-සංස්ථාව හිතන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව දීම අපට පෞද්ගලිකව කරන උපකාරයක් කියලා. ඒත් පෞද්ගලිකව අප චිත්‍රපට කිරිමෙන් තමයි සංස්ථාව ඇතුළු ඒ හැම ආයතනයකටම පැවැත්මක් ඇතිවෙලා තියෙන්නේ. හොඳ චිත්‍රපටයක් හැදුවත් පාසල් දරුවන්ට එය පෙන්නන්න පවා පෙළඹවීමක් කරන්න රජයට අවශ්‍යතාවක් නෑ.-
ලංකාවේ වැඩිම සිනමා නිර්මාණ ප්‍රමාණයක් නිෂ්පාදනය කොට ඇති එකම නිෂ්පාදකවරිය වන්නේ ඇය යි. එමෙන්ම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියක ද වන්නී ය. රේණුකා බාලසූරිය මෙරට සිනමා හා ටෙලි නාට්‍ය කලාවට ඉතාමත් වර්ණවත් සම්මානනීය නිර්මාණ රැසක් බිහි කරන්නට උරදුන් නිෂ්පාදකවරියක විය. සරෝජා ඇගේ පළමු සිනමා නිෂ්පාදනය යි. ලංකාවේ එකල තිබූ දේශපාලන, සමාජ, ආර්ථික දැඩි අර්බූද හමුවේ සිනමා කර්මාන්තය මෙන්ම සියලු කලා නිර්මාණ කර්මාන්තත් අර්බුදයකට ලක්ව තිබූ මොහොතක දැඩි පරිශ්‍රමයක් යොදා වැඩි පිරිවැයක් යොදමින් සරෝජා නිෂ්පාදනය කරන්නේ ඉඩකඩම් දේපල සියල්ල බැංකුවට තබමිනි. ඇය ඒ මොහොතේ විශ්වාස කළේ සිනමා අධ්යක්ෂවරයාගේ නිර්මාණ ශක්‍යතාව පමණකි. මන් ද සරෝජා කතාව තිර රචනය මෙන්ම අධක්ෂණය කළෙත් සෝමරත්න දිසානායක වීම නිසා ය. කෙසේ වුව ද අවසන ඇය තම විශ්වාසය ජයගත්තේ එකල සිනමා පේ්රක්ෂකාගාරය අත හැර ගොස් සිටි සකල සිනමා පේ්රක්ෂකයින්වම නැවත සිනමා ශාලාවට කැඳවා ගනිමිනි.
රේණුකා බාලසූරිය සිනමාවට යළිත් වසන්තය රැගෙන ආවා ය. ඇය සරෝජා නිෂ්පාදනයට අත ගැසූ නිසාම, යළිත් නිෂ්පාදකවරු සිනමාපට නිෂ්පාදනය කරන්නට උත්සුක විය. සරෝජා, පුංචි සුරංගනාවි, සිරි රජසිරි, සූරිය අරණ, සරිගම, සංකාරා, සෙවනැලි ආදී වශයෙන් සිනමාපට රැසක් විවිධ අධ්යක්ෂවරු වෙනුවෙන් ඇය නිෂ්පාදනය කළා ය. ඇය කුස පබා සහ තන්හා රතී රගා යන සිනමා නිර්මාණවල සහාය නිෂ්පාදිකාව විය.
“සුනාමි” රේණුකාගේ නවතම සිනමා නිෂ්පාදනය එළඹෙන 26 දින EAP මණ්ඩලයේ සිනමා හල් රැසක තිරගතවීමට නියමිත ය. මිරර් ආර්ට්ස් අපි, සුනාමි චිත්‍රපටයේ නිෂ්පාදිකාව වූ රේණුකා සමග මෙසේ කතාබහක යෙදුනෙමු.
ඔබගේ සිනමා චාරිකාව තුළ අලුත්ම සිනමාත්මක අත්දැකීම “සුනාමී”
ඇත්තටම මෙය සුනාමි පිළිබඳ සිනමාපටයක් නොවේ. එය සුනාමියේ අනුෂාංගික කතාවක්. ලංකාදීප පුවත්පතේ පළ වූ එක්තරා අනුවේදනීය පුවතක් සෝමෙගේ නෙත ගැටීමෙන් එහි හරය සොයාගිය ගමනේ ප්‍රතිපලය තමයි “සුනාමී”. සුනාමිය නිසා දෙමාපියන් මගහැරුණු දරුවන්ගේ වත්මන් මාපියන් හා සත්‍ය මාපියන් අතර දරුවාගේ සියුම් හැඟීම් මානසික සහ සම්බන්ධකම්වල පෙළගැස්මක් විනා සමස්ත සුනාමිය ගැන කතා කිරිමක් නොවේ. අපි හැමෝම දෙමාපියන්ට දරුවන් අහිමි වීම ගැන කතා කළා. නමුත් ඒ දරුවන්ගේ මානසික තත්වය ගැන හිතුවේ නෑ. මෙහිදි එවන් දරුවෙකුගේ සත්‍ය අත්දැකීම් ඇසුරින් අහිමි වු ආදරය පිළිබඳ කියන්නයි අපි උත්සහ කළේ.
එය කවරාකාර අභියෝගයක් වුණා ද?
ඒ දරුවාගේ පාර්ශවයෙන් මාධ්‍ය මුණගැසීමට කැමති වුණේ නෑ. රැයක් දවාලක් නැතුව මාධ්‍ය ඔවුන්ගේ නිවස ආක්‍රමණය කරලා තිබුණා. පරිවාසය හරහා පුවත්පතෙන් දුටු තොරතුරු මගපෙන්වීම කරගෙන ඔවුන්ගේ ජීවිත වලට අපි ඇතුල් වුණේ. මුලදි ඔවුන්ගේ යම් අකමැත්තක් එක්ක. නමුත් පසුව ඔවුන් කැමති වුණා අපිත් එක්ක තොරතුරු බෙදා ගන්න.
ඉතාම සංයමකින් මේ කතාව සිනමාවට නගන්න මෙහි අධ්යක්ෂවරයාට ඕන වුණා. මේක ඇත්ත කතාවක්. සුනාමිය කියන්නේ බොහෝ දෙනාට තම තමන්ගේ සියල්ලෝම අහිමි කරන ලද ස්වභාවික ඛේදවාචකයක්. ඉතින් සුනාමි ඛේදවාචකය නිසා මේ මහපොළවේ මිනිස්කම ප්‍රකට වූ ඉතා මානුෂීය අවස්ථාවක් පිළිබඳව අපිට කතාකරන්න පුළුවන් වුණා. මේ නිර්මාණයේ ඇරඹුමේ සිට අහවරවිම දක්වාම අභියෝගයක්. ඒක සුළුපටු අභියෝගයක් නෙමේ. අනික ඒ සඳහා විශාල කාලයක් ගතවුණා. මාස 3ක් පමණ ති‍්‍රකුණාමලය, පුනරීන්, කිරින්ද වැනි දුෂ්කර පළාත්වල දුෂ්කර කාලගුණයක් දරාගෙන ලොකු කැපවීමක් කළා. කාලය කියන්නේ මුදල්. කාලය ගතවෙන්න ගතවෙන්න පිරිවැය තමයි වැඩි වෙන්නේ.
සුනාමි කිව්වහම මිනිස්සුන්ගේ මතකයට එන්නේ සියැසින් දුටු අත්දැකීමක්. කොහොමද මේ සුනාමිය ප්‍රති නිර්මාණය කළේ?
සුනාමීය ප්‍රතිනිර්මාණය කිරිම විශාල තාක්ෂණික අභියෝගයක් වුණා. අපි මෙහිදී ලංකාවේ සිටින ඉතාම දක්ෂ තරුණයෙකු මේ සඳහා තෝරගත්තා. කසුන් මලින්ද VFX නිර්මාණාත්මකව නිවැරදි ආකාරයට මුල සිටම සැලසුම් කළා. ඔහු චිත්‍රපටය රූගත කිරීමේ සිටම මේ සඳහා අවශ්‍ය සැලසුම් සම්පාදනය කළා අධ්යක්ෂවරයා හා කැමරා අධ්යක්ෂවරයා සමගත්. ඒ නිසා අපට මේ පිළිබඳව සැකයක් තිබුනෙ නැහැ. කසුන් ජාත්‍යන්තරයේ සිනමා නිර්මාණවල වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඔහුට හුඟක් සම්බන්ධතා තිබුණා. ඒ සම්බන්ධතාත් භාවිත කරමින් ඔහු මෙහි සුනාමි රල පමණක් නොවේ අනෙකුත් තාක්ෂණික ප්‍රයෝගත් චිත්‍රපටය වෙනුවෙන් ලබාදුන්නා. මේ සඳහා විශාල මුදලක් වැය වුණා. ඇත්තෙන්ම සුනාමීය මෑත කාලීන මිනිසුන්ගේ මතකයේ ඇති අත්දැකීමක් නිසාත් නිසි අයුරින් ප්‍රති නිර්මාණය කිරිමට අභියෝගයක් වුණා.
