“සමන්තා අක්කා අසනීප වෙලා ලංකාවට ඇවිත්. දැන් එයා ගොඩාක් අසරණ වෙලයි ඉන්නේ.
රංගන ශිල්පිනී අනුෂා සොනාලි ඇගේ සහෝදර නිළියක ගැන පසුගිය දවසක අපිට එහෙම හෝඩුවාවක් ලබාදුන්නා. 80-90 දශකවල ජනප්‍රිය නිළියක්ව වැජඹුණු සමන්තා ඈපාසිංහ 2001 වසරේදී හිටිහැටියේ රට හැර ගිය බව තමයි ඇය ගැන බොහෝ දෙනා දැන සිටි පුවත වූයේ. ඉන්පසු ඇයට මොනවා වුණාද කියන එක බොහෝ අයට අදටත් රහසක්. ඇත්තටම අද වනවිට සමන්තාගේ කතාව කවුරුත් නොහිතපු විදිහේ වෙනස්ම එකක්.
මේ ආරංචිය ලැබූ හැටියේ අපි ඇයව හොයාගෙන ගියේ ඇගේ වත්මන් ජීවිතය මොන වගේද කියලා පාඨක ඔබට විස්තර ඇතිවම කියන්න හිතාගෙනයි. පාදුක්කට නුදුරු අර්ධ නාගරික පරිසරයක පිහිටි හුදකලා නිවහනකදී තමයි අපිට සමන්තාව මුණ ගැහුණේ. අද ඇගේ තනියට ඉන්නේ අම්මා විතරයි. එදා ඇය වටා හුන් රසික පිරිස සහ කලා ලොවේ අය කිසිවකු අද ඇය සමග නැහැ. සමන්තාගේ පෙනුම එදාට වඩා ටිකක් වෙනස් වෙලා. ඒත් ඇගේ සුහදශීලී බව නම් තවමත් ඒ වගේමයි.
සමන්තා ඈපාසිංහ කියන්නේ රූපයයි, දක්ෂකමයි දෙකම කැටිකර ගත්තු නිළියක්. පාසලේ උසස් පෙළ හදාරණ අතරතුරේ වේදිකාව හරහා රංගනයට පිවිසි සමන්තා සෙනෙහබර ඩොලී නාට්‍යයේ රඟපාලා රාජ්‍ය නාට්‍ය උළෙලෙහි හොඳම සහය නිළිය විදියටත් සම්මාන දිනා ගත්තා. ඒ වගේම රජෙක් වගේ පුතෙක් චිත්‍රපටය වෙනුවෙන් නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ දිනවල දින දර්ශන හැඩ කිරීම සඳහාත් සමන්තා අත්‍යවශ්‍යම නිළියක් බවට පත්වෙලා සිටියා. කෙළිමඬල, ලොකු දුව වැනි චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය විශාල ප්රමාණයකත් ඈ රඟපෑවා. අසල්වැසියෝ ටෙලි නාට්‍යයේ කුමාරිගේ චරිතය හරහා තමයි සමන්තා ඈපාසිංහ ගැන බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ.
කටකතා කියන දේවල් ජනප්‍රියත්වය එක්ක තදින්ම බැඳී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. පදනම් සහිතව හෝ විරහිතව නැගෙන මෙබඳු අවලාදවලින් ජනප්‍රිය චරිතවලට ගැලවෙන්න අමාරුයි. සමන්තා ඈපාසිංහගේ නමිනුත් ඒ කාලේ ආන්දෝලනාත්මක විවිධ විදිහේ පුවත් මැවුණා.
මා ගැන පැතිර ගිය කටකතා නිසා සමහරු මගෙන් අහපු ප්‍රශ්නවලට මට කලාව විතරක් නෙවෙයි මේ රටත් එපාවුණා. ක්ෂේත්රයට වක්‍රව සම්බන්ධ අය වගේම මගේ සමකාලීන නිළියන්ගේ හතුරුකම්වලින් මම දැඩි ලෙස පීඩාවට පත්වුණා. ඒ නිසා තමයි 2001 දී සංජය ලීලාරත්නගේ මඩම නාට්‍යයත් අරගෙන එංගලන්තයට ගිය වෙලාවේ මම එහිම නතර වුණේ.
සමන්තා අද කතා කරන්නේ හරිම හෘදයාංගම විදියටයි. ඒ වගේම තමන් ජීවිතයේ මුහුණ දුන් සියලු හැලහැප්පීම් ගැනත් ඇය හරිම විවෘතව අපත් සමග කතා කළා.
