පළමු ටේක් එකම තමයි ඒ චිත්‍රපටයේ පිඹුරා කරේ දාගන්න දර්ශනයේ තියෙන්නේ. ඒ වෙලාවේ සංඛ සහ හර්ෂ අයියා මගේ ඔළුවේ නිතරම හැදුවා ‘ඔයා මේ චරිතයේ කරන දෙයක් තිබිය යුතුයි කියලා. මේක අභියෝගයක්. මේක කළොත් ඔයාව මිනිස්සුන්ට මතක හිටියි’ කියලා. එයාලා මට කිව්වා.
මේ දවස්වල චුලක්ෂි ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්. ඒ මුණගැසීම ගැන මුලින්ම කතා කරමු?
‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මම රංගනයට සම්බන්ධ වෙන්නේ ‘හමිදුම්මා’ කියන චරිතයට. ඒ චරිතය මුස්ලිම් කාන්තාවකගේ චරිතයක්. මහාචාර්ය සුනිල් ආරියරත්න අපිට කතා කරලා තිර පරීක්ෂණයට සහභාගි වෙන්න කිව්වා. මම තිර පරීක්ෂණයට ගියපු දවසේ සුනිල් ආරියරත්න මහත්මයා කිව්වා හමිදුම්මා කියන සුරූපී කාන්තාවගේ චරිතයට මාව තෝරාගත්තා කියලා. මුස්ලිම් කාන්තාවක් ලෙස ඒ චරිතය කොහොමද හැසිරෙන්න ඕනේ කියන එතුමාගේ උපදෙස් මත මම ඒ චරිතය නිර්මාණය කරගත්තා. ඒ චරිතයට අදාළ වෙන කරුණු තිර පිටපතෙන් සහ කතාබහ කරලත් ගොඩනඟාගත්තා.
ඓතිහාසික චිත්‍රපටයකින් මුණගැහෙන පළමු අවස්ථාව මේක. ඔබට කොයි තරම් දුරට මේ නිර්මාණය වැදගත් වුණාද?
දේදුණු ආකාසේ චිත්‍රපටය මම සම්බන්ධ වුණු පළමු වැනි නිර්මාණය. මම සම්බන්ධ වුණ චිත්‍රපටවලින් දෙවැනියට තිරගත වුණු චිත්‍රපටය තමයි ‘විජයබා කොල්ලය’ චිත්‍රපටය. වාණිජ චිත්‍රපටවලින් ඇවිත් තමයි මේ වගේ චරිත නිරූපණයට මම සම්බන්ධ වුණේ. යම්කිසි චරිතයක් නිරූපණය කිරීම අසීරු කාර්යයක්. මොකද ඒ අදාළ චරිතයට හානියක් නොවෙන්න යම්කිසි අධ්‍යයනයකින් තමයි ඒ චරිතය නිරූපණය කළයුතු වෙන්නේ.
විජයබා කොල්ලය චිත්‍රපටයේ රැඳුණු චරිත විජයබා කොල්ලය කෘතිය ඔස්සේ හිතේ රැඳුණු චරිත. ඒ හිතේ රැඳුණු චරිතයට හානියක් නොවන විධියට ‘හමිදුම්මා’ චරිතය නිරූපණය කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
ඔව්. හමිදුම්මා කියන චරිතය සිනමාව තුළින් දකින්නේ පළමු වතාවට. පුංචි තිරයෙවත් මේ චරිතය අපි දැකලා තිබ්බේ නැහැ. කෘතිය ඇසුරෙන් ඇඳගත්ත රූපයක් තමයි අපි එළිදක්වන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්නට තිබුණා ඒ චරිතයේ රූපය, පෞරුෂත්වය ගැන අදහසක්. හමිදුම්මා කියන චරිතය කාන්තා හිංසනයට ලක්වෙන කෙනෙක්. තමන්ගේ පියාගෙන් ඇයව පැහැරගෙන ඇවිත් අකැමැත්තෙන් ඇයව පාවිච්චි කරද්දී තමන්ව අයුතු විධියට පාවිච්චි කරනවා කියලා දැනගෙන ඇය ජීවත් වෙනවා.
ඇයට වෙන අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ගැළපෙන පෞරුෂත්වය සුනිල් සර් හෙව්වා. ආදරය වෛරයකට පෙරළීම, වෛරය ඉදිරියට ගිහින් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ කොහොමද කියන දේ මේ චරිතයෙන් ඉස්මතු වෙනවා කියලා මම හිතනවා. හමිදුම්මා චරිතයට මම අසාධාරණයක් කළේ නැහැ කියලා හිතනවා.
මේ චරිතය නිරූපණයේදී අභියෝගයක් වූ තැන් තිබෙනවද?
