දක්ෂයෝ පිරිසක් සම්බන්ධ කරගත්තම මට මගේ ඔළුවේ තියෙන දේ පහසුවෙන් එළියට ගන්න පුළුවන්.
පුංචි තිරයට ආපු මොකක්ද මේ “ත්‍රෛලෝකා”?
රටක් විදියට ජාති, ආගම් භේද නැතුව එකමුතුව ඉන්න ඕන කියන තේමාවෙන් කළ නාට්‍යයක් තමයි ත්‍රෛලෝකා කියලා කියන්නෙ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතීන් එකමුතුව ඉන්නකොට සමහරු ඇති කරන සුළු දේවල් ප්‍රශ්න බවට පත්කරගන්න එක ගැන තමයි මේ නාට්‍යයේ කතා කරන්නේ. දැන් ත්‍රෛලෝකා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7.30ට විකාශය වෙනවා.
මේ නාට්‍යයට ත්‍රෛලෝකා කියලා නම තිබ්බේ?
මේ නාට්‍යයේ කතාවට මූලික වෙලා තියෙන්නේ සුනාමියෙන් අවතැන් වෙලා එකා විදියට නැඟී සිටින්න උත්සාහ කරන සුනාමි ගම්මානයක ජීවත්වන පිරිසක්. ත්‍රීවීල් පාර්ක් එකක් මේ කතාව ඇතුළේ පාදක වෙලා තියෙනවා. ත්‍රීවීල් එකක රෝද තුන හරියට සිංහල, දෙමළ, මුස්ලිම් ජාති තුනම වගේ. ඒ අදහස එන්න තමයි ත්‍රෛලෝකා කියන නම තිබ්බේ.
මේ වගේ තේමාවක වැඩක් කිරීමේ අදහස කාගෙද?
මේ නිර්මාණයට විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. කොමන් ග්‍රවුන්ඩ් ආයතනය තමයි ත්‍රෛලෝකා නිෂ්පාදනය කළේ. අපිට නිරන්තරයෙන් තිබුණේ හොඳ නිර්මාණාත්මක යමක් කිරීමේ වුවමනාවක්. අපිට අවස්ථාව ලැබුණම අපි එය වඩාත් කැපවීමෙන් නිර්මාණය කළා.
දැන් යන ටෙලිනාට්‍ය රැල්ල ඇතුළේ මේ වගේ නාට්‍යයකට මොන වගේ ඉල්ලුමක් තියෙයිද?
දීර්ඝ නාට්‍ය, ඉන්දියන් නාට්‍ය වගේ විවිධ හැඩයේ නාට්‍ය දැන් නාළිකාවල විකාශය වෙනවා. ඒවා බලන්න ප්‍රේක්ෂකයෝ පුරුදු වෙලා ඉන්නවා. හැබැයි යමක් හිතන්න ඉඩකඩ හදන නිර්මාණ අඩුයි. මේක වෙන විදියක වැඩක්. සරල ප්‍රේම කතා අල්ලගෙන ඉන්නේ නැතුව වෙන මානයක් අපි නිර්මාණවලින් හොයාගෙන යන්න ඕන. මේ වගේ වැඩක් කරන එක අභියෝගයක්. ඒ සියල්ල මැද තමයි මේ වගේ වෙනස් වැඩක් කළේ.
ඒ වෙනසක් ගෙනාපු ත්‍රෛලෝකා ප්‍රේක්ෂකයන් දිනාගනියිද?
දැන් ටෙලිවිෂනයෙන් බොහෝ ප්‍රේක්ෂකයන් ඈත් වෙලා ඉන්නේ. ඒ හරවත් රසවත් නාට්‍ය අඩු නිසා. දීර්ඝ නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයනුත් මේ වගේ වෙනසකට කැමැතියි. රූපවාහිනියෙන් ඈත් වුණු අයත් කාලයකින් මේ වගේ නිර්මාණයක් නරඹන්න ආසාවෙන් ඉන්නවා. මේ කතාවේ තියෙන්නේ අපි අත්දැකපු මුහුණ දෙන ප්‍රශ්න. ඒ නිසා එය ප්‍රේක්ෂකයන්ට දැනෙයි. මම බොහෝ වෙලාවට යථාර්ථවාදී රංගනයක සජීවී ලක්ෂණ තියාගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ නිර්මාණය බොහෝ දෙනෙක්ට දැනෙන නිර්මාණයක් වෙයි.
ටෙලි නාට්‍ය විකාශය වෙන්න කලින් ඉඳන්ම ටෙලි නාට්‍යයේ තේමා ගීතය බොහෝ දෙනෙක් දිනාගත්තා නේද?
ඔව්. ජාති ජාති පතන් ආපු ආදරේ ගීතේ කියන තේමා ගීතය ඉතාම ජනප්‍රිය වුණා. මෙය රේඩියෝ නාළිකාවල ප්‍රචාර වුණා. මංජුල වෙඩිවර්ධන තමයි මේ ගීතය ලිව්වෙ. ෂේන් සිංග් තමයි මෙය සංගීතවත් කළේ සහ ගායනා කළේ. ෂේන් මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. දැන් තමයි ගොඩක් දෙනෙක් දන්නේ ඒක ත්‍රෛලෝකා ටෙලි නාට්‍යයේ ගීතයක් කියලා.
මෙය කොටස් කීයක නාට්‍යයක්ද?
මේක කොටස් දහහතරක නාට්‍යයක්.
යම් විදියකින් මේ නිර්මාණය දිගට ඇදගෙන යන්න ආරාධනාවක් ආවොත්?
කොච්චර ඉල්ලීම් ආවත් මේක කොටස් දහහතරෙන් නවතිනවා. දැන් නාට්‍යයේ කොටස් දහහතරම රූගත කරලා ඉවරයි. මේක ලොකු පිරිසක් එක්ක කරපු වැඩක්. ඒක ලේසියෙන් කරන්න බෑ.
මේ නිර්මාණයත් එක්ක එකතු වෙන ශිල්පීන් නිර්මාණයට තවත් ලොකු බරක් එකතු කරනවනේ. කවුද ඒ පිරිස කියලත් මතක් කරමු?
කලණ ගුණසේකර, දසුන් පතිරණ, පූජන දන්දෙණිය, දයාදේව එදිරිසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, උමයංගනා වික්‍රමසිංහ, කෝරලගේ සමන්, නිරංජනී ෂංමුගරාජා, වසන්ති රන්වල, ආනන්ද කුමාර, මයුර කාංචන, තරිඳු රංගජිත් අබේසූරිය, සරත් කරුණාරත්න, ගිහාන් අප්පුහාමි, කසුන් කාවින්ද, සංජීව දිසානායක ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙක් මේ නිර්මාණයට එකතු වෙනවා.
ඔබේ නිර්මාණයට රංගන ශිල්පීන්, ශිල්පිනියන් තෝරගනිද්දි මූලික පදනම කරගත්තේ මොන වගේ සාධකද?
මම මගේ නිර්මාණවලට නළු නිළියන් තෝරා ගනිද්දි ගොඩක් කල්පනා කරනවා. මොකද වැඩේට අවශ්‍ය සියලු දේ ඔවුන්ගේ මතුපිටින් යන්නේ. මම දක්ෂ ජනප්‍රිය පිරිසක් තමයි නිර්මාණයට දායක කරගත්තේ. දක්ෂයෝ පිරිසක් සම්බන්ධ කරගත්තම මට මගේ ඔළුවේ තියෙන දේ පහසුවෙන් එළියට ගන්න පුළුවන්.
නාට්‍යයේ කොටස් දහ හතරේ කොහේවත් ඔබව පේන්න නැද්ද?
ඇත්තටම මේ නිර්මාණයට මාව ගැළපෙන්නේ නෑ. අනෙක් පැත්තෙන් රංගනයයි, අධ්‍යක්ෂණයයි දෙකම එකට කරන්නත් පහසු නැහැ. මගේ නිර්මාණයකින් පේන්න ඉන්න ඕන කියලා දෙයකුත් නෑ. මම කොහොමත් මූලික තැන දෙන්නේ අධ්යක්ෂණයට. ඊළඟ තැන තමයි මං තුළ ඉන්න රංගන ශිල්පියා ඉන්නේ.
ඔබේ නිර්මාණයක පේන්න නොහිටියට වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල රංගනයට දායක වෙන්න ඔබේ අකැමැත්තක් නැද්ද?
නැහැ. මම මේ දවස්වල නීල පබළු නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වෙනවා. වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වුණත් හොඳ නිර්මාණයක් නම් කාලය හදාගන්න පුළුවන් නම් මම සම්බන්ධ වෙනවා. කාලය ගැන ගැටලුව තමයි මට තියෙන්නේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම