චිත්‍රපටය පුරා මගේ රූපයේ කැත මතු කරද්දී මටත් ඒ අභියෝගය දැනුණා
නිල්මිණි සිගේරා කියන නම ඇසූ හැටියේ බොහෝ දෙනාට මතක් වෙන්නේ ජනප්‍රිය නිවේදිකාවක්. පසුගියදා නිල්මිණි ජාත්‍යන්තර සම්මානයකින්ද පිදුම් ලැබුවා. නමුත් ඒ නිවේදිකාවක් විදියට නම් නෙවෙයි. නිළියක් විදියටයි. ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන අසන්ධිමිත්තා සිනමා පටයේ අසන්ධිමිත්තාගේ චරිතය රඟපෑම උදෙසා ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ අතිවිශිෂ්ට රංග කුසලතා නිරූපණය උදෙසා වූ සම්මානයයි ඇයට හිමිවුණේ.
2017 දී ස්වර්ණා අක්කාට උපහාර පිණිස (ස්වර්ණා මල්ලවආරච්චි) සිනමා උළෙලක් තිබුණා. එහි චන්ද කින්නරී චිත්‍රපටය නරඹන්න ගිය අවස්ථාවේ මට ස්වර්ණා අක්කා හමුවුණා. ස්වර්ණා අක්කා මට ඒ වෙලාවේ පුංචි විහිළුවක් කළා. මගේ මූණ ඉස්සර වගේ වුණත් ඇඟපත වෙනස් වෙලා කියලා. ඒ මොහොතේ එතැන හිටපු අශෝක හඳගම මහතා මා දිහා හොඳට බලලා චිත්‍රපටයක රඟපාන්න කැමතිද කියලා ඇහුවා.
ඒ චිත්‍රපටයේ පර්වතයක චරිතයක් තියෙනවද කියලා මම හිනාවෙලා ඇහුවම තමයි මට ඔහු අසන්ධිමිත්තා ගැන කිව්වේ.
කතාවේ හැටියට අසන්ධිමිත්තා රාත්තල් 300 ක් විතර බර ගැහැනියක්. එහි රඟපාන්න ආරාධනා ලැබෙද්දී නිල්මිණිගේ බර කිලෝ 89 ක් වුණත් චිත්‍රපටය වෙනුවෙන් ඇයට තවත් කිලෝ දහයක් වැඩි කරගන්න සිදුවෙලා.
මම කොහොමත් කෑමට, බිමට ටිකක් උනන්දුයි. පැණි රස කන්න ගොඩාක් ආසයි. ඒ හින්දා කිලෝ 10 ක් වැඩිකර ගන්න නම් අමාරු වුණේ නැහැ. මට හුඟක්ම අමාරු වුණේ චිත්‍රපටය රූ ගත කිරීම් ඉවර වෙලා ආයෙම ඒ කිලෝ 10 ක් අඩු කරගන්න කෑම පාලනය කරගන්න එකයි.
එහෙම කියපු නිල්මිණි සිගේරා වෘත්තියෙන් ගුරුවරියක්. ඇය මේ වනවිට සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ උසස් පෙළ පන්තිවලට තර්ක ශාස්ත්‍රය විෂය උගන්වනවා. ඇගේ සැමියා තිලක් අබේසිංහ. නිල්මිණිගේ ලොකු පුතා යෙසික් දැන් ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරනවා. දෙවැනි පුතා නිම්නක රැකියාව කරන්නේ ඇමෙරිකාවේ. ගුරුවරියක්, මවක්, බිරිඳක් විදියට අසන්ධිමිත්තාගේ චරිතය ඇයට අභියෝගයක් වුණේ නැද්ද කියලා අපි ඇයගෙන් ඇසුවා.
ඕනෑම ගැහැනියකට ලොකුම අභියෝගය තමයි තමන්ගේ කැත පෙන්වන එක. චිත්‍රපටය පුරා මගේ රූපයේ කැත මතු කරද්දී මටත් ඒ අභියෝගය දැනුණා. හඳගමගේ චිත්‍රපටවල කොහොමටත් ආන්දෝලනාත්මක ජවනිකා තියෙනවානේ. මේ චිත්‍රපටයේ ඒ වගේ දර්ශන ගොඩාක් තිබුණේ නැහැ. මට අභියෝගයක් වන විදියේ දර්ශන දෙක තුනක් තිබුණත් මා අසීරුතාවට පත් නොවන විදියට ඒවා රූ ගත කළ නිසා මට ලොකු ගැටලුවක් වුණේ නැහැ.
අසන්ධිමිත්තාගෙන් පසුව නිල්මිණිට තවත් එබඳුම තරබාරු කාන්තාවන්ගේ චරිත රැගත් සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණලු. ඒත් දිගටම එබඳු චරිත භාරගන්න අකමැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවයි නිල්මිණී අපිට කිව්වේ.
ආරියවංශ කුලතිලක
ලක්බිම