ඒ චරිතය ඇත්තටම මට අභියෝගයක් වුණා. හමිදුම්මා කොයි වගේ වෙන්න ඇතිද කියලා හිතලා මම ඒ අභියෝගය භාරගත්තා. හමිදුම්මා චරිතය කොයි තරම්දුරට ප්‍රේක්ෂකයන් අතර රැඳිලා තියෙනවාද කියන කාරණය ප්‍රේක්ෂකයන්ට භාරයි. මම සතුටු වෙනවා, ඒ චරිතය යම්තාක් තැනකට ගේන්න හැකි වීම ගැන. මම සාමාන්‍යයෙන් චූටි පණුවන්ටත් හරි බය කෙනෙක්. මට අමුතු පිළිකුල් ගතියක් දැනෙනවා. කැරපොත්තන්ට මම බය නැහැ. හැබැයි මම පණුවන්ට බයයි. ඒ වුණත් මට හිතාගන්න බැහැ මම ඒ චිත්රපටයෙහි පිඹුරව කරට දාගත්තේ කොහොමද කියලා. මම ඒ දර්ශනය කරන්න රියර්සල් එකක්වත් කළේ නැහැ. සුනිල් සර් මට කිව්වා මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් ඔයා කැමැති නම් මේක නිරූපණය කළොත් කියලා. පළමු ටේක් එකම තමයි ඒ චිත්‍රපටයේ පිඹුරා කරේ දාගන්න දර්ශනයේ තියෙන්නේ. ඒ වෙලාවේ සංඛ සහ හර්ෂ අයියා මගේ ඔළුවේ නිතරම හැදුවා ‘ඔයා මේ චරිතයේ කරන දෙයක් තිබිය යුතුයි කියලා. මේක අභියෝගයක්. මේක කළොත් ඔයාව මිනිස්සුන්ට මතක හිටියි’ කියලා. එයාලා මට කිව්වා.
ඒ චරිතය සාර්ථක තලයකට ගේන්න පුළුවන් වුණා කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම මම එහෙම හිතනවා.
චිත්‍රපටය නරඹපු පිරිස හමිදුම්මාගේ චරිතය වැලඳගෙනද?
මේ වෙනකොට ලැබිච්ච ප්‍රතිචාරවලින් මට වැඩිපුරම ඇහිලා තියෙන්නේ ඔයා මේ චරිතය හොඳින් කළා කියන දේ. මම මේ චරිතය සියයට සියයක් හොඳට කළා කිව්වට තව කෙනෙක්ට කියන්න පුළුවන් වෙන කාරණා එකතු කරගෙන මේ චරිතය මෙහෙම නිරූපණය වුණා නම් හොඳයි කියලා.
සමහරු තමන් කරන දේ ගැන විවේචන අහන්න කැමැති නැහැනේ. චුලක්ෂි තමන්ගේ රංගනය ගැන අඩුපාඩුවක් පෙන්නලා දුන්නොත් හදාගන්න කැමැති කෙනෙක්ද?
මට තව හදාගන්න තියෙන්නේ මොනවද කියලා මම හිතනවා. මේ ක්ෂේත්රයට මම හරි අලුත්. මම ආධුනිකයි. රූපණය කියන දෙයෙහි අපි බොරුවක් කළොත් මිනිස්සු ඒක දැනගන්නවා. මගේ රූපණයේ අඩුපාඩුකමක් කවුරු හරි දකිනවා නම් කවුරු වුණත් ඒක මට පෙන්නලා දෙනවට මම කැමැතියි. මගේ අඩුපාඩුවක් පෙන්නලා දුන්නොත් මම ඒක අහනවා සහ මම ඒ අඩුපාඩුව හදාගන්නවා. විශේෂයෙන්ම ඒ අඩුපාඩුව මගේ පැත්තෙන් වුණ දෙයක් නම් ඒ දේ හදාගන්න මම මැළි වෙන්නේ නැහැ. හොඳයි කියනවට වඩා මට හදාගන්න තියෙන දෙයක් කියනවට මම කැමැතියි.
සිනමා නිර්මාණවලට චුලක්ෂිට වෙන්වෙලා තියෙන ඉඩ ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්. මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මේ චිත්‍රපටයෙන් පස්සේ මගේ ඊළඟ චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා එක්ක කරන්න පටන්ගත්තා. මේ වෙද්දී ඒ චිත්‍රපටයේ රූගත කිරීම් භාගයක් නිම කරලා ඉවරයි. මට චිත්‍රපටවලට සම්බන්ධ වෙනවා කියලා ගොඩක් කාර්යබහුල වෙන්න ඕනේ නෑ. මට මුදල් හඹායන්න අවශ්‍යතාවකුත් නැහැ. මට මේ ලැබෙන දේවල් ටික ඇති.
මම එක චිත්‍රපටයක් ඉවරවෙලා තමයි අනෙක් චිත්‍රපටයේ වැඩ භාරගන්නේ. ගුත්තිල චිත්‍රපටයේ, මිදුණු විශ්වය චිත්‍රපටයේ රූගත කිරීම් නිම කළා. ඉදිරියටත් එහෙම වැඩ කිහිපයකට සම්බන්ධ වෙන්න තියෙනවා. මම ඒ අදාළ කාලය ඒ නිර්මාණය වෙනුවෙන් කැප කරනවා.
තමන්ගේ ක්ෂේත්රය ඇතුළෙදි බොහෝ අයට ඉෂ්ට කරගන්න අරමුණු තියෙනවා. චුලක්ෂිටත් රංගන ක්ෂේත්‍රයෙදී ඉෂ්ට කරගන්න අරමුණක් තියෙනවද?
මම රඟපාපු චිත්‍රපටයක මම කරපු රංගනයේ අඩුපාඩුවක් කිව්වොත් ඊළඟ චිත්‍රපටයෙදී මම ඒ අඩුපාඩු නැති කරගෙන කොතරම් සාර්ථකත්වයකට ගිහින් තියෙනවද කියන එකයි මට වැදගත්. මම මේ ක්ෂේත්රයේම දිගටම ඉන්නවා කියලා අදහසක් නැහැ. ඉන්න කාලෙදි ජනප්‍රිය රංගන ශිල්පිනිය කියන තැනට වඩා දක්ෂතම රංගන ශිල්පිනිය කියන ඉලක්කයට යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඒ අරමුණට තව ගොඩක් දුරද?
මට තව බොහෝ දේවල් එක්කාසු කරගන්න තියෙනවා. ජීවිතේ සමහර දේවල් සමහරු උපතින්ම අරගෙන එනවා. සමහරු ඉන්නවා මහන්සි වෙලා දේවල් ඉගෙනගන්න, ළඟා කරගන්න අය. මම හිතනවා මම නිතරම ඉන්න ඕන පුහුණුවීම්, හැදෑරීම් එක්ක කියලා. ඒ දේවල් සහ අත්දැකීම් එකතු කරගෙන සාර්ථක තැනකට එන්න පුළුවන් කියන දේ මම විශ්වාස කරනවා.
තාම චුලක්ෂිව පුංචි තිරයේ දැක්කේ නෑ. ඇයි ඒ?
මම ගොඩක් කැමැතියි සිනමා තිරයෙන් මාව දකිනවට. පුංචි තිරයෙන් පේන්න ඕනේ නෑ කියලා මම භේදයක් හදාගෙන නැහැ. අපි කලාකරුවෝ විධියට ප්‍රේක්ෂකයන් සතුටු කරනවා. ඔවුන්ව හොඳ මඟට ගෙනියනවා. ඔවුන්ට හොඳ පණිවුඩ ගෙනියනවා. ඔය දේවල් පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් හෝ කරන එක තමයි අපේ වගකීම. මට සුදුසු චරිතයක් ලැබුණොත් මම ඕන වෙලාවක එය තෝරාගන්නවා.
චරිතයක් ලැබෙද්දී එය ප්‍රධාන චරිතයක්ද උප ප්‍රධාන චරිතයක්ද සුළු චරිතයක්ද කියන කාරණය ගැන තැකීමක් කරන්නේ නැද්ද?
නැහැ. ප්‍රධාන චරිතයක්ද, අනු චරිතයක්ද කියලා මම තකන්නේ නැහැ. මම ඒකාකාරිත්වයෙන් රඟපාන්න කැමැති කෙනෙක් නෙවෙයි. හැමදාම පෙම්වතියකගේ චරිතය රඟපාන්න ආපු කෙනෙක් නෙමෙයි මම. මට ඕනේ විවිධත්වයක්. කරපු චිත්‍රපටවලට වඩා ඊළඟ චිත්‍රපටයෙදී මම වෙනසක් දකින්න ආසයි. ඒ විවිධත්වය පෙන්වන්න චරිතයක් කොතැනක හෝ කරන්න තියෙනවා නම් මම ඒක තෝරගන්නවා. ඒක මට අභියෝගයක් වෙනවා. ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒ ලැබෙන දේ භාරගන්නවා.
චුලක්ෂි නිර්මාණයක් වෙනුවන් ඕනම කැපකිරීමක් කරන කෙනෙක්ද?
මම ඕනම අභියෝගයකට කැමැතියි. මම කට්ට කාලා ඕනම කැපකිරීමක් කරනවා. අපි දැකලා තියෙනවා ඉන්දියාව වගේ රටක නළු නිළියෝ තමන්ගේ චරිතය වෙනුවෙන් ශරීරය පවා වෙනස් කර ගන්නවා. මගේ ශරීරයේ ප්‍රමාණය වෙනස් කරගන්න අභියෝගයක් වුණත් මම ඒ අභියෝගය භාරගෙන ලැබෙන දෙයට සාධාරණයක් කරනවා.
කැප කිරීම් කරන්න ප්‍රධානම චරිතයම ලැබිය යුතුද?
ඕනම චිත්‍රපටයක, තමන් කරන දෙයට, තමන් නිරූපණය කරන චරිතයට සාධාරණයක් කළ යුතුයි කියලා මම හිතනවා. චරිතය ලොකුද පොඩිද චරිතය කොයිතරම් දුරට දිවෙනවද කියලා බලන්නේ නැතිව එයට සාධාරණයක් කරන්න උත්සාහ කරන්න ඕන. ප්‍රධාන චරිතයක් කළත් වැඩක් නැහැ නිකන් පෙනී සිටින්න තියෙනවා නම්. සුළු චරිතයක් වුණත් අපි ඒ චරිතය වෙනුවෙන් කැපවෙන්න ඕනේ.
සිනමාවේ විවිධ කාලවල විවිධ යුග නියෝජනය කළ රංගන ශිල්පීන්, ශිල්පිනියන් හිටියා. වර්තමානයේ චුලක්ෂිට සිනමාවේ එවැනි නියෝජනයක් වෙන්න පුළුවන්ද?
ඒක මට කරන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරයි. ප්‍රේක්ෂකයෝ මම කරන දේ භාරගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔවුන්ගේ කැමැත්ත අකැමැත්ත සහ අපේ හැකියාවන් මත අපිව තියාගනියිද නැද්ද කියලා ඔවුන් තීරණය කරයි.
රංගන ක්ෂේත්රය තුළ ඉදිරියට එද්දී කැපිලි කෙටිලි එනවලු. චුලක්ෂිටත් එවැනි දේවලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවද?
ඕනම තැනක ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. කිසිම කෙනෙක් මට මොනවත් කියලවත් තරහ වෙලාවත් නැහැ. මට නම් මේ ක්ෂේත්රයේ හතුරොත් නැහැ. මාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට සහයෝගය දක්වයි. මාව නොදන්න කෙනෙක් කියයි මම ආඩම්බරයි කියලා. නමුත් මම හිතනවා මාව දන්න කෙනෙක් ඒ වගේ දේවල් කවදාවත් කියන එකක් නැහැ.
චුලක්ෂි කියන්නේ තමන්ගේ ගමන පාඩුවේ යන කෙනෙක්ද?
ඔව්. මට කා එක්කවත් තරගයක් නැහැ. මම කිසිම කෙනෙක් අභිභවා යන්න හෝ අනුගමනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. මට හරි කියලා හිතුණු දේ මම කරනවා. මම ලංකාවේ ඉන්න කවුරු හරි වගේ වෙන්න හිතන්නේ නැහැ. චුලක්ෂි කියන අනන්‍යතාව තියන්නයි මට ඕන වුණේ.
චුලක්ෂිගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් දැන්ම වෙනසක් වෙන්නේ නැද්ද?
තාම ඒ වෙනස වෙන්න දේවල් සිද්ධවෙලා නැහැ.
ඒ කියන්නේ චුලක්ෂි දැන් පෙම්වතියක් නෙවෙයිද?
වර්තමානය වෙද්දි මම පෙම්වතියක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මම පෙම්වතියක් වෙන්න, බිරියක් වෙන්න, මවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දවසට මම මේ ක්ෂේත්රයෙන් අයින් වෙනවා.
අමාරුවෙන් හදාගත්ත තැන පෞද්ගලික ජීවිතය වෙනුවෙන් කැප කරන්නද සූදානම?
අනිවාර්යයෙන්ම මම අම්මා කෙනෙක් වුණු දවසට තමයි ක්ෂේත්රයෙන් අයින් වෙන්නේ. දරුවෝ ඉන්න කාලෙක මම සම්පූර්ණ කාලය ඔවුන් වෙනුවෙන් වෙන් කරනවා. මම හොස්ටල්වල හැදුණු ළමයෙක්. පුංචි කාලේ මවුපියන්ගෙන් වෙන් වුණාම කොහොමද ඒක දැනෙන්නේ ගේට් එකේ එල්ලිලා අම්මලා එනකල් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා අම්මා කියන චරිතය හැම තිස්සෙම දරුවෝ එක්ක ඉන්න ඕන කියලා මම හිතනවා. තමන්ගේ පවුල කියන දේ තමන්ට වටිනවා.
මව්බිම
ඡායා: Sehan Kavinda