-නිර්මාණකරුවාට වෘත්තිමය අගයක් තිබෙන බව සමහරු තේරුම් ගන්නේ නැහැ-
සංගීත අධ්යක්ෂවරයෙක්, ගායකයෙක්, වාදකයෙක්, ගේය පද රචකයෙක්, ගුරුවරයෙක් යන මේ භූමිකාවලට පණ පොවන ඔහු, තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් කරන කලාකරුවෙක්. සංගීතය මූලය කරගත් මේ නිර්මාණකරුවා නමින් සමීර වීරසිංහ. තිරය පිටුපස සිට කලාකෘතිවලට ජිවය ලබා දෙන මේ නිර්මාණකරුවා සමඟ දීර්ඝ කතාබහකට අපි මෙසේ මුල පිරුවෙමු,
සංගීතය ජිවිතයට පදනම වුණේ මොන කාලේ දී ද?
පොඩි කාලේ ඉඳලම සංගීතයට ලොකු බැඳීමක් තිබුණා. මෙන්න මේ කාලයේ කියලා ඉරක් ඇඳලා වෙන් කරලා පෙන්වන්න බැරි වුණත් මතක ඇති කාලයේ ඉඳන්ම සංගීතය තමයි ජීවිතය වුණේ. අවුරුදු 6 දී විතර පියානෝවට අත තියලා පටන් ගත්ත ගමන මේතාක් දුර ඇවිත් තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 12 දී විතර මට අවස්ථාවක් ලැබෙනවා ස්ටැන්ලි පීරිස්, විජේරත්න රණතුංග වගේ ප්‍රවීනයන් සමඟ කී බෝඩ් වාදනය කරන්න. එය මගේ ජිවිතයේ එක් හැරවුම් ලක්ෂයක් කියලා කියන්න පුළුවන්. විජේරාම පිහිටි සොනික් ස්ටුඩියෝවේ දී තමයි මම ඒ ප්රවීනයින් සමඟ කී බෝඩ් වාදනය කළේ. එතැනින් මට හොඳ දැනුමක් වගේම අත්දැකීමක් හිමිවුණා. පොඩි කාලේ මට ගුවන් විදුලියේ රජරට සේවයට ගායනයෙන් සම්බන්ධ වෙන්නත් ඉඩ ලැබුණා. අවුරුදු 16 වනවිට විශාරද විභාගයටත් මම මුහුණ දී අවසන්.
ගීතයක් සම්බන්ධයෙන් සමීරට යම් කිසි අසාධාරණයක් සිදුවෙනවා?
උසස් පෙළ විභාගයට මුහුණ දුන්නට පස්සේ මම එක් පුදගලයෙක් සමඟ ගීත නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙනවා. මිනිස්සු ගැන ලොකු අත්දැකීම් නැති කාලේ හිතවත්කමට එකතු වෙලා තමයි මේ ගීත කළේ. අන්තිමට ඒ පුද්ගලයා මගේ සම්බන්ධය ගැන කිසි සඳහනක් නොකර ගීත එළියට දානවා. නොසිතු විදියට ඒ ගීත ඉතාමත් ජනප්‍රිය වෙනවා. මට වුණු ඒ අසාධාරණයත් එක්ක සෑහෙන කළකිරීමකට පත්වෙලා මම රට අතැහැරලා යනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා මම ගියේ සිංගප්පුරුවට. යුනිවර්සිටි ඔෆ් සෝෂල් සයන්ස් නම් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් මම ලබාගන්නවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් ආයෙම අඩිය තිබ්බේ සංගීත ක්ෂේත්රයටම තමයි.
රැකියාව ලෙස තෝරාගන්නේ මේ ක්ෂේත්රයමයි?
ඔව්, මේ මගේ රස්සාව. ගායකයෙක් විදියට තමයි මම මුලින්ම ක්ෂේත්රයට එන්නේ. සංගීත අධ්යක්ෂණයට යොමු වුණේ ඉන් පසුව. මා ඇතුලේ සිටින සංගීත නිර්මාණකරුවා සහ රචකයා මතුවෙනවත් එක්කම ගායකයා යටපත් වුණා. ඉදිරියට එන්න තියෙන වැඩ කිහිපයක් එක්ක, ඒ යටපත් වුණු ගායකයා නැවත වරක් ඉදිරියට ඒවියි හිතනවා.
