මහල්වරාව ලංකාවේ විකල්පය සංස්කෘතික අවකාශයක් බවට පත් කරන්නේ ඔහුයි . ඔහු සහ ඔහුගේ අවකාශයේ සැරිසරන්නට ඇබ්බැහි වූ තරුණ සහ ළමා පිරිසක් මෙවර 2019 ඩවුන් ටවුන් පල්ස් වෙත රොද බැඳන් සිටිනවා. අපි මිරර් ආර්ට්ස් විරාජ්ව මුණගැසුනේ ඔහු ඇතුළු පිරිස මෙවර කරන්නට යන විකල්පය සංස්කෘතික කලා උළෙල වෙනුවෙනුයි. මෙය 'ආදරේ රල සිඹින මිනිසත් බවේ වෙරළ' යනුවෙන් නම් කර තිනෙවා. පෙබරවාරි 25 දින ආරම්භ වුන මෙම විකල්ප සංස්කෘතික උළෙල මාර්තු මස 02දා දක්වා පැවැත්වෙනවා.
විරාජ් අපිට කියන්න මොකද්ද මේ සැරේ වෙන්නෙ?
මේක ඩවුන් ටවුන් පල්ස් සංකල්පය හැදුවට පස්සෙ ආව කථිකාවක් හැටියට තමයි එන්නෙ. ඩවුන් පල්ස් ගත්තහම එය නිර්මාණය වෙන පසුබිම ගත්තොත්, බොහෝවිට අපේ කලා සංස්කෘතික සමාජ අවකාශය කොළඹ නාගරික කේන්ද්රියවනෙ තියෙන්නෙ ව්‍යාපාරික ලෝකය තුළ. ඉතින් අපි ඩවුන් පල්ස් කියන එක තුළ අදහස් කළේ යටිනුවර හදගැස්ම කියන එක. ඒක නුවරක් නම් ඒ නුවර යට ඉන්න පිරිසකගේ හද ගැස්ම කියන එක. අපි ඒකට නමක් දුන්නා අපි ඉන්නෙ ඕල්ටර්නේට්ව් කුලකයක කියලා. මෙතෙන්දි අපි මේ විකල්ප කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද කියන එකයි හොයන්නෙ ඕන වෙන්නෙ.
අපි 2011 තමයි ඉවෙන්ට් එක පටන් ගත්තෙ.මුල්කාලීනව අපි විකල්ප කියලා අදහස් කළේ විකල්ප සිංදු කියන එකටවත් සමාජ ප්‍රශ්න හරි සමාජයේ ඛේදයන් මුල් කරගෙන කලාව කරන එකටවත් නෙමෙයි. අපේ ජීවිතවල අපි විකල්පමය ස්වරූපයක් දකිනවද කියන එක..කොහොමද චෙකින් වෙන්නෙ කියන එක. අපි මෙහෙම ගමු අපි මේ වෙලාවේ කොහොමද ජාතිවාදී නොවී ඉන්නෙ කියනව වගේ, කිසියම් ආගම්වාදී ස්වරූපයකින් කටයුතු නොකරන්නේ කොහොමද කියනවා වගේ, ජෙන්ඩ බේස් ප්‍රශ්නෙදි කොහොමද හැසිරෙන්නෙ වගේ මේ වෙලාවේ අපි කතාකරන පොදු මානව කාරණා ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් තුළ අපේ සාරයක් තියෙනවද අපිට? අන්න ඒ තුළ සිට තමයි අපි අපේ කලාව වර නගන්නෙ. අපිට අපේ කලා නිර්මාණ ප්රකාශනයක් තුළ තියෙන්නෙ ඕනේ සමාජ ඛේදයක ගැටළු නෙමේ. අපේ ජීවිතවල, අපිට මුහුණ දෙන්න වෙන අපේ ගැටලුවල ස්වභාවයන් තියෙනවනේ. අපි යුද්ධය කියන කාරණය ගත්තහම අපි යුද්දෙට විරුද්ධ මිනිස්සුනේ.ඇත්තටම ඒකට මුහුණ දෙන්න ගියහම අපි නිශ්ශබ්ද වෙනවා. ඒකෙදි අපිට කරන්න දෙයක් නැහැ.
යුද්දෙට විරුද්ධවෙන කෙනෙක් තුළ ජාතිවාදි අදහස් නැද්ද?
