-ඇත්තටම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එනකල් මම බයෙන් හිටියේ.-
සෙනාලි මේ දවස්වල දෙදෙනකුගේ ආදර කතාවකට මැදිවෙලා නේද මොකක්ද ඒ ආදර කතාව?
මහාචාර්ය සුනිල් ආරියරත්න මේ දවස්වල අධ්‍යක්ෂණය කරන විජයබා කොල්ලය චිත්‍රපටයේ තුන්කොන් ආදරයකට පැටලිලා ඉන්නේ. නීලමනීගේ චරිතයෙන් අසංග සහ නයනානන්දගේ ආදරය අතරට මම පැටලිලා. විජයබා කොල්ලය කියන්නේ කාලයක් තිස්සේ මිනිසුන්ගේ ආදරය දිනා ගත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්මයාගේ නවකතාවක්. නීලමනී, නයනානන්ද හා අසංගගේ තුන්කොන් ආදරය ගොඩාක් ජනප්‍රිය වෙලා තිබුණා. ඉතින් මම මේ දවස්වල ඒ ආදර කතාවේ නීලමනී විදිහට තමයි ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.
නීලමනීගේ චරිතයට සෙනාලිව සොයාගෙන ඒමත් විශේෂ සිද්ධි දාමයක් එක්ක බැඳිලා තිබෙනවා නේද?
ඇත්තටම මේ චිත්‍රපටයට ආරාධනා ලැබීම හිතන්නේ නැති විධියට සිද්ධ වුණු දෙයක්. මට මුලින්ම මේ චිත්‍රපටය ලැබුණත් ඒක මගෙන් ගිලිහුණා. මොකද සුනිල් සර් ටෙලි ඩ්‍රාමාවල ඉන්න අය චිත්‍රපටවලට ගන්න එතරම් කැමැත්තක් නැති නිසා. ඊට පස්සේ මේ චරිතය වෙනුවෙන් ගොඩක් අය හොයලා හොයලා ආයෙත් කැරකිලා මටම ඒ චරිතය ලැබුණා. ඒක පුදුමාකාර දෙයක්. ටෙලි නාට්‍යවලට කොමාවක් තිබ්බට පස්සේ තමයි නැවතත් මට නීලමනීගේ චරිතය ලැබුණේ. සුනිල් සර්, හේමාල්, අශාන් එක්ක මට මේ කාලයේ වැඩ කරන්න තිබෙන්න ඇති. ඒකයි එය අහම්බයක් විධියට කැරකිලා මටම ලැබුණේ.
මේ නිර්මාණය සෙනාලිට වටිනාකමක් ගොඩනඟපු නිර්මාණයක් කියලා හිතනවාද?
මේ චිත්‍රපටය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා කිව්වොත් නිවැරැදියි. මම චිත්‍රපටවලට දායක වෙලා තිබ්බට මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මීට කලින් තිරගත වෙලා තිබුණේ සිරිපැරකුම් චිත්‍රපටය විතරයි. මේ මම සම්බන්ධ වුණ චිත්‍රපටවලින් තිරගත වෙන දෙවැනි චිත්‍රපටය. විජයබා කොල්ලය චිත්‍රපටය ඓතිහාසික චිත්‍රපටයක් වුණාට මම කරන චරිතය සිරිපැරකුම් චිත්‍රපටයේ මම කළ චරිතයට වඩා වෙනස් චරිතයක්. මම මීට කලින් ආදරවන්තියකගේ චරිතයක් කරලා තිබ්බේ. නැහැ. මම ආදර කතාවක රඟපාන ප්‍රථම වතාව තමයි මේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයක ඒ වගේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ රංගන ජීවිතයේ මට ලැබුණු ලොකු අවස්ථාවක්.
සෙනාලිට නීලමනීගේ චරිතයට අනුගත වෙන්න පහසු වුණාද?
ඇත්තටම නීලමනීගේ චරිතය කියන්නේ ලොකු අභියෝගයක් තිබුණ චරිතයක්. මෙතෙක් මම කරපු චරිත ගත්තොත් ඒවා එක්කෝ හොඳ චරිත. නැත්නම් නරක චරිත. ඒ හැම එකක්ම එකම හැඩතලයක තිබුණේ. නමුත් විජයබා කොල්ලය චිත්‍රපටයේ නීලමනීගේ චරිතය එහෙම එකම හැඩතලයක තිබුණු චරිතයක් නෙවෙයි. කළු සුදු චරිතය තුළ තියෙන විවිධාකාර චරිත ලක්ෂණ මේ චරිතය තුළ තියෙනවා. තරුණයන් දෙදෙනකුට ආදරය කළත් ඒකටත් ඇයට හේතුවක් තියෙනවා. නීලමනීගේ චරිතයට පණ පොවද්දී නීලමනී කරන දේවල් ඇයි එහෙම කරන්නේ කියලා ප්‍රේක්ෂකයන්ට දැනෙන්න කරන්න ඕනේ.
චිත්‍රපටයේ රූගත කිරීම්වලදී විවිධ අකරතැබ්බයන්ටත් මුහුණ දෙන්න සෙනාලිට සිදුවුණාලු නේද?
