තමන් කරන දේ තව කෙනෙක් කරයි කියලා බයවෙන අය වගේම කෙනෙකු යමක් නිර්මාණය කරනවා දකිද්දී ඊර්ෂ්‍යා කරන අයත් ඔය අතරේ ඉන්නවා. ඒ හින්දම සමහරු පේන්න නිර්මාණශීලී දේවල් නොකර හිටපු අවස්ථා පවා අනන්තවත් තිබුණා.
මම අවුරුදු 12ක් හමුදාවේ සේවය කළා. පස්සේ කාලෙක ආබාධිත තත්ත්වයට පත් වෙලා ගෙදර ඉන්න අතරේ තමයි මම නළුකමට පිවිසුණේ. රංගනය තුළින් අද වන විට මම මගේ පැවැත්ම ගොඩනගාගෙන තිබුණට ඇත්තටම මට රංගනයටත් වඩා ලොකු දක්ෂතාවක් තියෙනවා. කාලයක් මම මගේ වෘත්තිය විදියට පවා ඒ දක්ෂතාවය පාවිච්චි කළා.
බොහෝ දෙනෙක් නොදන්නා මගේ ඒ දක්ෂතාවය මොකක්ද දන්නවාද? කවුරුහරි යම්කිසි නිර්මාණාත්මක දෙයක් කරන දිහා එක වතාවක් බලාගෙන හිටියොත් මට ඒ දේ ඒ විදියටම කරන්න පුළුවන්. ඒ නිර්මාණශිලී බව එක අංශයකට විතරක් සීමා වෙලා නැහැ. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. අපේ ගෙදර නාන කාමරය හදද්දී මේසන් බාස්උන්නැහේට උදව්කරමින් මම ඒ දිහා බලාගෙන ඉන්න කොට මට නිකම්ම මේසන් වැඩ පුරුදු වුණා. ඒ පුරුද්දෙන් නංගිගෙයි මල්ලිගෙයි ගෙවල් දෙකේම නාන කාමර හැදුවේ මමයි.
කිසිම දාක මේසන් වැඩ, වඩු වැඩ පුහුණු වෙලා නැතත් මට බොහොම අපූරුවට ඒ නාන කාමර හදන්න පුළුවන්කම ලැබුණා. වතාවක් අපේ ගේ හදද්දී සවි කරපු එක ජනේලයක් දිග වැඩියි කියලා මට හිතුණා. ඒක හදපු වඩු කාර්මික ශිල්පියාට ඒ බව දැනුම් දුන්නම ඔහු කිව්වේ ජනේලය ගලවලා ගෙනත් දුන්නොත් ඒක අවශ්‍ය ප්‍රමාණයට හදලා දෙන්න පුළුවන් කියලයි. මම ආයෙම ගෙදර ඇවිල්ලා ජනේලය දිහා බලාගෙන ඉද්දී මට හිතුණා මේක ගලවන්නේ නැතුව කොට කරන්න පුළුවන් නේද කියලා. එහෙම හිතලා මම ඒ දේ කළා. ඊට පස්සේ අර වඩු කාර්මික ශිල්පියාව කැඳවාගෙන ඇවිල්ලා ඒක පෙන්නුවා. ඔයා මාර මිනිහෙක්නේ.... වඩු වැඩ ඉගෙනගෙනත් නැත්නම් මෙච්චර හොඳට මේ වැඩේ කළේ කොහොමද....? කියලා ඔහු මගෙන් ඇහුවා.
මොකක් හරි අපූරු නිර්මාණයක් දැක්කොත් නොවරදවාම මම ඒකේ ඡායාරූපයක් ගන්නවා. ඒ දිහා ටික වේලාවක් බලාගෙන ඉන්න කොට මට දැනෙනවා මේක හදලා තියෙන විදිය මොකක්ද කියලා. ඊට පස්සේ මම ඒක අත්හදා බලනවා. මොන විදියේ දෙයක් හරි මුල් නිර්මාණයට දෙවැනි නොවන විදියට නැවත හදන්න මට අපහසු නැහැ. මේ වගේ නිර්මාණ සඳහා ගොඩක් දෙනෙක් අනවශ්‍යයි කියලා පැත්තකට විසි කළ දේවල් මම ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ලීවලට ගුල්ලෝ විදපුවාම වැටෙන කුඩු, වේයෝ කාපුවම වැටෙන ගුලි වගේ දේවල් එකතු කරලා මම හදපු නිර්මාණත් තියෙනවා. උදාහරණයකට කීවොත් අපේ ගෙදර ඔරලෝසුව ලෝකේ කොහෙවත් නැති විදිහේ එකක්. මොකද ඒකත් මගේම නිර්මාණයක්. මම ඒක හැඩ කළේ වේයන්ගෙන් හැළුණු ලී ගුලිවලින්. ඒ වගේම තමයි අපේ ගෙදර තියෙන වැටත් මගේ නිර්මාණයක්. විසි කරපු බට වගයක් අරගෙනයි මම ඒක හැදුවේ.
ඔය නිර්මාණශීලී හැකියාව පුංචි කාලේ ඉඳලම මට තිබුණා. ඒ නිසා කවුරුහරි යමක් කරද්දී ඒ දිහා බලාගෙන හිටියොත් මම ඒක ඒ විදිහටම හදන බව ගොඩාක් අය දැනගෙන හිටියා. විවිධාකාර මානසික මට්ටම්වල ජීවත් වන අය අපේ සමාජයේ ඉන්නවානේ. තමන් කරන දේ තව කෙනෙක් කරයි කියලා බයවෙන අය වගේම කෙනෙකු යමක් නිර්මාණය කරනවා දකිද්දී ඊර්ෂ්‍යා කරන අයත් ඔය අතරේ ඉන්නවා. ඒ හින්දම සමහරු පේන්න නිර්මාණශීලී දේවල් නොකර හිටපු අවස්ථා පවා අනන්තවත් තිබුණා.
එක දවසක් මට අහම්බෙන් හමු වුණා විල්ලුද රෙදි මත චිත්‍ර අඳින කෙනෙක්. ඒ සඳහා භාවිත කරන වර්ණ මොනවාද කියලා මම එයාගෙන් ඇහුවා. හැබැයි එයා මට ඒක කිව්වේ නැහැ. පස්සේ මම මුළු පිටකොටුව පුරාම ඇවිදලා ඒ තීන්ත වර්ගය හොයාගෙන විල්ලුද රෙදිවල චිත්‍ර ඇඳලා ඒවා විකුණලා මුදලුත් හම්බ කරගත්තා.
හමුදා සේවයේ ඉන්න කාලේ නිලධාරීන්ගේ සපත්තුවල ගාංචු මහන්න කෙනෙක් ආවා. මම ඒක කරන විදිය ඇහුවම එයා කිව්වා ඒ වැඩේ කරන්න විශේෂ මැෂිමක් තියෙනවා කියලා. ඒත් මට හිතුනෙම සාමාන්‍ය මැෂිමකිනුත් මේක කරන්න පුළුවන් කියලයි. එදත් මම කොටුව පුරා ඇවිදලා සපත්තුවල ගාංචු මහන ඉඳිකටු හොයාගත්තා. සාමාන්‍ය මැෂිමකට ඒ ඉඳිකටු දාපුවම අපූරුවට ඒ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ රාජකාරිය පටන්ගත්තා. හමුදා සේවයෙන් ඉවත් වන තුරුම සපත්තුවල ගාංචු මහන ඕඩරය මම අරගෙන ඒකෙන් විශාල මුදලක් හම්බ කරගත්තා.
මෙකී නොකී විදිහේ දාහක් නිර්මාණශීලී දේ මම කරනවා. මේසන් වැඩ, වඩු වැඩ, දොර ජනෙල් තිර මැසීම, විසිතුරු දේ හැදීම, ටයිල් ඇල්ලීම ඇතුළු බොහෝ වැඩ මට කරන්න පුළුවන්. හැබැයි මට බැරි එකම එක දෙයක් තියෙනවා. ඒකත් හරිම අපූරු කතාවක්.
පුංචි කාලේ එක දවසක් මම කරන්ට් වැඩ කරන කෙනෙක් ළඟට ගිහින් එයා ළඟ තිබුණු විදුලි උපාංග අත පත ගාන්න ගියා. ඒ වෙලාවේ මට කරන්ට් එක වැදුණා. පුංචි කාලේ සිදු වූ ඒ දේ මට කොයි තරම් තදින් බලපෑවද කියනවා නම් අදටත් මට කරන්ට් වැඩ නම් බැහැ.
ආරියවංශ කුලතිලක
ලක්බිම