“යුනිකෝ ගැන අද පරම්පරාව දන්නේ නැහැ..”- ප්‍රවීණ චිත්‍ර ශිල්පී උදය ගමාච්චි
තමා සතු හැකියාව ඕනෑම මාධ්‍යයක් තුළ විවිධත්වයක් ඇතිව එළිදක්වන්නා සැබෑ දක්ෂයෙකි .තෙල් සායම් ,ඇක්‍රිලික්,දිය සායම් යන ඕනෑම මාධ්‍යයක් තුළ එලෙස තම ශිල්පීය හැකියාව කැන්වසයක් හෝ කඩදාසියක් මතට මනා ලෙස ගෙන ආ හැකි අපූරු දක්ෂයෙකු ලෙස උදය ගමාච්චි හැදින්විය හැක.මේ සංවාදය ඔහු සමගයි.
කොතරම් කාලයක් තිස්සේ ඔබ චිත්‍ර අදිනවද ?
මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ 1981 දි විතර. එතකොට මා කඹුරුපිටියේ කිරින්ද පුහුල්වැල්ල විදුහලේ පාසල් යන ශිෂ්‍යයෙක්. උසස් පෙල හදාරන්න මාතර මධ්‍ය මහා විදුහලට පැමිණි විට චිත්රවලට තිබෙන උනන්දුව වඩාත් වැඩි වුණා. චිත්‍රකතා වලට මට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණේ චිත්රශිල්පී අතුල සිරිවර්ධන මහතාගේ යොමු කිරීම මතයි. ඒ 1987 දි ‘සත්මිණ‘ චිත්‍ර කතා පත්රේට ‘සාපත් නගරේදි‘ කයන කතාව ඇඳලා. ඉන්පසු ‘ප්‍රාර්ථනා‘, සම්පත, ‘සතුට‘, වගේ චිත්‍ර කතා පත්තර ගණනාවක මා චිත්‍ර කතා රාශියක් ඇන්දා. චිත්‍ර කතා ඇන්දත් මා වෙළඳ දැන්වීම් ආයතන සමඟ ‘කොමර්ෂල් ආර්ට්‘ කළා.
ශිල්පියෙකු ලෙස ඔබ වඩාත් ප්‍රිය කරන යම් මාධ්‍යයක් තිබෙනවාද ?
මා චිත්‍ර ශිල්පියෙකු ලෙස නිදහසේ වැඩ කරන්න කැමති අයෙක්. කොමර්ෂල් ආර්ට් හෝ චිත්‍ර කතා නිර්මාණය යනු එකිනෙකට වෙනස් මාධ්‍යයක්. චිත්‍ර කතාව තුළ අපිට නිර්මාණය කරන්න යම් නිදහසක් තිබුණත් කොමර්ෂල් ආර්ට් කරන්න වෙන්නේ යම් ආයතනයක සිතැඟි අයුරිනුයි. ඉන්දියන් තීන්තවලට අමතරව තෙල් සායම්, ඇක්‍රිලික් වැනි වර්ණ මාධ්‍ය මා මුල් කාලයේ භාවිතා කළා. එයින් බොහෝ නිර්මාණ කළා. නමුත් පසු කලෙක සිට මා වැඩියෙන් නියැළෙන්නේ දිය සායම් මාධ්‍යය තුළයි. එයට මා වැඩියෙන් ප්‍රිය කරනවා.
දිය සායම් වලට ප්‍රිය කරන්න යම් හේතුවක් තිබුණාද ?
මම චිත්‍රයක් තුළින් හැඟීම් පිළිබිඹු කරන්න වඩාත් කැමතියි. දිය සායම් මාධ්‍යය මාගේ එම උත්සාහයට වඩාත් සාධාරණයක් කරනවා. සතෙකු ගත්තත්, මානව රූපයක් ගත්තත්, ස්වභාවික යමක් ගත්තත් ඒ තුළ හැගීම් පෙන්වීමට මට අවශ්‍යයි. කොලයක් මතට වතුර සමඟ මිශ්‍ර වී දිය සායම් හැඟීම් ලෙස විහිදෙනවා. ප්‍රථිපලය දිහා බලන විට අවසානයේ වැඩි තෘප්තියක් වෙනත් මාධ්‍යයකට වඩා ලැබෙනවා.එබැවින් ඒ තුළ මා නිදහසේ සැරිසරනවා.
අද අපේ රටේ තිබෙන ජීවන අරගලයත් සමඟ චිත්‍ර ශිල්පියෙකුට නිදහසේ සැරිසරන්නපුළුවන්ද?
එය හොඳ ප්‍රශ්ණයක්. අද තිබෙන සමාජ ක්‍රමය තුළ අපි යාන්ත්‍රික වෙලා. ඒ තුළ මට පමණක් නොවේ බොහෝ ශිල්පීන්ට ඔය කියන කාරණය තදින් බලපානවා. එය වඩාත් දැනෙන්නේ හොඳ නිර්මාණයක් කරන විටදීයි. ජීවිතයත් නඩත්තු කරගෙන, තමාගේ රැකියාව හෝ වෘත්තීයත් බේරගෙන මේ ගමන යන එක ලෙහෙසි නැහැ. ඒ දෙකම බැලන්ස් කරගන්න වෙලා. අද පූර්ණ කලාකරුවෙකු හෝ චිත්‍ර ශිල්පීන් නැහැ. අද ඉන්නේ මේ සමාජ ක්‍රමය තුළ අර්ධ කලාකරුවන් හෝ චිත්‍ර ශිල්පීන්. සල්ලි තිබෙන ශිල්පියෙක් චිත්‍ර වලින් බලන්නේ හැඟීම් ගේන්නයි. නමුත් දෙකම බැලන්ස් කරගෙන යන ශිල්පියා බලන්නේ චිත්‍ර වලට ‘ටෙක්නික්ස්‘ ගේන්නයි. චිත්‍ර තුළ හැඟීම් යනු වෙනමම එකක්. ඒවා රසවිඳීමත් වෙනමම දෙයක්. සමහරුන්ට ඒවා රසවිඳින්න තේරෙන්නේ නැහැ.
ලංකාවේ චිත්‍ර ශිල්පියාට තිබෙන තැන ගැන ඔබේ කියවීම මොන වගේද?
ඒ තුළත් බෙදීමක් තිබෙනවා. කලා පොළ වැනි තැන්වලට ගිය විට එය හොඳින් දැනෙනවා. ඒ තුළ පිල් දෙකක් තිබෙනවා. එක් කොටසක් තමා කරන ශෛලිය උසස් සහ අනෙකාගේ ශෛලිය පහත් යැයි සලකනවා. එකිනෙකාට චෝදනා කරගන්නවා. නමුත් බුද්ධිමත් සංවාධයකට එන්නේ නෑ. චිත්‍ර ශිල්පියෙකු අඳින චිත්‍රය මත පමණක් නොවේ සිතුවිලිවලින් සහ ක්‍රියාවෙනුත් බුද්ධිමත් විය යුතුයි. අනික චිත්‍ර ශිල්පියාට අද සිවිල් බලයක් අපේ රටේ නැහැ. තියෙන දෙයක් කරගෙන ඉන්නයි තිබෙන්නේ. නමක් තිබ්බත් වැඩක් නැහැ. නමුත් නළුවෙක් ගත්තොත් ඔහුට සිවිල් බලයක් වගේම පිළිගැනීමක් තිබෙනවා. චිත්‍ර ශිල්පියා රටේ යම් කාර්යයකට දායකත්වයක් ලබා දෙනවානම් ඔහුට තිබෙන පිළිගැනීමම සැලකීම ලබා දිය යුතුයි.එයට රජය මැදිහත් විය යුතුයි. චිත්‍ර යනු අධ්‍යාත්මය සමඟ යන දෙයක්. එය දියුණු නොවී චිත්‍ර හෝ රටක් දියුණු වන්නේ නැහැ.
ඔබ අතීතයේදී සක්‍රියව සිටි චිත්‍ර කතා මාධ්‍යය කඩා වැටීමට හේතුවක් තිබුණාද?
චිත්‍ර කතාව දියුණු වුණේ නැහැ. ඒ කාලේ චිත්‍ර කතා පත්තරවලට තිබුණේ පුදුම ඉල්ලුමක්. ඒ තිබුණු ඉල්ලුම නිසා අපි කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා අපි අතිනුත් වරදක් වුණා. අපිට එතනින් එහාට යන්න සැලැස්මක් තිබුණේ නැහැ. මුල් අවදියේ විවිධත්වයක් ඇතිව නිර්මාණ කළා. දයා රාජපක්ෂ, ජනක රත්නායක, සරත් මධු වැනි ප්‍රවීනයන් වෙන වෙන ධාරාවන් නියෝජනය කළා. ඔවුන් හරියට අමරදේව,ජෝතිපාල, මිල්ටන් මල්ලවආරචිචි වගේ චිත්‍රකතාව තුළ විවිධත්වයක් ඇතිකළා. නමුත් ඒක එක දිගට ගලාගෙන ගියේ නැහැ. චිත්රකතාවෙහි පිටරටවල තත්වය වෙනස්වුණා. එහි වීරයන් බිහිවුණා.එය දිගටම පැවතුණා.
නමුත් අපේ චිත්‍ර කතාව තුළත් ‘යුනිකෝ‘, ටෝගා, දේදුනු කැලුම්, වැන් වීර ජනප්‍රිය චරිත බිහිවුණා?
ඔව්. නමුත් එය පවත්වාගෙන යන්න බැරිවුණා. ඒවා කාටුන් ලෙස හෝ කතා මාලිවන් ලෙස හෝ විකාශනය වෙන්න තිබුණා. යුනිකෝ, දේදුනු කැලුම් වගේ චරිත ගැන ඉස්සර ගීත බිහිවුණා. නමුත් එතනින් එහාට ගියේ නැහැ. යුනිකෝ කියන්නේ කව්ද කියලාවත් අද ඉන්න පරම්පරාව දන්නේ නැහැ. අනික චිත්‍රපටවලට වුණත් චිත්‍ර කතා ඇසුරින් නිර්මාණය වුණේ කිහිපයක් පමණයි. මේ හේතු වඩාත් බලපෑවා චිත්‍ර කතාවේ පැවැත්මට.
වර්තමානයේ බොහෝ ශිල්පීන් තාක්ෂණය චිත්‍ර ශිල්පයට භාවිතා කරනවා.ඔබ දකින විදිහට එය හොඳ දෙයක්ද?
තාක්ෂණයෙන් අපිට ගැලවෙන්න බැහැ. එයට බයවෙන්නත් බැහැ. නමුත් අපි එය හරි හැටි පාවිච්චි කරන්න දැනගත යුතුයි. තාක්ෂණික ටූල් සහ අපි අතීතයේ භාවිතා කළ ටූල් ගැන හරි අවබෝධයක් තිබිය යුතුයි. එය ඒ කාලේ සිට මැන්නොත් ගැටලුවක් වෙනවා. තාක්ෂණය යනු තම නිර්මාණයේ යහපතට උදව් කරගන්නවා මිසක් එහි අපි වහලෙක් නොවිය යුතුයි.
චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔබේ ඉදිරි ගමන ගැන කතා කළොත්?
මම දැනට කොමර්ෂල් ආටිස්ට් කෙනෙක් ලෙස කටයුතු කරනවා. එතනින් පිටදී දැන් අඳින්නේ මම කැමති නිදහස් චිත්‍ර. ඒවාට කැමති අය නිර්මාණයක් මිලදී ගන්නවානම් මම කැමතියි. ඊටත් අමතරව මා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා අධ්‍යක්ෂණය ගැන පාඨමාලාවක් කළා. ඉදිරියේදී සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා.
සංවාදය - දර්ශ කපුගේ
දිනමිණ