ඔව්, මේ චරිතය වෙනුවෙන් මට ගොඩාක් දේවල් කරන්න වුණා. මාස තුනක් විතර අශ්වයෝ පදින්න පුරුදු වුණා. අශ්වයෝ පදින්න ගිහින් අශ්වයාගේ පිටින් වැටිලා කොන්ද කැඩුණා. තුවාල වුණා. අශ්වයාගේ පිටින් වැටුණ දවසේ රූගත කිරීම් අප නැවැත්තුවේ නැහැ. දිගටම රූගත කිරීම් කළා. සුනිල් සර් සහ කණ්ඩායම මට ගොඩක් උදවු කළා. අන්තිමට හැරිලා බලද්දී අපි එකතු වෙලා මහන්සි වෙලා ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.
නීලමනීගේ චරිතය සිනමාවේ ජීවත් කරද්දී ඔබ උපරිම සාධාරණයක් කළා කියලා හිතනවාද?
ඕනෑම රංගන ශිල්පියකුට ශිල්පිනියකට හිතෙනවා වගේ මටත් හිතෙනවා මේ චරිතය තව ටිකක් හොඳට කරන්න තිබුණා නම් කියලත්. කොහොම වුණත් මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන් ලැබුණු ගුරුහරුකම්, පුහුණුවීම් එක්ක මම ඒ චරිතය පුළුවන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කළා. තව මට හොඳට කරන්න තිබ්බා නම් කියන හැඟීමම මට තව ඉදිරියට යන්න, දේවල් හදාගන්න උදව්වක් වෙයි.
විජයබා කොල්ලයේ ඔබ මැදි වී තිබෙන ආදර බැමි දෙක තමයි අශාන් සහ හේමාල් කියන්නේ. නීලමනීට සාර්ථක වෙන්න ඔවුන්ගේ සහයෝගයත් වැදගත් වෙන්න ඇති?
ඔව්, මම අශාන් අයියව සිරිපැරකුම් චිත්‍රපටයේ ඉඳන්ම දන්නවා. ඔහු මට සහෝදරයෙක් වගේ. එදා මම ඔහුව දකින්නේ මගේ ලොකු අයියා වගේ. හැබැයි විජයබා කොල්ලය චිත්‍රපටයේදී මම ඔහුව දකින්නේ පෙම්වතෙක් විදියට. පෙම්වතියගේ භූමිකාව නිරූපණයත් එක්ක මමත් දැන් ලොකු ළමයෙක් වගේ දැනෙනවා. අශාන් අයියා එක්ක මට හරි පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වුණා. මම හේමාල් අයියාවත් කලින් ඉඳලම දන්නවා. අපිට එකට රඟපාන්න අවස්ථා ලැබුණට දින ප්‍රශ්න නිසා අපිට එකට රඟපාන්න තිබ්බ අවස්ථා මඟහැරුණා. ප්‍රථම වතාවට තමයි අපි දෙන්නා චිත්‍රපටයක එකට රඟපාන්නේ. ඒ දෙන්නම දක්ෂයෝ දෙන්නෙක්. එයාලා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.
හේමාල් සහ අශාන්ගෙන් ඔබට වැඩිපුර සමීප කවුද?
දෙන්නාම මට සමීපයි. හරිම නිහතමානී රංගන ශිල්පීන් දෙන්නෙක්. මට ඔවුන් එක්ක රඟපාන්න අපහසු වුණේ නැහැ. අශාන් අයියව නිර්මාණයක මුණගැහිලා තිබුණත් හේමාල්ව එකට රඟපාන්න මුණගැහුණේ මේ චිත්‍රපටයේදී. හේමාල් අයියා එක්ක වැඩකරන්නේ කොහොමද කියන අත්දැකීමත් මට ලැබුණා.
නීලමනීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
චිත්‍රපටය නරඹපු අයගෙන් හොඳ තමයි අහන්න ලැබුණේ. ඒ ලැබෙන ප්‍රතිචාරවලින් මම ඒ චරිතයට සාධාරණයක් කළාද කියලා දැනගන්න පුළුවන්.
නීලමනීව නවකතාවෙන් පාඨකයන්ට සමීප වී තිබුණා. සෙනාලිට සිනමාවෙන් නීලමනීව ප්‍රේක්ෂකයන්ට දනවන්න පුළුවන් වෙයිද?
ඇත්තටම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එනකල් මම බයෙන් හිටියේ. මොකද නීලමනීගේ චරිතයට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. චිත්‍රපටය කරද්දි වුණත් වයසක අය නවකතාවේ චරිත ගැන ආදරයෙන් කතා කළා. නවකතාවෙන් ඒ චරිත මිනිසුන්ගේ හිතේ ඇඳෙනවා. සුනිල් සර්ගේ හිතේ ඇදෙන දේ තමයි චිත්‍රපටය තුළින් එළියට එන්නේ. ඉතින් දැනටමත් බොහෝ දෙනා කියන්නේ මම නීලමනීගේ චරිතයට සාධාරණයක් කරලා තිබෙනවා කියලා. සුනිල් සර් ගොඩක් සතුටු වෙනවා. තාම චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන ටික දවසයි. ඉදිරියේදී බලමු එය ප්‍රේක්ෂකයෝ කොතරම් වැලඳගනියිද කියලා.
සෙනාලිට සිනමාව වෙනුවෙන් තියෙන ඉල්ලුම හොඳ මට්ටමක තියෙනවද?
රංගන ශිල්පිනියක් වෙන්න මට උණක් තිබ්බේ ඇයිද කියලා මම දන්නේ නැහැ. විවිධ චරිතවලට පණ පොවන එක, රූගත කිරීම්වලදී එකම පවුලක් වගේ වැඩ කරන එක මම හරි සන්තෝෂ වෙන දෙයක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට වටිනවා. මම චරිත කරන්නේ ඔවුන් වෙනුවෙන්. මම රඟපාපු චිත්‍රපට දෙකයි තිරගත වෙලා තියෙන්නේ. ටෙලි නාට්‍යයත් ගොඩක් කරලා නැහැ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා තමයි මම රංගන ශිල්පිනියක් ලෙස ඉන්නේ. මම ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට ගරු කරනවා. ඉදිරියටත් මගේ දක්ෂතාව විවිධ නිර්මාණවලින් පෙන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ කලා පවුලකින් එළියට ආපු කෙනෙක්. ඔබේ ගමන ගැන ලොකු නැන්දා (මාලිනී ෆොන්සේකා) ඇතුළු පවුලේ කලා පුරුක් සතුටු වෙනවාද?
ලොකු නැන්දා ගොඩක් සතුටු වෙනවා. ඇය හැම වෙලාවේම කියන්නේ දක්ෂතාව තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඇය නිළි රැජන කියලා විශේෂ උදව්වක් දෙන්න විශේෂ සැලකීමක් කරන්න කැමැති නැහැ. අපේ දක්ෂතාවයෙන් ඉදිරියට යන එක ගැන ඇය සතුටුයි. ඒ වගේම ඇය බොහෝ ගුරුහරුකම් දෙනවා. මට තවත් ඉදිරියට යන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරනවා. ලොකු නැන්දා (මාලිනි ෆොන්සේකා), පොඩි නැන්දා (දමයන්ති ෆොන්සේකා), සමනලී අක්කා, දක්ෂ ලෙස මේ රංගන ගමන ගිය අය. මට එයාලාට ලැජ්ජාවක් නැතිව ඉන්න ඕනේ. එයාලාගේ හැකියාවට මට ළං වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නමුත් මම පුළුවන් විදිහට හොඳ ගමනක් යන්න උත්සාහ කරනවා.
අලුත් සිනමා නිර්මාණවලට දායක වුණාද?
චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා. ජැක්සන් ඇන්තනී මහත්තයා අධ්‍යක්ෂණය කළ “එකගෙයි සොකරි”, ධනුෂ්ක රේමන් අධ්‍යක්ෂණය කළ “පරිස්සමෙන් ඉන්න” චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන කතා කරමු.
දැන් සෙනාලි දිගටම ලංකාවේ රැඳෙයිද?
මම කවදත් ලංකාවට ආදරෙයි. එංගලන්තයේ ගියාමත් ලංකාවට එන්න බලාගෙන මම ඉන්නේ. මගේ අම්මා තාත්තා ඉන්නේ එංගලන්තයේ. ඉතින් මට එයාලවත් ඕනේ. ඒ නිසා මම රටවල් දෙකේම ඉඳියි.
හා හා පුරා කියලා සිනමාවේ නම් ආදර කතාවකට සෙනාලි පැටලුණානේ. සැබෑ ජීවිතේ ආදර කතාවක පැටලිලා නැද්ද?
මම ආදරය පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. හැබැයි මම ආදරයට ආදරෙයි. මට මගේ මවුපියන්ගෙන් පවුලේ අයගෙන් යාළුවන්ගෙන් ආදරය ලැබෙනවා. මම ආදරය හොයාගෙන යන්නේ නැතුව ආදරයට මාව හොයාගෙන එන්න ඉඩදීලා තියෙන්නේ. ඕනෑම ගැහැනු ළමයෙක් පිරිමි ළමයකුගේ කැමැති ගති ලක්ෂණ තියෙනවානේ. මමත් ආදරය, රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ආදරයක් ලැබුණු දවසක මමත් පෙම්වතියක් වෙයි.
මොනවද ඉදිරි සැලසුම්?
මම ලොකු සැලසුම් තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මම එන විධියට සහ ලැබෙන දේවල් එක්ක ජීවිතයට මුහුණ දෙන කෙනෙක්. කලා ජීවිතයේ නම් මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස් චරිත කරමින් ඉදිරියට යන්න කැමැත්තක් තියෙනවා. අධ්‍යාපන කටයුතුත් තව ඉදිරියට ගෙනියන්න ඕනේ. අන්තිමේ මම බලාපොරොත්තු වෙන්නේ මැරෙන දවසට හැමෝගේම ආදරය ගෞරවය දිනාගෙන මතකයේ රැඳෙන චරිතයක් වෙලා යන්න තමයි.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම