මට උවමනා කොහොම හරි ටෙලි නාට්‍යයක් කරන්න නෙවෙයි. තිරරචනය කරන්න පෙර මගේ කතාව, එහි චරිත හා සිදුවීම් ගැන අධ්යක්ෂවරයා සමඟින් සාකච්ඡා කරනවා. එතැන අදහස් හුවමාරුව ඉතාම වැදගත්. මට මතකයි 'ගිරය' ටෙලි නාට්‍යය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟත්, 'පළිඟු මැණිකේ' ටෙලි නාට්‍යය වෙනුවෙන් ධම්ම ජාගොඩ සමඟත් මාස ගණනක් සාකච්ඡා කළා. 'දූ දරුවෝ' කරන්න කලින් නාලන් මෙන්ඩිස් එක්තත් ඒ විදියටම දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මම තිරරචනය කරන්න පටන් ගන්නේ ඊට පසුව තමයි. මගේ රචනා ශෛලිය එය යි. කලින් ලියලා තියෙන තිර රචනා මා ළඟ නැහැ. නිෂ්පාදකවරයා සහ අධ්යක්ෂවරයා සමඟින් එකඟවිය හැකි වූ නිසා 'එක ගෙයි මිනිස්සු' තිරරචනය කරන්න මා තීරණය කළා.
සෝමවීර සේනානායක කියන්නේ, ප්‍රවීණ ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් පමණක් නොව අපේ රටේ ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන්ද කැප වූ සාහිත්‍යධරයෙක්. ඔහු අතින් ගත වූ දශක හතර පුරා රචනා වූ කෙටිකතා, නවකතා, වාර්තා හා රූපවාහිනි හා චිත්‍රපට තිරපිටපත් සංඛ්‍යාව අති විශාලය. ඔහු රචනා කළ 'යශෝරාවය' නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු 'යශෝරාවය' ටෙලි නාට්‍යයද එකල බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණු 'දූ දරුවෝ' වගේම පළිඟු මැණිකේ, 'ගිරය' වැනි ටෙලි නිර්මාණද මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ සුවිශේෂි නිර්මාණ ලෙසින් අදටත් ඉහළින්ම වැජඹෙනවා. කාලයක් ටෙලිනාට්‍ය කලාවෙන් දුරස් වෙලා සිටියද පසුගිය කාලයේ ඔහු අතින් රචනා වූ ටෙලි නාට්‍යයක් රූ ගැන්වුණු පුවතක් අපට අසන්නට ලැබුණා.
ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කෙරෙන එය 'එක ගෙයි මිනිස්සු' නමින් නම්කර තිබෙනවා. අයිරාංගනී සේරසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මල්කාන්ති ජයසිංහ, දයාදේව එදිරිසිංහ, උද්දික ප්‍රේමරත්න, ජගත් චමිල, නිරෝෂා තලගල, අංජුලා රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපනණය කරනවා. 'එක ගෙයි මිනිස්සු' ගාමිණි සෝමරත්නගේ නිෂ්පාදනයක්. කාලයකට පසුව රචනා කළ මේ අලුත් ටෙලි නිර්මාණයේ තොරතුරු අපි සෝමවීර සේනානායකයන් වෙතින් අසමු.
ඔබ ටෙලි නාට්‍ය පිටපතක් ලියන්නේ වසර ගණනාවකට පසුවයි?
මාලා ටෙලි නාටකයක් මගේ අතින් ලියවුණේ අවුරුදු අටකට පමණ පසුවයි. මම අවසන්වරට ටෙලි නාට්‍ය තිර පිටපතක් රචනා කළේ සුදත් රෝහණ වෙනුවෙන්. 'උතුවන් කන්දේ සරදියෙල්' නමින් ටෙලි නාට්‍යයක් නිම වුණේ එයින්. නමුත් ඒ අතරේ ඒකාංගික ටෙලි නාට්‍යය නම් කිහිපයක් රචනා කළා.
පසුගිය කාලයේ ටෙලි නාට්‍ය කලාව යන රටාව එක්තරා විදියකට අගය කළ නොහැකි තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඇත්තටම එය පල්ලමට ඇද වැටෙන තත්ත්වයක් තිබුණේ. මේ වෙලාවේ අපිත් එහි සිටියා නම් ඒක ප්‍රවාහයක් වගේ ඇවිත් අපවත් ගසාගෙන යන්න ඉඩ තිබුණා. ඒක නවත්වා ගන්න අපට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා මම නිශ්ශබ්දව බලාගෙන හිටියා. නමුත් මම ඒ කාලය අපතේ හැරියේ නැහැ. පොතපත රචනා කළා. ටිකක් විවේකීව හිටියා. යළිත් මට හමුවුණු අධක්ෂවරයා සහ නිෂ්පාදකවරයා හොඳ යැයි හැඟුණු නිසා මම අලුත් තිරරචනයක් කරන්න තීරණය කළා.
මේ කතාව ඔබ පෙර රචනා කළ ජනප්‍රිය ටෙලි නිර්මාණයක ඉදිරි දිගහැරුමක්ද?
මේක පරණ කතාවක ඉදිරි කොටසක් හෝ ඒ නිර්මාණවල චරිත ඔස්සේ ගොඩනැඟෙන කතාවක් නෙවෙයි. 'එක ගෙයි මිනිස්සු' කියන්නේ අලුත්ම කතාවක්. අලුත් චරිත සමඟින් දිග හැරෙන අලුත් කතාවක්.'එක ගෙයි මිනිස්සු' කතා තේමාව ගත්තොත් අද සමාජය වටා ගෙතෙන කතාවක් එහි පසුබිම් වෙනවා. එහි සාමාන්‍ය පැලැන්තියේ මවක්, දිරිය කාන්තාවක් හැටියට අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් ඒ සියල්ල සමඟින් ඇය තම ඉදිරි ගමන යන ආකාරයත් ඒ තුළින් දැක්වෙනවා. සමාජයේ එක් පැතිකඩක් නිවසක සංකේතයක් ලෙසින් ගෙන එම නිවසේ වෙසෙන විවිධාකාර වූ මිනිසුන් ගැන කතා කරනවා.
අලුත් තිරරචනයට පසුබිම් වූ විශේෂ කාරණාවක් ඇති?
මේ කතා වස්තුව අසවල් පුද්ගලයාගේ හෝ මගේ ජීවිතයේ ලද අත්දැකීම් හරහා දිග හැරෙන කතාවක් නෙවෙයි.
නමුත් මෙහි එන සිදුවීම් ඇතැම් ස්ථානවලදී සත්‍ය සිදුවීම් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ චරිත තැන් තැන්වල ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් විදියට මගේ නීරික්ෂණයට හසු වෙනවා. ඒ ඔස්සේ මම කතාව ගොඩනඟනවා. එහෙම නැතුව තනිකර මා ලද අත්දැකීම් ඇසුරෙන් තිරකතාව රචනා වෙන්නේ නැහැ. හැබැයි රචනා වෙනකොට ඒ වගේ චරිත අපි අතරේ ඉන්නවා වගේම සමාජයේ ඇතැම් සිදුවීම් පිටපතට සමාන වෙන්න පුළුවන්.
'එක ගෙයි මිනිස්සු' අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ගැන ඔබේ අදහස?
'එක ගෙයි මිනිස්සු' අධ්‍යක්ෂණය කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ පලපුරුදු අධ්යක්ෂවරයෙක්. මම කවදත් ටෙලි නාට්‍ය පිටපතක් ලියන්න කලින් එහි අධ්යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා සමඟින් දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. මෙය නිෂ්පාදනය කරන්නේ ගාමිණි සෝමරත්න විසින්. මම මුලින්ම හඳුනා ගන්නේ ඔහුයි. මොකද අදාළ නිර්මාණය කුමන මට්ටමෙන් කෙරෙන එකක්ද යන්න මට වැදගත් වෙනවා. නිෂ්පාදකවරයාගේ රුචිය බාල බොළඳ නිර්මාණයක්ද ඔහු අදාළ නිර්මාණය උසස් මට්ටමෙන් බලාපොරොත්තු වෙනවාද යන්න මා විසින් දැනුවත් විය යුතු වෙනවා. මා හඳුනාගත් පරිදි ගාමිණි හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ ගන්නා අයෙක්.
ඒවගේම සිවගුරුනාදන් මම හඳුනන්නේ කාලයක පටන්. මම ලේක්හවුස් ආයතනයේ සේවය කරනවිටදී ඔහු දිවයින උපකර්තෘවරයකු ලෙසින් සේවය කළා.
නිෂ්පාදකවරයා සහ අධ්යක්ෂවරයා සමඟින් සුහද වෙන්න බැරි නම් මට ඒ නිර්මාණය කරන්න අපහසුයි. නිෂ්පාදකවරු සමඟින් කතාබහ කරලා මම අතහැර දැමූ නිර්මාණත් ඕනෑ තරම් තියෙනවා.
නමුත් මෙතැන සාකච්ඡාව සාර්ථකයි නේද?
මට උවමනා කොහොම හරි ටෙලි නාට්‍යයක් කරන්න නෙවෙයි. තිරරචනය කරන්න පෙර මගේ කතාව, එහි චරිත හා සිදුවීම් ගැන අධ්යක්ෂවරයා සමඟින් සාකච්ඡා කරනවා. එතැන අදහස් හුවමාරුව ඉතාම වැදගත්. මට මතකයි 'ගිරය' ටෙලි නාට්‍යය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟත්, 'පළිඟු මැණිකේ' ටෙලි නාට්‍යය වෙනුවෙන් ධම්ම ජාගොඩ සමඟත් මාස ගණනක් සාකච්ඡා කළා. 'දූ දරුවෝ' කරන්න කලින් නාලන් මෙන්ඩිස් එක්තත් ඒ විදියටම දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මම තිරරචනය කරන්න පටන් ගන්නේ ඊට පසුව තමයි. මගේ රචනා ශෛලිය එය යි. කලින් ලියලා තියෙන තිර රචනා මා ළඟ නැහැ. නිෂ්පාදකවරයා සහ අධ්යක්ෂවරයා සමඟින් එකඟවිය හැකි වූ නිසා 'එක ගෙයි මිනිස්සු' තිරරචනය කරන්න මා තීරණය කළා.
ටෙලි නිර්මාණයක් තුළ සාමාන්‍යයෙන් ඔබේ කාර්යය තිරරචනයට පමණක් සීමා වෙලා නැහැ?
ඒක ඇත්ත. තිරරචනය කිරීමෙන් අනතුරුවත් ටෙලි නාට්‍යයේ අවසානය දක්වාම මම ඒ සමඟින් බැඳී සිටිනවා. මම අදාළ දර්ශනතලවලට යනවා. ඒවා තෝරා ගන්නා අවස්ථාවලටත් සහභාගි වෙනවා. ඇතැම් විට තිරරචනය වෙනස් කළ යුතු අවස්ථාත් එළඹෙනවා. මම තිරපිටපතේ ලියූ දේ නළු නිළියන්ට පැහැදිලි කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔවුන් ඒවා ඉතා සාවධානව අසා පැන නඟින ගැටලු විමසනවා. මේ අදහස් හුවමාරුවත් ඉතාම වැදගත්. මුලින්ම ටෙලි නිර්මාණය මනසින් දකින්නේ තිරරචකයා විසින්. ඔහු දුටු රූප පෙළ රචනා වූ පසුව අධ්යක්ෂවරයා විසින් කරන්නේ, ඒවා රිසි පරිදි ගොඩනැඟීමයි. එතැනදී පිටපතේ තියෙන දේටත් වඩා යමක් පැහැදිලි කරන්නත් මට අවස්ථාව ලැබෙනවා. එ වගේම ශිල්පීන්ගේ කුසලතා හඳුනා ගන්නත් ඔවුන් දිරි ගන්වන්නත් ලැබීම ගැන සතුටුයි.
එය නිර්මාණයේ සාර්ථක්වයටත් යම් රුකුලක් වෙන බව මගේ විශ්වාසය යි.
එදා 'යශෝරාවය', 'දූදරුවෝ' විකාශය කළ කාලයට වඩා අද ටෙලි නාට්‍ය ක්ෂේත්රය වගේම ප්රේක්ෂකාගාරයත් වෙනස් වෙලා නේද?
මට හිතෙන්නේ පැරණි ප්‍රේක්ෂකයෝ හුඟක් හොඳයි කියලයි. ඔවුන්ට එදා ලොකු තරගකාරීත්වයක් තිබුණේ නැහැ. ඒ කාලයේ ටෙලි නාට්‍යය විකාශය කළේ ජාතික රූපවාහිනියෙන් විතරයි. ස්වාධීන රූපවාහිනි සේවය ටෙලි නාට්‍ය විකාශය කිරීම පටන් ගත්තේ පසුවයි. 'කෝපි කඩේ' වගේ ඒකාංගික ටෙලි නාට්‍යය විකාශය කළත් මාලා ටෙලි නාට්‍ය ආරම්භ කළේ මගේ 'සෙනෙහෙවන්තයෝ' ටෙලි නාට්‍යයෙන්. ඒකාලයේ ප්‍රේක්ෂකයෝ බුද්ධිමය සංවාදයක යෙදුණා. ඒ නිර්මාණවල චරිත, ඔවුන්ගේ හැසිරීම් හඳුනාගෙන ඒ නිර්මාණ ආදරයෙන් වැළඳ ගත්තා. ප්‍රතිචාර පළ කිරීමත් එලෙසමයි. ඒ වෙනුවෙන් විවෘත සංවාද තිබුණා.
අද ඒ ප්රේක්ෂයොත් විවෘත සංවාදත් ඇත්තේ නැහැ. දැන් බොහොමයක් තියෙන්නේ ලද බොළඳ නිර්මාණයන්.
ඒ අතරේ හොඳ නිර්මාණ එකක් දෙකක් දකින්න පුළුවන්. ඒ කාලයේ ටෙලි නාට්‍යය නරඹන්න ප්‍රේක්ෂකයා වෙනමම සූදානම් වෙනවා. දැන් ටෙලි නාට්‍ය නරඹන්න ඒ විදියේ සූදානමක් නැහැ. ප්‍රේක්ෂකයන්ට පෙනෙන නිසා නරඹන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒවා මතුපිටින් බලනවා විතරයි. ගැඹුරින් සිතා බලන්න ඔවුන්ට උවමනාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි එදා ටෙලි නාට්‍යය නරඹන්න උනන්දු වූ වැඩිහිටි පරම්පරාව වර්තමානය වන විට ටෙලි නාට්‍ය ක්ෂේත්රයෙන් දුරස් වී ඇති බව තමයි පෙනෙන්නේ.
යතේජා ඥානරත්න -සරසවිය