මම හැම විටකම උත්සාහ කරනවා මම, මමම වෙන්න.
කපිල එම් ගමගේ මේ මොහොත තුල ලේඛකයෙක් ලෙස අප හඳුනාගනිමින් සිටිමු. ඔහු පසු ගිය දිනෙක 'මුහුදට මුහුණ ලෑ සොහොනකි' නම් කවි එකතුවත්, 'අපරාදේ ඒ නොවැම්බර්' නම් කෙටිකතා එකතුවත් ජනගත කරනු ලැබුවා. ඉතින් 'Art Eka' අද කතා බහ ඔහු සමඟ.
මේ හයවෙනි කවි පොත, කොයිතරම් කාලෙකට සැරයක්ද කවි පොතක් ලියවෙන්නෙ,
එහෙම එකක් නෑ. මට අත්දැකීමක්, රිදීමක්, දැනීමක්, දැනුනම බොහෝ විට එය කවියක් හැටියට ලියවෙනවා. එහෙම කාලයක් බැලුවම කවි එකතුවෙලා තියෙනකොට තමයි කවි පොතක් කරන්න හිතෙන්නෙ. ඒක මෙච්චර කාලයක් ඇතුලේ කරනවා කියලා එහෙම අදහසක් නෑ. මොකද මගේ කවි පොත් හය ඇතුලෙ දෙවෙනි පොතේ ඉදන් තුන්වෙනි පොතට අවුරුදු 15 ක විතර වෙනසක් තියෙනවා.
වර්තමානයේ කවි පොත් වලට සයිබර් අවකාශයේ උත්තේජනය,
උත්තේජනයක් තියෙනවා. මොකද සයිබර් අවකාශයේ සමාජ මාධ්‍යවල සැරිසරන්න පටන්ගත්තට පස්සෙ මම ඒ තුල කවි ලියන්න ගත්තා. ඒක කිසියම් ආකාරයක උත්තේජනයක් වෙන්න ඇති ආයෙත් කවි පොත් නිර්මාණයට. මොකද අර අවුරුදු පහලොව පුරා මම කවි ලියමින් හිටියත් මම ටිකක් වේගෙන් ලියන්න පටන්ගත්තෙ සයිබර් අවකාශයෙදි තමයි.
වේගවත් ලිවීමක්?
කෙනෙක් තමන්ගේ සාහිත්‍යාංගය ගැන අභ්‍යාස කරනකොට ඒ සාහිත්‍යාංගය පිලිබඳව තියෙන දැනුම අවබෝධය සහ ලිවීමේ හැකියාව වැඩිවෙනවා. ඒක උනා කියලා තමයි මම හිතන්නෙ. මොකද මුල් කාලෙ අපිට වැඩි ඉඩකඩක් තිබුනෙ නෑ. තිබුණේ පත්තරවල කවි පිටු සහ ගුවන්විදුලියේ යම් යම් නිර්මාණවල. ඒවත් පල වෙන්න අතැම්විට දීර්ඝ කාලයක් යනවා. මට මතකයි පත්තරේක කවියක් පල කරගන්න අවුරුදු තුනක් අඛණ්ඩව ලියලා තියෙනවා. මගේ නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු වෙන තුරු ඒ සංස්කාරකවරු මගේ කවි පල කලේ නෑ. ඉතින් එහෙම නැතුව සයිබර් අවකාශය තුල තමන්ට කැමති විදියට ලියන්න ඉඩක් තියෙනවා. තේරීමක් සංස්කරණය කිරීමක් හෝ බාධා පැනවීමක් එතන නෑ.
ඒ ප්‍රවණතාවය මොන වගේද,
මම දකින්නෙ ප්‍රමාණාත්මකව කවි ලියවුනත් ගුණාත්මකව කවි ලියවෙනවා අඩුයි කියලා. කවිය කියන දේට සතතාභ්‍යාසය අවශ්‍යයි. තමන්ගෙ හැකියාව තිබ්බට පලක් නෑ අභාසයේ නිරත වෙන්නෙ නැත්නම්. හැබැයි දැන් ඒක වෙන්න කලින් තමන් ලියන හැම දෙයක්ම ඒ මොහොතෙම පලවෙනවා. ඒක සහ ඊට පස්සෙ ඒකට ලැබෙන ප්‍රතිචාර. මං දැකලා තියෙන දෙයක් තමයි අලුතෙන් කවි ලියන සමහර අය තමන්ව අධිනිශ්චය කරගන්නවා. තමන් දැන් හොඳ කවියෙක් කියලා හිතනවා. නමුත් අපිව සංස්කරණය කරන්න හිටියේ ඒ කාලෙ ලංකාවේ ප්රමුඛ පෙලේ කතුවරු. උදාහරණයක් විදියට ගත්තොත් ඒ කාලේ සිළුමිණ පත්තරේ කවි පිටුව සංස්කරණය කරේ දයාසේන ගුණසිංහ කියන විශිෂ්ඨ සාහිත්‍යධරයා. ඔහුට අවබෝධයක් තිබුනා කවිය පිලිබදව, එය වර්ධනය විය යුතු ආකාරය පිලිබඳව. ඔවුන් නිසා අපේ කවි මඟ වර්ධනය වුනා. සයිබර් අවකාශය තුල අන්න ඒ දේ වෙන්නෙ නෑ. 2018 අවුරුද්දෙ ප්‍රකාශකයන්ගේ විතරක් කවි පොත් 79 ක් ඇවිත් තියෙනවා. ඒකට කර්තෘ ප්‍රකාශනත් එකතුවුනාම සෑහෙන්න කවි පොත් ප්‍රමාණයක් මුද්‍රණය වෙලා තියෙනවා. ඒ අතුරින් ඉතාම හොඳ කවි පොත් තියෙන්නෙ අතලොස්සයි. 20 ක වගේ ප්‍රමාණයක් තමයි කතාකල යුතු මට්ටමේ කවි පොත් තියෙන්නෙ.
එතකොට සයිබරයටත් සංස්කරණයක් අවශ්‍යයි?
මෙහෙමයි, ඒ මධ්‍යයේ තියෙන ස්වරූපයනෙ අසීමිත නිදහස. එතකොට ඒකට කාටවත් කපන්න කොටන්න බෑ. ඔය සමාජ මාධ්‍ය අඩවි වගේ කරන අයට මේ ගැන අදහසක් තියෙනව නම් එයාලට පුළුවන් ඕනම එකක් පල නොකර ඒවට හැදෙන්න දීලා අඩුපාඩු පෙන්වා දෙමින් පල කරන එක කරන්න. මොකද මට එහෙම වෙලා තියෙනවා. මට සංස්කාරකවරුන්ගෙන් ලියුම් ඇවිත් තියෙනවා අඩුපාඩු ගැන කියලා. එහෙම වෙනවා නම් හොදයි.
කවියෙක් හැටියට ඔබේ සයිබර් අවකාශ භූමිකාව ?
මම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නෙ මාධ්‍ය වඩා යහපත් තැනක් කරන්න ඕන කියලා හිතන නිසා. මම කවි ලියලා මගේ ෆේස් බුක් පිටුවෙ පල කරනවා. නමුත් මම ලිව්ව සැනින් දාන්නෙ නෑ. මම ආයෙත් ආයෙත් කියවලා සංස්කරණය කරලා තමයි සමාජ මාධ්‍ය ජාලවලට දාන්නේ. සමහරවෙලාවට එහෙම දාලත් පොතක් කරන්න යද්දි මගෙ අතින් ආයෙත් සංස්කරණය වෙනවා. අනික මම මගේ ෆේස් බුක් පිටුවේ කිසිම විටෙක පුද්ගල එදිරිවාදි දේවල් ලියන්නෙ නෑ. මේ ක්‍රමය තුල ඇති දේවල් වලට ප්රතිතිවිරෝධි දේවල් ලියනවා මිසක පුද්ගල චරිතවලට මම ලියන්නේ නෑ. මට අනුව එහෙම පුද්ගල චරිතවලට ලිවීම ඇතුලෙ කිසි පලක් නෑ. අපි අරගල කරන්න ඕන මේ සිස්ටම් එකත් එක්ක. මේ ක්‍රමය වෙනස් කරන්න සහ ක්රමයේ තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න.