පේ්රක්ෂකයන් පිළිබඳ නිෂ්පාදකවරියක් ලෙස ඔබේ විශ්වාසය කෙබඳු ද?
අපේ රටේ සිනමාව කර්මාන්තයක් නොවේ එය පුද්ගලික ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. චිත්‍රපට හැදීමත් එය පේ්රක්ෂකයන් අතරට ගෙන යාමක් අතර සියල්ල චිත්‍රපටි හදන අයගේ පෞද්ගලික කාර්යයක් වෙලා. කර්මාන්තයක් කියලා එහි පැවැත්මට ආයතන තිබුණත් අමාත්‍යංශ, චිත්‍රපට සංස්ථා තිබුණත් ඒ කිසිවක් මැදිහත් වෙන්නේ නෑ. සංස්ථාව හිතන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව දීම අපට පෞද්ගලිකව කරන උපකාරයක් කියලා. ඒත් පෞද්ගලිකව අප චිත්‍රපට කිරිමෙන් තමයි සංස්ථාව ඇතුළු ඒ හැම ආයතනයකටම පැවැත්මක් ඇතිවෙලා තියෙන්නේ. හොඳ චිත්‍රපටයක් හැදුවත් පාසල් දරුවන්ට එය පෙන්නන්න පවා පෙළඹවීමක් කරන්න රජයට අවශ්‍යතාවක් නෑ.
ඒ අතින් බලනකොට මොහාන් ලාල් ග්‍රේරු මහතා ඒ කාලයේ “සරෝජා” ලයිසියම් දරුවන්ට පෙන්වන්න අනිවාර්යය කළා. ඒ රසවින්දනය දරුවන්ට දෙන්න කටයුතු කළා. දරුවන්ගේ රසඥතාව දියුණු කිරිම තුළින් යහපත් මිනිසෙක් තනන්න පුඑවන් බව එතුමා දැන සිටියත් රටේ වගකිවයුතු පාර්ශවයන් එය දන්නේ නෑ. ඇමරිකාවේ චිකාගෝවල සරෝජා පෙන්වු විට ඒ දරුවෝ චිත්‍රපටය හොඳින් රසවින්දා. ඒත් අපේ රටේ ඒ පෙළඹවීම කරන්න වගකිවයුතු පාර්ශවයක් නෑ.
අපේ රටේ මිනිසුන්ට රසවින්දනයට අවකාශයක් තියෙනවා ද?
තියෙනවා. මිනිසුන්ට අවශ්‍යතාවය තියෙනවා නමුත් අපිට ඇති පැය 24න් තමයි සමාජජාලා කාලය සොරා ගන්නේ. අපි දවසට පැය කීයක් සමාජ මාධ්‍ය ජාලාවලට ගත කරනවා ද? ඒ සියල්ල අපේ දින චර්යාවෙන් අපිට අහිමි වෙන කාලය. නමුත් තාමත් මිනිසුන් කැමතියි සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න. චිත්‍රපටි ලොකු මෙහෙවරක් කරනවා සංයමයක් ඇති මිනිහෙක් හදන්න. චිත්‍රපට ශාලාවක පැය දෙක තුනක් චිත්‍රපටිය රසවිදින මිනිහෙක් ඉවසිල්ලේ පොතක් පතක් කියවන මිනිහෙක් කවදාවත් වාහන තදබදයක කෝප වෙන්නේ නෑ. මාර්ග නීති කඩ කරන්නේ නෑ. තව කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න පසුබට වෙන්නේ නෑ. නමුත් එය වටහාගත් රටක් නොවෙයි මේ. වසර පහෙන් පහට රජයක් මාරු වෙද්දි ප්‍රතිපත්ති මාරුවෙන කර්මාන්තයක් විදියට, ස්ථිර ප්‍රතිපත්තියක් නැති කර්මාන්තයේ අගය නොදත් රජයන් තුළ ඒ රසවින්දනයට මිනිසුන් පොළඹවන්න අමාරුයි. පුද්ගලික ව්‍යාපාරයක් විදියට අපි අපේ චිත්‍රපට ඇදගෙන යනවා නිර්මාණකරණයට අපිට ඇති උනන්දුව නිසා. නමුත් අදටත් හොඳ නිර්මාණයක් ආවාම තමන්ගේ ජිවිතේ ඉඩ වෙන් කරගෙන රස විදලා සතුටු වෙන මිනිසුන් තාමත් අපේ රටේ ඉන්නවා.
ඔබ දෙපල චිත්‍රපටි කර්මාන්තයේ ප්රගමනයට දුන් දායකත්වය?
අපි හදපු හැම චිත්‍රපටයක්ම බලාපොරොත්තු වුණාටත් වඩා ආදායම් ලැබුවා “සරිගම” හැර. “සරිගම”ත් චිත්‍රපටයේ අසාර්ථක වීමක් නොවේ. ප්රචාරණයේ දුර්වලතාවක් තිබුණේ. අපි චිත්‍රපටි හදන්නේ වියදම් ගණන් බලලා නෙමෙයි. චිත්‍රපටය ඉවර කරලයි ගිය වියදම බලන්නේ. නමුත් චිත්‍රපටි ප්‍රදර්ශනයෙන් පසු අපි ලාභ ලැබුවා. චිත්‍රපටිය කරන්න ගිය වියදම වගේ තුන් ගුණයක් හොයන්න ඕනේ. අපේ රටේ වෘත්තීය රංගන ශිල්පින් හොයන්න බෑ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ තියෙන කැපවීමට හැකියාවට අපේ රටේ හරි ගෙවීමක් නෑ. දක්ෂ දැනුම තියෙන පරම්පරාවක් ඉන්නවා ක්ෂේත්රය තුළ. නමුත් වෘත්තිය ශිල්පීන් ලෙස හැදෑරීම් කරන්න, ශාරිරික අභයාස කරන්න ඔවුනට කාලය නෑ. ඔවුන් ඉන්නෙත් ආර්ථිකය තුළ හිරවෙලා. ඒ තත්වය ඉන්දියාව වගේ රටවල නෑ. ඔවුන් දවස පුරාම කරන්නේ වෘත්තිය වෙනුවෙන් තමා පෝෂණය කරන එක. අපි අපේ ශිල්පින් ගැන ආඩම්බර විය යුත්තේ මේ නිසයි.
“සුනාමි” කවරාකාර පණිවිඩයක් ගෙනේවි ද සමාජයට?
මේක ඇත්තටම දරුවෙකුගේ ආදරය පිළිබඳ අරගලයක්. සතුටට කඳුළු එන උත්තරීතර චිත්‍රපටයක් වේවි. දෙමළ ජනතාව පේ‍්‍රමය දකින ආකාරය හරිම අපුරුයි. ඒ අපුර්වත්වය මෙහි තියෙනවා. මෙය වරක් නොවේ. දෙවරක් බලන විත්රපටයක් වේවි. එයම අපිට සිනමාව තුළ තවත් නිර්මාණ සඳහා පොළඹවාවී.
සුනාමි චිත්‍රපටය මේ වනවිට මාධ්‍ය සහෘදයන් වෙත ප්‍රදර්ශනය කර තිබේ. සුනාමි ඔබ එක්වරක් හෝ අනිවාර්යයෙන්ම නැරඹීය යුතු චිත්‍රපටයකි. මන්ද එමඟින් ඔබට ජාති ආගම් තානාන්තර සමාජ තත්ත්වයන් කිසිවක් මේ ලෝකයේ නැති බවත් ඒවා මිනිසුන් විසින් තම තමන්ගේ මානසික උවමනාවන් මත බලය වෙනුවෙන් ගොඩ නගාගත් පුහු දෙයක් බවට පසක් කරවන්නට සමත්වනු නියත බැවිනි. මිනිස්කම, ආදරය, ස්නේහය, මානව දයාව හැරුණු විට මේ ලොව වෙන කිසිවක් නොවටිනා බව ඔබට පසක් වනු නියත ය. මනුස්සකම අපිට යළිත් සුනාමි තුළින් කියවා ගත හැකිය.
මිරර් ආර්ට්ස් වෙනුවෙන් සාකච්ජා සටහන- අරෝෂා දේවකී පත්බේරිය