නිර්මාණකරුවෙක් ලෙසින් සංගීත ඛණ්ඩ බිහි කරන්නේ අත්දැකීමෙන් ද? හැදෑරීමෙන් ද? කියවීමෙන් ද?
මම හිතන්නේ අත්දැකීමෙන්. හැදෑරීම අත්දකිනවා සහ කියවීම අත්දකිනවා. ඒ වගේම, නිර්මාණකරුවෙක් යම්කිසි සංගීත කලාවක් අනුගමනය කරනවා විය හැකියි, යම්කිසි ඇදහීමක් තිබිය හැකියි.
ඔබේ ඇදහීම මොකක්ද ?
මම අදහන්නේ සංගීතය. මට බේදයක් නැහැ. ශාස්ත්‍රීය,රැප්, රොක්, පොප්, හිපොප්, R & B වගේ මේ ඕනෑම සංගීත කලාවක් යොදාගෙන මම නිර්මාණ කරනවා. උදාහරණ විදියට කියනවනම් ජනප්‍රිය රැප් ගායක විනෝද් අත්තනායකගේ රැප් ගීතයකට මම සම්බන්ධ වුණා, මේ දවස් වල රොක් ගීතයක් නිර්මාණය කරගෙන යනවා, ශාස්ත්‍රීය ගීත විශාල ප්‍රමාණයක් මම නිර්මාණය කරලා තියෙනවා, අප්‍රිකානු සංගීතය සම්බන්ධ නිර්මාණ කරලා තියෙනවා, ඉදිරියට එවැනි නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම acoustic සහ electric වාද්‍ය භාණ්ඩ එකමුතුවෙන් සංගීත නිර්මාණය කරන්න තමයි මම උත්සහ කරන්නේ. නැවතත් මම මතක් කරන්නේ සංගීතයේ දී මට බේදයක් නැහැ.
මල් සින්දු සම්බන්ධයෙන් දරන්නේ ඔය මතයම ද?
මෙහෙමයි, සංගීතයේ දී මේක හරියි, මේක වැරදියි කියන්න බැහැ. ඒක අපේ කැමැත්ත, වටපිටාව, සංස්කෘතිය අනුව තීරණය වෙන දෙයක්. ඔබ කිව්වා වගේ මල් සින්දු උදාහරණයකට ගත්තොත් අපිට එය වැරදියි කියන්න බැහැ. උදාහරණයක් විදියට අමරදේවයන් තණ්හා ආශා ගීතය ගායනා කරනවිට ක්ලැරන්ස් විජේවර්ධන මලට බඹරෙකු සේ ගීතය ගායනා කරනවා. එකකට සාපේක්ෂව අනික මල් සින්දුවක්. ඒත් ඒ කාලයේ සංගීතය සමබර මට්ටමක පැවතුණේ. දැන් ඔය කියන සමබරතාව බිඳිලා ගිහින්. රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවක ගීත 10 ක් ප්‍රචාරය කළොත් දහයම එක වගේ. සින්දු ඇහුවට පස්සේ අපිට තේරෙන්නේ එකම සින්දුවක් විනාඩි ගාණක් ඇහුවා වගේ. අපිට භාවිත කරන්න පුළුවන් මියුසික් කෝඩ් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් සමහර ගීතවලට යොදාගෙන තියෙන්නේ කෝඩ් එකයි හෝ දෙකයි. සින්දු 10 ක් ඇහුවත් එකක් ඇහුව වගේ තේරෙන්නේ මේ හේතුව නිසා. මේ සීමා වීම, කොටුවීම තමයි ගැටලුව. සංගීතය කරනවිට එහෙම එක තැනකට කොටු වෙන්න බැහැ. මම කියන්නේ නැහැ නිර්මාණ සඳහා කෝඩ් සියල්ල මම යොදා ගන්නවා කියලා. මම අදහස් කරන්නේ සීමා නොවිය යුතුයි කියන කාරණය. සමහර වෙලාවට අපිටත් වැඩක් කරන්න හරි අමාරුයි ඔය ප්රශ්නය නිසා.
ඔබ කරන ගීත නිර්මාණ ගැන කතා කරමු?
මම ජනප්‍රිය සහ ආධුනික දෙපිරිසටම ගීත නිර්මාණය කරනවා. මෑතකදී කළ නිර්මාණ ගැන මතක් කරනවානම්, ජනප්‍රිය ගායිකා කල්පනා කාවින්දිගේ “සෙනෙහසට ලංවෙන්න” ගීතය, මේකලා ගමගේ ගායනා කරන බෞද්ධ ගීතයක් වගේම ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරාච්චි වෙනුවෙන් ද ගීතයක් නිර්මාණය කළා. ඒ වගේම ආධුනික ගායක, ගායිකාවන් වෙනුවෙන් ද ගීත කිහිපයක් නිර්මාණය කළා. ඊට අමතරව යුග ගායනයකට නිෂි අධිකාරී ශිල්පිනියගෙන් ලැබූ ආරාධනාවක් මත ‘තව දවසක්’ ගීතයට කවර වර්ෂන් එකක් ,“සිහින පොදි” සහ “හිරිකඩ ඉහුණු” කියන ගීත කළා. ක්ෂේත්රයට පැමිණි මුල් කාලයේ මටම කියලා ගීත කිහිපයක් නිර්මාණය කළත්, මෑතකදී ගීතයක් කරන්න බැරිවුණා. ‘මා සෙව්වා’ කියන ගීතය, නිපුන පෙරේරා සමඟ එකතුවෙලා ගීත කිහිපයක්ම මුල් කාලයේදී නිර්මාණය කළා. මෑත කාලය ගැන කතාකරනවානම්, වෙනත් කලාකරුවන්ට නිර්මාණ කරලා දුන්නා මිසක් මට කියලා ගීතයක් කළේ නැති තරම්.
ගී නිර්මාණවලට අමතරව සිදු කරන වෙනත් නිර්මාණ මොනව ද?
ගුවන්විදුලි වැඩසටහන් සංගීත අධ්‍යක්ෂණය, ගුවන්විදුලි තේමා වාදන නිර්මාණය කිරීම, ආයතන වෙළඳ දැන්වීම් ආදියෙහි සංගීත නිර්මාණය කිරීම තමයි මගේ අතින් වැඩි වශයෙන් සිදු වුණේ. ඒ හේතුව නිසා, සමීර වීරසිංහ කියන නිර්මාණකරුවා වඩාත් හොඳින් හඳුනන්නේ ක්ෂේත්රය ඇතුලේ සිටින පිරිස කිව්වොත් මම නිවැරදියි. ටෙලි නිර්මාණ ගැන කියනවනම් හිරු නාලිකාවේ විකාසය වුණු ‘මායා සක්මන’ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ මම.
ඔබ චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට පිවිසෙන්නේ “විශ්ම” චිත්‍රපටයෙන්?
රන්දික විජේමාන්නගේ සිනමාකෘතියක්, 2 S ventures නිෂ්පාදනයක් වන “විශ්ම” සඳහා මම එක්වුණේ සංගීත අධ්‍යක්ෂණයෙන්. මෙම සිනමාපටය සංගීතමය සිනමාපටයක් වීම තවත් විශේෂත්වයක්. කෙටි සහ දීර්ඝ වශයෙන් ගීත 9 ක් ඊට ඇතුලත් වෙනවා. එක ගීතයක් හැර සෙසු සියලු ගීත නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව ගීත 4 කට පමණ ගායනයෙන් ද මම එක්වුණා. එහිදී මට හැකිවෙනවා සාරංග දිසාසේකර සහ රොෂාන් පිලපිටිය රංගන ශිල්පීන්ට ගායනයෙන් හඬ ලබා දෙන්න. මගේ ගෝලයෙක් වන, දංකුඩ බණ්ඩා චරිතය රඟපෑ ඔනෙල් දම්සත් තමයි “විශ්ම” ප්‍රධාන ළමා චරිතයකට රංගන දායකත්වය ලබා දුන්නේ. “විශ්ම” ඉක්මනින් තිරගත වේවි කියලා බලාපොරොත්තු වෙනවා.
මෙය සංගීතමය සිනමාපටයක්. කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?
