එක් පසකින් විශ්වවිද්‍යාලයීය අධ්‍යයනයන් ඔස්සේද අනෙක් පසින් හෙළ හවුලේ ප්‍රබල අනුගාමිකයකු වූ සඳදස් කෝපරහේවා නම් වන තම පියාණන්ගේ ආභාසයෙන්ද සිය බස අලළා පෘථුල පරාසයකඅවබෝධයක් ලත් මහාචාර්ය සඳගෝමි කෝපරහේවා නූතන සිංහල භාෂා ශාස්ත්‍ර විෂයයෙහිලා මෙතෙක් ඉටු කොට ඇති කාර්යභාරය සුවිශේෂය. සිංහල භාෂාව ඇතුළු විෂයයන් රැසක් අරබයා ඔවුන් විසින් විරචිත පර්යේෂණාත්මක ග්රන්ථ සමුදාය අතරට අලුතින්ම එක් වූ ‘සිංහල අකුරු පුරාණය’ කෘතිය මේ සංවාදයට නිමිති වේ.
ඔබේ නවතම කෘතියට පදනම් වී ඇති කරුණු ඇසුරෙන්ම මේ සංවාදය ආරම්භ කරමු...
මූලික වශයෙන් මේ ග්‍රන්ථය සැකසී ඇත්තේ අකුරු පිළිබඳ ඉතිහාසය, වර්තමානය හා එහි සිදු වී ඇති වෙනස්කම් යන කරුණු පදනම් කරගෙනයි. අකුරු අපේ ජීවිත සම්බන්ධ වී තිබෙන්නේ පුදුමාකාර විදියට! එහෙත් ඒ ගැන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ නැහැ.
බලන්න: දරුවකු ඉපදුණු දවසේ සිටම අප ඔහුට නමක් තබන්න අකුරු සොයනවා. ඒ කියන්නේ ජීවිතේ පටන්ගන්නෙම අකුරුවලින්. ඊට පස්සෙ දරුවන්ට අකුරු කියවනවා. ඔය අතරේ කාලයත් සමඟ අපේ අකුරු වෙනස් වෙලා... අලුත් අකුරු එකතු වෙලා... සමහර අකුරු නැති වෙලා ගිහිල්ලා... අකුරුවල තිබෙන රූපික පැත්ත ගැන අද විශාල අවධානයක් යොමුව තිබෙනවා. අද වන විට විවිධ මෝස්තර නිර්මාණය සඳහා පවා අකුරු භාවිත වනවා. අකුරුවල තිබෙන චමත්කාරය කුෂන් කවරවලට පවා එකතු වෙලා! මේ හැම කරුණකින්ම පැහැදිලි වන්නේ අකුරු කොතරම් දැඩි ලෙස අපේ ජීවිත සමඟ මෙන්ම සංස්කෘතිය සමඟත් බද්ධ වෙලා තිබෙනවාද කියලයි.
මේ ලෙස සෙල්ලිපි හා පුස්කොළපොත්වල සිට මුද්‍රණ අකුරු පසු කර, පරිගණකය ඔස්සේ නවීන ජංගම දුරකතනය දක්වාම අද වන විට අක්ෂර පැතිර ගොස් තිබෙනවා. ඒ අතර අද අකුරුත් සමඟ බැඳුණු යම් තාක්ෂණයක්ද පවතිනවා. මේ හැම කරුණකටම අවධානය යොමු කරමින්, අකුරුවල ඉතිහාසය, වර්තමානයෙහි එහි ස්වභාවය ඇතුළු අකුරු හා බැඳුණු මාතෘකා 35ක් ඔස්සේ මම මේ පොතෙහි කරුණු පෙළගැස්වීමට කටයුතු කළා.
භාෂා විෂයයෙහිලා අකුරුවල වැදගත්කම කුමක්ද?
වාග් විද්‍යාත්මකව බැලුවොත් භාෂාව කියන්නේ අකුරු නොවෙයි. භාෂාව යනු භාෂණයයි; කථා කිරීමයි. භාෂාව ප්‍රධාන වශයෙන් බිහි වන්නේ ශබ්දවලින්. අකුරු කියන්නේ ද්විතීයික දෙයක්. ඒ නිසා භාෂාවක මූලික වන්නේ කතාබහයි. ඔබ මා සමඟ මේ කරන කතාබහ මූලිකයි. එය ලියා දැක්වීම ද්විතීයිකයි.
එතකොට ලේඛනයට පිවිසීමත් සමඟම තමයි අකුරුවල වැදගත්කම ඉස්මතු වන්නේ. ඒත් ශිෂ්ටාචාරය ආරම්භයේ පටන්ම අකුරුවලට හා අකුරු මත පදනම් වුණු ලේඛනයට වැඩි වැදගත්කමක් හිමි වෙලා තිබෙනවා. භාෂණයට වඩා ලේඛනය වැදගත් වුණු සමහර අවස්ථා අපට ඉතිහාසයෙන් සොයාගත හැකියි. ඒ වගේම ලේඛන ක්‍රමයක් තිබෙන භාෂාවලට වැඩි වටිනාකමක්ද ලැබෙනවා. ඒ එක්කම අකුරුවලට තියෙන වැදගත්කමත් පැහැදිලිවම පෙනෙවා. ලේඛන ක්‍රමයක් භාවිත වන ඕනෑම තැනක මොන ස්වරූපයෙන් හෝ අකුරකුත් භාවිතා වෙනවා. එහෙම නැතුව ලේඛනයක් බිහි වන්නේ නැහැ.
අකුරු පිළිබඳ සලකා බලන විට අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි සිංහල භාෂාවටම ආවේණික වූ අකුරු අපට තිබෙන බව. පාලි භාෂාවට ආවේණික අකුරු නැහැ. පාලි භාෂාව ලියන්න ලංකාවේදී සිංහල අකුරු යොදාගන්නවා; බුරුමයේදී බුරුම අකුරු යොදාගන්නවා; ඉංග්‍රීසි අය ඉංග්‍රීසි අකුරු යොදාගන්නවා. ඒ නිසා සිංහල අකුරු සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් තත්ත්වයක්. හැබැයි භාෂාවක තිබෙන හැම දෙයක්ම ලේඛනයෙන් නිරූපණය කරන්න බැහැ. අනෙක් අතට භාෂණයේ නැති අකුරු අපේ ලේඛනයෙහි තිබෙනවා. එහි ඇති මහාප්‍රාණ වගේ දේවල් ලියන්න ගන්නවා. එහෙත් ඒවායින් කතා කරන්නේ නැහැ. ඒ අනුව භාෂාවේ ශබ්ද හා අක්ෂර අතර සැම විටම එකිනෙකට අනුරූපතාවක් දක්නට නැහැ. ඒ නිසා තමයි අක්ෂර වින්‍යාසය පිළිබඳ ගැටලු බලවත් ලෙස ඉස්මතු වන්නේත්.
කෙටි පණිවිඩ (sms) යැවීමේදී සිංහල භාෂාව ඉංග්‍රීසි අකුරින් ලිවීමේ ප්‍රවණතාව ඔබ හඳුනාගන්නේ කෙසේද?
අකුරු හැමදාම තිබුණේ තාක්ෂණයත් සමඟයි. ගල්වඩුවාගේ පටන් පුස්කොළ පොත, මුද්‍රණ අකුරු ඔස්සේ වර්තමානය වන විට පරිගණකය හා නවීන ජංගම දුරකතනය වෙත එන විට එය වඩාත් පුළුල් වෙලා. කෙටි පණිවිඩ යැවීමේදී Ada Hawasata Hamu wemu කියා අපි ඉංග්‍රීසි අකුරෙන්, ඒ කියන්නේ Roman (රෝමන්) අකුරුවලින් ලියූවා කියා සිතමු. එවිට එතැනදී වෙනස් වන්නේ ලේඛන ක්‍රමය විතරයි. භාෂාව වෙනස් වන්නේ නැහැ. අක්ෂර පරිවර්තනයක් විතරයි වන්නේ. අද වුවත් අපි පෝරම පුරවද්දී අපේ නම, ලිපිනය වගේ දේවල් ඉංග්‍රීසි අකුරින් ලියනවා. මේවා සිංහල වචන; අකුරු ඉංග්‍රීසි. එතැනදී වන්නේත් අකුරු වෙනස් වීමක් පමණයි. sms පණිවිඩවලත් තිබෙන්නේ ඒ ලක්ෂණයම තමයි. ඒ නිසා මේ කාරණය අපට ආගන්තුක දෙයක් නොවෙයි.