සමන්තා දීර්ඝ කාලයක් එංගලන්තයට වෙලා මොකද කළේ?
ගොඩාක් අය හිතනවා එංගලන්තය වගේ රටක රස්සාව කරන්න ගියා කිව්වාම සල්ලි ගොඩාක් හම්බ කරගෙන, සැප පහසු ජීවිතයක් ගෙවනවා ඇති කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මම ක්ලීනිං සර්විස් එකක වැඩ කළා. සුපර් මාර්කට්වල වැඩ කළා. හෝටල්වල පිඟන් හේදුවා... ඔය අතරේ මම ලෙඩ වුණා. මම ආපහු ලංකාවට ආවේ 2011 දී. ඒ ආවේ ලෙඩෙක් විදියට. හැබැයි මම ආපහු ලංකාවට ආපු බව අදටත් හුඟක් අය දන්නේ නැහැ.
සමන්තාගේ රෝගී තත්ත්වය හරිම සංකීර්ණ එකක්. ඒ ගැන ඇය අපට කීවේ මෙවැනි කතාවක්.
එංගලන්තේ ඉද්දී මට එක එක විදියේ රූප පෙනෙන්නට පටන් ගත්තා. විරූපී අය වගේම රූමත් අයගේ රූපත් ඒ අතරේ හිටියා. ඒ විතරක් නෙවෙයි, විවිධ සත්තුන්ගේ හඬවලුත් මගේ කන්වලට ඇහෙන්න ගත්තා. මේ සතුන්වත්, මිනිස්සුවත් පියවි ලෝකයේ ඇත්තටම ජීවත් වෙන අය නෙවෙයි. මේ හැමෝම මට බණින බවක් තමයි මට ඇහුණේ. ඒ සියල්ල ස්වභාව ධර්මයේ තියෙන අද්භූත බලවේග. ඒත් මගේ අවාසනාවට එංගලන්තයේ අය ඒ දේවල් විශ්වාස කළේ නැහැ. මේ සිදුවීම් ගැන කිව්වාම ඒ අය මාව මානසික රෝහලකට ගෙනිහින් දැම්මා. මානසික ලෙඩක් නැතුවත් විවිධාකාර ඖෂධ ශරීර ගතකරපු නිසා ටික කලකින් මගේ මුළු ශරීරයම දුර්වල වුණා. මේ විදිහට එංගලන්තයේ ජීවත් වෙන්න බැරිම තැන අන්තිමට මම ලංකාවට ආවා...
මෙබඳු සිදුවීම් ගැන මනෝවිද්‍යාත්මක ඇහින් බලන අය වගේම, මේක ඇත්තටම අද්භූත බලවේග කියා සිතන අයත් පාඨක පිරිස අතර ඇති. සමන්තාට උදාවූ අභාග්‍ය සම්පන්න ඉරණම ගැන ඇගේ වචනවලින්ම ඔබ වෙත ගෙන ඒම මිස ඒ සිදුවීම් ගැන විනිශ්චයක් ලබාදීම මෙම ලිපියේ අරමුණක් නොවෙයි.
ලංකාවට ආවට පස්සේ මගේ ශරීරයේ දකුණු පැත්ත අප්‍රාණික වීමෙන් මම අංශභාග රෝගියකු වෙලා රෝද පුටුවට වැටුණා. එහෙම ඉඳලා යාන්තම් දෙපයින් නැගිටිද්දී මිදුලේ ලිස්සලා වැටිලා වම් අත තුනට කැඩුණා. අත කපන්න කියලා වෛද්‍යවරු නියම කළාම මම සිංහල වෙදකමේ පිහිටෙන් තමයි අත බේරාගත්තේ. ඒත් ඒ අතින් දැන් මට වැඩක් පලක් කරන්න අමාරුයි. වැටිලා අත කැඩුණා කියලා වෙද මහත්තුරු විශ්වාස කළේ නැහැ. දරුණු පහරදීමකට ලක්වෙලා අත කැඩුණද කියලා ඒ අය මගෙන් ඇහුවා. එංගලන්තයේදී මට මනෝවෛද්‍ය ප්‍රතිකාර කරද්දී ලබාදුන් බෙහෙත් ඖෂධ හින්දා තමයි අත දිරලා තියෙන්නේ. ඒකයි සුළු ඇද වැටීමකින් අත තුනට කැඩුණේ...
කතාබහ අතරේ අපි සමන්තාගේ ඡායාරූප ගන්නත් අමතක කළේ නැහැ. ඇය ලැබූ සම්මාන ඡායාරූපවල දැන් කුණු දුහුවිලිවලින් බැඳිලා.
ඇයි මේවා මේ විදියට මුල්ලකට දාලා තියෙන්නේ?
ඕවා තියන්න රාක්කයක් හදාගන්න තමයි ඉන්නේ. මේ කරදර මැද ඒකත් අමතක වුණා.
ලෙඩ සුව කරගෙන ආයෙම රඟපාන්න අදහසක් නැද්ද?
අපොයි නැහැ. මොකද මට වෙච්ච දේවල් හින්දා මට දැන් කලා ලෝකයම එපා වෙලයි තියෙන්නේ.
අද වෙද්දී සමන්තා පසුවන්නේ බොහොම අසරණ තත්ත්වයකයි. ඇය මේ වන විට වෛද්‍ය සායන 5 කට සහභාගි විය යුතුව තියෙනවා. ඒ සඳහා මුදල් නැතිකමින් ඇය අද බොහොම අසරණ වෙලා. විදෙස්ගතව සිටින නැගණිය එවන මුදලින් තමයි සමන්තයි, ඇගේ මවයි ජීවත් වෙන්නේ. මල්ලි විවාහ වෙලා වෙනම පදිංචි වෙලා හිටියත් නිතර ඇවිත් අම්මා සහ අක්කා ගැන හොයා බලන බවයි සමන්තා පැවැසුවේ.
දැනට මම මනෝවෛද්‍ය ප්‍රතිකාර වගේම අක්ෂි ආබාධ, ස්නායු ආබාධ, දෙපාවල නහර ගැට ගැසීම සහ හෘද රෝග සඳහාත් ප්‍රතිකාර ගන්න ක්ලිනික්වලට යනවා. ගෙදර ඉඳන් බස් නැවතුමට තියෙන්නේ පයින් යන දුරක්. ඒත් ඒ දුර ඇවිදගෙන යන්න බැහැ. දැන් මගේ ශරීරය හරිම දුර්වලයි. ත්‍රීවීල් එකකින් හෝල්ට් එකට ගියත් කොළඹ ජාතික රෝහලට යන්නේ බස් එකේ. මේ ගමන් බිමන්වලටයි, බේත් හේත්වලටයි ලොකු මුදලක් ඕනෑ. බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතා, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රසිකා මිස් මට මුදලින් උදව් උපකාර කළා. ඒත් මම අද විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දීලයි ඉන්නේ...
සමන්තා ඈපාසිංහගේ නිවසේ හෝරා කීපයක් ගෙවූ අපි ආපහු කාර්යාලයට එන්න සූදානම් වුණා.
නිළියක් වුණාට මම ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ෂූට් එකක් කරපු පළමු වතාව තමයි මේක. 2001 දී ලංකාවෙන් යන්න කලින් අන්තිමට රඟපෑවේ සංකුලු මාරුතය ටෙලි නාට්‍යයේ. ඒ කාලේ පත්තරවලට නිතරම මගේ පින්තූර ගත්තා. ඒත් ඒ ගත්තේ සාමාන්‍ය කැමරාවලින්. අද මට හරි විශේෂ දවසක්. මේ පාලු ගෙදර කාමරේකට වෙලා මම දවසම ගෙවලා දමන්නේ හරිම අමාරුවෙන්. ඇවිදින්න අමාරු හින්දා කොහේවත් යන්නත් බෑ. ඔයගොල්ලෝ එක්ක කතා කරලා හිතේ තියෙන දේවල් කියන්න ලැබුණු එක මට පුදුම සැහැල්ලුවක්...
සමන්තා එහෙම කීවේ හරිම සංවේදී විදියටයි. සමුගන්න පෙර අපි ඇගෙන් විමසුවා ඇගේ දුරකථන අංකය මේ ලිපියේ සඳහන් කළාට කමක් නැද්ද කියලා.
ඉස්සර මගේ නම්බර් එක පත්තරේක ගියොත් ඒ අංකයට කතා කරලා නරක දේවල් කියපු අයත් හිටියා. අද මම ඉන්නා තත්ත්වය අනුව මට ඒ වගේ දේවල් කොහෙත්ම දරාගන්න අමාරුයි. කවුරුන් හෝ මට කතා කරලා මගේ දුක සැප විමසන්න කැමැත්තෙන් ඉන්නවා නම් ලක්බිම රිද්ම හරහා වැඩි විස්තර ලබාගන්න පුළුවන්.
ආරියවංශ කුලතිලක
ඡායාරූප - මංජුල පෙරේරා
-Lakbima-