ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ මෝටර් රථයට පහර දීමේ සිදුවීමක් පිළිබඳව පසුගියදා මෙරට කතාබහට ලක් වුණා. එහි ඇත්ත නැත්ත විමසීමට අපි රූකාන්ත ගුණතිලක මහතා ඇමැතූ අවස්ථාවේ ඔහු නිවෙසේ නොසිටි අතර, ඒ පිළිබඳව අපට තොරතුරු දෙන්නට රූකාන්ත ගුණතිලකගේ බිරිය ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා අප සමඟ සම්බන්ධ වූවා.
ඇත්තටම එදා මොකද වෙලා තිබෙන්නේ.
‘මම රියැලිටි වැඩසටහන් නරඹන කෙනෙක් නෙමෙයි. නමුත් මේ රියැලිටි වැඩසටහන නරඹනවා රූකාන්ත එහි විනිසුරු මඩුල්ලේ අසුන්ගෙන සිටින නිසා. සිද්ධිය වු දින දිවුලපිටිය ප්‍රදේශයෙන් තරග වදින තිවංක දිල්ෂාන් නැමැති තරගකරුවාගේ ගීතයකට ශිහාන් සහ රූකාන්ත ලකුණු ලබා දුන්නේ නෑ. මමත් ගායිකාවක් විදිහට ඔවුන් මේ තරුණයාට ලකුණු ලබා නොදීම නිවැරදි තීරණයක් ලෙසයි දකින්නේ. මොකද එදා ඔහුගේ ගීතයේ පැහැදිලිතාවක් නොතිබුණු නිසා. එම වැඩසටහන අවසන් කර රාත්‍රි 9. 30ට පමණ රූකාන්ත එළියට ඇවිත් මෝටර් රථයට නගින්න යද්දී තමයි මෙම පහරදීම සිදු කර තිබෙන්නේ.
රූකාන්ත තිවංකට ලකුණු ලබා නොදුන්නේ ඔහු රූකාන්තගේ කණ්ඩායමේ තරගකරුවෙක් නොවන නිසායැයි ඇතැමෙක් චෝදනා කරනවා.
‘‘රූකාන්ත විතරක් නොවෙයි ශිහාන් මිහිරංගත් ලකුණු ලබා දුන්නෙ නෑ. මේ දරුවන්ව ටීම් කරල තියෙන්නේ ඔවුන්ව පුහුණු කරන්න පහසු වන නිසයි. රූකාන්තගෙ ටීම් එකේ නොවන තරගකරුවන් හොඳින් ගායනා කළ සෑම අවස්ථාවකදීම ඔහු ඔහුගේ ලකුණු හත ලබා දුන්නා. ඇත්ත තත්ත්වය ඕක නෙමෙයි. දැන් හැදෙන තරුණ දරුවන් පමණක් නෙවෙයි ඔවුන්ගේ මවුපියන්ටත් ජය පරාජය ඉවසීමේ ගුණය නැතිකමයි.‘‘
ඔබ එහෙම කියන්නේ ඇයි?
‘‘තරගය ඇතුළේ පැවැත්වෙද්දී එහි පිටත විශාල තිරයකින් තරගකරුවන් ගීත ගයනවා සජීවීව දැකගන්න සලස්වා තිබුණා. එම ස්ථානයෙන් තමයි රූකාන්ත මෝටර් රථයට නගින්න ගිහින් තියෙන්නේ. මේ ගැටුම මුලින්ම පටන්ගෙන තිබෙන්නේ පරාජයට පත්වූ තරගකරුවාගේ මවයි. ඇය තමයි කෑගසමින් රූකාන්තට ගහන්න බැරිකමට වාහනයට පහර දී තිබෙන්නෙ. ඊට පසුව ඔවුන්ගේ හිතවතුන් එක් වී මෝටර් රථයට පහර දී අලාභහානි කර තිබෙනවා. තවත් තරගකරුවකුගේ බාල සොහොයුරිය තල්ලු කර බිම දමා පාගලා. එම දරුවාගේ වයස අවුරුදු එකොළහයි. ඇය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.‘‘
මෙම සිද්ධිය පොලීසියට පැමිණිලි කරන්න තරම් දුරදිග ගිය බවක් අප මාධ්‍ය මගින් දුටුවා?
