-‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ අධ්යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න-
"සිනමාවට ගත හැකි නවකතාවක් ලියාගන්න අදටත් කෙනෙක් නැහැ තරුණයන් 24 දෙනෙක් මාස තුනක් ඇතුළත රූප රාමු දෙලක්ෂ අසූඅටදාහක් වෙන්කරලා චිත්‍රපටය 3-D කළා"
සාහිත්‍ය වියමනකට වෙනම වෙනත් මුහුණුවරක් දීම ලේසි පහසු කාර්යයක් නොවේ. කෘතියේ පරිකල්පන ලෝකයේ සැරිසරන පාඨකයන්ට ඒ ඒ රූප රාමු වෙනුවෙන් තම මනසේ ඇඳුණු වෙන වෙන ම සිතුවම් වේ. ඒ දන්නා සිතුවම පොදු සිතුවමක් කරන්නට යෑමේදී අන් කවර දේටත් වඩා පරිස්සම් විය යුතු වන්නේ ඒ නිසා ය.
ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ "විජයබා කොල්ලය" එනමින් ම සිනමාවට නඟන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ ස්වකීය පෙර අත්දැකීම්හි සුසර බවෙන් පිරිපුන් වූවෝ වෙති. කැලෑ හඳ, හිඟන කොල්ලා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය ආදි ඩබ්ල්යු. ඒ. සිල්වාගේ කෘති මීට පෙර සිනමාවට නැඟී ඇත ද, මේ චිත්‍රපටය ඒ සිනමාපටවලට වඩා සෞන්දර්යාත්මක චමත්කාරයෙන් යුතුය. එනිසාම මේ ඒ "විජයබා කොල්ලය" පිළිබඳ ව එහි අධ්යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟ කළ සංලාපයෙකි.
අකුරු සාහිත්‍යයක් රූපයට නැඟීම වෙනම කලාවක්. සාහිත්‍යයේදී භාෂාව, වාග් රීති ආදිය සිනමාවේදී අලංකාරය හා තාක්ෂණය සමඟ මුසු වෙනවා. මේ පිවිසීම ගැන කතා කළොත්?
භාෂාවෙන් නිර්මාණය කිරීම කියන්නේ භාෂාව උපයෝගී කරගෙන යම් මනෝ චිත්‍රයක් මැවීමක්. ගීතයක් ලිවීමේදී මා වචනවලින් චිත්‍රයක් අඳිනවා. උදාහරණයක් විදියට ආනන්ද සමරකෝන් චිත්‍ර ඇන්දා; ගීත ලිව්වා. ඔහුගේ චිත්රයෙන් ගීතය පෝෂණය වුණා; ගීතයෙන් චිත්‍රය පෝෂණය වුණා. වචනවලින් කළ දේම චිත්රවලින් කළා.
මහගමසේකරත් එහෙමයි.
ඔව්. පැහැදිලිව ම. මම චිත්‍ර ඇන්දේ නෑ; නමුත් මම ගීත රචකයෙක් හා සිනමාකරුවෙක්. වෙනත් කෙනෙක් භාෂාමය චිත්‍රයක් ලෙස නිර්මාණය කළ දෙයක් සජීවී රූප රාමු බවට පත්කරන්නට මට අපහසු නොවුණේ ඒ නිසයි. මමත් සාහිත්‍යකාරයෙක් නිසා තවත් සාහිත්යකාරයෙක්ගේ දෙයක් සිනමාවට නැඟීම මට ආගන්තුක හැඟීමක් ඇති කළේ නැහැ.
විජයබා කොල්ලය කියැවූ පාඨක මනසේ ඒ ගැන යම් පරිකල්පනීය සිතුවමක් තියෙනවා. ඔබ සිනමාවට නඟන්නේ ඒ අප සිතේ තිබෙන සිතුවමක්. අපේ පරිකල්පනය, ඔබේ පරිකල්පනය වීම අභියෝගාත්මකයි.
මට ඒ අභියෝගය අඩු වුණේ මම තුන්වැනි පාර්ශ්වයේ කෙනෙක් නිසයි. විජයබා කොල්ලය තිර නාටකය ලියන්නේ ආචාර්ය තිස්ස අබේසේකර. ඒ නිසා මගේ වගකීමෙන් බාගයක් ඔහු ඉටුකර අවසන්. ඔහුගේ ජීවිත කාලය ඇතුළත මෙහි දෙබස් ලියා අවසන් කරන්නට බැරි වුණා. ඔහු දෙබස් ලිව්වා නම් මට වඩා හොඳට ලියයි කියලා මට විශ්වාසයි. ඔහු සිංහල සිනමාවේ හිටපු හොඳ ම දෙබස් රචකයෙක්.
සාමාන්‍යයෙන් සිංහල සිනමාවේදී තිර නාටකයට මිසක් දෙබස් රචනයට ඒ තරම් වටිනාකමක් ලබා දෙන්නේ නෑ නේද? නමුත් ඔබ ඒ ගැන ඉහළින් අවධාරණය කරනවා.
ඇත්තට ම ලංකාවේ එහෙම දෙබස් රචනයට අවධානයක් නැහැ තමයි. නමුත් ඉන්දියාවේ ඊට වෙනස්. ඒක වෙනම කලාවක්. විශේෂයෙන් හින්දි හා දෙමළ වාණිජ සිනමාවේ දෙබසට ප්‍රධාන තැනක් ලැබෙනවා. රූපයට වගේම දෙබසටත් එහි වැඩි වටිනාකමක් තිබෙනවා. තිරනාටක රචකයාට පසුව වෙනම දෙබස් රචකයෙක් ඉන්නේ ඒ නිසයි. අපේ රටේ ඉතා ම අඩු ලංසුවක් තමයි දෙබස් රචකයාට දෙන්නේ.
අපේ රටේ අංක එකේ දෙබස් රචකයා පී. කේ. ඩී. සෙනෙවිරත්න. ඊළඟට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා; අනෙක් කෙනා තිස්ස අබේසේකර. අභාග්‍යයකට මේ චිත්‍රපටයේ දෙබස් තිස්සට ලියන්න බැරි වුණා; තිර නාටකය විතරයි ඔහු ලිව්වේ. ඔහු නිසා මගේ වගකීමෙන් බාගයක් ම අඩු වුණා. මට තිබුණේ එතැනින් ඔබ්බට ගිය කොටස කරන්න විතරයි.
විරාගය, කරුමක්කාරයෝ වගේ නවකතාවලින් හැදුණු චිත්‍රපටවල තිරනාටක ලියන්නෙත් තිස්ස අබේසේකරයන්. නමුත් ඒවායේ නොතිබුණු සෞන්දර්යයක් මෙහි තිබෙනවා. කුමක්ද තිරනාටකයේදී මේ වෙනස?
තිස්සගේ මේ එළැඹුම වෙනස්. මොකද, කරුමක්කාරයෝ හරි විරාගය හරි ගත්තොත් ඊට වඩා හාත්පසින් ම වෙනස් නවකතාවක් විජයබා කොල්ලය. ලෙස්ටර් ජේම්ස් පීරිස් පැහැදිලි ව ම කියන කතාවක් තමයි ඩබ්ල්යූ. ඒ සිල්වාගේ නවකතාවකින් විශිෂ්ට චිත්‍රපටයක් බිහි කළ නොහැකි බව. සාමාන්‍යයෙන් ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ නවකතාවල කළු සුදු චරිත, අභව්‍ය සිදුවීම් ගහණයි. මේවායෙන් 90% ක් මිදුණු නවකතාව තමයි විජයබා කොල්ලය. සාමාන්‍යයෙන් ප්‍රේම ත්‍රිකෝණයේ තමයි දුෂ්ටයා ඉන්නේ. නමුත් මෙහි දුෂ්ටයා ඉන්නේ ප්‍රේම ත්‍රිකෝණයේ නොවෙයි. ස්ත්‍රී චිත්තය කියන කාරණය ඔහුගේ අනෙක් නවකතාවලට වඩා අපූරුවට මෙහි නිර්මාණය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ හොඳ ම නවකතාව තමයි විජයබා කොල්ලය. ඒ නිසයි තිස්ස වෙනස් ම ආරකට විරාගය, කරුමක්කාරයෝ අමතක කරලා ඩබ්ල්යූ. ඒ සිල්වාගේ නවකතාවකට අත තබන්නේ; මේ සෞන්දර්ය මතුවෙන්නේ ඒ නිසයි.
ඩබ්ල්යූ. ඒ. සිල්වා කතා රසය මූලික කරගෙන ලියන නවකතාකරුවෙක්. මුල, මැද, අග සහිත සාම්ප්‍රදායික නවකතායි ඔහු ලියන්නේ. එයින් ඔබට ලැබුණු පිටුබලය කවරාකාර ද?
අවුරුදු 80කට පස්සෙත් ඩබ්ල්යූ. ඒ. සිල්වා ලියූ මෙවැනි නවකතාවක්, විශේෂයෙන් සිනමාවට ගත හැකි නවකතාවක් ලියාගන්න කෙනෙක් අදටත් නැහැ කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටයකට හොඳ ප්‍රබල කතාවක් තියෙන්න ඕන. තිස්ස අබේසේකරයන් මට තිරනාටක ගණනාවක් රචනා කරලා තිබෙනවා. විශේෂයෙන් ම "පොඩි මල්ලී" සහ "උත්පලවණ්ණා".
අවුරුදු 80ක් ගිහිල්ලත් "නොව පැරණිය වන රමණිය විටෙන් විට" වගේ විජයබා කොල්ලය නවකතාවේ කතන්දරය පැරණි වුණේ නෑ. එතකොට තිස්ස උත්සාහ කරන්නේ මානසික ගැටුම්, සංකීර්ණ චරිත නිරූපණ වගේ ගැඹුරු තලයකට මේ චිත්‍රපටය නොගෙනිහින් ඊට වඩා සරල මට්ටමකින් සෞන්දර්යාත්මක ලෙස සමාජගත කිරීමටයි. ඕනෑවට වඩා ගැඹුරට නොයෑම චිත්‍රපටය පුරාම දක්නට ලැබුණා. සාමාන්‍ය රසිකයා මීට ආකර්ෂණය වීමට හේතුව එයයි.
ඔබ එසේ කීවත් විජයබා කොල්ලය වැනි බොළඳ යැයි සම්මත නවකතාවකින් ඔබ මානව සබඳතාවන්හි සංකීර්ණ බවක් අවස්ථා කිහිපයකදී ම ගොඩනඟනවා යැයි මට සිතෙනවා. රෂොමාන්, මනමේ වගේ ස්ත්‍රී චිත්තයේ ගැඹුරට යන්නට දරන උත්සාහයක් මෙහි ගැබ් වෙනවා යැයි මම කීවොත්...
අද ලෙස්ටර් ජීවතුන් අතර සිටියා නම් ඔහු මේ චිත්‍රපටය බලලා කුමක් කියාවිද කියලා මට අනේක වාරයක් හිතිලා තියෙනවා. ඔහු හිටියේ ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ කෘතිවලින් සිනමාපට කරන්නට බැහැ කියන දැඩි මතයේ. ඔහු එහෙම කියන්නේ ඩබ්ල්යූ. ඒ. සිල්වා සමඟ තරහකින් නොවෙයි. ඩබ්ල්යූ. ඒ. සිල්වා පතුරු ගැහුවෙ සරච්චන්ද්රනේ. ඒ වුණත් ලෙස්ටර් කිව්වා පාඨකයන් නවකතාව වටා එක්රොක් කළේ ඔහු බව.
ඔහු හිටියේ ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ කෘතිවලින් සිනමාපට කරන්නට බැහැ කියන දැඩි මතයේ. ඔබ ම කියන විදියට එහෙම කිව්ව නවකතාවකින් සංකීර්ණ චරිතයක් බිහිවුණා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නට ඕන තිස්ස අබේසේකරට. මමත් ඒ ගෞරවයෙන් කොටසක් පැහැර ගන්නවා. මොකද මම තිස්ස නවත්තපු තැන ඉඳන් ඔබ්බට යන්න හැම තිස්සේම උත්සාහ කළා.
කරුණාසේන ජයලත්ගේ "ගොළු හදවත" බොළඳ නවකතාවක් කියලයි සාමාන්‍ය විචාරක මතය. ඒ වුණාට ඒකෙන් චිත්‍රපටයක් කළාම ඒක කලාත්මක චිත්‍රපටයක් කියලා ඒ විචාරකයන් ම කියනවා. කොහොමද ඒක විජයබා කොල්ලයට ආදේශ වන්නේ?
නවකතාවෙන් ඔබ්බට යන්නට චිත්‍රපටයේදී උත්සාහ කර තිබෙනවා. නවකතාව ඒ ආකාරයෙන්ම චිත්‍රපටගත කළා නම් අද තිබෙන මේ ඵලය නෙළා ගන්න ලැබෙන්නේ නෑ. විජයබා කොල්ලය නමැති කතාව පැය 6 ක පමණ වෘත්තාන්තයක් බවට පත්වෙනවා, හරියට චිත්‍රපටය රූගත කළා නම්. නමුත් තිස්ස අබේසේකර ඉතාම අපූරුවට මෙහි එන උප ආඛ්‍යාන ඉවත් කරනවා. පැරැන්නන් විජයබා කොල්ලය කියූ ගමන් කතා කරන්නේ විභාගයට නියමිත පරිච්ඡේද දෙක ගැනයි. ඔබට මතක ඇති, විජයබා කොල්ලය සිදු වෙන වෙලාවේ වයස මිනිසා සහ ගහ උඩ සිටින කොලුවා අතර වන සංවාදය. ඒක සාහිත්‍යයට හරි; නමුත් සිනමාවට අවශ්‍ය නෑ. එය සිනමාවේදී ඉවත් කර තිබෙනවා. නවකතාව ඉවර වෙන්නේ විජයබා කොල්ලයෙන්; චිත්‍රපටය අවසාන වන්නේ ප්‍රේම ත්‍රිකෝණයෙන්. නවකතාවේදී අසංග මිය යන්නේ කුටිඤ්ඤෝ පියතුමාගේ උකුල මත; සිනමාපටයේදී අසංග මිය යන්නේ නීලමණිගේ උකුළ මත. චිත්‍රපටයත් සමඟ ඓන්ද්‍රීයව නොබැඳෙන බොහෝ කොටස් නොදැනෙන සේ තිස්ස අබේසේකර චිත්‍රපටයෙන් ඉවත් කර තිබෙනවා.
මේ තුන්කොන් ප්‍රේමය හා ලසර්දාගේ ප්‍රේමය හා හැසිරීම්වලට මුල්තැන දීම නිසා "විජයබා කොල්ලය" කියන කතාවේ ප්‍රධාන සාධකය සිනමාපටයේදී යටපත් වී ඇතැයි කිව්වොත්....
ඔව්. එය එසේ තමයි. මොකද නවකතාවේ ප්‍රධානම තැන හිමිවෙලා තියෙන්නේ විජයබා කොල්ලයට. නමුත් තිස්සගේ පිටපතේදී ප්‍රධාන ස්ථානය හිමිකරලා තියෙන්නේ මේ ප්‍රේම ත්‍රිකෝණයට. ඩබ්ල්යූ. ඒ. සිල්වාට ගෞරවයක් ලෙස සටහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඔහුට අමතරව ඓතිහාසික නවකතා ලිව්වේ ජී. බී. සේනානායක. ඔහුගේ මේධා, වරදත්ත, චාරුමුඛ වගේ නවකතා ලියන්න මොන තරම් ඓතිහාසික දත්ත පරිශීලනය කළාද කියලා ඔහුගේ ස්වයංලිඛිත අපදානයේ සඳහන් වෙනවා.
මම පරංගි යුගය ගැන බොහෝ පොත්පත් කියවූවා; ඒක මට චිත්‍රපටයේදී ප්‍රයෝජනවත් වුණා. චිත්‍රපටය කරන්න ගියාම ඊට අමතරව මම තවත් පොත්පත් කියෙව්වා. මට හිතුණේ පෝල් ඩී. පීරිස් ගේ "පෘතුගීසි සමය" කියන පොත තමයි ඩබ්ල්යූ. ඒ. සිල්වා වැඩියෙන් ම පරිශීලනය කරල තියෙන්නේ කියලා. මොකද ඓතිහාසික දත්ත 99%කම නිවැරැදියි. එක ම වැරැද්දයි මට අහුවුණේ. නායක්කර් භටයන් ගැන කළ සටහන විතරයි වැරදි තොරතුරකට තිබුණේ; අනෙක් සියල්ල ඇත්ත. ඉතිහාසය මේ තරම් ශුර විදියට සම්බන්ධ කළේ කොහොමද කියලා මට පුදුමයි. එහිදී ඔහුගේ වැඩිම අවධානය යොමු වී තිබෙන්නේ ඓතිහාසික සිද්ධියට බව ඇත්ත.
ලංකාවේ සිනමා කර්මාන්තය ඇතුළත දැවැන්ත නිෂ්පාදන අඩුයි. විශේෂයෙන් තාක්ෂණික ප්‍රයෝග.
සජීවීකරණ හා ත්‍රිමාණකරණ අත්දැකීම් අපට දුරස්ථයි. මේ සිනමාපටය ඇතුළෙන් අපට ඒ තාක්ෂණික පාර්ශ්වයේ යම් අඩුපාඩු පෙනෙනවා. කොහොමද අපේ සිනමාවට මේ තාක්ෂණික ප්‍රයෝග සමීප කරගන්නේ.
ත්‍රිමාණ තාක්ෂණය ගැන තරුණයන් කිහිපදෙනෙක් මීට කලින් චිත්‍රපට දෙකකදී අත්හදා බැලීම් කළා. එකක් zoom, අනෙක බන්ධනය කියන චිත්‍රපට. ඒ තරුණයන් තමයි අපට මේ යෝජනාව ගෙන ආවේ. අප රූපගත කිරීම් කරද්දී ඒ තරුණයන් ඔවුන්ට අවශ්‍ය රූපරාමු ලබාගැනීමට කටයුතු කළා. ඇත්තට ම මගේ සියලු ම ශිල්පීන් තරුණයි; ඒ අය අතරත් මේ අය ගොඩක් ම තරුණයි. මේ චිත්‍රපටයට ත්‍රිමාණ තාක්ෂණය යොදාගැනීමෙන් යම් වාණිජමය වටිනාකමක් එක්වේ යැයි අප සිතුවා.
ඇත්තට ම තරුණයන් 24 දෙනෙක් මාස තුනක් ඇතුළත මේ චිත්‍රපටයේ රූප රාමු දෙලක්ෂ අසූඅටදාහක් වෙන්කරලා මේ චිත්‍රපටය ත්‍රිමාණකරණය කළා. ඒක අදහාගන්න බැරි ශ්‍රම කැපකිරීමක්. ඒක ඇතුළෙ යම් දෝෂ සහගත තැන් නැතිවා නොවෙයි. ඔවුන්ට ඊළඟ අවස්ථාවකදී මේක 100%ක් ජයගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
සිනමාව නැරඹීමේදී මගේ සිතට නැඟුණු කාරණයක් තමයි අප ගත කළ ජනවාර්ගික අර්බුදය; මේ මොහොතේ අප මුහුණ දෙන ගැටුම... මේ ආදී කාරණා ගැන බොහොම සියුම් ම මෙහි සාකච්ඡා වෙන බව. විශේෂයෙන් සිංහල හා මුස්ලිම් ජනයා අතර පැවැති මිත්‍රත්වය...
ඔබේ මේ කියැවීම ගැන මා ඉතාමත් සතුටට පත්වෙනවා. අද දවස සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාරණයක්, ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් විජයබා කොල්ලයෙන් ප්රක්ෂේපණය වෙනවා. මේ පිළිබඳ පූර්ණ ගෞරවය හිමිවන්නේ ඩබ්ල්යූ. ඒ. සිල්වාට. නවකතාවේ මේ පණිවිඩය කියැවෙනවා. සිංහල, මුස්ලිම් දෙපිරිස එක පිරිසක්; ඊට විරුද්ධ ව එන පරංගි වෙනම කට්ටියක්. පරංගින්ට විරුද්ධ ව එක්වන්නේ සිංහල, මුස්ලිම් දෙපිරිසයි. පෘතුගීසීන් කියන අයගෙත් ඔක්කොම එක වගේ නෑ. ඔවුන් අතර ලසර්දා වගේ ම්ලේච්ඡයොත්; කුටිඤ්ඤො පියතුමා වගේ යහපත් මිනිස්සුත් ඉන්නවා. මේ පණිවිඩය අද මේ මොහොතට අවශ්‍ය පණිවිඩය. කිසිම ප්රචාරාත්මක බවක් නොගෙන එය මේ චිත්‍රපටයෙන් කියැවෙනවා.
ඒක තාමත් කාටවත් අහුවුණේ නෑ. ප්‍රථම වතාවටයි මගෙන් මේ කරුණ ගැන ප්‍රශ්න කරන්නේ. ඒ ගැන වුණු සියුම් කියැවීමට මම ඔබට ස්තූති කරනවා. ඒ වගේම මට තව එකක් කියන්න ඕනෑ. මේ මොන දේ කළත් මම තාමත් සිංහල මහාචාර්යවරයා ම තමයි; ඒකෙ නම් වෙනසක් නෑ.
සුමුදු චතුරාණි ජයවර්ධන
සිළුමිණ