"කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල" Colombo International Women's Film Festival පවත්වන්නේ ප්‍රථම වතාවට . ඊයේ 28 වෙනිදා මෙම උළෙල නිළ වශයෙන් ආරම්භ වුනා.මේ සඳහා සුමිත්‍රා පීරිස්, කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක ඇතුළු සිනමා ක්ෂෙත්රයේ ප්‍රවීණ රංගන ශිල්පිණියන් සහබාගීව සිටියා. මෙම උළෙල සංවිධානය කරන්නේ මේ රටේ සිනමාවට දායක වූ සුවිශේෂ කාන්තාවන් පිරිසක්. මේ අතරිනුත් සුවිශේෂී එක් කාන්තාවක් සිටිනවා. ඒ ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායකවරියක්, තීරකවරියක් සහ අභිරක්ෂක වරියක් ලෙස මෙන්ම ලංකාවේ යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සහ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කරන අනෝමා රාජකරුණා. අනෝමා එක්ක "කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල" සම්බන්දව මිරර් ආර්ට්ස් කතා කළා.
"ඇත්තටම කාන්තා දිනය මූලික කරගෙන, බොහෝ වෙලාවට කාන්තාවන් මූලික කරගෙන නිර්මාණය වූ චිත්‍රපටි, කාන්තාවන් විසින් නිර්මාණය කරපු චිත්‍රපටි දර්ශණ පැවැත්වෙනවා.සාකච්ජා පැවැත්වෙනවා. කාන්තාවෝ එකතුවෙනවා. නමුත් ඒක හොඳින් සංවිධානය වෙච්ච වැඩක් බවට පත්වෙන්නෙ නැහැ.විවිධ චිත්‍රපට උළෙල ලංකාවේ පවත්වනවා. මමත් චිත්‍රපට උළෙල දෙකක් සංවිධානය කරනවා . යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සහ ඇජන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල තුළ මගේ අත්දැකීම් තමයි අපි යුරෝපා සිනමා ඇකඩමිය සමග සිනමා උළෙල පටන් ගත්තේ. අට වසරක් නොකඩවා මේ උළෙල පවත්වලා තිබෙනවා. ඒ අවස්ථාවේදී කෙටි චිත්‍රපටය කියන එක කොළඹ කේන්ද්‍රීය බස්නාහිර පලාතේ ප්‍රකාශන මාධ්‍යක් ලෙසයි තිබුනෙ අපි මේ උළෙල පටන් ගන්නකොට.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ යාපනයේ කෙටි චිත්‍රපට හැදුනා නමුත් බස්නාහිර පළාතෙන් එළියේ වැඩිය කෙටි චිත්‍රපට හැදුනෙත් නැහැ නිෂ්පාදනය වුනත් ඒවා නිසි ලෙස සමාජ ගතවුනෙත් නැහැ. එක්තරා විදිහක හිස්තැන් තිබුනා.ඒ නිසාම අපි සිනමාකාරියන් සඳහා පුහුණු කඳවුරු තිබ්බා. විශේෂයෙන් මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, තිස්සමහාරාමය, මොනරාගල යන ප්‍රදේශවල.අපි උතුරේත්, දකුණේත්, නැගෙනහිර ප්‍රදේශවල වැඩ කරද්දි තමන්ගේ ජීවිත පිළිබඳ, තමන්ගේ අත්දැකීම් පිළිබඳ විශේෂයෙන් යුද්ධයත් එක්ක ජීවත්වෙච්ච සහ තමන්ගේ ජීවිතවල තිබ්බ අත්දැකීම් කලා ක්ෂෙත්රවලට හසුනොවිච්ච විශාල තරුණ පරම්පරාවක් එහෙ හිටියා සහ ඔවුන්ට චිත්‍රපටය පිළිබඳව ලොකු උනන්දුවක් තිබුනා.
ඒ නිසා මේ පුහුණුවෙන් පස්සේ අපි කෙටි චිත්‍රපට විශාල ප්‍රමාණයක් පසුගිය අවුරුදු පහක පමණකාලය තුළ නිර්මාණය කරලා තියෙනවා. මේ අතරින් මම නිෂ්පාදනය කරලා තියෙනවා තරුණ තරුණියන් එක්ක චිත්‍රපට 60ක් පමණ.මෙතැනදී තරුණියන් කියන එක විශේෂයි.තරුණයන්ට ලැබෙන අවස්ථා තරුණියන්ට ලැබෙන්නෙ නැහැ සිනමා ක්ෂෙත්රය ඇතුළත. ඒ නිසාම තරුණියන්ගේ ප්‍රකාශණ වලට උදාහරණයක් ලෙස ගත්තහම අම්පාර දිස්ත්‍රික්කයේ
කාන්තාවක් නිර්මාණය කළ පළවෙනි චිත්‍රපටය හදන්නේ ඔ්ලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්.Let her fly . ඒක එයාගෙම ජීවිත අත්දැකීමකින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. ඒ වගේ අද වෙනකොට ඇජෙන්ඩා 14 උළෙලට විශාල චිත්‍රපට ප්රමාණ්යක් ලැබෙනවා.
මේ වෙනකොට සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් උළෙල සඳහා චිත්‍රපට ලැබෙන්නෙ බස්නාහිර පළාතට පිටින් . මේ අතර තිබුන කාන්තාවන්ගේ චිත්‍රපට සුවිශේෂී වෙනවා. මොකද කාන්තාවන්ගේ ඒ නිර්මාණ පිරිමින්ගේ නිර්මාණ වලට වඩා වෙනස් . ඒකට හේතුව කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ කාන්තාවන් හදන චිත්‍රපටි වෙනස් වෙනවා පිරිමින් විසින් කාන්තාවන් ගැන හදන චිත්‍රපටවලට වඩා.ඉතින් ඒ සඳහාත් යම්කිසි පදනමක් දාන්න පුළුවන්ද? විශේෂයෙන් මේ අයට මෙතැනින් එහාට ඒ කියන්නේ කෙටි චිත්‍රපටයෙන් එහාට පාරක් විවෘතද? කියන සංවාදය අප අතරෙ තියෙන මොහොතේ
පසුගිය වසරේ ලංකාවට ආවා හොලිවුඩ් රංගන ශිල්පිණියක් වූ Ashley Judd. ඇය පැමිණියේ Me Too කියන සිනමාව තුළ කාන්තා ප්රචන්ඩත්වය පිටු දැකීමේ වැඩ සටහනේ නියෝජිතවරිය ලෙස. ඇය ලංකාවට පැමිණි පසු මට අවස්ථාව ලැබුනා ඒ සඳහා ලංකාවේ සිනමාවට සම්බන්ධ කාන්තාවෝ ඒ සඳහා දායක කරනවන්න. මෙතෙන්දි ජාත්‍යන්තර සම්මාන ලාභී රංගන ශිල්පිණියන්ව මම සම්බන්ද කරනු ලැබුවා. එහිදී අයිරාංගනී සේරසිංහ මහත්මිය, සුමිත්‍රා පීරිස් මහත්මිය, රේණුකා බාලසූරිය, අනෝජා වීරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි,සංගීතා වීරරත්න, යශෝදා විමලධර්ම, කෞෂල්‍යා ප්‍රනාන්දු, දමිතා අබේරත්න, නදී කම්මැල්ලවීර, නීටා ප්‍රාන්නදු, අනෝමා ජනාදරී ඇතුළු පිරිසක් මීට දායක කරගත්තා. අපි රාත්‍රී භෝජන සංග්‍රහයකට එකතුවුනේ. එම කාරණයෙන් පසු අපි පිරිස විසිර යන මොහොතේ අපි කතාවුනා අපිට එකතුවෙලා යමක් කරන්න පුළවන් නේද කියලා.