මේ පිළිබඳ විමසා බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි සිංහල භාෂාව ඉංග්‍රීසි අකුරින් ලිවීමේ වුවමනාව ඉතා ඈත අතීතයට දිවයන්නක් වන බව. සිංහල භාෂාව රෝමන් අකුරුවලින් ලිවිය යුතුයැයි කියන අදහස 1845 වගේ ඈත වකවානුවක සිට එන අදහසක්. ඒ වගේම 1930 ගණන්වල යළිත් එම යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වගේම 1970 ගණන්වලදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එවැනි යෝජනාවක් ගෙනාවා. ඒ නිසා මේ ලිවීමේ ක්‍රමවේදයට ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. එය ප්‍රායෝගික ලෙස ශීඝ්‍රව ව්‍යාප්ත වෙලා ගියෙ sms යවන්න පටන් ගැනීමත් සමඟයි. අපට පුළුවන් පද්‍යයක අර්ථය පරිවර්තනය කරන්නේ නැතිව, එහෙම නැත් නම් වෙනත් ප්රබන්ධයක ඡේද පරිවර්තනය කරන්නේ නැතිව අක්ෂර විතරක් පරිවර්තනය කර ඉදිරිපත් කරන්න. එතකොට ලෝකේ ඉන්න ඕනෑම සිංහල දන්න කෙනකුට පුළුවන් එය මුල් ආකාරයෙන්ම කියවා තේරුම් ගන්න.
මේ තත්ත්වය නිසා සිංහල අකුරු නැතිව යෑමේ අවදානමක් නැද්ද?
එහෙම වෙන්න හේතුවක් නැහැ. සිංහල අකුරු නැති වෙලා යනවා නම් එහෙම වෙන්න තිබුණේ යතුරුලියනය අප රටේ භාවිතයට එක් වූ කාලයේයි. එහිදී බොහෝ දෙනකු උත්සාහ කළා ඉංග්‍රීසි යතුරුපුවරුවම සිංහල අකුරු ලියන්නත් යොදාගන්න. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. බොහෝ දෙනකු කියූවා කවරදා වත් සිංහල යතුරුපුවරුවක් හදාගන්න බැහැ කියලා. මොකද: ඉංග්‍රීසියේ ඇත්තේ අකුරු 26යි. සිංහලයේ අකුරු 58ක් විතර තිබෙනවා. පිලි සංකේතත් ආ විට එය 80ක් පමණ වනවා. ඒ නිසා සිංහල යතුරුලියනයක් නිර්මාණය කෙරුවොත් එය ගෙනයන්න ලොරියක් ගෙනෙන්න වේයැයි උපහාසයෙන් යුතුව පැවසූ ඇතැමුන් රෝම ඉංග්‍රීසි යතුරුපුවරුවම සිංහල අකුරුවලටත් යොදාගනිමු කියා යෝජනා කළා. එහෙත් සම්මත සිංහලයට අනුව විජේසේකර යතුරු පුවරුව නිර්මාණය වුණා. ඊට පස්සෙ තව-තවත් යතුරුපුවරු බිහි වුණා. සිංහල යතුරුලියන උපයෝගි කරගනිමින් මෑතක් වන තුරුම කාර්යාලයීය කටයුතු සිදු කෙරුණා. ඒත් අද සිංහල යතුරුලියනය පමණක් නොවෙයි, ඉංග්‍රීසි යතුරුලියනයත් කෞතුක භාණ්ඩයක් බවට පත් වෙලා.
මේ අනුව ඉංග්‍රීසි අක්ෂරයෙන් ලියූවා කියා සිංහල අකුරු නැති වන්නේ නැහැ. හැබැයි වෙනත් හේතු නිසා නම් අකුරු නැති වෙලා යන අවස්ථා තිබෙනවා...
ඒ අවස්ථා මොනවාද?
කිසියම් අකුරක් ව්‍යවහාරයේ පවතින්නේ නැත් නම්, එවැනි අකුරු නැති වෙලා යනවා. ඒ නිසා අකුරක පැවැත්ම රඳා පවතින්නේ ව්‍යවහාරය මතයි. ඉස්සර ‘ලංකා බැංකුව’ කියල ලියූවේ, ‘ලඞකා බැංකුව’ කියලා. ඒ වගේ අතීතයේදී වචන රාශියක්ම කණ්ඨජ නාසික්‍යය වන ඞ යොදාගෙන ලියූවා. අද එහෙම ලියන්නේ නැහැ. මොකද: ඒ අකුර අද ව්‍යවහාරයේ නැහැ.