ඔබට අනුව කවියක් සාර්ථකවෙනවා කියන්නෙ,
සමාජයට, ඒ කවිය කියවන රසිකයාට යම් ආකාරයක ජීවිතය පිලිබඳ අලුත් දැක්මක් ජීවිතය පිලිබඳ අලුත් ඥානමය කියවීමක් එහෙම දෙයක් වෙනවනම් මං හිතනවා ඒ කවියෙන් කිසියම් ආකාරයක වැඩක් වෙනවා කියලා. ඒක මම කියන කතන්දරයක් නෙවෙයි. බොහොම ආදී කාලේ ඉදන් සාහිත්‍ය පිළිබඳව අදහස් පල කරන බොහෝ දෙනාගෙ මතය ඕක. සාහිත්‍යයෙන් වෙන්න ඕන ප්‍රඥාසම්පන්න වීම. සමාජයේ ජීවත්වීමේදී වඩා යහපත් ජීවිත බවට අපේ ජීවිත පෙරලා ගැනීම හා සමාජය වඩා යහපත් කරගැනීම කියන කාරණාවලදි ප්‍රඥාසම්පන්න කියවීම වෙනවා. එහෙම තැනක කවිය එනවට තමයි මම වඩා කැමති.
කවි පොත්වලින් බලාපොරොත්තු වෙන්නේ,
මූලිකවම කියන්න ඕන මම පළවෙනියටම කවි ලියන්නෙ මට. ඊට පස්සෙ ඒ කවිය කිසියම් ආකාරයකට තව කෙනෙක් රස විදලා තව කෙනෙක් ඒ තුලින් තමන්ගෙ ජීවිතය දිහා බලන අකාරය පිලිබඳව යම් අදහසක් ගන්නවා නම් මම හිතන්නෙ ඒක දෙවන කාරණය. මොකද ලේඛකයෙක් පළවෙනියට ලියන්නේ තමන්ට. කවුරුත් ඉස්සෙල්ලම සමාජෙ හදන්න කියලා ලියන්නෑ. සාහිත්‍ය කලාව ගැන වෙනම අදහසක් කියවීමක් තියෙන කෙනෙක් පෙරලා තමන් භාවිතා කරන උපාය ශානරය ඇතුලෙ ලියන්නෙ. ඒක ඉස්සෙල්ලම ලියන්නෙ තමන්ට හැබැයි ඒක භාවිතා වෙන විදිය අනුව සමාජය තුල යම් අදහසක් ඇතිවෙන්න පුළුවන්. මගේ තුල ඇතිවෙන තෙරපීම් තමයි මම කවියක් හැටියට එලියට දාන්නෙ. එතකොට ඒක ඉස්සෙල්ලම එය විඳින්නෙත් මම. ඒක ඇතුලෙ මටම තේරෙනවා මේක පොදු රසිකයා වෙතට ගෙනියන්න පුළුවන් විධිය. එතකොට මම ඒක සයිබර් අවකාශයට දානවා. ඊට පස්සෙ ඕන නම් පොතකට ගන්නවා.
කෙටිකතාවක අභ්‍යාස කාලය ඉතා දීර්ඝ එකක්?
ඔව් පලවෙනි පොත ලියලා අවුරුදු 18 කට පස්සෙ තමයි දෙවනි එක ලියවෙන්නෙ. එතතොට ඒ පළවෙනි පොත කරද්දි මම ඒකට පෙරවදන ලියන්න භාරදෙන්නෙ දයාසේන ගුණසිංහ කියන ප්‍රවීන සාහිත්‍යවේදියාට. ඔහු එතනදි මගේ කෙටිකතාවල තියෙන එක ගුණයක් පෙන්නනවා. මේ මේ කෙටිකතාවල මේ ගුණය තියෙනවා. මේ තැන්වල ඒක නෑ. ඒ වගේ. ඒ පොතට පස්සෙ මට ඇත්තටම ඕන වෙනවා ඒ ගැන අධ්‍යනය කරන්න. මම එහෙම හදාරමින් හිටියා. ඒ අතුරතුරත් ලිව්වා. නමුත් මට හිතුනා මගේ කෙටිකතාව ඒ තරම් මට්ටමක නෑ කියලා. ඒ නිසා ඒවා කොහෙවත් පල වුනෙත් නෑ. සමහර ඒවා සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මා. සමහර ඒවා සංස්කරණය කලා. එහෙම කෙටිකතාව ගැන දීර්ඝකාලීනව කෙටිකතාව ගැන වෙනමම මගේ අධ්‍යනයක් මම කරා. ඊට අමතරව ලංකාවේ අලුතින් කෙටිකතා ලියන පරම්පරාවෙ කෙටිකතා රචනයන් පිලිබඳව මගේ ලොකු ගෞරවයක් තිබුනා. ඒ සමහර කෙටිකතාකරුවන්ගෙ කෙටිකතා විශිෂ්ඨයි. ඒවා කියවනකොට මට හිතුනා මම කෙටිකතා ක්ෂේත්රයේ ළදරුවෙක් කියලා. එතනින් එහාට බලපාපු කෙටිකතාකරුවො කිහිපදෙනෙක් ඉන්නවා. අජිත් තිලකසේන, එරික් ඉලයප්පආරච්චි, මංජුල වෙඩිවර්ධන, නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති ඒ අතරින් ප්රමුඛයි. ඔවුන්ගේ කෙටිකතාවලට මම බොහොම ප්‍රියයි. ඔවුන් ආකෘතියට කරන වෙනස්කම් ඒ අනුභූතීන් ඒවා බල බල ඉන්නකොට තමයි හිතුනේ මගේ ඒවා මදි මදි කියලා. මම 2000න් පස්සෙ ලියපු කෙටි කතා තමයි ආයෙ ආයේ සංස්කරණය වෙලා මගේ මේ අලුත් කෙටිකතා පොතට එකතුවෙන්නේ. ඒ පරක්කු වීම මට හිතෙන්නෙ කෙටිකතාව ලිවීමට මං තුල තිබුනු භය සහ යම් මට්ටමකට කෙටිකතා ඇවිත් තිබුනෙ නැහැ කියන ස්වයං විවේචනය ඒකට බලපෑමක් කරා.
පොත කරලා ඉවරයි. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ "භය" හැඟීමට දැන් මොකද වෙලා තියෙන්නේ,
කිහිපදෙනෙක් දුරකථනයෙන් කතා කරලා අදහස් කිව්වා. ඒ වගේම එදා පොත එලිදැක්වීම දවසෙදි චූලානන්ද සමරනායක සහෝදරයා ඉතාම සාරගර්භ කතාවක් කරා. කෙටිකතාවල තිබුනු ඇතැම් අඩුපාඩුත් පෙන්නලා දුන්නා. මගේ කෙටිකතාවල පාත්‍ර වර්ගයා ගැන පොදු අදහසක් ඉදිරිපත් කරා. මං හිතන්නෙ ඒක වටිනවා. ඒ වගේම මේ කෙටිකතා ගැන යම් ආකාරයක සතුටක් මට තියෙනවා. අර හැදැරීම ඵල දරලා කියලා මට හිතෙනවා.
"අපරාදේ ඒ නොවැම්බර්" එහෙම නමක් එන්නෙ තවමත් ඒ භීෂණ යුගය මාකර්ට් කරන නිසාද?
නැහැ. මම විශ්වාස කරනවා පොතක නම සහ කවරය කෘතිය අලෙවි වීමට බලපෑමක් කරනවා කියලා. ඒක ඇත්ත කාරණයක්. ඕක පොතේ එන එක කෙටි කතාවක්. හැබැයි මම ඔය නම දානකොට මම ඒ යුගයේ සිද්ධි දිහා බාහිරන් බලපු කෙනෙක් නෙවෙයි මම ඒකු ඇතුලෙ හිටපු කෙනෙක්. ඒ කාලෙ අපි ජීවත්වෙච්ච ආකාරය, අවි වටේ තිබ්බ බිය, ඒ දේශපාලන මැදිහත්වීම පිලිබඳව අපේ තිබුනු ගෞරවය වගේ දේවල් පසුකාලීනව කිසියම් ආකාරයක දෙදරීමකට ලක්වෙනවා. ඒ දෙදරීම ඇතුලේ මං තුලම ඇතිවෙන පසුතැවීමක් තමයි මේ කෙටිකතාවට හේතුවෙන්නේ. මම ඔය කෙටිකතාව මුලින්ම නම් කරලා තිබුනෙ නොවැම්බර් සුළඟ කියලා. කවරය පවා හැදුවේ ඒකට ගැලපෙන්න. නමුත් පස්සේ අවුරුද්දක නොවැම්බර් මාසෙක මගෙ අතින් කවියක් ලියවෙනවා අපරාදෙ ඒ නොවැම්බර් කියලා. මට හිතුනා මේ නමේ අපූරු කුතුහලයක් තියෙනවා කියලා. මම ඒ නම කවියෙන් ගලවලා කෙටිකතාවට ගත්තා. හැබැයි සමහරු මගෙන් ඇහුවා ඇයි මේ "අපරාදේ ඒ නොවැම්බර්" කියලා දැම්මේ, "අපරාධ ඒ නොවැම්බරේ" කියලා දාන්නෙ නැතුව කියලා. ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි මම ඒ නම දාද්දි ගත්තෙ කථික භාෂාව. අපි කියනකොට කියන්නෙ නෑනෙ අපරාදෙ ඒ සදුදාව කියලා. අපි කියන්නෙ අපරාදෙ ඒ සදුදා. මංජුල වෙඩිවර්ධන මට ප්‍රංශේ ඉදන් ඊමේල් එකක් එවලා කියලා තිබුනා, සහෝදරයා, මේ පොත් දෙකේ නාමකරණය ගැන මම ඉතාම සතුටුවෙනවා, ඒ වගේම පොත් දෙකේ පිටකවර දෙකත් ඉතාම ලස්සනයි කියලා. විශේෂයෙන්ම අපරාදෙ ඒ නොවැම්බර් පොතේ. ඉතින් මං හිතනවා ඒ නාමකරණ සාර්ථකයි කියලා. වෙඩ්ඩා වගේ මං ඉතාම ගරු කරන සාහිත්‍යකරුවෙක්ට ඒක දැනිලා නම් ඒක මට ලොකු දෙයක්.
වර්තමානේ බොහෝ පොත්වල නමේ සහ කවරෙ තියෙන බර ඇතුලෙ නෑ?
මම ඒකෙදි පරිස්සම් වෙනවා. නමෙන් මාර්කට් එක අල්ලන්න හදනකොට මම එතන නෑ. මම අන්තර්ගතය ගැන ඉතාම සැලකිලිමත්. කවි ටික හොදටම ෆිල්ටර් කරලා තමයි දාන්නේ. ලියන හැම කවියකම දාන්නෙත් නෑ. මොකද මම දන්නවා ඒ අන්තර්ගතය මට්ටමකට තිබුණේ නැත්නම් මට ආයෙ දෙවනි වතාවට කරන්න අවස්ථාවක් එන්නෙ නෑ. මම දැකලා තියෙනවා සමහරු පිටකවරය ඉතාම ආකර්ෂනීය විදියට හදලා නමක් දාලා, නමුත් ඇතුල හරිම බොල්. ඉතින් ඒක කරගන්න හොඳ නෑ. නම සහ පිටකවරය කියන්නෙ පළවෙනියට රසිකයාගේ බැදීම ඇතිවෙන තැන.
ඔබේ පොත් එලිදැක්වීමේදි අදහස් දක්වපු චූලානන්ද සමරනායක අවසාන වශයෙන් මෙහෙම කියනවා, "නිර්මාණකරනයේ යෙදෙන්න, එසේම කපිල එම් ගමගේ වන්න..!"....,
ඔව් ඉතින් නිර්මාණකරුවෙක් අවසන් වශයෙන් තමන් තමන් වෙන්න ඕන. අපි සාහිත්‍ය ක්ෂේත්රයට එනකොට අපිට යම් යම් වෙනත් නිර්මාණකරුවන්ගේ සහ පූර්වගාමීන්ගෙ යම් යම් බලපෑම් හා සෙවනැලි අපේ නිර්මාණ මතත් වැටෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි කල් යද්දි යද්දි අපට අපේම කියලා අනන්‍යතාවයක් හදාගන්න සිද්ධවෙනවා. මං හිතන්නෙ චූලා සදහන් කරේ ඒ කාරණය. එයා කිව්වෙ තව දුරටත් මම මාවම විය යුතුයි කියලා. එයා පෙන්නලා දුන්නා කෙටිකතාවක දෙබස් අතරේ තියෙන දේ පසුව තවත් විස්තර කිරීම අනවශ්‍යයි කියලා. මම ඒ දේවල් හරිම සාධනීය විදියට ගන්නවා. මටත් පසුව ඇත්තටම හිතුනා ඒක අනවශ්‍යයි කියලා. මම හැම විටකම උත්සාහ කරනවා මම, මමම වෙන්න.
| සඳුනිකා රත්නායක
ඉතින්