රඟපෑම මරු’ කියද්දි ඒක මට හැට හැත්තෑ දාහකට වඩා වටිනවා
රන්දික මේ දවස්වල සිනමාවෙන් මුණගැහෙනවා. මොකක්ද මේ පටන් ගත්ත ගනුදෙනුව?
ඔව්. මාව මේ දවස්වල දකින්න ලැබෙන්නේ යූ ටර්න් චිත්‍රපටයෙන්. හැබැයි මම සිනමාවේ ගනුදෙනුව පටන් ගත්තේ විසාකේස අයියගේ 'පාංශු' චිත්‍රපටයෙන්. ඊට පස්සේ ඉන්දික ෆර්ඩිනැන්ඩු අයියගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. 'යූ ටර්න්' කියන්නේ මම සම්බන්ධ වුණ තුන්වැනි චිත්‍රපටය. රඟපාපු තුන්වැනි චිත්‍රපටය තමයි මුලින්ම තිරගත වුණේ.
'යූ ටර්න්' එක්ක එකතු වෙන්න පාර කැපුණේ කොහොමද?
ජගත් මනුවර්ණ අයියයි, කලණ අයියයි තමයි මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා චන්න අයියට කියලා තිබුණේ.
'යූ ටර්න්' රීමේක් චිත්‍රපටයක්. චරිත සංසන්දනය කරද්දි පරාද නොවෙන්න රන්දික මේ චරිත නිරූපණයට මහන්සි වුණේ කොහොමද?
බයිසිකලයක් පැදගෙන, කෙල්ලෙක්ට විහිළු කරගෙන ෆන් එකේ ඉන්න චරිතයක් මම කරන්නේ. එක අවස්ථාවක ඔහු තමන්ගේ යාළුවාව මරනවා. මේක රීමේක් චිත්රපටයක්නේ. රීමේක් එකක් කරද්දි අපිට සිද්ධ වෙනවා මුල් නිර්මාණයේ මට්ටමට හෝ ඊට වඩා උඩින් අපේ චරිත කරන්න. එතකොට තමයි හොඳ ප්‍රතිචාරයක් ගන්න පුළුවන් වෙන්නේ. මේ චිත්‍රපටය කරද්දි මම චන්න අයියාගෙන් අහනවා අපිට කේබල්, මෙට්‍රස් දෙනවාද? කියලා. ඒත් කාලේ මදි නිසා ඒවා දෙන්න විධියක් නෑ කිව්වා. ඊට පස්සේ මම කිව්වා, දවස් තුනක් පුහුණුවීම් කරන්න ඕන කියලා.
සමන් මාස්ටර්ව අපිට චිත්‍රපටයෙදි හම්බුණා. මගේ යාළුවාගේ චරිතය කරපු ප්‍රසන්නයි මමයි සමන් මාස්ටර් එක්ක දවස් දෙකක් එක දිගට පුහුණුවීම් කළා. ඒ චිත්‍රපටයේ අපේ සටන්වලට කේබල්, මෙට්‍රස් පාවිච්චි කරලා නැහැ. අපි අපිට තුවාලයක්වත් වෙන්නේ නැති වෙන්න එක දිගට මහන්සි වෙලා පුහුණුවීම් කළා. ඒ මහන්සියට, කැපවීමට ප්‍රතිඵල ලැබෙනවා.
ඒ ප්‍රතිඵලය ලැබෙනවා ඇත්තේ ප්‍රතිචාරවලින්?
ඔව්. චිත්‍රපටයේ මංගල දර්ශනය ඉවර වුණාට පස්සේ හැමෝම ඇවිත් මට කතා කළා. 'සයිස් එකට නෙවෙයි වැඩ' කියලා කිව්වා. බිමල් අයියා, සුජානි අක්කා, හේමාල් වුණත් කිව්වේ 'උඹ මරු' කියලා. අපි විශ්වාස කළාටත් වඩා දෙයක් වුණා කියලා ඒ ප්‍රතිචාරවලින් දැනුණා.
සමහර නළුවෝ රූපය මේන්ටේන් කරනවා. සමහරු හැකියාව මේන්ටේන් කරනවා. රන්දික නළුකම ඇතුළේ මොනවගේ දේවල්ද මේන්ටේන් කරන්නේ?
මම හැම වෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කරනවා. නළුවෙක් වුණාම කරන දෙයට ආදරෙන්, සතුටින් ඉන්න ඕනේ. අපි රංගනයේදි කරන්නේ අපේ ඇතුළේම තියෙන කෑලි ටිකක් වෙන අයගේ ජීවිතවල කෑලි වගේ පෙන්නන එක. අපි සතුටින් කරන දේ කළොත් අපිට අපේ රංගනය අනෙක් අයට දැනෙන්න කරන්න පුළුවන්.
නළුවෙක් වුණාම ඕනම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. රන්දික ඒක විශ්වාස කරනවද?
මගේ තාත්තා හොඳ චිත්‍රපට පිස්සෙක්. තාත්තාට වාණිජ, කලාත්මක කියලා බෙදීමක් තිබ්බේ නෑ. තාත්තාට ඔක්කොම චිත්‍රපට, චිත්රපටමයි. වෛද්‍යවරුන්ට තියෙන්නේ ලෙඩ්ඩු සනීප කරන්න. නළුවන්ට තියෙන්නේ රඟපාන්න. නළුවෝ විදිහට අපිට කරන්න චරිත හම්බවෙනවා. ඒකේ වාණිජ, කලාත්මක කියලා බෙදීමක් නෑ. අපි කරන දේ හරියට කළොත් මිනිස්සු එයට කැමැති වෙයි. මට නළුවෙක් විදිහට කරන්න තියෙන්නේ ඔළුව යන්තන් දාලා යන චරිතයක් නම්, මම ඒක වුණත් මතක හිටින්න කරන්න ඕන. මම කරන දේ හරියට කළොත් බලන අය ඒ ගැන කතා කරයි. මට ලොකු චරිත, පොඩි චරිත කියලා දෙයක් නැහැ. මම කරන චරිතය හරියට කරන්න උපරිම කැප වෙනවා. චරිතයක් කරන්න කලින් ඇඳුම ගැන පවා මම හිතනවා. ප්‍රශ්න අහනවා. මට ඕන, කරන චරිතය සියයට සියයක් හොඳට කරන්න. මම කරන දේ තව කෙනකුට කරන්න දෙයක් නැති වෙන්න කරන්න ඕන.
රන්දික රංගනයට ආරම්භය තියන්නේ විශ්වවිද්‍යාලයෙන්ද?
මගේ පවුලේ රඟපාන කවුරුවත් නැහැ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ තමයි මම රඟපාන්න පටන් ගත්තේ. මම සෞන්දර්යය විශ්වවිද්‍යාලයේදී අවුරුදු හතරක් රංගනය ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලය කියන්නේ ජීවිතය ගැන, රංගනය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්ත තැනක්.
ඔබේ මුල වේදිකාව?
මට විශ්වවිද්‍යාලයේදි වේදිකා රංගනය ගැන ඉගෙන ගන්න ලැබුණා. අපි කරපු නාට්‍ය රාජ්‍ය, යෞවන නාට්‍ය තරගවලට ඉදිරිපත් කළා. මම රඟපාපු 'චෙරිවත්ත' නාට්‍ය වෙනුවෙන් 2014දී යෞවන සම්මාන උළෙලෙදි දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා තුන්වැනි ස්ථානය ලැබුණා. දේවින්ද වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කරපු "අඩකුඹයි' නාට්‍ය වෙනුවෙන් 2015දී මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. රෝහණ විජේවීරගේ ජීවිතය සම්බන්ධයෙන් නිර්මාණය වුණ 'අත්තනායකගේ අන්තිම දවස්' වේදිකා නාට්‍ය වෙනුවෙනුත් සම්මාන ලැබුණා. ඔය වාගේ වේදිකාව එක්ක එකතු වෙලා හිටියා. පස්සේ තමයි කැමරාව ඉස්සරහා රඟපාන්න පටන් ගත්තේ.
නළුවෙක් වෙන්න ඕනකම ඇති වුණේ කොහොමද?
මට රංගනය සම්බන්ධව කැමැත්තක් ඇති වෙන්නෙ තුසිත ලක්නාත් අයියා නිසා. ඔහු හොඳ වේදිකා නාට්‍ය නළුවෙක්. ප්‍රදීප් රාමවික්‍රම අයියත් මතක් කරන්න ඕන. එයාලා රඟපාන දිහා බලාගෙන ඉද්දි උන් වගේ රඟපාන්න ඕනේ කියලා හිතුණා. එයාලා ගොඩක් දේවල් කියලා දුන්නා. බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බා. ඒ වගේම කලණ ගුණසේකර අයියා, ජගත් අයියා වුණත් මහ දැවැන්ත චරිත. එයාලගේ නාට්‍ය තියෙනවා කියලා දැනගත්තම මම ඒවා බලන්න ගියා. එයාලා රඟපානවා දැකලා තමයි ඒ වගේ රඟපාන්න ඕන වුණේ. එයාලා තමයි මගේ වීරයෝ වුණේ.
