‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ වර්ණ සංයෝජක දිනිඳු ජාගොඩ
‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය පසුගිය 18 වැනිදා තිරගත වීම ඇරඹිණි. එම චිත්‍රපටය නිර්මාණයට දායක වූ ශිල්පීන් සමඟ කෙරෙන සාකච්ඡාවක් ඇතුළත් ලිපි පෙළක් අපි පසුගිය සතියෙන් ඇරඹීමු. මේ එම ලිපි පෙළේ දෙවැන්නයි. ඒ සඳහා අප සම්බන්ධ කර ගත්තේ, ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ කලා අධ්යක්ෂවරයා වන උදේනි සුබෝධි සහ වර්ණ සංයෝජකවරයා වන දිනිඳු ජාගොඩ යන නිර්මාණකරුවන් දෙපළයි. මේ ඔවුන් දෙදෙනා අප සමඟ පැවසූ අදහස්ය.
වර්ණ සංයෝජනය කියන විෂයය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් ?
අපි වර්ණ සංයෝජනයට යන්න ඉස්සෙල්ලා චිත්‍රපටයට අදාළ කාලවකවානුව එහෙම නැත්නම්, අපට අවශ්‍ය ලුක් එක හදාගන්න ඕනෑ. අපි කැමරා ටෙස්ට් එකක් කළා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වර්ණ සංයුතිය තීරණය කරන මිම්ම සොයාගැනීම. ඊට අමතරව කැමරා එකෙන් රූගත කිරීමෙන් ලැබෙන පෙනුම ලබා ගන්න, ලිමිටේෂන්ස් ටික හඳුනාගන්න, අපිට ඕනෑ පින්තූරය ලබා ගන්න කැමරා එක එක්ස්පෝස් කරන්න ඕනෑ කොයි විදියටද කියන කාරණා තුන හතරම බලන්න තමයි, අපි කැමරා ටෙස්ට් එක කරන්නේ. මොකද? අපි රූගත කරපු කැමරාව ලංකාවේ වැඩිය චිත්‍රපටවලට භාවිතවෙලා තිබුණේ නෑ. ඇත්තටම ප්‍රධාන දර්ශන තලයේ තිබෙන බිත්තිවල පාට පවා අපි වෙනස් කරගත්තා. එතනදී කලා අධ්යක්ෂවරයා එහෙම නැත්නම්, ප්‍රඩක්ෂන් ඩිසයිනර් තීරණය කරන්නේ, කැමරා අධ්යක්ෂවරයා සහ අධ්යක්ෂවරයා එක්ක ඒ කාලෙට උචිත වර්ණ ටික සහ ඒ ලොකේෂන් එකේ තියෙන වර්ණ ටික මොන වගේද වෙන්නේ කියලා. එතකොට වර්ණ සංයෝජකයා හැටියට මට දෙන්න පුළුවන් උපදෙස තමයි. මේ මේ වර්ණ පාවිච්චි කළොත් අපිට මෙන්න මේ ලුක් එක ගන්න පුළුවන් කියන එක. ඒ වාගේම කැමරා එකේ තිබෙන අඩුපාඩු කොහොමද අපි මඟහරවා ගන්නේ කියන එකට උපදෙස් දෙන එක තමයි, මගේ ක්‍රියාවලිය. මේ ඇවිල්ලා පූර්ව නිෂ්පාදන අවධියේදී අපි කරන දේවල් ටික.
එතනින් එහාට මොකක්ද සිද්ධ වෙන්නේ?
චිත්‍රපටය සංස්කරණය කළාට පස්සේ අපි බලනවා, අපට ඕනෑ ඒ කාලවකවානුවට අදාළ හෝ චිත්‍රපටයට තිබෙන මූඞ් එක දැනෙන්නේ කොහොමද කියන එක අදාළ කරගෙන අපි වර්ණ සංයුතිය (කලර් පැලට් එකක්) හදාගන්නවා. ඒක අපි කරන්නේ ටෙස්ට් එකක් වගේ. ඒ කියන්නේ, පොඩි පොඩි වෙනස්කම් කරලා බලනවා මොන තැනටද ගේන්න ඕනෑ කියලා. එහෙම නැතිව එක පාරටම කරගෙන කරගෙන යන්නේ නැහැ. ප්‍රධාන ජවනිකා ටිකක් ගත්තාම ඒ හැම සීන් එකක්ම තියෙන මේන් ෂොට් එකක්. ඒ මේන් ෂොට් එක වයිඞ් ෂොට් එකක් විදියට තමයි, බොහෝ විට එන්නේ. එතකොට එහෙම ජවනිකා කිහිපයක් අරගෙන ඒකේ පැය කිහිපයක් තියෙනවා නම්, ෆිල්ම් එකේ උදේට, දවල්ට, රෑට කියන හැම අවස්ථාවකටම අපි ලුක් දෙක තුනක් හදාගන්නවා. ඒ ඒ ලුක් එක හදනකොට අපිට තේරෙනවා, සාමාන්‍යයෙන් මේක මොන තැනටද යන්න ඕනෑ කියන එක. ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය කරන කොට අපිට ඕනෑවෙලා තිබුණු දෙයක් තමයි, අසූව දශකය ගත්තොත් එහෙම ඒ කාලේ හැදුණු චිත්‍රපටවල තිබුණු ලුක් එකක් තිබුණා. ඒ ලුක් එක රඳාපැවතුණේ ඒ කාලේ ෆිල්ම්වල තිබුණු යම් යම් ගුණාංග සහ ඒක ඩිවලොප් කරපු ආකාරය මත. එතකොට අපේ මතකයේ තිබුණ ලුක් එක ඇතුළේ තමයි, අපි මේ චිත්‍රපටය කළේ. මොකද? අපි හිතන්නෙ නැහැ මොකක් හරි චිත්‍රපටයක් කරන කොට ඒ චිත්‍රපටයේ පරණ ලුක් එක නේ තියෙන්න ඕනැ කියලා. හැබැයි, මෙතනදී පරණ දේවල් මතක් වෙන විදියේ ෆීලිංග් එකක් ගන්න අපි උත්සාහ කළා. ඒ නිසා අපි චිත්‍රපටයේ මුල සිට අග දක්වාම ‘පරණ’ ගතිය ඉස්මතු කළා. සමහර අය හිතන්නෙ පරණ ගතිය කියන්නෙ වර්ණ නැතිකම කියලා. නමුත්, චිත්‍රපටය බලන කොට තේරෙයි. එහෙම වර්ණ නැති වගක් නැහැ. වර්ණ නැති කළොත්, චිත්‍රපටයට පණ නැතිකමක් එනවා. එතකොට ඒකට ප්‍රාණය ඇති කරන්න තමයි, අපි හැමදේම කළේ.
අපේ රටේ සිනමාව තුළ කෙරෙන වර්ණ සංයෝජන ක්‍රියාවලිය පිළිබඳව ඔබට තියෙන්නේ මොන වගේ කියවීමක්ද?
අපට තිබෙන ලොකුම ප්රශ්නය තමයි, ඉගෙන ගන්න තිබෙන අවස්ථා අඩුයි. ඒ වාගේම අපි අතර තිබෙන අදහස් උදහස්, දැනුම වාගේ දේවල් බෙදාගන්නේ හරි අඩුවෙන්. ඒක ඇතුළේ අපි ගොඩක් වෙලාවට මේ වර්ණ සංයෝජනය කියන එක දකින්නෙ ‘ලස්සන කරන’ දෙයක් හැටියට. නමුත්, මම දකින්නෙ එහෙම දෙයක් නොවෙයි. ලස්සනත් තිබෙනවා, ගුණත් තිබෙනවා. අපි ඒකට අවස්ථානුකූලව තමයි, අනුගත වෙන්නේ. ඒ වාගේම එහි කලාත්මක සහ තාක්ෂණික ගුණයන් ටිකක් තිබෙනවා, මේන්ටේන් කළ යුතු. අපට තිබෙන ලොකුම ප්රශ්නය ඉගෙන ගැනීමට තිබෙන ඉඩ අඩු හින්දා පටන් ගන්න තැනින් ම වැරදි විදියට තමයි, අපි එක්ස්පෝස් කරන්නේ. මම කරන නිර්මාණවලට සමහර අය මගෙන් අහනවා, මේකෙ වර්ණ සංයෝජනය කළාද කියලා. ඇත්තටම මම ඔරිජිනල් එක පෙන්නුවට පස්සෙයි ඒ ගොල්ලන්ට තේරෙන්නෙ ඔරිජිනල් එක හා වර්ණ සංයෝජනය කරපු නිර්මාණය කොච්චර වෙනස්ද කියලා. එතකොට ගොඩක් අය වර්ණ සංයෝජනය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ වර්ණ ගොඩක් යොදන එක. ඇත්තටම අපි එහෙම කොටු වෙන්න නරකයි.
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ ඔබේ කාර්යභාරයට අනෙකුත් අයගේ සහයෝගය ලැබුණේ කොයි ආකාරයටද?
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය මම වැඩියෙන්ම වැඩ කරන්නේ කැමරා අධ්යක්ෂවරයාත් එක්ක. හැබැයි, චිත්‍රපටය ඇතුළේ කලා අධ්යක්ෂවරයා සියයට අසූපහක් අවශ්‍ය දේවල් කරලා තිබුණා. එතකොට කලර් එක ගොඩක් වෙනස් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. එතකොට මම ඒ කියපු අයගේ සංයුතියක් තමයි, මෙතන ඇති වෙන්නේ. අධ්යක්ෂවරයාගේ අනුදැනුම, සිතුම් පැතුම් ඇතුළේ තමයි, සියල්ල සිද්ධ වෙන්නෙ. හැබැයි, චිත්‍රපටයේ වර්ණ සංයෝජනයේ යෙදෙන කොට මම කෙළින්ම ධනුෂ්කත් එක්ක තමයි, වැඩ කළේ. නමුත්, මම හිතන්නෙ අනෙක් කට්ටියගේ සහයෝගය නැත්නම්, අපිට චිත්‍රපටයේ ලුක් එක හදාගන්න එක ලෙහෙසි වෙන්නෙ නැහැ. හැබැයි, මේ ෆිල්ම් එක ඇතුළේ මට එහෙම කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එතකොට මට කරන්න තිබුණේ, අපට ඕනෑ කරලා තිබුණු කාලවකවානුවට අදාළ ලුක් එක ගන්න එක විතරයි.
කතා බහ - භාතිය ගුණසේන
ලංකා ඉරිදා සංග්‍රහය