අනිවාර්යයයෙන්ම තියෙනවා.යුද්දෙට කව්රුහරි පක්ෂයිනම් මම කියන්නේ ඒක ජාතිවාදී පොයින්ට් එකට නොගියත් ඒක මානව විරෝධියි කියන කාරණාව තියෙනවා. ඒකනේ සරල ඇත්ත.කෙනෙකුට කියන්න පුළුවන් යුද්ධවලින් හොඳ විකල්ප ගන්න බැරිද වගේ එකක්. කොහොම හැදුවත් මම කියන්නේ ඒ කතිකාවට අදාල නැහැ කියලා. ප්රචණ්ඩත්වය තුළින් උත්තරයක් හොයනවනම් අපි අඩිදෙකක් පිටිපස්සට ඇවිල්ලා හොයන්න ඕනේ ඒකද විසඳුම කියලා. එහෙම කතිකාවක් කරන්න පුළුවන් රටක නෙමේ අපි කොහොමත් ඉන්නෙ. හැබැයි ඒ වගේ තැන්වලදී විකල්ප කොටස් නිශ්ශබ්දව සිටීම තමයි පසුගිය කාලේ සිද්ධ වුණේ. ඒක අපේ ඛේදයක් නෙ. අපේ පශ්චාත්තාපය, අපි විඳවපු ලෝකය, අපේ ගැටළු ඒවා එළියට එනවා මේ වගේ තැන්වලදි. විල්පත්තු කැලේ කපන එක ගත්තත් සිංහරාජෙ මැද්දෙන් පාරක් කපන එක ගත්තත් එහෙමයි. ජෙන්ඩර් බේස් කතිකාව තුළ එහෙට මෙහෙට කියපු වචන ටික මතකයිනේ. අලුත් මානව ලෝකය නිර්මාණය කරන්න අවශ්‍ය සාධක මොනවද කියන එක සම්බන්ධව රටේ කතිකා කරගෙන නැහැ. අපි ඒවා කතාකරන්නෙ නැහැ. අපි කතා නොකර ඒවට විසඳුම් හොයමින් ඉන්නවා. මෙවැනි කලා කටයුත්තක් තුළ යම්කිසි කතිකාවක් ඇති කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි අපි උත්සාහ කළේ.
Down Town කියලා අපි මුල් යුගයේ කළේ සංගීතය පදනම් වූ වැඩක්. මේ වෙනකොට එය කලා ශානර විශාල ප්‍රමාණයක එකතුවක් බවට පත්වෙලා තියෙනවා. කලාකරුවන් විශාල පිරිසක් එකට එකතු කරන නරඹන්න එන පුද්ගලයා පවා කලාවේ කොටසක් බවට පත් කරන මේ කලා කටයුත්ත එක්ස්පෙරිමන්ටල් වැඩක් විදියට අපි කරගෙන යනවා ඒ ඔස්සේ විසඳුමක් ලබා ගන්න පුළුවන් ද කියලා බලන්න. මෙය නොනවතින ගමනක්. ඒ ගමනේ එක තැනක අපි ඉන්නේ.
කලාකරුවන් කියන පොදු කුලකයෙන් වියුක්ත වෙලා කණ්ඩායමක් ලෙස ඔබ ගොඩනැගෙනවා. සම්ප්රදායේම තවත් එක් කොටසක් වෙන ඔබ කොහොමද විකල්පයක් වෙන්නේ?
මට අනුව එය මූලිකව රඳා පවතින්නේ ප්රාග් ධනය උඩ. ඒ කියන්නේ අපි සංස්කෘතික ලෝකෙක කොන්දේසියක් දාගන්න හැම මොහොතේම ඒ කොන්දේසිය සපුරා ගත්තට පස්සේ අපි ඉන්නේ ආයේ පටන් ගත්ත තැනමයි. නමුත් ආර්ථිකමය දෙයක් ලෙස, ඒ කියන්නේ විශේෂයෙන් ගත්තහම ප්රාග් ධනය සහ කලාව අතර තියෙන සම්බන්ධය කොහොමද බේරාගන්නේ කියන එක මුලිකවම සලකා බලා මෙය පවත්වාගෙන යන්න පුළුවන් නම් ඇත්තටම විකල්පය තමයි සුදුසු. තවත් විදියකින් කියනවනම් ඩවුන් ටවුන් පල්ස්වල යන සින්දු චැනල්වල ප්ලේ නොකරන්නේ ඇයි? මම දන්න තරමින් බෑන්ඩ් 10 ක් 12 ක් එනවා. කිසිම චැනල් එකක ඒ සින්දු යන්නේ නැහැ.
ඔබ හිතන විදියට ඇයි එහෙම වෙන්නේ?
මගේ අදහස අනුව එකක්, පද මාලාවේ තියෙන ගැටළු. අපි දන්නා විදියට විකල්ප ගීත කියන්නේ පවන, කම්පන ඔයවගේ ගීතනේ. නිර්මාණකරුවෝ ඒ ගීතවලින් ඒකාලේ තිබුන එක එක අරගලවල පිළිතුරු දුන්නා. මට අනුව ඒ පිළිතුරු දීලා තියෙන්නේ ජාතික චින්තනයෙන්. ඒවගේ දෙයක් යම් තැනකට ගියත් හිරවෙනවා. ඒවා ආයෙම පිළිතුරක් ලෙස භාර ගන්න බැහැ. පොදු මානව කුලකයක් ඇතුලේ කොහොමද මානව නිදහස වර නගන්නේ කියන කාරණයයි මේ වෙලාවේ ලෝකයේ කතිකාවට නැගෙන්නේ. මට අනුව එය සපුරා ගන්න පුළුවන් ඉලක්කයක තියෙන දෙයක් නෙවෙයි. ප්‍රාග්ධන සංකල්ප ඊට ගැලපෙන විදියට ගොඩනැගී නොතිබීම ඊට මුලික හේතුවක්. මානවවාදී නිදහසයි ප්‍රාග්ධන සංකල්පයි අතර තියෙන්නේ අහසට පොලොව වගේ දුරස්ථභාවයක්. අපි මෙහෙම ගමුකො..ගීතදේවගේ සින්දුවක් තියෙනවා,
“මල් යායක එක මලක් වෙන්නකෝ, හැම බඹරටම පෙම් කරන්නකෝ...”
නැතිනම්,
“ටයිටැනික් නැව ගිලුණේ නැහැ.
අයිස් පරයක වැදුණේ නැහැ.
ජැක් හොඳට බොනවා
ජැක්ට බඩ එනවා
ව්යාග්රාවෙන් ලොරි අරන්
දෙව්ලොවට යනවා...”
මේ සින්දුවලින් මතු කරන අර්ථමය කාරණා තව කල්පයකට ගොඩනගන්න පුළුවන් වෙන එකක් නැහැ. අනෙක් පැත්තෙන් ඇති සුවිශේෂීතාව තමයි කලාකරුවන් ඩවුන්ටවුන්වලින් පේමන්ට් එකක් ගන්නේ නැහැ. ප්‍රාග්ධන බැඳීමකින් නෙවෙයි ඔවුන් අපිත් එක්ක වැඩ කරන්නේ. අපි දෙගොල්ලොම වැඩ කරන්නේ ප්‍රාග්ධන බැඳීමක් තුළ නෙවෙයි. ඉන් අදහස් වෙන්නේ නැහැ කලාව කරන්න සල්ලි ඕන නැහැ කියන එක. කලාකරුවා තමන්ගේ කලාව කරන විට ඔහු විශ්වාස කරනවා නම් පොදු සාධකයක් තුළ මම පෙනී සිටින්නට අවශ්‍යයි කියලා එතනින් එහාටයි සල්ලි හොයන්න ඕන. ඒ කාරණයේ දී සල්ලි හොයන්න ඕන කොහොමද කියන එකත් වෙනම ගැටළුවක් විදියට තියෙනවා ඊටත් අපි පිළිතුරු ලබා දිය යුතු යි. හැබැයි විශේෂයෙන් මේ කාලයේ චැනල් හෝ ප්‍රාග්ධන මුලික සංකල්ප එක්ක අපි සංකල්පගත වෙන්න අවශ්‍ය නැහැ. එතනත් නිදහසක් බුක්ති විඳින්න අවශ්‍යයි කියන දේ තමයි මේ මතුකරන විකල්ප කියන අදහස එක්ක එන්නේ.
මෙය ජනතාව එක්ක පවතිනවා කියන දේ ඔබ විශ්වාස කරනවා ද ?
අනිවාර්යයෙන්ම ඔව්. ජනතාව සමඟ පවතින්න ප්‍රාග්ධන මෙවලම් අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. විශේෂයෙන් අපි අදහස් කළේ මෙහෙම දෙයක්..අපි මෙතන ගැලරියක් නැතිනම් කලා ආයතනයක් හදන්නේ නැහැ කවදාවත්. ලංකාවේ කලා ආයතන කියලා කියන ඒවගෙන් ගොඩක් වෙලාවට කෙරෙන්නේ තනි කලාකරුවෙක් තමන්ගේ කලා කෘති අරගෙන ඇවිත් එතැනට ඒවා භාරදීලා යම් කිසි මුදලකට විකුණන එක. සමහර වෙලාවට ඒ විකුණන කලා කෘති අපි දැකලවත් නැහැ. ඒ වැඩපිළිවෙල ඇවිල්ලා කලාවට අදාළ වූ හෝ මානවීය කාරණාවක් නෙවෙයි හුදෙක් ව්‍යාපාරික කටයුත්තක්. ඒක එපා කියන දේ නෙවෙයි මම කියන්නේ. ඔහුගේ ප්‍රඩක්ට් එක විකුණන්න ඕන නමුත් එය සමාජ කතිකාවට භාජනය වෙන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. මහජන අවකාශයක් කියන්නේ ඊට වඩා වෙනස් තැනක්. මහජන අවකාශය කියන්නේ බේකරියත් නෙවෙයි ගමත් නෙවෙයි. එතකොට මහජන අවකාශය කියන්නේ නිශ්චිත තැනක් නොවේ නම්, අපි ග්‍රැෆිටි අඳින්නේ බේකරිය ඇතුලේ නෙවෙයිනේ. පාරවල්වල, තාප්ප ඉල්ලගෙන අපි ඒවගේ අඳින්නේ. අපි කොහොමද අවකාශය පුළුල් කරන්නේ කියන කාරණයේ දී තමයි මහජනයා කියන සංකල්පය අපිට හම්බවෙන්නේ. මේ සති දෙක තුනේම අපේ චිත්‍ර ශිල්පින් ටික පාරේ අඳින්නේ. එතැනදී මහජනයා ඔවුන්ට අභිමුඛ වෙනවා. මහජනයා අහනවා ඇයි ඔයා මේක කරන්නේ? මමත් එන්න ද ඕකේ පොඩ්ඩක් අඳින්න. එහෙම නැතිනම් බනිනවා ද ? ඔය සියලු දේ වෙනවානේ. ඒ සමස්ථ ක්‍රියාදාමයම තමයි මේ කලාව. ඇක්ට් එක තමයි කලාව. පරිපුර්ණ කලාකෘතියක් ගැලරියක රස විඳීමයි අපි කරන දේයි අතරේ තියෙන්නේ වෙනස්කමක්.
ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා ඒවා කරන්න ප්රාග්ධනය කොහොමද කියලා. එතැනදී අපි ඉන්නේ ධනවාදය තුළ. සංවිධානයක් විදියට අපේ යාළුවො පූර්ණ විදියටම මේකට බෙල්ල තියන්නම ඕන. අපි මෙච්චර කාලයක් මේක පවත්වාගෙන ආවේ සාමාජිකයෝ දෙන මුදල්වලින්. රුපියල් 100 ඉඳලා ලක්ෂ ගණන් දක්වා මුදල් දෙන අය ඉන්නවා. ඊට අමතරව ආට් නිකම් පෙන්නනවා කියලා කිසිම අදහසක් නැහැ. හැබැයි ඒකෙ මිල තීරණය කරන්නේ ප්‍රාග්ධන ලෝකය නෙවෙයි. නාට්‍යයක් පෙන්නද්දී අපි රුපියල් සීයක් වගේ ගන්නවා. බෑන්ඩ් දහයක් වගේ ප්ලේ කරන ලොකු ඉවෙන්ට් එකක් නම් අපි රුපියල් 500 ට එහා යන්නේ නැහැ.
ඊට අමතරව අපි පුළුවන් තරම් එක්ස්පෙරිමන්ට් කරන්න හදනවා රාජ්‍ය පද්ධතිය හා සම්බන්ධ වෙන්න. සංස්කෘතික අරමුදල, ජනාධිපති අරමුදල මේ දේවල් පක්ෂවලට අයත් දේවල් නෙවෙයිනේ ඒවා අපේම බදු මුදල් කළමනාකරණය කරන විට කලාව කියන අනු කොටස යටතේ වෙන්වෙන මුදලක්. හැබැයි මේකෙන් ලංකාවේ විකල්ප කතිකාවට බොහෝ වෙලාවට අනුග්‍රහය දක්වන්නේ නැහැ. මේ පාර අපි සංස්කෘතික අමාත්‍යංශය එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සෑහෙන සමීපව කටයුතු කරනවා. අපිත් මේවාගේ හැමතැනම ලියාපදිංචි සංවිධානයක් විදියටයි කටයුතු කරන්නේ. ඒක අපේ එක උත්සහයක්. දෙක, පෞද්ගලික අංශය මීට සම්බන්ධ විය යුතු නැහැ කියලා අදහසක් අපේ නැහැ. මේ පාරත් අපේ වැඩේට අහස ප්‍රකාශන සම්බන්ධ වෙනවා. එතකොට රක්ෂණ සංස්ථාව, මහජන බැංකුව මැදිහත් වෙලා තියෙනවා. ටුවරිස්ට් බෝඩ් එක එක පාරක් මැදිහත් වෙලා තියෙනවා. අපි ඉන්නේ ධනවාදය තුළ නම් ධනවාදයට පිටින් ගිහින් ෆැන්ටසි ලෝකයක් හදන්න බැහැ. වඩාත් වැදගත් වෙන්නේ ඒ මුල්‍යමය දේවල් ලැබෙන තැනට වැඩිය අපි ඒවා හසුරුවා ගන්නේ කොහොම ද කියන එක. සමහර විකල්ප සංකල්ප ගොඩ නැගිලා තියෙනවා ව්‍යාපාරිකයෝ, රජය සම්බන්ධ නොවිය යුතුයි කියන තැන ඉඳලා. ජනාධිපතිවරයා කැත වෙන්න පුළුවන් අමාත්‍යවරයා කැත වෙන්න පුළුවන් ඒත් ඒ තනතුර කැත නැහැනේ. මම කියන්න උත්සහ ගන්නේ වෙළඳ ව්‍යාපාර නාමයක් යටතේ ඩවුන් ටවුන් හදන්න අපි කැමති නැහැ. උදාහරණයක් විදියට සිනමා උළෙල ප්ලස් උඩින් තියෙනවානේ තව කෑල්ලක්. ඒ තත්වයට යන්න අපේ කොහෙත්ම කැමැත්තක් නැහැ. නමුත් වෙළඳ ව්‍යාපාරයක් විශ්වාස කරනවා නම් මේ තියෙන තත්වය ඇතුලේ අපි මුදල් දෙන්නම් හැබැයි අපෙත් ප්‍රචාරණ වැඩ විය යුතුයි කියලා ඒක තමයි ධනවාදය. අපේ සංකල්පයට ඔවුන්ගේ බාධාවක් නොවේ නම් රජය ද පෞද්ගලික ද යන සාධකය නොබලා ඔවුන් සමඟ සාකච්ඡා කරලා මුල්‍යමය කටයුතුවලට අපි සම්බන්ධ වෙනවා.මේ වනවිට අවුරුදු 10 ක් 12 ක් වෙනවා අපි මෙතන වැඩ කටයුතු ආරම්භ කරලා. විනිවිදභාවයෙන් සද්භාවයෙන් යුතුව කටයුතු කරනවා නම් ඔය කියන කාරණාව ප්‍රශ්නයක් නොවනවා කියන එකයි මගේ අදහස.
