-එක එක්කෙනා විවිධ දේශපාලන මතිමතාන්තරවල එල්බ ගෙන හිටියත් රටේ තියෙන අවිචාරවත් දේශපාලන ක්‍රමය ගැන බොහෝ දෙනෙක් කලකිරීමෙන් ඉන්නේ. පොරොන්දු දේශපාලනයක්නේ අපිට තියෙන්නේ. දේශපාලන වාසි ගන්න එක එක කඳවුරුවලට ගිහින් ඉන්න අය ගැන නෙවෙයි මම කියන්නේ. එහෙම අයත් ගොඩක් ඉන්නවා. කලාකරුවොත් ඉන්නව ඇති-
මේ දිනවල ලංකාවේ අස්සක් මුල්ලක් නෑර කතා බහට ලක් කෙරෙන ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරණය යි. මෙරට අනාගතය තීරණය කෙරෙන මේ තීරණාත්මක මැතිවරණයේ වාසිය තමන්ගේ දෙසට හරවා ගැනීම උදෙසා විවිධ පාර්ශව ප්‍රසිද්ධ වේදිකාවේ ඉදිරිපත් කෙරෙන නාටක විටෙක හාස්‍යයටත් විටෙක ඇගයුමටත් ලක් වේ. ඒ තම තම නැණ පමණට ය. කෙසේ වෙතත්, මැතිවරණ වේදිකාවේ වචන හරඹයෙන් ජනතාව මුලා කිරීම එදා මෙන්ම අදටත් සිදු වන්නකි... එය කණගාටුවට කරුණකි.
රටේ දේශපාලනය පමණක් නොව රිදී තිරය ද එවැනි සුපර් ස්ටාර් පන්නයේ අපේක්ෂක පිරිසක් විසින් ග්‍රහණයට ගෙන ඇති වග අපට දැනගන්නට ලැබුණි. ඒ පසුගිය ඔක්තෝබර් 25 වැනිදා පටන් ය. අද අපි අත්විඳිමින් සිටින දේශපාලනික ස්වරූපය ප්‍රහසනයක් ලෙසින් ඒ අනුව රිදී තිරයට ගෙන එන්නේ “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” සිනමාපටයෙනි. සිය සුපුරුදු ශෛලියෙන් බැහැරට ගොස් නිර්මාණය කළ “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” ප්‍රවීන සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසුරියගේ 24 වැනි සිනමා අධ්‍යක්ෂණය යි. බහු භාර්යා, යකඩ පිහාටු, ලේ කිරි කඳුළු, බහුභූතයෝ, ගින්දරි, හිරි පොද වැස්ස වැනි නිර්මාණ මෙරට සිනමා රසිකයින්ට ලබාදුන් ඔහු සිය නවතම සිනමා අධ්‍යක්ෂණය ගැන මිරර් ආට්ස් වෙත අදහස් දැක්වුයේ මෙලෙසිනි,
“ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” ප්‍රදර්ශනය අරඹා මේ ගෙවී යන්නේ තුන්වන සතිය. කොහොමද චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. ඉහල ප්‍රතිචාර නොලැබෙන්න හේතුව ලෙස මම දකින්නේ පිල් බෙදී දේශපාලනය කරන සමයක කිසිම පිලකට ගැති නැතිව, ස්වාධිනව, දේශපාලනය ගැන කතා කරන සිනමාපටයක් වීම. දේශපාලනික වශයෙන් පිල් බෙදී සිටින පිරිස තමන්ගේ පිලට වාසියක් නැති නිසා සිනමාපටය අතහැරියා ද කියන කාරණය එතැනදී මතු වෙනවා. පිල් බෙදිලා චිත්‍රපටය බැලුවොත් අපහසුවක් දැනෙයි. ඔය කාරණයත් එක්ක යම් කිසි සීමාවකට තමයි ප්‍රේක්ෂකයෝ පැමිණෙන්නේ. වෙළඳ පරමාර්ථයෙන් සිනමාපටය සාර්ථක වුනත් නැතත් රටට යහපත් දෙයක් කළා කියන සතුට මට තියෙනවා.
සුපුරුදු රටාවෙන් බැහැරව දේශපාලනය ඈඳුණු සිනමාපටයක් නිර්මාණය කරන්න විශේෂ හේතුවක් තිබුණ ද?
දේශපාලනය කියන්නේ මම විඳින, මම කැමති විෂයක්. මම ඒ සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කරන කෙනෙක්. නමුත් මේ දේ කියන්න ඕන.. මම දේශපාලකයන් වෙනුවෙන් වේදිකාවට නැඟල කතා කරන කෙනෙක් නෙවෙයි. ආරාධනා ලැබුනත් මම ඒවා ප්‍රතික්ෂේප කරන කෙනෙක්. අපේ රට අභාග්‍ය සම්පන්න තත්වයකට ඇද වැටිලා තියෙන්නේ අපේ රටේ තියෙන මේ දුරාචාර දේශපාලනය නිසා.
අනිත් කාරණය තමයි මගේ සිනමා ජිවිතයේ මට උවමනාව තිබුනා දේශපාලනයට තදින් ගෑවුණු චිත්‍රපටයක් කරන්න. ගිනිඅවි සහ ගිනිකෙලි චිත්‍රපටයෙත් දේශපාලනය තිබුනා. නමුත් තදින්ම දේශපාලනය ගැන කතා කරන චිත්‍රපටයක් කරන්න මගේ ආසාවක් තිබුනා. අනික අපි දැනගෙන හිටියානේ මේ අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණයක් තියෙනවා කියලා. ඒකත් මගේ ඔලුවේ තිබුනා.
ඒ කියන්නේ “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” නිර්මාණය වුනේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම ද?
ඔව්, මොකද කාලින වටිනාකමක් තියෙන්නේ මේ කාලයේ නේ. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඉතාම සුළු කාලයකින්... මාස හතර හමාරකින් වගේ චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු අවසන් කරන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා ජනාධිපතිවරණයට කලින් තිරගත කරන්නත් හැකියාව ලැබුණා. එහෙම කරන්න ඉඩ ලැබුණේ මුල ඉඳන් මම සැලසුම් සහගතව කටයුතු කළ නිසා. රූගත කිරීම් සිදු කරන කාලයේම ප්‍රදර්ශනයත් මම සැලසුම් කළා. ඊට අමතරව රංගන ශිල්පින්, කාර්මික ශිල්පින්ගෙන් විශාල සහයෝගයක් මට හිමිවුණා. කෙටි කාලයකින් සිනමාපටයක් නිම කිරීම ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. ඒක විශාල අභියෝගයක්. ඒ සියලු දේ සමඟින් විශාල අභියෝගයක් ජයගන්න මට හැකියාව ලැබුණා.
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන චිත්‍රපටය නිර්මාණය කළා නම් ඊට අදාලව යම්කිසි පණිවිඩයක් දෙන්න ද උත්සහ කළේ?
ඔව්, එහෙම උත්සහයකුත් මේ චිත්‍රපටය තුල තියෙනවා. නිකන් චරිත ටිකක් දාලා තනිකරම ප්‍රහසනයක් නිර්මාණය කරන්න නෙවෙයි මම උත්සහ කළේ. දේශපාලන ප්‍රහසනයට යටින් විශාල ගැඹුරක්, අරුතක් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා.
චිත්‍රපටයට රංගන ශිල්පින්, ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් දායකත්වය සපයා තිබෙනවා. ඔවුන් විවිධ දේශපාලන මත දරන අය වෙන්න පුළුවන්. ගැටළුවක් වුණේ නැති ද ඔවුන් සිනමාපටයට සම්බන්ධ කර ගැනීමේ දී ?
ඔවුන් විවිධ මත දරන අය වෙන්න පුළුවන්. එය අපිට නවත්වන්න බැහැ. නමුත් එහෙම කිසිම ගැටළුවක් මතු වුණේ නැහැ. කවුරුවත් ඔවුන්ගේ දේශපාලන මතය ගෙනල්ලා මේක මෙහෙම වෙනස් කරමු, අරෙහෙම කරමු කියලා මට විරෝධයක් එල්ල කළේ හෝ බලපෑම් කළේ නැහැ. ඒ ගැනත් මම සතුටු වෙනවා. මොකද ඔවුන් තේරුම් ගත්තා මේක කරන්නන් වාලේ කරන චිත්‍රපටයක් නෙවෙයි කියලා. මා කෙරෙහි ඔවුන් සම්පුර්ණ විශ්වාසය තිබ්බා. මම මේ වනවිට චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවනේ. මම ආධුනිකයෙක් නම් ප්‍රශ්න ඇතිවෙන්න තිබුණා. කොහොම වුනත් මට කාගෙවත් කිසිම බලපෑමක් ඇතිවුනේ නැහැ. නිදහසේ අවශ්‍ය විදියට සිනමාපටය නිර්මාණය කරන්න මට හැකිවුනා.
“ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” නැරඹිය යුතු චිත්‍රපටයක් කියලා අධ්‍යක්ෂකවරයා විදියට ඔබ කියන්නේ ඇයි?
එක එක්කෙනා විවිධ දේශපාලන මතිමතාන්තරවල එල්බ ගෙන හිටියත් රටේ තියෙන අවිචාරවත් දේශපාලන ක්‍රමය ගැන බොහෝ දෙනෙක් කලකිරීමෙන් ඉන්නේ. පොරොන්දු දේශපාලනයක්නේ අපිට තියෙන්නේ. දේශපාලන වාසි ගන්න එක එක කඳවුරුවලට ගිහින් ඉන්න අය ගැන නෙවෙයි මම කියන්නේ. එහෙම අයත් ගොඩක් ඉන්නවා. කලාකරුවොත් ඉන්නව ඇති. දේශපාලනය ගැන අපිට දැනෙන දෙයක් තියෙනවනේ ඒ දේ තමයි මම මේ චිත්‍රපටය තුලින් කියන්න උත්සහ කළේ. මම දේශපාලන විශාරද කෙනෙක් නෙවෙයි. නමුත් අපි අපේක්ෂා කරන්නේ මොන තත්වයේ රටක් ද, මොනවගේ සමාජයක් ද කියන කාරණය මට දැනෙන හැටියට අංශු මාත්‍රයකින් හරි සාකච්ඡාවට භාජනය කරන්න මම මේ චිත්‍රපටයෙන් උත්සහ කළා.
ඒවගේම තව දෙයක් සඳහන් කළ යුතු යි. “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” සිනමාපටය මෙතෙක් මම ගොඩනගා ගත් සෞන්දර්යාත්මක සිනමා රීතියෙන් වෙනස් වූ නිර්මාණයක්. සෞන්දර්යාත්මක චිත්‍රපටයක් නැරඹීමේ බලාපොරොත්තුවෙන් සිනමා ශාලාවට ආවොත් යම්කිසි ආකාරයකට ප්‍රේක්ෂකයා බිඳ වැටෙන්න පුළුවන්. සෞන්දර්යාත්මක සිනමාවෙන් ඔබ්බට ගිය කිසියම් ආකාරයක සමාජ මෙහෙවරක්, පණිවිඩයක් ගෙන එන මේ චිත්‍රපටය නරඹන මෙන් මම ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙය පවුලේ සැමට නැරඹිය හැකි විනෝදාත්මක චිත්‍රපටයක්. දේශපාලන මතය පසෙකින් තියා නැරඹිය යුතු සිනමාපටයක්.
මීළඟ චිත්‍රපටයට සැලසුම් හදල ද තියෙන්නේ?
“ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” චිත්‍රපටයටත් කලින් ‘ගින්දරි 3’ චිත්‍රපටයේ වැඩ සම්පුර්ණයෙන්ම නිම කරලා තියෙන්නේ. ඒ චිත්‍රපටය ටික කාලයකට පැත්තකින් තියලා තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ. ඊට හේතුව පවතින දේශපාලන වාතාවරණය. ලබන අවුරුද්දේ මුල් කාලයේ ‘ගින්දරි 3’ ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන අවුරුද්දේ තවත් චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය බොහෝ දුරට ගිනිඅවි සහ ගිනිකෙලි දෙවන කොටස හෝ කොස්තාපල් පුඥ්ඥසෝම දෙවැනි කොටස විය හැකි යි. තිර රචනා දෙක මම මේ වනවිට ලියා අවසන්.
අවාරා