අඛිල සපුමල් නාට්‍ය නිර්මාණ ගණනාවක් හරහා අවධානය දිනාගත් තරුණ නාට්‍ය අධ්යක්ෂවරයෙක් සහ රචකයෙක්. ඔහු නිර්මාණය කළ ‘හිනා වෙලා මිනිත්තුවක්’ නාට්‍යය මෙවර යෞවන සම්මාන නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය බවට පත්වෙනවා. මේ ඔහුගේ නාට්‍ය භාවිතාව පිළිබඳව සිදුකළ කෙටි සාකච්ඡාවක්.
ඔබගේ නාට්‍ය කලා ප්‍රවේශය කොහොමද?
සමාජ වෙනසකට ජීවිතයේ හොඳම කාලය කැප කිරීමටත් ඒ සඳහා කලාව තෝරා ගැනීමටත් සුදුසු පරිසරයක් මට තිබුණා. දහම් පාසල තමයි මගේ රංග පාසල වුණේ. ගමේ හිතවතුන්ට දන්න තරමින් නාට්‍යයක් හදලා පෙන්වන එකෙන් තමයි මම නාට්‍ය කලාව ආරම්භ කළේ. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේදී නාට්‍ය කලාව පිළිබඳව තවදුරටත් හදාරන්න අවස්ථාව ලැබෙනවා. පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. විශ්වවිද්‍යාලයේ තිබුණ පරිසරය මට නාට්‍ය කලාවට අවතීර්ණ වීමට විශාල සහයෝගයක් දෙනවා. ‘පොළොවෙන් උපන් පුත්තු’, ‘රාවණ ආදරයේ හුස්ම ළඟ’, ‘ඌ වීරයා’, ‘බැකි’ සහ මෙවර යෞවන සම්මාන උළෙලේ විශිෂ්ටතම නාට්‍යය වූ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වැනි නාට්‍ය නිෂ්පාදන මේ විදියට ලබපු අත්දැකීම් සහ අධ්‍යයනයන්වල ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වෙනවා.
මෙවර යෞවන සම්මාන නාට්‍ය උළෙලේ ඔබගේ නාට්‍යය හොඳම නාට්‍යය බවට පත්වෙනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද?
විශේෂ සතුටක් නෑ. මාගේ නිර්මාණ අතුරෙන් ‘රාවණ ආදරයේ හුස්ම ළඟ’ නාට්‍යයට මම හුඟාක්ම කැමතියි. 2012 යෞවන නාට්‍ය උළෙලේ රඟ දැක්වූ එකම ස්වතන්ත්‍ර නාට්‍යය වුණේ ඒ නාට්‍යය. නමුත් ඒ නාට්‍යයට කිසිදු අවධානයක් ලැබුණේ නැහැ. ඉතින් එදා ඒ දොම්නස වින්ද ආකාරයෙන්ම තමයි මෙවර සම්මාන සම්බන්ධයෙන් සොම්නස විඳගන්නේ. අනික මගේ නාට්‍ය නිර්මාණකරණයේ මුඛ්‍ය පරමාර්ථය සම්මාන නෙමෙයි. මට අවශ්‍ය ජනතාව සමග මගේ නාට්‍ය කලාව බෙදාගන්න. නමුත් සම්මාන ජනතාව අතරට යෑමට මාර්ගයක් නම් මා ඒ සඳහා කැප වෙනවා. ඒ වගේම අපිට පේ්රක්ෂකයන් අතරට යෑම සඳහා මාර්ගයක් යෞවන නාට්‍ය උළෙල හරහා සිදු වෙනවා නම් අවංකවම මා මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වෙනවා. නමුත් එහෙම තැනක් මේ රටේ නැහැ කියලායි මම හිතන්නේ.
ඔබ නාට්‍ය නිර්මාණකරණයේ යෙදෙන අරමුණ මොකක්ද?
නාට්‍ය කලාව අතපතගාන කාලයේ සිටම මගේ නාට්‍ය කිරීමේ අරමුණ වුණේ ජනතාව සඳහා නාට්‍ය නිර්මාණය කිරීම. මම හිතන්නේ ඒ අරමුණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මට අනුව නාට්‍ය කලාව තරම් නිදහස් කලා මාධ්‍යයක් නැහැ. නාට්‍ය ලෝකය තුළ සිදුවන්නේ මට අවශ්‍ය දේ නිසාත්, එයින් මාගේ සිතැඟිවලට ජීවය එනු දැක මා ප්‍රමුදිත වන නිසාත් මම හැමදාම නාට්‍ය කලාවට ආදරය කරනවා.
නාට්‍ය කලාව තුළ බොහෝ විට පවතින දේශපාලන, සමාජ අර්බුද සාකච්ඡා කෙරෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
ගැඹුරින් පැතිරුණු පුළුල් දැක්මක් සහිතව සමාජය කලාත්මකව නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් නාට්‍යයකින් සිදුවෙනවා. යම් වස්තු විෂයක් දාර්ශනිකව සිතා පේ්රක්ෂකයාගේ සිතැඟි ස්පර්ශ වන අයුරින්, රසයක් උද්දීපනය වන ලෙස ගැළපීම, රඟ දැක්වීම නාට්‍යයකින් සිදු වෙනවා. ඉතින් සමකාලීන දේශපාලනය වගේම ආර්ථිකය, ආගම, සදාචාරය, නාට්‍ය සඳහා හොඳ අමුද්‍රව කියලායි මම හිතන්නේ. තරුණයන්ගේ සමාජ පීඩනය, සමාජ අසාධාරණය, සත්‍යය සිය නිර්මාණ ඔස්සේ පෙරට ඒම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවා අමුඅමුවේ ප්රකාශවීම තමයි සුලබව දක්නට ලැබෙන්නේ. සෞන්දර්යය, නව්‍යත්වය, අපූර්ත්වය අමතක කර දේශපාලන අර්බුද නාට්‍ය මගින් කතා කිරීම දේශපාලන රැස්වීම් මතක් කරනවා. එසේ නොවි අර්ථය, සත්‍යය, රසය සමඟ මුසු කිරීමට පුළුවන්නම් එය වඩා සාර්ථකයි.
වර්තමාන සමාජය හා නාට්‍ය කලාව අතර සම්බන්ධය ගැන ඔබගේ අදහස මොකක්ද?
ඒ සම්බන්ධය කටුගාලා ඉවරයි. සමාජය හා නාට්‍ය අතර සම්බන්ධය ශක්තිමත් නම් ඒ දේශයේ ප්රජාතන්ත්රවාදය ඉහළ තැනක තිබෙනවා. නමුත් බහුතරයක් මේ රටේ මිනිස්සු නාට්‍ය කියලා හිතන් ඉන්නේ ශාන්ති කර්ම සහ නැටුම්. නමුත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් හා තිරසාර වීමට නම් නාට්‍ය කලාව හා ජනතාව අතර ළෙන්ගතු ඇසුරක් තිබීම අතිශය වැදගත්.
වර්තමාන තරුණ නාට්‍යකරුවා මුහුණ දෙන ප්‍රධාන අර්බුද මොනවාද?
මේ සම්බන්ධයෙන් අවුරුදු 36ක් පුරා යෞවන නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය සම්මානය ලබපු නාට්‍යකරුවන් සියලූදෙනාම කියලා ඇති. නමුත් කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. මෙවර 37 වන යෞවන සම්මාන උළෙලේ හොඳම නාට්‍යකරුවා ලේබලය සහිතව මටද ඒ අර්බුද රාශියම කියන්න සිදුවෙනවා. නමුත් එදා මුහුණ පෑ අර්බුද ඊටත් වඩා සංකීර්ණ තත්වයන් යටතේ තරුණයන් මත පතිත වෙලා අවසානයි. නාට්‍ය රඟදැක්වීමට සුදුසු අවම මිලක් යටතේ වෙන් කරගත හැකි රංගශාලා නොමැතිවීම, නාට්‍ය පුහුණුවීම් කිරීමට සුදුසු ස්ථාන නොමැතිවීම, නාට්‍ය කලාවේ නව ප්රවණතා ඔස්සේ පර්යේෂණාත්මක නාට්‍ය නිෂ්පාදකයන්ට නාට්‍ය රඟ දැක්වීමට සුදුසු රංග ශාලාවක් (නම්‍යශීලි) නොමැතිවීම, තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයෑම සඳහා මාධ්‍ය තුළින් ඉඩක් වෙන් නොවීම, බොහෝ තරුණ නාට්‍යකරුවන් විරැකියාවෙන් සහ දැඩි ආර්ථික අපහුසතාවන්වලින් පෙළීම වැනි අර්බුද නිසා ලංකාවේ නාට්‍ය කලාව මේ වන විට දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා.
නාට්‍ය කලාව සම්බන්ධයෙන් රාජ්‍යයේ මැදිහත්වීම ගැන ඔබ මොකද හිතන්නේ?
අතිශයින්ම දුර්වලයි. ඉතිහාසය අමතක කරලා මෑත කාලය පිළිබඳව පමණක් කතා කළත්, උදාහරණයක් විදිහට 2013, 2014, 2015 යෞවන සම්මාන දිනූ නාට්‍ය සම්බන්ධයෙන් රාජ්‍යය විසින් කරලා තියෙන මැදිහත්වීම මොකක්ද? අඩුගණනේ ඒ නාට්‍ය ලංකාව තැන් කිහිපයකවත් පෙන්වන්න වැඩපිළිවෙළක් රාජ්‍යයට නැහැ. මම හිතන්නේ නාට්‍යකරුවෙක් ගිනි තියාගෙන මැරුණොත් නම් රාජ්‍ය අවධානය යොමුවෙයි. ඒ වනතෙක් රාජ්‍යය කිසිවක් නොකර බලා ඉන්නවා.
නාට්‍ය කලාව සමාජයට මැදිහත්වීමේ කලාවක් වශයෙන් තවදුරටත් වලංගුද?
අද පවතින නාට්‍ය කලාව සුළුතර ජනතාවක් පමණක් ආමන්ත්‍රණය කරන කලාවක් බවට පත්වෙලා තිබෙනවා. ඉතිහාසයේ ග්‍රීක නාට්‍යයක් පෙන්නුවේ පෞර රාජ්‍යයේ හැමෝටම බලන්න. අද එවැනි තත්ත්වයක් ලෝකේ කොහේවත් නෑ. මම හිතන්නේ නාට්‍ය කලාවෙන් කරන සජීවි බලපෑම කරන්න අනිකුත් කිසිම කලා මාධ්‍යයකට බැහැ. නාට්‍යයේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට පේ්රක්ෂකයා පත්වෙනවා. නාට්‍යයට ජීවය එන්නේ පේ්රක්ෂකයෝ නිසා. දන්නෙම නැතුව නාට්‍යය මඟින් සමාජය වෙනස් කරන්න අවශ්‍ය ඥානය සැපයෙනවා. සබුද්ධික ජනතාවක් බිහිකර ගැනුමට නාට්‍ය කලාවේ මැදිහත් වීම වැදගත් වෙන්නේ ඒ නිසායි.
රට පුරා තිබෙන දෙතුන් සීයක රංග ශාලා හොඳ තත්ත්වයෙන් තිබෙන දවසක, ඒ හැම රංග ශාලාවකම නාට්‍යයක් පෙන්වන කාලයක, ලාංකේය සමාජයේ නාට්‍ය කලාව සමාජයට ප්‍රබල බලපෑමක් කරයි කියලා මම හිතනවා. නාට්‍යකරුවන් සිහිනය විය යුත්තේ එයයි. ඒ සඳහා අප නිරන්තරයෙන් වැඩ කළ යුතු වෙනවා.
චමිල ප්‍රියංක
රාවය