රන්දික වෘත්තීයමය නළුවෙක්ද?
මම අවුරුදු හතරක් රංගනය ඉගෙන ගත්තනේ. වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්න අය එළියට ඇවිත් වෛද්‍යවරු වෙනවා. ඉන්ජිනේරුවරු වෙන්න ඉගෙන ගන්න අය ඉන්ජිනේරුවෝ වෙනවා. මම ඉගෙන ගත්තේ රඟපාන්න. මට ඒකට උපාධියකුත් තියෙනවා. ඒක ගෙදර තියලා තියෙන්නේ. මම හිතන්නේ මම දන්නේ රඟපාන්න. කතාවක් තියෙනවානේ අවුරුදු පහක් විතර එක දිගට දෙයක් පුරුදු කළොත් ඒක ඇඟේ කෑල්ලක් වෙනවා කියලා. මාත් අවුරුදු ගාණක් රංගනය පුරුදු කළා. මට උදේ 8 හවස 5 ජොබ් එකක් කරන්න බෑ. මම ආස රඟපාන්න. ඒ නිසා මම වෘත්තීයමය නළුවෙක් තමයි.
ලංකාවේ කලා ක්ෂේත්රය කඩා වැටිලා කියලා බොහෝ අය කියනවා. කඩා වැටිච්ච ක්ෂේත්රයක් ඇතුළේ නැඟිටින්නද උත්සාහය?
මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ 'ස්වරූප' චිත්‍රපටයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ගේ චරිතයක් කළා. ඒ චරිතයේ මට ඉන්න වුණේ තත්පර ගාණයි. මම ඒ චරිතෙ නොකළා නම් පාංශු, යූ ටර්න් වගේ චිත්‍රපටවල රඟපාන්න වෙන්නේ නෑ. “රංගනය වෘත්තියක් විදිහට කරන්න බෑ. ලංකාවේ සිනමා කර්මාන්තයක් නෑ” කියලා කවුරු හරි කියනවා නම් අපි හදමු. චරිතයක් මහන්සි වෙලා කරමු. අපි ආදර්ශයක් වුණොත් ඒක කරන්න පුළුවන්. හරියන්නේ නෑ කියලා හිතුවොත් හරි යන්නේ නෑ. හරියන්න අපි දේවල් කරන්න ඕන.
දියාරු නොවී පැවැත්මක් රඳවාගත්ත නළුවෙක් වෙන්න මේ සිස්ටම් එක ඇතුළේ ඉඩ හදාගන්න පුළුවන්ද?
මම ඔය ප්‍රශ්නයට අපේ තාත්තා කියපු දෙයක් කියන්නම්. ගෙවල්වල ආර්ථික ප්‍රශ්න එහෙම තියෙනවනේ. 'යූ ටර්න්' චිත්‍රපටය එන්න කලින් මම තාත්තගෙන් ඇහුවා 'උපාධියත් ගෙදර. මොකද කියන්නේ, දමලා ගහලා ජොබ් එකක් කරන්නද' කියලා. තාත්තා එතකොට කිව්වා 'සෑහෙන දුරක් ආවනේ. කට්ටකුත් කෑවානේ. ඉතුරු ටිකත් ඉවසලා ඉමු' කියලා. ඉවසන්න ඕනෙනේ මොකක් හරි ලබාගන්න. රඟපාන එක කැපවීමක්. පවුලේ අයත් මම රංගනයේ ඉන්නවට කැමැති වුණා. කට්ටක් කන්න වෙනවා. හැබැයි රංගනය ගැන වගකීමක් තියෙනවා.
ඒ කියන්නේ අම්මා, තාත්තා රන්දිකට යන්න ඕන පාරේ යන්න ඉඩ දීලා?
ඇත්තටම පවුලේ අය මට ලොකු සහයෝගයක් ලබා දෙනවා වගේම දිරි ගැන්වීමක් කරනවා. මම කොණ්ඩෙයි, රැවුලයි වවාගෙන ඉද්දි වුණත් 'මොකද ඔයා නළුවෙක් නේද' කියලා මතක් කරනවා. මම මෝඩ වැඩක් කළත් නළුවෙක් කියන එක එයාලා තමයි මතක් කරලා දෙන්නේ. මගේ පවුලේ අය වගේම මගේ යාළුවෝ මාව, මගේ හැකියාව විශ්වාස කළ නිසා තමයි මම අද මෙතන ඉන්නේ.
රන්දිකට හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා වගේ?
අනිවාර්යයෙන්ම. මට හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. 'උඹට පුළුවන්' කියලා කියන්න යාළුවෝ මට ඉන්නවා. සමහර මාසවල යාළුවෝ තමයි මාව ජීවත් කළේ. මං වෙනුවෙන් සෑහෙන දේවල් කරන්න යාළුවෝ මට හිටියා. මාව විශ්වාස කරන යාළුවෝ මට ඉන්නවා. මම ශිෂ්‍යත්ව විභාගය විතරයි ෆේල්. අනෙක් හැම විභාගයක්ම පාස්. යාළුවෝ මට කිසිම වෙලාවක වැටෙන්න දුන්නේ නැහැ. ගෙවල්වලට එක්ක ගිහින් පාඩම් කෙරෙව්වා. ඉගැන්නුවා. ගුරුවරුත් එහෙමයි. උපාලි සපුතන්ත්‍රි සර් මතක් කරන්න ඕන. සිංහල, දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තේ සර්ගෙන්. මම විශ්වවිද්‍යාලයට යන්න හේතුව තමයි එතුමා. සර් මට අවුරුදු ගාණක් නිකන් ඉගැන්නුවා. මට ආදරේ එහෙම පිරිසක් මට ඉන්නවා.
අපි හොඳ යාළුවෝ වුණොත්, අපි අවංක වුණොත් යාළුවෝ අපිට අවංකව ආදරෙයි. මිනිස්සු මට ආදරෙයි. මමත් ඒ අයට වරදක් නොකර අවංකව ඉන්න උත්සාහ කරනවා.
දැන් වේදිකාව අතහැරලද?
වේදිකාවේ රංගනයයි, කැමරාව ඉස්සරහා රඟපාන එකයි දෙකක්. වේදිකාව උඩ තමයි චරිත කරන්න දැනුවත්භාවයක් හම්බෙන්නේ. හැබැයි වේදිකාවෙදි අපිට සමහර දේවල් හංගන්න පුළුවන්. ඒත් කැමරාව ඉස්සරහ, දේවල් හංගන්න බෑ. වේදිකාවේ කරන රංගනය කැමරාව ඉස්සරහා කළොත් ඒ නළුවා ෆේල්. මම වේදිකාව අතහැරලා නෑ. සුදත් අබේසිංහගේ අලුත් නාට්‍යයක් කරනවා. ජනවාරි 12 එය වේදිකාගත කරනවා. වේදිකාවේ කරන දෙයක් වුණත් හරියට කරන්න ඕන නිසා මම අවුරුද්දට එක වේදිකා නාට්‍යයක් වගේ කරන්නේ, හිතේ සතුටට.
මේ දවස්වල පුංචි තිරයෙත් ඔබ ජීවත් වෙනවා?
මම මුලින්ම රඟපෑවේ තුසිත ද සිල්වා අයියගේ නාට්‍යයක. ඒ නාට්‍යයේ මම රඟපාන්නේ නීටා ප්‍රනාන්දු මහත්මියගේ බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට. ප්‍රදීප් අයියගේ 'තෛ්රලෝක' ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවා. සුපුන් රත්නායක අයියගේ 'අඩෝ' ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ ඊට පස්සේ. දසුන් අයියා තමයි සුපුන් අයියට මාව හඳුන්වලා දුන්නේ. හදවතින්ම ඉන්න යාළුවෙක්ගේ චරිතයක් මම 'අඩෝ' ටෙලි නාට්‍යයේ කරන්නේ. මටත් හොඳ යාළුවෝ පිරිසක් ඉන්න නිසා ඒ යාළුවන්ගේ කොටස මට රංගනයෙන් කරලා පෙන්වන්න පුළුවන් වුණා.
රන්දික වැඩ කරද්දි මුදල්මය වටිනාකම ගැනත් හිතනවද?
මම මේ වෙනකල් කිසිම වැඩකට ගාණක් කියලා නෑ. රඟපාන්න හැටදාහක්, හැත්තෑදාහක් ඉල්ලනවට වඩා රඟපාලා ඉවර වුණාට පස්සේ මුදලක් දුන්නම මම එච්චර මුදලකට රඟපාලා තියෙනවා කියලා හිතන්න කැමැතියි. මම රඟපාලා දෙන ගාණ අරගෙන සතුටු වෙනවා. ඒක මෝඩකමට කරන දෙයක් නෙමෙයි. සල්ලිවලට වඩා මම කරන දේ බලලා ඒ ගැන කතා කරනකොට රඟපෑම මරු කියලා කියද්දි ඒක මට හැට, හැත්තෑදාහකට වඩා වටිනවා. මට ඕන සල්ලිවලට වඩා මිනිස්සු හම්බ කරන්න.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම