ඔබ මේ දවස්වල ජීවත්වෙන්නේ නයනානන්ද විධියට. මොකක්ද මේ හේමාල්ගේ චරිත වෙනස?
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය චිත්‍රපටයේ නයනානන්දගේ චරිතයට මම එකතු වෙලා ඉන්නවා. නයනානන්ද, නීලමනි, අසංග කියන්නේ මිනිස්සු තමන්ගේ කරගත්ත චරිත. ඉතිං බොහොම සන්තෝෂයි ඒ චරිත අතරින් නයනානන්දගේ චරිතයෙන් සිනමා ප්‍රේක්ෂකයෝ අතරට එන්න ලැබීම ගැන.
විජයබා කොල්ලය චිත්‍රපටයෙන් ඔබව මුණගැහෙන්නේ වෙනස් මුහුණුවරකින්. එය ඔබේ සිනමා ජීවිතය ඇතුළේ හොඳ කඩඉමක්ද?
ඔව්. විජයබා කොල්ලයේ හැම චරිතයකටම පණදීම සහ එය සිනමාරූපීව ඉදිරිපත් කිරීම අභියෝගයක්. විජයබා කොල්ලය කියන්නේ ඉතිහාසයේ සංධිස්ථානයක්. ඩබ්ලිව්.ඒ. සිල්වා ගත් කතුවරයා එයට අලුත් රසයක් එකතු කරලා තියෙනවා තුන්කොන් ප්‍රේමයක් මුල් කරගෙන. නීලමනි, අසංග සහ නයනානන්දගේ ආදර කතන්දරය තිස්ස අබේසේකරයන් විසින් සිනමාරූපීව ඉදිරිපත් කළා තිරපිටපත රචනා කරමින්. මෙහි තියෙන හැම චරිතයක්ම එකකට එකක් වෙනස්. එය ප්‍රේක්ෂකයන්ට සිනමාරූපීව ගෙනෙන අභියෝගය අපි භාරගත්තා. නයනානන්දගේ චරිතයත් අභියෝගයක් ලෙස දකිමින් ඉතා කැමැත්තෙන් භාරගත්ත චරිතයක්.
විජයබා කොල්ලය චිත්‍රපටයේ දිගහැරෙන නයනානන්ද, නීලමනි, අසංගගේ තුන්කොන් ආදර කතාව ඇතුළේ ප්‍රධාන චරිතයක් ලෙස කතාවේ අගය රඳවා ගන්න ඔබටත් වගකීමක් පැවරිලා තියෙනවා. ඒ වගකීම වෙනුවෙන් ඔබට කොතරම් කැපවෙන්න සිදුවුණාද?
එතැනදී මම හිතනවා මම හරි වාසනාවන්තයෙක් කියලා. පළමු වතාවට තමයි මම ඓතිහාසික කතන්දරයකට එක්වුණේ. මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි පුද්ගලයකුගේ චිත්‍රපටයක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක්. සිංහල සාහිත්‍යයට, ගීත කලාවට වගේම බොහෝ මාධ්‍යයන් තුළ ඔහු කරලා තියෙන දේවල් අපි දන්නවනේ. ඉතිහාසය ගැන කතන්දරයක් කරද්දි ඒ ගැන දන්න කෙනෙක් එයින් නිර්මාණයක් කරද්දිත් නොදන්න කෙනෙක් නිර්මාණයක් කරද්දිත් ඒකේ අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවනේ. ඉතිහාසය ගැන දන්න කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම අපිට ලොකු වාසනාවක්. එය නයනානන්ද, අසංග, නීලමනි කියන චරිත ගොඩනඟන්න අපි තුන්දෙනාටම ඉතාම විශාල අත්වැලක් වුණා.
ඕනම රංගන ශිල්පියකුට තමන්ගේ චරිතය වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. අපි සියලු දෙනා චිත්‍රපටය රූගත කරන කාලෙදි ඒ චරිතවල ජීවත් වෙන්න උත්සාහ කළා. අපි ඉතාම කැමැත්තෙන් නිර්මාණය වෙනුවෙන් කැප කිරීම් කළා. චිත්‍රපටය බලලා ප්‍රේක්ෂකයෝ අපි කැපකිරීමක් කළාද නැද්ද කියලා තීරණය කරනවට මම කැමැතියි.
ඔබේ රංගනයෙදි අනෙක් ප්‍රධාන චරිත රංගනයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණද?
අශාන්, සෙනාලි සහ මම අතරේ මිතුරුකමකටත් එහා ගිය සහෝදරත්වයක් තිබුණා. ඒක අපිට වැඩ කරද්දි ලොකු පහසුවක් වුණා. වැඩ කරද්දි පහසු සහ ආස හිතෙන පිරිසක් බවට චිත්‍රපටයේ සියලුදෙනාම පත්වුණා. චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලෙදිම මම සහ අශාන් එකම කාමරයක තමයි හිටියේ. චරිත ගැන කතා කරන්න ඒක ලොකු අවස්ථාවක් වුණා. මම හිතනවා මට ඉතාම හොඳ මිත්‍රයකුත් මේ චිත්‍රපටය නිසා ලැබුණා. “විජයබා කොල්ලය” කියන්නේ ජීවිතයට බොහෝ දේවල් එකතු වුණු චිත්‍රපටයක්.
විජයබා කොල්ලය කෘතිය ඔස්සේ ප්‍රේක්ෂකයන් වැළඳගන්න නයනානන්දගේ චරිතයට ඔබට නිසි සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වුණාද?
ඔව්. මම තෘප්තිමත්. කිසිම රංගන ශිල්පියෙක් තමන්ගේ චරිතය කළාට පස්සේ සියයට සියයක් තෘප්තිමත් වෙනවා කියලා මම හිතන්නේ නෑ. අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් එක සීමාවක් යටතේ. ලෝකය අලුත් වෙද්දි අපේ අදහස් අලුත් වෙනවා. ඒ එක්ක අපිට තව දේවල් කරන්න පුළුවන් කියන හැඟීම ඕනම රංගන ශිල්පියෙක්ට ඇතිවෙන්න පුළුවන්. මටත් ඒ හැඟීම තියෙනවා. ඒ හැර නයනානන්දගේ චරිතය ගැන විජයබා කොල්ලය පොත කියවන විට සහ තිරනාටකය කියවන විට පාඨකයෙක් හැටියට මට දැනිච්ච විධියක් තියෙනවා. අධ්යක්ෂවරයා එක්ක සාකච්ඡා කරද්දි එතුමට ඒ චරිතය ගැන දැනිච්ච විදිහක් තියෙනවා. ඒ චරිත අපි වැළඳගන්න විදිහ එකිනෙකාට සාපේක්ෂයි. අපිට දැනුණු විදිහට සහ අධ්යක්ෂවරයා එක්ක කතාබහ කරලා ඒ ගොඩනඟාගත්ත දේවල් එක්ක මේ නිර්මාණය සිනමාරූපීව ඉදිරිපත් කරන්න පිළිගත හැකි තැනකට ඇවිත් තමයි අපි මේ නිර්මාණය කරන්නේ. අපි ඇඳගත්ත චිත්‍රයට සාධාරණයක් කළා කියලා තෘප්තිමත් වෙනවා.
ඔබට ලැබෙන ප්‍රතිචාරවලින් නයනානන්ද සිනමා ප්‍රේක්ෂකයන් අතරට ගොස් තිබෙනවා කියලා හිතනවාද?
ඔව්. මම හිතනවා. මේකට සමබර ප්‍රතිචාර තියෙනවා. ලැබෙන සියලුම ප්‍රතිචාර ගුණාත්මකයි, හොඳ ප්‍රතිචාර කියලා මම කියන්නේ නෑ. හොඳ, නරක ප්‍රතිචාර දෙකම සමබරව ලැබෙනවා. නමුත් ලැබෙන ප්‍රතිචාර ධනාත්මක තැනක තියෙනවා. නයනානන්දට විතරක් නෙවෙයි සමස්තයක් ලෙස ලැබෙන ප්‍රතිචාර බැලුවම අපි සාර්ථක තැනකට ඇවිත් තියෙනවා කියලා හිතනවා. අඩුපාඩු ඇති. හදාගන්න පුළුවන් දේවල් තමයි ඒ තියෙන්නේ. කර්මාන්තයක් ලෙස ගත්තම අපිට යන්න පුළුවන් සීමාවන් තියෙනවා. ලංකාවේ සිනමා කර්මාන්තය ඇතුළේ මේ වගේ දේවල් කරද්දි චිත්‍රපටයේ නිෂ්පාදකවරයාව රැකගන්න ඕන කියන කාරණාව ගැනත් අපි හිතන්න ඕන. දැන් තිබෙන තත්ත්වය ඇතුළේ නිෂ්පාදකවරයා රැකගැනීම කියන කාරණයත් එක්ක අපිට යන්න පුළුවන් සීමාවන් තියෙනවා. ඒ සීමාවන් ඇතුළේ තමයි අපි මේ සියලු දේවල් කරන්නේ. නිෂ්පාදකවරයෙක් මේ නිෂ්පාදනයෙන් පස්සේ ආයෙත් සිනමාව දිහා හැරිලා බලන්න සිනමාවට නැවත ආයෝජනයක් කරන්න නම් ඔහු රැකිලා ඉන්න ඕන. අපි නිෂ්පාදකවරයා රකින ගමන් ප්‍රේක්ෂකයාට රසාස්වාදයක් දෙනවා.
ඔබ කිව්ව විධියට හොඳ නරක ප්‍රතිචාර සමබරව ලැබෙද්දි කෙනෙක් ඔබේ රංගනය පිළිබඳ අඩුපාඩුවක් පෙන්නලා දුන්නොත් ඔබට එය භාරගන්න පුළුවන් හැකියාව තියෙනවාද?
අනිවාර්යයෙන්ම. විචාරයක් කියන දේ වැදගත් වෙන්නෙ ඔතැනදි තමයි. චිත්‍රපට විචාරකයන්ට මම මගේ හදවතින්ම ගරු කරනවා. විචාරයක් නැතිව අපි කොහොමද මිනිස්සු එක්ක මේ ගනුදෙනුව ලස්සනට, ඉදිරියට කරගෙන යන්නේ. චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන්ගේ එක කොට්ඨාසයක හඬක් චිත්‍රපට විචාරකයෙක්ට නියෝජනය කරන්න පුළුවන්. ඒ හඬ අපි ගාවට ගලාගෙන එන ඒ විචාරක මාධ්‍යයෙන් අපිට අවශ්‍ය හොඳ විතරක් බලාගෙන ඉඳලා ඒක විතරයි අපිට ඕන කියලා හිතන්න බෑ. අපේ නරකක් කිව්වොත් අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒවා ප්‍රයෝජනයට අරගෙන අපි තව අඩියක් හරි ඉදිරියට යන්න ඕන. ප්‍රේක්ෂකයන්ව නියෝජනය කරන නියෝජිතයන් විධියට තමයි විචාරකයන්ව මම දකින්නේ. ඒ එන ප්‍රතිචාරවලට අපේ ප්‍රතිචාරය දක්වන්න ඕන. අපි කරන වැඩේ ඇතුළෙදි ඒ ප්‍රතිචාර අපිට දක්වන්න පුළුවන්. කර්මාන්තය තුළ තිබෙන සීමාවන් ගැන වුණත් කතා කරන්න පුළුවන්. ඒ සීමාවන් පන්නගෙන යන්න නම් මේ සියලුදෙනා අපිට වැදගත්. විචාරය කියන දේ සුබවාදීව තමයි මම ගන්නේ. විචාරකයා හොඳ හෝ නරක එය සුබවාදීව ගන්න පුළුවන් තැනක මම ඉන්නේ.
විවිධ පුද්ගලයෝ විවිධාකාරයෙන් ඕනම දෙයක් විචාරය කරනවා, විවේචනය කරනවනේ. සිනමාවේ රැඳෙන රංගන ශිල්පියෙක් විධියට ලංකාවේ දැන් තිබෙන විචාර කලාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
මේ ගැන මහ ලොකුවට පණ්ඩිත කතා කියන්න මම දන්නේ නැහැ. විචාරයක් කරද්දි ඒ විචාරකයාගේ පසුබිම ගැනත් අපිට අවබෝධයක් තියෙනවනේ. මේ ක්ෂේත්රය ගැන, සිනමාව ගැන, පුද්ගලයන් ගැන ගවේෂණයක් තියෙන විචාරකයෝ අපිට ඉන්නවනේ. එහෙම විචාරකයෙක්ගෙන් එන හොඳක් හෝ නරකක් අහන්න මම නම් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මොකද මට ඒක වැදගත්. මොකද මම දන්නවා ඒ පුද්ගලයා “හෝම් වර්ක්” කරලා ඉන්නේ කියලා වගේම ඔවුන් චිත්‍රපටය බලලා තමන්ට දැනෙන හැඟීම නිකන් කියන කෙනෙක් නෙවෙයි කියලා අපි දන්නවා. එහෙම පුද්ගලයන්ට අපි හරියට ගරු කරනවා. හැබැයි අඩුම ගානේ විජයබා කොල්ලය කෘතිය කියවලවත් නැති, තිස්ස අබේසේකර, ඩබ්ලිව්.ඒ. සිල්වා, සුනිල් ආරියරත්න කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක් කරන විචාරයක් ඒ තරම් බලපෑමක් අපේ සිත්වල ඇති කරන්නේ නැහැ. ඒ නිසා ඒ විචාර දෙආකාරයක්.
ඒ කියන්නේ විචාරයක් කරන්න වගකීම් සහගත බව අත්‍යවශ්‍යයි කියන එක නේද?
විචාරයක් කරද්දි ඒ කරන විචාරය ගැන වගකීමක් තියෙන්න ඕනනේ. වගකීමකින් යම් ප්‍රකාශයක් කරන්න නම් ඒ කියන දත්ත, කාරණා හරියට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනනේ. එහෙම කරන්න පුළුවන් ඒ විෂය ගැන දැනුවත් කෙනකුට විතරයි. චිත්‍රපටය දැකපු ගමන් තමන්ගේ අදහස ප්‍රකාශ කළා කියලා අපේ කිසි අකැමැත්තක් තරහක් නැහැ. හැබැයි නිකන් අදහස් ප්‍රකාශ කරන අයගෙන් මම ඉල්ලනවා අභ්‍යාසයක් ඇතිව විචාරය කරන පුද්ගලයන් දිහා බලන්න කියලා. ගාමිණි වේරගොඩ මහත්මයා උදාහරණයට ගත්තොත් එතුමා මොනවද ඉගෙන ගෙන තියෙන්නේ. එතුමාගේ පසුබිම මොකක්ද කියලා අනෙක් චූටි චූටි විචාරකයෝ බලලා ඔවුනුත් ඒ වගේ අභ්‍යාස කරලා තමන්ගේ ගමන හදාගන්න ඕන. මම ගාමිණි වේරගොඩ මහත්මයාගේ විචාරයක් එනකල් බලාගෙන ඉන්නවා. මම ඒකට ආසයි. ඒකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. මොකද ඔහු කතා කරන්නේ යමක් දැනගෙන කියලා අපිට තේරෙනවා. නමුත් ඕනම කෙනෙක්ට තමන්ගේ අදහස කියන්න අයිතියක් තියෙනවා. ඒක වැරැද්දක් නෙවෙයි.
හේමාල්ව සිනමාවෙන් බොහෝ වෙලාවට හමුවන්නේ වීරයා විධියට කියලා බොහෝදෙනා කියනවා. ඔබ හැමදාම වීරයා වෙන්නද කැමැති?
මිනිස්සු වීරයා කියලා මනින මිම්ම කොතැනද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මට ලැබෙන නිර්මාණයකදි මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා හැරෙන්න ඒ චරිතය වීරයෙක් කරන්නද නැද්ද කියන දෙයට නෙවෙයි මම මහන්සි වෙන්නේ. මට ලැබෙන චරිතය තුළ හේමාල් රණසිංහ නොවී ඒ චරිතය වෙන්නයි මම උත්සාහ කරන්නේ. මම ඒ චරිතයට කොතරම් දුරට සාධාරණයක් කළාද කියන දේ මතද දන්නේ නැහැ මිනිස්සු වීරයා කියලා හඳුන්වනවා ඇත්තේ. මම චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් විතරයි. වීරයා කියන මිනුම් දණ්ඩ කොතැනද තියෙන්නේ, ඒක මනින්නේ කවුද කින්ද මන්ද කියලා මම දන්නේ නැහැ. මිනිස්සු ඒ චරිත වීරයෙක් විදිහට ගන්නවා නම් හොඳයි. කවුද අකැමැති වීරයෙක් වෙන්න. හැබැයි වීරයා වෙන්න නෙවෙයි චරිත කරන්නේ. මම චරිතයට උපරිම සාධාරණයක් කරද්දි ඒ චරිතය වීරයෙක් විදිහට මතුවෙනවා නම් ඒක හොඳයි.
හේමාල් ලැබෙන ඕනම ආරාධනාවක් භාරගන්න කෙනෙක් නෙවෙයි නේද?
සිනමා ප්‍රේක්ෂකයන්ට හොඳම දේ ලබාදීම ගැන තමයි මම හිතන්නේ. ඒ වෙනුවෙන් තමයි මගේ වාරණ තියෙන්නේ. මට ලැබෙන තිරපිටපත්වලින් වැඩිපුරම මගේ කැමැත්ත තියෙන දේ ගැන මම හිතනවා. මුලින්ම මොනවා හෝ දෙයක් කරන්න මම කැමැති වෙන්න ඕනනේ. මම අකැමැති දෙයක් කරලා ප්‍රේක්ෂකයන්ට ඒකට කැමැති වෙන්න කියලා මට කියන්න බෑනේ. වැඩි කැමැත්තට තමයි මගේ ප්‍රමුඛත්වය දෙන්නේ. ප්‍රේක්ෂකයන් උපරිමව තෘප්තිමත් වෙන විදිහේ දේ කොතැනද කියලා මම බලනවා.
ජනප්‍රිය නළු සම්මානය හේමාල්ට නුහුරු නුපුරුදු නැහැනේ. එතැනින් එහාට ගිහින් සිනමාවේ යම් අරමුණක් තිබෙනවද ඔබට ඉෂ්ට කරගන්න..?
මගේ එකම අරමුණ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් තෘප්තිමත් කිරීම පමණයි.
සම්මානනීය ඇගැයුම් ගැන බලාපොරොත්තුවක් නැද්ද?
අවංකවම කිව්වොත් සම්මාන ගැන ලොකු බලාපොරොත්තු නැහැ. අපේ ප්‍රේක්ෂක ජනතාව ඉන්නේ හරිම ආතතියකින්නේ. ලෝකය දිහා බැලුවම දියුණු රටවල සිනමා කර්මාන්තය හොඳ තැනක තියෙනවනේ. ප්‍රේක්ෂකයන්ගේ ආතතිය අඩු කරගන්න රසඥතාව වැදගත්. නිර්මාණයක් කලාත්මකද වාණිජද කියලා බෙදාගන්නවට වඩා අපිට වැදගත් වෙන්නේ ආට් කියන එක. මම කැමැතියි අපේ රටේ කොතැන හරි පුංචි හරි කොටස්කාරයෙක් වෙලා ආතතියෙන් ඉන්න මිනිස්සු පොඩ්ඩක් හරි ලිහිල් කරන්න. ඒක තමයි මට ලැබෙන ලොකුම සම්මානය ලෙස මම දකින්නේ. සම්මාන අඩු තක්සේරුවට ලක්කරන්නේ නැහැ. සම්මානයක් ලැබීම ඕනම ශිල්පියකුට ඇගැයීමක්. ඒකෙ විවාදයක් නෑ. නමුත් අපිට ලොකුම ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයන් නැතිව මොනම සම්මානයක් ගත්තත් වැඩක් නැහැ. ඒ නිසා මුලින්ම ප්‍රේක්ෂකයාට සලකලා ඉන්න ඕන.
අලුත් නිර්මාණවලටත් සම්බන්ධ වුණාද?
නිර්මාණ කිහිපයක් ගැන කතා කරගෙන යනවා. තවත් චිත්‍රපටයක රූගත කිරීම් මේ දවස්වල කරගෙන යනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම
ඡායා: Sehan Kavinda