රට දේශපාලන, ආර්ථික, සදාචාරමය වශයෙන් ඉතාම පරිහානිමය තත්ත්වයක පවතින්නේ කියලා මට හිතෙනවා. ඒක ඇතුළේ කලාව විතරක් බේරෙයි කියලා හිතෙන්නේ නැහැ
රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන උළෙලේදීත් ඔබ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැන සතුටෙන් ඇත්තේ?
ඔව්. මට ගොඩක් සන්තෝෂයි.
"බැද්දේ කුලවමිය" කියන්නේ ඔබව හොඳම නිළිය සම්මාන කීපයකටම පාත්‍ර කරපු නිර්මාණයක් නේද?
ඔව්. මට හිතෙන්නේ ඒ නිර්මාණය පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්වත් ගොඩක් ආකර්ෂණය කරගත්ත නිර්මාණයක්. පිටපත් රචනය, ඒ වගේම ආනන්ද අබේනායක මහත්තයාගේ විශිෂ්ට අධ්‍යක්ෂණය, වගේම ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් ඒ නිර්මාණයට සම්බන්ධ වුණා. චාන්දනී අක්කා, රොෂාන්, මහේන්ද්‍ර, නයනා හෙට්ටිආරච්චි, ආනන්ද කුමාර උන්නැහෙ සහ බිම්සරා වගේ අය එකතු වුණා. හැමදෙයක්ම හොඳින් එකතු වුණ නාට්‍යයක් මේක. ඒකයි මේ ජයග්‍රහණය ලබන්න හේතුව.
බැද්දේ කුලවමිය නාට්‍යයේ ඔබව සම්මානයට පාත්‍ර කළ චරිතය ගැන කතා නොකළොත් අඩුවක් වෙයි?
චංචලා ඈත පිටිසර ගමක ඉපදුණත් ගතානුගතික, ගමට සෙට් වෙන්නේ නැති, ඒ චින්තනය පිළි නොගන්නා, හැමතිස්සේම ඒකට අභියෝග කරපු කෙනෙක්. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්ත ස්වභාවධර්මය එක්ක ජීවත්වෙන චරිතයක්. එයා හරිම ස්වාධීනයි. එයාට හිතෙන දේ ඕනෑම කෙනකුගේ මූණට කියන්න පුළුවන්. මොකද එයාට බොරුවට රැකගන්න වගේම පවත්වාගෙන යන්න දේවල් නැහැ. ඇය අතිශයින්ම අව්‍යාජ චරිතයක්.
මේ නිර්මාණයට සම්බන්ධ වෙනකොට හිතුවද මේ වගේ ඇගයීම් පෙළක් ඔබට ලැබෙයි කියලා?
ඇත්තටම නැහැ. මම ආනන්ද අබේනායක මහත්තයා කෙරෙහි තියෙන ගෞරවය, මේ ප්‍රධාන චරිතයට තියෙන ලෝභකම සහ පිටපත කියෙව්වමත් හරි අභියෝගාත්මක චරිතයක් ලෙස එය දැනුණ නිසාත් මේ චරිතය භාර ගත්තා. එහෙම නැතුව සම්මාන ගැන නම් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.
ඔබ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ තෝරා බේරා ගැනීම් එක්කද?
මෙහෙමයි. මට ලැබෙන චරිතය විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනි. සමාජය අන්තිම පසුගාමී තැනකට ගෙනියන නිර්මාණයකට නම් මම හිතන්නේ මම සම්බන්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මිථ්‍යා විශ්වාස වපුරන, ස්ත්‍රී විරෝධී, අතිශය ජාතිවාදී හෝ ආගම්වාදී චරිතවලට. දැන් මම සීමිත අවස්ථා ලැබෙන කෙනෙක් හැටියට තෝරා බේරා ගැනීම අඩුකරලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඒකෙන් මගේ රංගන හැකියාව තියුණු කරන්න පුළුවන් නිසා.
ඔබ වෘත්තීයමය පසුබිමින් නිළියක් විදියට හඳුන්වනවාට කැමැතිද?
ඔව්. මම හරි කැමැතියි. මොකද මම හරි ආසාවෙන් කරන දෙයක් තමයි රඟපෑම. නමුත් මම වෘත්තීය හැටියට රඟපෑම කරන්නේ නැහැ. මම ගුරුවරියක් විදියට, පරිවර්තිකාවක් විදියට, ලේඛිකාවක් විදියට වැඩ කරනවා.
ලංකාවේ රංගන ශිල්පිනියකට වෘත්තීයමය පසුබිමක් ආරක්ෂා කරගන්න පුළුවන්ද?
වර්තමානයේ තියෙන තත්ත්වය තුළ ඒක හරිම අමාරුයි. ලංකාවේ එහෙම ස්ථාපිත වෙච්ච කර්මාන්තයක් නැහැ. අපිට එහෙම වෘත්තීය අයිතිවාසිකම් හෝ ප්රමිතීන් කියලා කිසි දෙයක් නැහැනෙ. පුද්ගල මට්ටමින් කරන ගනුදෙනු හරහා තමයි හැමදෙයක්ම විසඳෙන්නේ. එහෙම ස්ථාපිත කර්මාන්තයක් තියෙනවා නම් තමයි ඒක ඇතුළේ වෘත්තීයමය අයිතිවාසිකම් සහ වෘත්තීය ගරුත්වය ඔක්කොම ආරක්ෂා කරගන්න පුළුවන්.
සම්මානයක් ලැබුණා කියන කාරණය නිසා ඔබට තියෙන වටිනාකම වැඩි වෙනවාද?
අනේ මන්දා. වැඩි වෙනවාද දන්නෑ. හැබැයි ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවා. මාව කට්ටිය පත්තරවලින්, ජ්ඡ එකෙන් දකිනවා. මම හිතන්නේ ඒක කලාකරුවකුට වැදගත්.
සිනමාවේ නිතර පේන්න නැත්තේ ඔබට ඒ ක්ෂේත්රයෙන් ආරාධනා අඩුද?
නිතර නිතර සිනමාවට සම්බන්ධ වෙන්න මම කැමැතියි. නමුත් මට එහෙම ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. ලැබුණු සීමිත අවස්ථා මම භාර අරන් තියෙනවා.
ටෙලි තිරයට අලුත් ආරාධනා ලැබුණාද?
එක නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒත් මගේ වැඩකටයුතු නිසා මට ඒක භාර ගන්න බැරි වුණා.
දැන් ලංකාවේ තියෙන කලා පසුබිම ගැන ඔබට මොකද හිතෙන්නේ?
මුළු ලංකාවම ලොකු අගාධයක තියෙන යුගයක කලාව විතරක් ඒකෙන් බේරිලා තියෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි සමාජයක් විදියට හැම පැත්තක්ම හුඟක් නරක විදියට තියෙන්නේ. ඒක ඇතුළේ යම් නිර්භීත පුද්ගල උත්සාහයන් තියෙනවා. ඒවා මම අතිශයින්ම අගය කරනවා. නමුත් රට දේශපාලන, ආර්ථික, සදාචාරමය වශයෙන් ඉතාම පරිහානිමය තත්ත්වයක පවතින්නේ කියලා මට හිතෙනවා. ඒක ඇතුළේ කලාව විතරක් බේරෙයි කියලා හිතෙන්නේ නැහැ.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම