙරෙන විට රංගනයෙන් දායක වූ අවසන් කෘතිය වන සැමීගේ කතාව දක්වා චිත්‍රපට පමණක් උපයෝගි කරගනිමින් මේ කටයුත්ත කරන්න. ඒ චිත්‍රපට සංඛ්‍යාව 133ක්. සම්භාව්‍ය, මැද මාවත සහ වාණිජ ගණයේ යන වර්ග තුනම මේ කෘතිවලට අයත් වුණා. ඒත් නියැදියක් වශයෙන් සියල්ල නියෝජනය වන චිත්‍රපට කීපයක් පමණක් තෝරාගෙන ඔහුගේ රංගභාවිතය කෙබඳුද? ඒ මඟින් ඔහු සන්නිවේදකයකු ලෙස ලාංකේය සිනමාව තුළ කටයුතු කළේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට හැකි වුණා.
සනත් ගුණතිලකගේ සන්නිවේදන භූමිකාව රංගනයට පමණක් සීමා වන්නේ නෑ?
ඔව්. ඇත්තෙන්ම මගේ පර්යේෂණයත් ලාංකේය සිනමාව, මාධ්‍ය කලාව සහ දේශපාලන ලෝකය තුළ සනත් ගුණතිලකගේ සන්නිවේදන භූමිකාව හැටියටයි කළේ. ඒ අතර නළුවකු ලෙස ඔහුගේ භූමිකාව කෙබඳුද යන්න පිළිබඳ තමයි අර චිත්‍රපට ඇසුරින් කතා වෙන්නේ. ඊට අමතරව චන්ද්‍රිකා මැතිනියගේ මාධ්‍ය උපදේශක ලෙස සේවය කළ කාලයේ සහ සෘජුව දේශපාලන ක්රියාකාරකයකු ලෙස මෙන්ම වක්‍රව දේශපාලනයට දායක වූ අවස්ථා පිළිබඳ යම් ප්‍රමාණයක් සාකච්ඡාවට බඳුන් කළා. ඒ සියල්ල සමඟ තමයි මේ පොත ලියැවුණේ.
ඔබට හැඟෙන ආකාරයට ඔහුගේ සන්නිවේදනය කොයි ආකාරයක එකක්ද?
ඔහු ඉතාම ප්‍රබල සන්නිවේදකයෙක්. හැබැයි ඔහුට හුදෙක් සුදු හුණු ගෑමට මේ පොත සූදානම් වුණේ නෑ. උදාහරණයක් ලෙස ඔහුගේ රංගනයේ ප්‍රබල අවස්ථා මෙන්ම ඉතාම දුර්වල අවස්ථා මෙහි දක්වා තිබෙනවා. විශේෂයෙන් මෑත භාගයේ වාණිජ සිනමාව තුළ ඔහුට තරම් නොවන චරිත සඳහා වූ දායකත්වය පිළිබඳ විවේචනාත්මකවත්, විරාගය වැනි චිත්‍රපටවල ඔහුගේ රංග කෞශල්‍යය පිළිබඳවත් සමබරව මෙහි සඳහන්. විශේෂයෙන් ස්ටැනිස්ලව්ස්කිගේ න්‍යාය වගේම වෙනත් බටහිර සහ පෙරදිග රංගන රීතින් කෙසේ අනුගමනය කළාද?, එමඟින් ඔහුගේ සන්නිවේදනය කෙතරම් දුරට සාර්ථක කර ගන්නට ලැබුණාද? යන්න පිළිබඳව මෙහි සාකච්ඡා වෙනවා. ඔහුගේ දේශපාලන භූමිකාව නම් අසාර්ථක වූ බව මෙහි සෘජුවම දක්වා තිබෙනවා.
මෙවැනි විවේචනවලට ඔහුගෙන් ලැබුණේ කෙබඳු ප්රතිචාරයක්ද?
පොතට පසු වදනක් ලියමින් ඔහු සඳහන් කරනවා මේ පොතේ ඔහු පිළිබඳ ලියැවුණු සියල්ල ඉතා ආදරයෙන් පිළිගන්නට ඔහුට හැකියාව තිබෙන බව. ඒ වගේම පර්යේෂණය කරන කාලය තුළත් ඔහු මට උපරිම නිදහසක් ලබා දුන්නා ස්වාධීනව කටයුතු කරන්න, කිසිම බලපෑමකින් තොරව. රංගනයේ මෙන්ම දේශපාලනයේ ඔහුට තිබූ ප්රතිරූප පිළිබඳ මගේ මතය හෙළි කිරීමට ඔහු මට පූර්ණ නිදහස දී තිබුණා.
මෙය ඔබේ සමාජීය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා කළ නිබන්ධය. විශ්වවිද්‍යාලය මේ පොත පිළිබඳ ආකල්පය?
මීට ප්‍රථම මෙරට නළු නිළියන් පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු වී තිබුණත් සනත් ගුණතිලක නමැති නළුවා පිළිබඳ කොපමණ ලිපි ලේඛන පළ වුවත් මෙතෙක් ලංකාවේ විශ්වවිද්‍යාල හෝ වෙනත් මට්ටමකින් පර්යේෂණයක් හෝ පොතක් කෙරී තිබුණේ නෑ. ඒ නිසා සනාථන සභාවෙන් අවසරය ලැබුණා. මේ පොතේ විශේෂත්වය ඔහු පිළිබඳ දත්ත රැසකුත් මෙයට එක කර තිබීමයි. ඔහු චරිත නිරූපණය කළ චිත්‍රපට, එහි තාක්ෂණික තොරතුරු, සහායක නළු නිළියන්, ගීත ගැයූවන් ආදි ශිල්පීන්ගේ නම් වගේම ඔහු අප හඳුනා නොගත් ක්ෂේත්රයක් වන ගීත රචනයට අත පෙවූ සැටි, ටෙලි නාට්‍ය නළුවකු ලෙස ඔහුගේ භූමිකාව මීට පෙර විචාරයට හසු වුණේ ම නැහැ. ඒත් ඔහු ටෙලි නාට්‍ය චරිත දෙකකට පණ දී තිබෙනවා. ඒ නිසා මෙය රංගනය ඉගෙන ගන්නා අයටත් හොඳ හැදෑරීමක් කියා මා සිතනවා.
අපි ඔබේ මාධ්‍ය ජීවිතය පිළිබඳ කතා කරමු?
මම ලේක්හවුස් ආයතනයට ආවේ කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක් විදිහයට. ජන සන්නිවේදන විෂය හදාරන විද්‍යාර්ථියකු ලෙස මුලින්ම සම්බන්ධ වුණේ සරසවිය පුවත්පතටමයි. සනත් ගුණතිලක සහ මා අතර බැඳීම පටන් ගත්තෙත් ඒ යුගයේදීමයි. ඔහු පිළිබඳ ලේක්හවුස් පුවත්පත්වල ලියද්දි තමයි මට හිතුණේ ඔහු හැදෑරීමක් කළ යුතු නළුවෙක් කියලා. මේ ගමන් මඟට මට විශාල ශක්තියක් වුණේ එවකට ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයාව සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගුරුතුමායි. ආර්ථික ලාභයකින් තොරව මේ පොත මුද්‍රණය කර දුන් ඉමාෂි ආයතනයටත් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වනවා.
ඔබ තවත් ග්රන්ථයකටත් සූදානම්ද?
අනාගතයේ එහෙම වෙයි කියා හිතනවා.
අරුණි මුතුමලී
සේයා රූ - නිශ්ශංක විජේරත්න
සරසවිය