වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් ඇතුළු රසික විචාර අවධානයට පාත්‍ර වූ නාට්‍ය රැසක් නිර්මාණය කළ රාජිත දිසානායකගේ නවතම නිර්මාණය වන ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය පිළිබඳ
ඔහු සමඟින් සමබිම කළ සංවාදයක සංක්ෂිප්ත සටහනක් මෙහි පළවේ.
සංවාද සටහන ජයනි අබේසේකර
මොකක්ද මේ හිතල ගත්ත තීරණය?
ආදර සබඳතාවලදි මිනිස්සු ගන්න තීරණ සහ ඒ තීරණ නිසා මුහුණ දෙන්න සිදුවන තත්ත්වයන් සමුදායක් මේ නාට්‍ය තුළ දිග හැරෙනවා. අපි ජීවිතයේ යම් යම් අවස්ථාවල විශේෂයෙන්ම, ආදර සම්බන්ධතාවලදි ගොඩක්දුරට තීරණ ගන්නේ හිතලා. යම් අවස්ථාවක ඒ හිතලා ගත්ත තීරණ වැරදියි කියලා අපිට තේරුණත් ඒ තීරණ අපි හිතල ගත්ත නිසාම ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා හෝ සමහර වෙලාවට ඒ තීරණ නිවැරදි කරගන්න හිතනවා. නමුත් ඒ වෙද්දි ඒ තීරණ වෙනස් කරන්න පහසු නොවෙන්න ඉඩ තිබෙනවා. මම හිතනවා අපි කාට හරි ආදරය කරන්න හිතනවා කියන්නෙම අපි ගන්න එක තීරණයක්. ඒක හැඟීමක් කියලා අපිට හිතුනත් එය හැඟීමක් එක්ක අපි ගන්න තීරණයක්. අපි එහෙම හිතල ගන්න තීරණත් ඒවා නැවත වෙනස් කරන්න තීරණ ගන්න අවස්ථා පිළිබඳවත් කිසියම් සාකච්ඡාවක් ඔස්සේ මනුෂ්‍ය ඇතුළාන්තයේ ස්වභාවය විවරණය කරන්න මේ නාට්‍ය හරහා අපි යම් උත්සාහයක් ගන්නවා.
ගැඹුරු සමාජ, දේශපාලනික කාරණා නාට්‍ය සඳහා ප්රස්තුත කරගන්නා ඔබ, මේ නාට්‍ය තුළ ස්ත්‍රී පුරුෂ සබඳතාවය පිළිබඳ විවෘත කියවීමකට ඉඩ තබනවා.
අපේ රටේ වේදිකා නාට්‍යවලට මෙවැනි කාරණා වස්තු විෂය වෙන්නේ තරමක් අඩුවෙන්. ආදරය සහ ආදරය විෂය කරගත්ත, එහි සංකීර්ණතාවන් විවෘතව කතා කරන නිර්මාණ අපේ වේදිකාව තුළ ඒ තරම් සුලබ නැහැ. අපි විවාහය කියන සම්මතය තුළ තිබෙන්නෙ, දෙදෙනෙක් ඒ දෙදෙනාට ආදරය කරමින් ඒ දෙදෙනා විශ්වාස කරමින් අනෙකාව ඉවසමින් ඔවුනොවුන් කෙරෙහි ඇති වන බැදීමකින් පැවතීම. නමුත් එවැනි සුහද බැඳීමක් පවතිද්දි පවා විවාහයෙන් පිටත ආදර බැදීමක් ඇති විය නොහැකිද? අපි දන්නවා සම්මතය තුළ එවැන්නක් බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. එවැනි ප්‍රශ්න කිරීමක් ඔස්සේ දිගහැරෙන, අපේ ජීවිත තුළ අපි අත්විඳිමින් ඒත් මඟහරිමින් යන කතා පුවතක් අපි මේ නාට්‍ය හරහා වේදිකාවට ගෙන එනවා.
ඒ වගේම ඒ ආදර සම්බන්ධතාවලදී විශේෂයෙන්ම බලය සහිත අය තුන්වන පාර්ශ්වය විදියට එයට ඇතුල් වුණාම තත්ත්වය වඩාත් සංකීර්ණයි. අපි දන්නවා කොහොමත් ආදරය කියන විෂයට බලය ඇතුළත් වුණාම දෙදෙනෙක්ගේ බැඳීමේ ස්වභාවය තවදුරටත් සංකීර්ණ වෙන බව. අපි හැමවිටම හිතන්නෙ පිරිමියාට පවුලෙන් පිට ආදරයක් ඇති වුණාම බිරිඳ එහි වේදනාවට පාත්‍ර වෙලා එහි වින්දිතයෙක් වීම පිළිබඳව. නමුත් ඇය තවදුරටත් එහි වින්දිතයෙකු නොවී පෙරළා විවාහයෙන් පිට ආදරයක් වෙත නැඹුරු වුනොත් ඒක පිරිමියා බාර ගන්නේ කොහොමද? අපි දන්නවා පිරිමියා එයට දක්වන ප්‍රතිචාරය ඉතාම ඛේදනීයයි සහ සංකීර්ණයි. මෙන්න මේ සංකීර්ණත්වය අපි මේ නාට්‍ය තුළ විවෘතව සාකච්ඡාවට ලක්කරනවා.
මේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අතරින් බහුතරයකට තමන්වම නැවත මුණගැසීම නොවැළැක්විය හැකියි. මේ සම්මූඛ වීම ඔවුන් බාර ගැනීම පිළිබඳ ඔබේ අත්දැකීම කුමනාකාරද?
අපේ සමාජය විවෘත නැහැ. නමුත් අපේ සමාජයේ මිනිස්සු බොහෝ වෙලාවට කැඩපතකින් වගේ තමන්ට තමන්වම දකින්නට ඉඩ හදන කලාව ඇතුළෙදී රසිකයන් විදියට විවෘත වෙනවා. අපි අඳුනන්නේ නැති සමහර රසිකයන් නාට්‍යයෙන් පස්සේ අපි සමඟ පළ කරපු සමහර අදහස්, මුහුණුපොතේ තබපු සටහන්, දුරකතනයෙන් කතා කරල දක්වපු ප්‍රතිචාර වගේම නාට්‍යයේ නළු නිළියන් සමඟත් ඔවුන් අත්වින්ද කාරණා තනි තනිව බෙදා ගත්ත අවස්ථා බෙහෝමයක් තිබෙනවා. අපේ වෙනත් නාට්‍යවලටත් වඩා මේ නාට්‍ය තුළ මම දැකපු විශේෂත්වය එයයි. නමුත් මම දැකපු දේ තමයි විචාරයේදි සම්මත විචාරකයා සහ කලා සමාජයේ සමහර අය විවෘතභාවයකින් මේ දිහා බලන්නෙ නැහැ. එළිපිට සිදුවුන වඩා විවෘත සාකච්ඡාවලදී ඔවුන් එය මඟහරින බවක් පෙනෙන්න තිබුණ. නැතුව බැරි මිනිහෙක් වගේ දේශපාලනික කාරණා ප්රබලව මතුවන නාට්‍යයකට විචාර ලියන්න උනන්දු වුන සමහරු මේ නාට්‍යයේදී එවැනි විචාර ලියන්න උනන්දු වුනේ නැහැ. මම එය දකින්නෙ තමන් නිරාවරණය වෙයි කියන බිය නිසා සිදුවන මඟහැර යාමක් ලෙස. නමුත් අපි නොහඳුනන රසිකයා ඊට වඩා බොහෝ විවෘතයි සහ අවංකයි.
මේ නාට්‍ය වේදිකාගත වෙන්නේ දේශපාලනික වශයෙනුත් හිතල තීරණයක් ගන්න ඕන මොහොතක. දේශපාලනික වශයෙන් අවදියෙන් ඉන්න නිර්මාණකරුවෙක් විදියට ඔබ මේ අවස්ථාව දකින්නෙ කොහොමද?
ඇත්තටම මේ නාට්‍යය ආදර සබඳතාවලදි අත්වන වේදනාවන් සමඟ මිනිස්සු ක්‍රියාත්මක වන විදිය පිළිබඳව වුනත් ඒ ඔස්සේ දේශපාලනිකව වගේම සමාජීයවත් අපේ ජීවිතවල අපි ගන්න යම් යම් තීන්දු තීරණ සම්බන්ධයෙන් නැවත හිතන්න ඉඩ හදනවා කියල මම විශ්වාස කරනවා. ආදරය තුළ අපි කිසියම් විදියකට අපේක්ෂා කළ, ඒ අපේක්ෂාවන් සහ විශ්වාසයන් බිඳ දැමීම නිසා ඇතිවන වේදනාවෙන් එයට ප්‍රතිචාර විදියට ඊටත් වඩා බලයෙන් දූෂිත බරපතළ කෙනෙක් ඊළඟ තේරීම විදියට ළං කර ගන්න තීරණය කරනවා. නමුත් ඒ තීරණය අපිට නැවත හැරෙන්න බැරි තැනක අපිව සිරකරනවා. එය ආදර සම්බන්ධතාවලදී විතරක් නෙවෙයි එවැනි තත්ත්වයන්ට දේශපාලනයේදීත් අපිට මුහුණ දීමට සිදුවිය හැකියි. අපි අපේක්ෂා කළ සමහර තත්ත්වයන් බිඳී යෑම නිසාම අපේ විරෝධය, වේදනාව පළ කරන්න ගන්න ඊළඟ තීරණය ඊටත් වඩා බරපතළ තත්ත්වයකට ඇඳ වැටීමකට හේතු විය හැකියි. ඒ නිසා යළිත් කියන්නෙ එසේ නොවීම හෝ වීම තීරණය වෙන්නේ අපි ගන්න තීරණ එක්ක.