ඒ වගේම තමයි ව්‍යවහාරයේ පවතිනවා නම්, කිසිම අකුරක් කෘත්‍රිමව නැති කරන්නත් බැහැ. හොඳම උදාහරණය තමයි න-ණ, ල-ළ භේදය. මේ සම්බන්ධයෙන් හටගත් සංවාදය මෑත යුගයේ සිංහල භාෂා සාහිත්‍ය ක්ෂේත්රයේ ඇති වුණු ඉතා වැදගත් සාකච්ඡාවක්. එහෙත් එක් කෙනෙක්-දෙන්නෙක් හැරෙන්න අපේ ලේඛකයන් තවමත් ඒ සම්ප්රදාය ආරක්ෂා කරනවා. ඒ නිසා ඒ අකුරු හා ඒ අකුරු සමඟ බැඳුණු සම්ප්රදාය තවමත් පවතිනවා. තාක්ෂණයත් සමඟ ලිවීමේ කලාවද වෙනස් වී තිබෙනවා. එයට අනුරූපව අකුරුද හැඩගැසී තිබෙනවා. බැඳි අකුරු, රේපය වැනි දේ අද ලිවීමේ කලාව තුළ දක්නට නැහැ. පුස්කොළ පොතට අවශ්‍ය නිසා බැඳි අකුරු ඒ ලියවිලිවල භාවිත වුණා. ඒත් අද වන විට එය නැතිව ගොස් තිබෙනවා. එයින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සාක්ෂරතා පුරුදුත් වර්තමානයට ගැළපෙන ලෙස වෙනස්ව ඇති බවයි. එහෙත් වර්තමානයේ පවා පැරණි අකුරු ඒ ආකාරයෙන්ම ලියාගන්න ඇති හැකියාව පිළිබඳ පරිගණක විශේෂඥයන් අවධානය යොමු කරමින් පවතිනවා. භාෂාවේ අවශ්‍යතාවට තාක්ෂණය යොදාගන්න පුළුවන්.
ඒ වගේම තාක්ෂණය නිසා අද වන විට සිංහල අකුරුවල රූපික ස්වභාවයත් වෙනස් වෙලා...
ඔව්. සිංහල භාෂාවේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක් තමයි අකුරු. එහෙත් කාලයත් සමඟ පරිණාමය වී, අද වන විට එහි රූපික ස්වභාවය නව මුහුණුවරක් ගෙන තිබෙනවා. බ්රාහ්මී අක්ෂරවල සිට සිදු වූ ඒ වෙනස පුරාක්ෂරවේදීන්ගේ අවධානයට යොමුව තිබෙනවා. එය අවධි කීපයකින් හඳුනාගන්න පුළුවන්. ලතාකාර අවධිය - ඒ කියන්නේ: ක්‍රිව 4-8 සියවස් කාලය තුළ - සිංහල අකුරු රූපික වශයෙන් වැල් හැඩයක් ගත්තා. ඒත් මුද්‍රණ කටයුතුවල ව්‍යාප්තියත් සමඟ සිංහල අකුරු වෘත්තාකර හැඩයකට මාරු වුණා. මොටාගෙදර වනිගරත්න මහතා හඳුන්වා දුන් අකුරු කලාව ‘මොටා ටයිප්’ (mota type) ලෙස හඳුන්වනවා. වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා විවිධාකාර ලෙස අකුරුවල රූපික ස්වභාවය වෙනස් කරනවා. ඒ වගේම විවිධ ලාංඡන, සිරස්තල, පුවත්පත්, පොත් පිටකවර, නාමපුවරු, පෝස්ටර්, බැනර් ආදියෙහි නිර්මාණාත්මක අන්දමින් අකුරුවල රූපික ස්වභාවය වෙනස් වී තිබෙනවා. ග්‍රැෆික් මෝස්තර නිසා අකුරුවලට වෙනම අනන්‍යතාවක් ගොඩනැඟී තිබෙනවා. සිංහල ‘ෆොනුරූ’ නිර්මාණය කිරීමේදී පුෂ්පානන්ද ඒකනායක මහතා ඇතුළු තවත් කිහිප දෙනකු දරන උත්සාහයද එසේමයි. අන්තර්ජාල සන්නිවේදනය වගේම ඩිජිටල් තාක්ෂණය නිසාත් තවදුරටත් අකුරු රූපිකව වෙනස් වෙමින් යනවා. මේ හැම දෙයක් පිළිබඳවම මම මගේ ‘සිංහල අකුරු පුරාණය’ කෘතියෙහිදී සාකච්ඡා කරනවා.
සුලෝචන වික්‍රමසිංහ-උපුටාගැනීම සිළුමිණ පුවත්පතිනි