මෙන්න මේ සමස්ථයත් එකක් තමයි අපි මේ ජාත්‍යන්තර සිනමා උළෙල ආරම්භ කරන්න හැකිවුනේ. ඒ එක්කම තව කාරනයක් මතක් කරන්න ඔිනේ. පසුගිය වසරෙ ලංකාවෙ පැවැත්වුවා බ්‍රිතාන්‍යයේ තිබෙන ට්‍රැවලින් වර්ඩ් කියලා ට්‍රැවලින් ෆෙස්ටිවල් එකක් . ඒක සංචාරය කරනවා විවිධ රටවලට.ඒ උළෙල ලංකාවට එන මොහොතේ අභිරක්ෂක(Curator) කෙනෙක් විදිහට මම ඒකෙ කටයුතු කළා. එහි වේදිකා නාට්‍ය ,සංගීත ඇතුලු සියලු කලාවන් අඩංගුවෙලා තිබුනා. නොතිබුනේ සිනමාව පමණයි. මම එහිදී ඔවුන්ට යෝජනා කළා සිනමා උළෙලක් පවත්වන්න. එහිදී ඔවුන් ඇසුවේ ලංකාවේ සිනමා නිර්මාණකාරියන් ඉන්නවාද යන්නයි. මම කිව්වා ඔවු මම ගෙනත් පෙන්වන්නම් කියලා. ඇත්තටම ඒක මට අභියෝගයක් වගේ. මම ඉතා උසස් මට්ටමේ කෙටි චිත්‍රපට අටක් ප්‍රදර්ශණය කළා. ඔවුන් එතෙන්දි කිව්වා ලංකාවේ මෙච්චර පිරිසක් ඉන්නවා නේද කියලා. ඇත්තටම සිනමාකාරියන් කියන්නේ වෘතාන්ත චිත්‍රපට කරන අය පමණක් නෙමේ . වාර්ථා චිත්‍රපට, කෙටි චිත්‍රපට ආදී සියල්ල සිනමා නිර්මාණ ගනයට අයත්.නිෂ්පාදන පිරිවැයේ ප්‍රශ්න ඇරෙන්නට කාන්තාවන් ට පුළුවන් කමක් තියෙනවා වෘතාන්ත චිත්‍රපට කරන්න. ඉතින් මේ සියලු කාරනා මූලික කරගෙන තමයි මේ කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල සංවිධානය වෙන්නෙ."
මේ කෙටි චිත්‍රපට සහ වාර්ථා චිත්‍රපට කරන නිර්මාණකාරියන්ගේ නිර්මාණ ලංකාවෙන් එළියට යනවද?
මේ වෙනකොටත් ෆාතිමා ෂානාස් අධ්‍යක්ෂණය කරපු මම නිෂ්පාදනය කරපුHOPE කියන චිත්‍රපටය ට මෙවර බැංගලෝර් සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයෙන් දෙවන ස්ථානය ලැබුනා.අපි බොහෝ සිනමා නිර්මාණ ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල ප්‍රදර්ශණය කරලා තියෙනවා. භවනීතා ලෝගනාදන් ගේ කෙටි චිත්‍රපටයක් මේ වෙනාකොට රටවල් කිහිපයක සිනමා උළෙල සඳහා ඉදිරිපත්කරලා තියෙනවා. ලංකා බණ්ඩාරනායක ගෙ Tradition කෙටි චිත්‍රපටය ලෝකෙ රටවල් බොහොමයක සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කරලා තිබුනා. ඒ වගේම නාද්‍යා බිමානි පෙරේරාගේ චිත්‍රපටයත් උළෙල ගණනාවක ප්‍රදර්ශණය කළා.
කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල පැවැත්වෙන ස්ථාන මොනවද?
ඇමරිකන් මධ්‍යස්ථානය, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ 3.30- 6.15 සහ රාත්‍රී 9 ට මේ චිත්‍රපට ප්‍රදර්ශණය කරනවා.
චිත්‍රපට උළෙල ආරම්භවූයේ ජාත්‍යන්තර සිනමා නිර්මානයකින්. මෙහි අවසන සටහන් කරන්නෙ කෙහොමද?
අවසන් දින අපි සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශනාවී චිත්‍රපටය පෙන්වනවා. අපි ඇයට යාවජීව සම්මානය පිරිනමනවා ඇගේ සිනමා මෙහෙය වෙනුවෙන්.මෙහි දින කිහිපයේම චිත්‍රපට 38ක් තිරගත වෙනවා.සංවාද මණ්ඩප තුනක් පැවැත්වෙනවා.දීපා මේතාගේ සහ ලංකා බණ්ඩාරනායකගේ චිත්‍රපට දෙක ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව ප්රචන්ඩත්වය සහ කාන්තාව කියන මාතෘකා යටතේ සංවාදයක් පැවැත්වෙනවා.ඒ වගේම මා විසින් කරන ලද නිර්මාණයකුත් පාතිමා ෂානාස් හලාල් සම්බන්ධව කරන ලද නිර්මාණයකුත් ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව සාකච්ජාවක් පවත්වනවා කාන්තාව සහ සාමය පිළිබඳව.ඊට පසුව උළෙලට අයිති වෙනවා අධ්යක්ෂවරුන් තුන්දෙනෙක්ගෙ නිර්මාණ.එය Men For Women කියන අංශය යටතේ. ඒ සංවාදය පැවත්වෙනවා ජර්මන් සංස්කෘතික ආයතනයේදී මාර්තු 05 දින රාත්‍රී 9ට. ඒ සංවාදය මෙහෙයවන්න සංජීව පුෂ්පකුමාරට ආරාධනා කළා.ඩිමොන් ජෝන්, රොෂාන් එඩ්වඩ් සහ ෆයාස් මහරුෆ් යන කෙටි චිත්‍රපට කරුවන්ගෙ නිර්මාණ මෙහිදී ප්‍රදර්ශණය වෙනවා.
අනෝමා ප්රමුඛ සිනමාවට සම්බන්ධ කාන්තාවන් විසින් සංවිධානය කරන මෙම උළෙල මාසයකට වඩා අඩු කාලයක් තුළදී සංවිධානය වූවක් වන අතර මේ සඳහා අනුග්රාහකයන් සොයා වෙහෙසෙන්නට ඔවුන්ට කාලය ගැටළුවක් ව තිබින. කෙසේවුවත් විදෙස් තානාපති කාර්යාලවලින් ලැබෙන සහයෝගයත් සිනමාවට සම්බන්ධ කාන්තාවන් ගේ සහයෝගයත් නිසා මෙවර උළෙල මේ මට්ටමින් හෝ සාර්ථක කරගන්නට හැකියාව ලැබීම සිනමාව අගය කරන සිනමාව රසවිඳින අයගේ පැසසුමට ලක්විය යුතුය.
අනුගාහකත්වය දැක්වීමට කැමති අයෙක් වේනම් I support නම් Button එකක් රුපියල් 1000ක වැනි මුදලකට ලබාගෙන අනුග්‍රයක් දැක්විය හැකි බව අනෝමා පැවසීය. නොමිලේ ප්‍රදර්ශණය කරන මෙම උළෙල සඳහා මෙම I Support Button එකක් මිළදී ගෙන අනුග්‍රයක් දැක්විය හැකි අතර එය අනුග්රාහකයන් සොයා ගැනීමේ පොඳු ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මිරර් ආර්ට්ස් මෙම උළෙල සංවිධානය කරන අනෝමා ඇතුලු සියලු දෙනාට සුබ පතන්නෙමු. ලංකාවේ සිනමාවේ කාන්තාවන්ගේ සිනමා නිර්මාණ රසවිඳින්න ඔබත් යන්න.
චිත්‍රපට උළෙල විස්තරය පහතින් බලන්න