මේක ඇතුලේ ඉන්න කට්ටිය කවු ද?
අපි මුලින්ම වෙසක් කූඩු හදපු කට්ටියක්නේ. මහල්වරාව මම දන්නා කාලේ ඉඳලම ප්‍රසිද්ධ වෙසක් කූඩුවලට. මේ වෙසක් කූඩු හදන වැඩෙත් කලා වැඩක්නේ. පරිකල්පනීය වැඩක්නේ. ඒවා හදන එක ඇතුලේ පුරුදු වෙනවා සාමුහික ලෝකයකට. ඒක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ තින්කින් එක හසුරවන්න තියෙන්නේ වෙසක් කූඩුවට නෙවෙයි එතනින් එළියේ. ඒක යම්විදියට හැදෙන තැනක් තියෙනවනම් අපිට පුළුවන් වෙනස කියන තැනට එන්න. අපි වෙනස් වුණේ එහෙමනේ. විශේෂයෙන් අපිට මේක පටන්ගන්න හේතු වුණේ ගීතදේව,ඔිල්ටර් බෑන්ඩ් එක, සරාලාමේ අය මට අනුව පළමුවැනි වතාවට පද මාලාව තුළ යම්කිසි වෙනසක් කළා. මියුසික් බේස් කරගත්තේ නැහැ ගොඩක් දුරට. ඒත් අද වනවිට විශේෂයෙන් ගීතදේව එහෙම ගත්තොත් ඔවුන්ගේ සංගීත භාණ්ඩ ඔවුන්ටම අනන්‍ය විදියට හදාගෙන තියෙන්නේ. පටන් ගන්න කොට අපි කට්ටිය හිටියේ විවිධ කලා ශානරවල වුණත් පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාළුවො හැටියට අපිට විසඳගන්න ලොකු සංකීර්ණතා තිබුණේ නැහැ. ඒ නිසා වැඩේ ලේසි වුණා. දැන් වෙනකොට තරුණ පරම්පරාවත් එකතු වෙලා ඊටම ආවේනික හැඩතලයක් හැදිලා තියෙනවා. අපි දැන් මහන්සි වෙන්නේ හැඩතලයක් හදන්න නෙවෙයි තියෙන එක ආරක්ෂා කරගන්න.
එළියෙන් එන කලා අංග එක්ක කොහොමද එකට මුහු වෙන්නේ?
ප්රශ්නය තියෙන්නේ අපි හදන්න ඕන කලාවේ ශානරවල පද්ධති නෙවෙයි. හරියට අර රුපියල් දාහක වැටුප් වැඩි කිරීම ඉල්ලනවා වගේ. මම ඒකට විරුද්ධයි කියනවා නෙවෙයි. හැබැයි ඒ දාහ ඉල්ලනකොටම අපි දැනගන්න ඕන ඒක හම්බවුණොත් අපි ඉවරයි කියලා. එයින් මම අදහස් කරන්නේ සමාජයීය අරගලය එපා කියන එකවත් එයට අර්ථ නැහැ කියන එකවත් නෙවෙයි. අපේ ජීවිත කාලෙත් අපිට කලින් සිටි අයත් හැමවෙලේම උත්සහ කළේ අරගල දිනන්න. හැබැයි අපි කවදාවත් උත්සහ කළේ නැහැ අපේ ඇතුල් පැත්ත හොයන්න.
යුගය කලාකරුවාගේ ප්රකාශනය විය යුතුයි කියන කාරණය ඔබ භාර ගන්නේ කොහොම ද?
මම පෞද්ගලිකව එය භාර ගන්නේ නැහැ ප්‍රයෝගිකව එය දන්නා නිසා. මිනිසුන්ගේ ආර්ථිකමය දේවල් සුරක්ෂිත කර දෙන්න තමයි බොහෝ අරගල කරලා තියෙන්නේ. හැබැයි මිනිසුන්ගේ අවුල තියෙන්නේ තමන්ගේ ඇතුලේ. ඒ කියන්නේ මිනිස්සු ප්‍රේමය හඳුනන්නේ නැහැ, ලිංගිකත්වයේ අර්ථය දන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ එක කොටුවක තියෙනවා කියන එක නෙවෙයි. ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ආදරය කියන්නේ බෝඩ් එකක් එල්ලගෙන දෑවැදි ඉල්ලන්න එපා කියන එක නෙවෙයිනේ. මේවා හරි ගැටුම් සහගතයි. ලේසි ප්‍රශ්න නෙවෙයි කියන එක මම පිලිගන්නවා. ඔන්න ඔය ඇතුල් නැමියාව දෙසට එබී නොබලන තාක් කල් අපි ඉන්නේ අරගල කරන මූඩ් එකක. අපි බේරගන්න ඕන අපි ඇතුලේ තියෙන ඛේදය. මම කියන්නේ මේ වෙලාවේ සංස්කෘතික දේශපාලනය කියලා කියන්නේ සමාජ අරගලය වෙනුවෙන් බැට් කරන එකම නෙවෙයි. හැබැයි ඒක එපා කියලත් මම කියන්නේ නැහැ.
දේශපාලන සංවිධාන කියන ආකෘතියට ආවම ඔය කියන කාරණය නේද ඔවුන්ට කරන්න වෙන්නේ ?
ඒක වෙන්නෙම අපි මෝල්ඩ් එකක් හැටියට විශ්වාස කරනවා අපිට තියෙන්නේ ආර්ථික ප්‍රශ්න විතරයි කියලා. මම ඒක මෙහෙම කියන්නම් වැටුප් වැඩි කරන එක වෙන කාරණාවක් විනෝදය අහෝසි කරගන්නවා කියන එක තව කාරණාවක්. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. අපිට තියෙන සියලු ආශාවන් සපුරා ගන්න ගියොත් අපි කොහොමද මේ පඩිය මැනේජ් කරගන්නේ. මිනිස්සු අභ්‍යන්තරිකව හිතන්න ඕන තමන් විනෝද වෙන්න ගියොත් ධනවාදය කියන විදියට අපිට අරගල කරලවත් දිනන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මෙතන කතාකරන්නේ බෞද්ධ දර්ශනයේ අල්පේච්ඡතාව මම මාර විදියට විශ්වාස කරනවා කියන කාරණය වගේ දෙයක් නෙවෙයි. එහිත් යම්කිසි සාර පද්ධතියක් තියෙනවා. නමුත් අපි ප්‍රැක්ටිස් කරලා නැහැ අර කියන කාරණය.
ඔබ කියන ඔය කාරණය මිනිස්සුන් අතරට ගෙනියන්න ඕන කවු ද? ඔබ යෝජනා කරන විකල්පය කුමක් ද?
සංස්කෘතිය ඇතුලේ කලාව කියන සාධකය ලොකු ස්ථානයක් නියෝජනය කරනවනේ ආගම වගේ. විමුක්ති ජයසුන්දර එක්තරා තැනකදී සඳහන් කරනවා රජෙකුටයි හිඟන්නෙකුටයි තියෙන වරප්‍රසාදය ලෝකේ තව එක්කෙනෙක්ට විතරක් තියෙන්නේ කියලා. අපි මොනවහරි දෙයක් හිඟන්නකුට දුන්නහම ඔහු අපිට වඳිනවා. අපි රජාට වඳිනවා. එහෙමනේ මේ දැන් තියෙන විෂම ලෝකේ. හැබැයි හිමිනමකට අපි දෙගොල්ලොම වඳිනවා. දීලා වඳිනවා. හරිම ඉන්ටරස්ට් පොයින්ට් එකක් මේක. මම මේ දේ කියන්නේ සංඝ සමාජයට නෙවෙයි හුදෙක් දාර්ශනික කාරණාවක් ගැන. බෞද්ධ දර්ශනය තුළ එය පිම්මක් පැනපු තැනක්. කලා ලෝකය තුළ ඒ දේ විය යුතුයි කියන කාරණාව මම විශ්වාස කරනවා. කලාව කරන මනුස්සයෙක් බාහිර ස්වරුපයෙන් හෝ සාමාන්‍ය සමාජයෙන් විතැන් විය යුතු නැහැ. ආත්මියව ඒ ගැප් එක විසඳාගන්නේ නැතිනම් ඔහු කලාකරුවෙක් නෙවෙයි. අපි ඒ දේ ප්‍රැක්ටිස් කළ යුතුයි. අපේ ගමන යනවා නම් ඒ ගැන කතිකා කළ යුතුයි සහ ක්‍රියා කළ යුතුයි ෆේල් වෙන්න හරි.
ඔබ හිතනවා ද මෙතනට ඇවිත් ඉන්න සියලු දෙනාම එහෙමයි කියලා ?
කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අයිඩියාලොජි එකක් යම් තැනකට යනවා කියන්නේ ඒ සියලු දෙනා එකඟ වෙනවා කියන එක නෙවෙයි. විශේෂයෙන් මම කතා කරන්න කැමතියි හිපි මූමන්ට් එක ගැන. ඒක අද තියෙන තැන මොකක් වුණත් ඔවුන් ගෙනාවේ ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නනේ. ඔවුන් අරගත් මානවීය ක්‍රියාව නිසා සියයට සියයක් නොවුණත් අපිත් හැදෙන්නේ එහෙම. ඒක නිසා මම කියන්නේ අපිත් දෙයක් කළොත් අර කියන දේම නොවෙන්න පුළුවන්. අපිත් කොහෙන් කූඩු වෙයිද දන්නේ නැහැ. හැබැයි විශ්වාසය තියෙනවනේ. විශ්වාසය තියෙනවා කියන්නේ කරන්න පුළුවන් කියන එකනේ නේද?
මෙය ආරම්භ වුණේ වමෙන් කියලා ඔබ ප්‍රකාශ කරනවා එතකොට ඔබගේ පරිචය ඇතුලේ ඔබ විශ්වාස කරනවා ද වම මේතාක් ට්‍රැක් එකේ හිටියා සහ ඉදිරියට පවතියි කියන එක.....
වාම කඳවුරට වැරදුණා කියන එක මම දස ලක්ෂ වාරයක් පිළිගන්නවා. හැබැයි වම වැටුණු තැනින් පටන් ගන්නවා නම් අපි මේ හොයන්නේ අපේ ඇතුලේ හිස්කමක් ගැන නිසා ඒ කතිකාවට පොඩි කවුළුවක් විවර කරගන්නම ඕන. නමුත් වම එය කරන්න සුදානම් නැති නම් හැමදාම හිටි තැන ඉඳියි.
අපි ෆැන්ටසිය හොයලා අවසානයේ දී තමන් ළඟ නතර වෙන තැනක් තියෙනවා ?
මම විශ්වාස කරන විදියට චලන දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා භෞතික ලෝකයේ වෙන චලනයක්. ඒ නිසා අපි ජීවිතේ කතිකාවේ සහ අපි ජිවත් වෙන පරිසරයේ යම් සාධක ටිකක් වෙනස් කරගන්න පුළුවන් සහ වෙනස් වෙනවා. හැබැයි මානව ලෝකයේ අනික් අයට බාධාවක් නොවී අපි අපේ ජිවිතයේ හොයන්නේ සතුට හරි මොකක් හරි දෙයක්නේ නේද? ඒක හොයන්න මමත් නොදන්නා කලාපයක් තුළ මමත් දඟලන්න ඕන හැබැයි ඒ කලාපය අයිති වෙන කොහෙටවත් නෙවෙයි මගේම අභ්‍යන්තරයටම තමයි.
බොහෝ වෙලාවට ගොඩක් දෙනා උත්සහ කරන්නේ තමන්වම ප්‍රමෝට් කරගන්න. සමාජයේ මේ අවුල ඔබ කොහොමද දකින්නේ.
හරියට හරි. මම විශ්වාස කරන විදියට කෙනෙක් තමන්වම ප්‍රමෝට් කරගත්තට ඉන් කතිකා කෙරෙන්නේ තමන් ගැන නෙවෙයි අනෙකා ගැන. අපිට පෙන්නේ තමන් තනි වෙලා කරන කෙලියක් කියලානේ. මට අනුව ඒක ඇවිල්ලා එහෙම එකක් නෙවෙයි. මේ හොයන්නේ අනික් මිනිහා මොකද කරන්නේ කියන එක. අපිට පෙන්නේ තමන් කමෙන්ට් දානවා තමන්ට සීරියස් ගමනක් තියෙනවා තමන්, තමන්, තමන් කියන දේනේ. අපිට මතුපිටින් පෙනෙන රූපකය එය වුණාට හොයන්නෙම බාහිර මනුස්සයා මොකක්ද කරන්නේ කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ ඉස්සර ඕක සමාජ ක්‍රියාවක් විදියට සිදු වුණේ. දැන් එහෙම නෙවෙයි එයා තනි වෙලා හොරෙන් ඉන්නවා. ෆේක් එකකින් ඉන්නවා. එයින් විය හැකි දේ තමයි මානව ලෝකය කියන්නෙම සමාජයීය කටයුත්තක්නේ එතකොට සමාජ කටයුත්තකින් තොර වෙලා කෙරෙන කතිකාව තුළ මම විශ්වාස කරන්නේ නැහැ අපි හිතන හැඩතලයට යයි කියලා.
විකල්ප කියන සංකල්පය මහල්වරාවෙන් එළියට ගෙනියන්නේ කොහොමද?
මුලින්ම අපේ අදහස තිබුණේ කලෙක්ටිව් ආර්ට් ගෘප් එකක් හදන එක. ගිය අවුරුද්ද වෙනකම් අපි ට්‍රයි කළේ ඒකට. ඒ අදහස සාර්ථක වුණාට පස්සේ තමයි අපි ව්‍යාප්ත වෙන්න හදන්නේ. මෙතනින් එහාට අපි මේක කරන්න හදන්නේ පුළුල් මට්ටමින්. අපි ගෝකුල මහත්මිය එක්ක කතා කළා සංස්කෘතික මධ්‍යස්ථාන තුලට අපිට මේ වැඩේ ගෙනියන්න පුලුවන්ද කියන එක ගැන. මාස අටක් වැනි කාලයක් තුළ අපි උත්සහ කරනවා නුවර එකක් කරන්න. ඒවගේම යාපනයේත්. ඒ වගේ අපි උත්සහ කරන්නේ කතිකාව කොළඹින් පිටට ගෙනියන්න.
විකල්ප ධාරාවේ වෙන කණ්ඩායම් හම්බවෙලා නැති ද?
ඉන්නවා. මඩකලපුවේ බේස් වෙලා කණ්ඩායමක් වැඩකරනවා මේ දවස්වල. මම හිතන්නේ ඒ අයගෙත් ඉවෙන්ට් එකක් පටන් ගන්නවා 20 විතර. අපිටත් ආරාධනාවක් තියෙන නමුත් මෙවර කලා උළෙල නිසා අපිට යන්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අනුරාධපුරේ විශාල කණ්ඩායමක් බේස් වෙලා ලොකු වැඩක ඉන්නවා. එතන සංස්කෘතික කණ්ඩායමක් හැදිලා ඉන්නවා. ගිය පාරත් ඔවුන් අපේ ප්‍රසංගයකට ඇවිත් නාට්‍යයක් පෙන්නුවා. විශේෂයෙන් පන්නල ටිම්රාන් කීර්ති කවියා බේස් කරගෙන හැදිලා තියෙනවා විශාල කණ්ඩායමක්. අපි ගිය වසරේ ඊට සම්බන්ධ වුණා. ඒ විදියට යම් යම් තැන්වල කණ්ඩායම් හැදිලා තියෙනවා. ඒකයි මම කියන්නේ මේක ඩවුන් ටවුන් නම වෙන්න ඕනම නැහැ යම් මෝල්ඩ් එකකට සමාජ චලනයක් වීමනේ විය යුත්තේ. තැන් තැන්වල ගොඩ නැගෙන කොටස් එකතු කරගැනීමේ කතිකාව තමයි අපි ඉදිරියට කළ යුත්තේ.
ඩවුන් ටවුන් පල්ස් මෙදා පාර වැඩ සටහන් පිළිවෙල කියමු ?
කලා උළෙලක් විදියට මේ පාර පවත්වන වැඩේ දී ක්‍රියාව මූලික කරගන්නේ කොහොමද කියලා බලන්න විශාල කලාකරුවෝ පිරිසක් එකතු වෙනවා. ආට් ගොඩක් ජෑම් වෙලා තියෙන්නේ. අපි ඔලුවේ හදාගෙන තියෙන ෆැන්ටසියට පූර්ණ විදියට ලංවෙන්නනේ අපි කවුරු වුණත් උත්සහ කරන්නේ. 25 පටන් ගත්ත කලා උළලේ හැමදාම චිත්‍රපටයක් පෙන්නනවා. 27 වැනිදා සම්පුර්ණයෙන්ම ළමයින් වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. වැඩමුළුවක්, වේදිකා නාට්‍ය, චිත්‍රපට පෙන්වීම ඇතුළු වැඩ ගොඩක් වෙනවා එදාට. 28 වැඩිහිටියන්ගේ දිනය විදියට වෙන් කරලා තියෙනවා. ඒ වගේම දවස හය පුරාම ප්‍රදර්ශන, ග්‍රැෆිටි ආට්, පර්ෆෝමන්ස් ආර්ට් සිදු කෙරෙනවා. ගාලු නඩේ කියන වීදි නාට්‍ය කණ්ඩායම සම්බන්ධ වෙනවා. තව පොතක් එළිදැක්වීමේ උත්සහයක් තියෙනවා අහස ප්‍රකාශන එක්ක එකතු වෙලා. මේ වගේ කලා අංශ ගණනාවක් එකතුවක් ලෙස තමයි මෙවර වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ.
සංවාදය මනෝහාරී
සටහන -අවාරා