‘‘බොහෝ මාධ්‍ය අපෙන් ඇත්ත නැත්ත නොවිමසා සිද්ධිය වාර්තා කර තිබුණා. රූකාන්තට මෙම සිදුවීමෙන් පහරදීමක් සිදු වී තිබුණේ නෑ. නමුත් මෝටර් රථයට පහර දුන්නා කියන්නේ ඔහුට පහර දෙන්න බැරිකමට කළා වගේ වැඩක්. ඒ නිසයි රූකාන්ත පොලීසියට පැමිණිලි කරන්න ගිහින් තියෙන්නේ අපේ මිතුරකු වන රජිව් මල්ලී සමඟ. ඒ ඔහුගේ මතු ආරක්ෂාව වෙනුවෙන්‘‘
මෙම සිදුවීමෙන්ම එක රැයින් ජනප්‍රිය වන තරුවල ස්වභාවය පෙන්නුම් කරනවා යැයි කීවොත්?
හැම කෙනෙක්ම එහෙම නැහැ. මෙවැනි සිදුවීම් ලංකාවේ රියැලිටි වැඩසටහනකදී වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙරත් රූකාන්ත රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරයකු ලෙස සිටියා. නමුත් මෙවැනි සිදුවීමක් මින් පෙර කවදාවත් සිදු වී නැහැ. මෙවැනි හේතු නිසයි රියැලිටි වැඩසටහන්වලින් එන තරගකරුවන් කලාවේ ගොඩක් කල් රැඳිල නොසිටින්නේ. එනිසාවෙන් කිසියම් කලාකරුවකු කලාවට දායාද කරනවිට ඔහු පිළිබඳව මෙන්ම ඔහුගේ පවුල් පරිසරයත් සොයා බැලිය යුතුමයි‘‘.
‘‘රූකාන්ත එක්සත් ජාතික පක්ෂ දඹදෙනිය ආසන සංවිධායකද වනවා‘ .. ඇතැම් මාධ්‍ය ක්‍රියා කෙළේ එයත් වාසියක් කරගෙන. ඒක නිසයි අපෙන් කිසිවක් නොවිමසා මෙම සිදුවීම නොයෙක් විදිහට වාර්තාකර තිබුණේ.‘‘
මෙම සිදුවීම පිළිබඳව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පැවැසූවේ මෙවැනි කතාවක්.
‘අපේ රටට නොගැළපෙන ක්‍රියාවක් ලෙසයි මම මෙම සිදුවීම දකින්නේ. මමත් රියැලිටි වැඩසටහන් ගණනාවකම විනිසුරුවරයකු ලෙස කටයුතු කළා සහ කටයුතු කරනවා. මෙම වැඩ සටහන් සංවිධානය කරන සංවිධායකවරු අපට තරගය ආරම්භයේදීම යම්කිසි නීති රීති මාලාවක් ලබාදෙනවා. තරගකරුවන්ටත් එහෙමයි. මට ඔය තරගය එදින නරඹන්නට අවස්ථාව ලැබුණේ නෑ. ඒ නිසා එම තරගකරුවාට රූකාන්ත ලබාදුන් විනිශ්චය කුමක්ද කියන්න මට අවබෝධයක් නැහැ. නමුත් යම්කිසි තරගකරුවකුට ඔහුට ලැබුණු විනිශ්චය පිළිබඳව සෑහීමට පත් විය නොහැකිනම් එම අවස්ථාවේ ඒ පිළිබඳව ප්‍රශ්න කළ හැකියි. එසේ නොමැතිව එළියේදී විනිශ්චය ලබාදුන් කෙනාට පහර දෙන්නට හදනවා කියන දේ කිසිසේත්ම අනුමත කළ නොහැකියි. ඒ වගේම මෙවැනි තරගවලට සහභාගි වන තරගකරුවන් එම කොන්දේසිවලට යටත්ව ජය පරාජය සම සිතින් දරාගන්නට අවශ්‍ය මානසිකකත්වයකින් මේවාට සහභාගි වන්න ඕනෑ. නැතුව ඔවුන්ට විනිසුරුවන් සමඟ ගැටුමකට යා නොහැකියි.
මේක ප්රජාතන්ත්රවාදී රටක්. ශ්‍රී ලාංකිකයන් වන අපිට හොඳ සංස්කෘතියක්, හැදියාවක් තිබෙනවා. නැතුව මේක ම්ලේච්ඡ රටක් නොවෙයි. ඒ වගේම මෙවැනි තරගයක පමණක් නොවෙයි ඕනෑම තරගයක ජය සහ පරාජය දෙකක් තිබෙනවා. ජය පරාජය උපේක්ෂාවෙන් දරාගත නොහැකි මෙවැනි මිනිසුන් කලාවට සුදුසු නෑ. මම මෙම සිදුවීම දකින්නේ නින්දිත ක්‍රියාවක්, සීමාව ඉක්මවා ගිය සිදුවීමක් ලෙසයි.‘
නයනා වෑත්තෑව
සිළුමිණ