මේ මගේ කුළුඳුල් සිනමාපටය වුණත් ආධුනික බවක් දැනුණේ නැහැ. පැයක් එකහමාරක් ඇතුලත ගලාගෙන යන චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා සංගීතය එකිනෙකට සම්බන්ධව එහෙත් විවිධව නිර්මාණය විය යුතුයි. එය ඉවසීමෙන් කළ යුතු සංකීර්ණ කටයුත්තක්. එක් වරක් යොදා ගත් සංගීත ඛණ්ඩ බොහෝ විට තවත් වරක් යොදා ගන්න බැහැ. විශේෂයෙන් මේ චිත්‍රපටයේ තැනින් තැන වෙනස්කම් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. සමහර ප්‍රධාන චරිත පවා එන්නේ කතාව මැද දී. ඒ වෙනස්කම්වලට ගැලපෙන ලෙස නිර්මාණ කරමින්, කැපවීමකින්, මගේ උපරිම දායකත්වය ලබාදෙමින් චිත්‍රපටයට සම්බන්ධ වුණා.
ඔබේ උපරිමය ද මේ?
ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, ග්ලැඩියේටර් වැනි හොලිවුඩ් සිනමාපටවල සංගීතය, එතනින් එහාට... රමීන් ජවාඩි, හාන්ස් සිමර්, යානි වැනි සංගීතවේදීන්ගේ නිර්මාණ පරාසයට ගමන් කරන්න තමයි මගේ කැමැත්ත තියෙන්නේ. ඒත් ලංකාව ඇතුලේ එ තරම් පරාසයක් කරා ගමන් කරන්න පහසුකම් මදි. ඔකෙස්ට්‍රා කරන්න තරම් පසුබිමක් හැදිලා නැහැ. මුල්‍යමය වශයෙන් පවා එහෙම ගැටලුවක් තියෙනවා. ලැබුණු පහසුකම් යටතේ, මේ චිත්‍රපටය අතුලේදීත් මම ඒ දේ කරන්න උත්සහ කළා. මෙය ෆැන්ටසි සිනමාපටයක්. ඒ තුළ අපිට කරන්න පුළුවන් සමහර දේවල් සීමිතයි. ඒ අනුව නිර්මාණයට සාධාරණයක් කළා කියලා හිතනවා.
අලුත් ස්ටුඩියෝවේ වැඩ කටයුතු කොහොමද ?
“Busy Bee” ස්ටුඩියෝ එක හදන්න පහුගිය දවස්වල ගොඩක් මහන්සි වුණා. ඒ නිසා වැඩත් ටිකක් අතපසු වුණා කිව්වොත් හරි. විශේෂ විවෘත කිරීමක් හෝ ප්‍රචාරණයක් තවම සිදු කළේ නැහැ. මාධ්‍ය ආයතන සහ කලාකරුවන්ට ආරාධනා කරලා, වෙනසක් එක්ක විවෘත කිරීමක් සිදු කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඩිජිටල් මියුසික් ප්‍රඩක්ෂන් ටෙක්නොලොජි පිළිබඳ මම ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ ස්ටුඩියෝ එකේ. තනි තනි වශයෙන් තමයි ඉගැන්වීම් කරන්නේ.
සාමාන්‍යයෙන් මාසයකට ගීත නිර්මාණ කොපමණ ප්‍රමාණයක් කරනවා ද?
මම මාසයකට බාරගන්නේ සීමිත ගීත ප්‍රමාණයක්. මොකද නිර්මාණයක් කරන්න අවශ්‍ය කාලය නිදහස නැතිනම් එය ජීව ගුණයෙන් තොර වෙනවා. හරිනම් මාසයකට ගීත 4 වගේ තමයි නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ආප්ප දානවා වගේ සින්දු කරන්න බැහැ. ඒත් ගොඩක් දෙනා ඔය වැඩේ කරනවා. මම දන්නා පුද්ගලයෙක් ඉන්නවා විශාල මුදලක් අය කරමින්, දවසකට සින්දු 10 ක් 15 ක් කරන. ඒවගේ සමහර ගීත ප්‍රසිද්ධ වෙනවා. හැබැයි ඒවා ජනප්‍රියයි කියන්න බැහැ. මුදල් පරමාර්ථයෙන් කරන මේ වගේ නිර්මාණ නිසා තමයි සංගීත ක්ෂේත්රය තත්වය පහළ වැටෙන්නේ.
ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවා ද?
මගේ ගීතයක් එන්න තියෙනවා. එය ගැඹුරු පද රචනයක්, සංගීතයක් එකට මුහු වුණු, කතාබහක් ඇති කරන්න පුළුවන් මට්ටමේ ගීතයක් කියලා මම හිතනවා. තව, චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එහි පුර්ව නිෂ්පාදන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් තිබෙනවා. මගේ ගීත දෙකක් මේ වනවිටත් ඒ සිනමාපටයට සම්බන්ධ කරගෙන තියෙනවා. “හත්පෙති මල” කියන ළමා චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. එහි නිර්මාණ කටයුතු මේ වනවිට අවසන් කරලා තියෙන්නේ. මම සංගීත නිර්මාණය කළ ටෙලි නාට්‍යය කිහිපයක්ම ඉදිරියේදී විකාසය වෙන්න නියමිත යි. ඒ වගේම, දක්ෂයෝ කිහිප දෙනෙක් එකතුවෙලා වෙනස්ම වැඩක් කරගෙන යනවා. මෙරට සංගීත කලාව ඉහළ තැනකට ගේන වැඩපිළිවෙලක්. ඊට කලාකරුවන් රැසකගේ සහයෝගය අපිට ලැබෙනවා.
මෙරට වර්තමාන සංගීතය ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ?
කෙටියෙන් කියනවනම්, වර්තමාන සංගීතය වර්තමාන ලංකාවේ දේශපාලනය හා සමානයි. දේශපාලකයෝ තම තමන්ගේ බඩ වඩාගන්නනවා, රට වෙනුවෙන් යමක් කරන්නේ නැහැ. ඒ වගේ, මේ වෙනකොට සංගීත ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් එළියට ඇවිත් ඉන්නවා ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යනවා මිසක සංගීතය වෙනුවෙන් දෙයක් කරන්නේ නැහැ. අපි ඒක වෙනස් කරන්න තමයි උත්සහ කරන්නේ.
ලංකාව තුළ සංගීතය වෘත්තියක් ලෙස කරගෙන යෑම අසීරු දෙයක්. ඔබ කාලයක් තිස්සේ සංගීතය පමණක් සිය වෘත්තීය කරගෙන සිටින සංගීතවේදියෙක්. කළ කැපවීම ගැන තෘප්තිමත් ද?
ඔව්, තෘප්තිමත්. ඒත් නිසි ඇගයීමක් නැතිකම, අවස්ථා හිඟ කම, නිර්මාණ මංකොල්ලය වගේ හේතු නිසා මානසිකව කඩා වැටෙන තැනුත් ඕන තරම් තියෙනවා. අවස්ථා හිඟකම ගැන කියනවනම්, බොහෝ වෙලාවට නිර්මාණයක් කිරීමට අවශ්‍ය ඒ නිදහස ලැබෙනවා අඩුයි. මම මේ වෙනකොට 150 කට වැඩියෙන් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ අතුරින් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ගීත ප්‍රමාණයකට තමයි නිර්මාණ නිදහස ලැබිලා තියෙන්නේ. ඔබ කැමති දේ නිර්මාණය කරන්න කියන පිරිස හරි අඩුයි. නිර්මාණයක් කිරීමේදී ඕන තරම් සාකච්ඡා කරලා වැඩේ කරන්න මම ඉඩ හදලා දෙනවා. ඒ විදියට හොඳ ගීතයක් නිර්මාණය කරලා අවසන් කළත්, මේක වෙනස් කරමු කියලා සමහරු කියනවා. හොඳ නිර්මාණයක් කළාට පස්සේ ඒක වෙනස් කරන එක අමාරු වැඩක්. තවත් සමහරු නිර්මාණකරුවාට වෘත්තිමය අගයක් තියෙනවා කියන එක තේරුම් ගන්නේ නැහැ. කඩෙන් බඩු ගන්නවා වගේ සින්දු නිර්මාණය කරගන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් ඉන්නවා. එහෙම අවස්ථාවලදී කලකිරීම් ඇතිවෙනවා. මම ලක්ෂ ගණන් හම්බ කළේ නැහැ. ආත්ම තෘප්තියක් ගෙන දෙන නිර්මාණ පමණයි හම්බ කළේ.
ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් විදිහත් කියමු?
මගේ දුරකථන අංකය 0777655856.
441/43/A, හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයේ තමයි Busy Bee Studios කියන මගේ ශබ්දාගාරය පිහිටා තියෙන්නේ.
සංවාද සටහන: අභිෂේකා වාසලබණ්ඩාර