ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පිළිබඳව ශ්‍රී කලා රසිකයින් බොහෝ දෙනෙකුට හැඳින්වීමක් අවැසි නැත. කලා ලෝකය තුළ මේ වන විට කාර්යබහුල භූමිකාවක් හොබවන ඉසුරු සමග මෑතකදී කළ සංවාදයක් මිරර් ආට් හි පළ කරන්නෙමු.
* වැඩ ගොඩක් කරන ඉසුරු මේ වෙලාව වැඩියෙන්ම කාර්යබහුල මොනවත් එක්කද?
මේ දිනවල මම වැඩියෙන්ම කාර්යබහුල රංගනය තුළ තමයි. රඟපෑමෙන් වගේ කිසිම වෘත්තීයක මම තෘප්තිමත් නැහැ. මම කරන රංගනය ගායනය, රූපවාහිනී වැඩසටහන් නිවේදනය, හඬකැවීම් කියන සියලු කාර්යයන් එක වගේ. නමුත්, මේ හැම එකකින්ම මම රඟපෑමට තමයි අංක එක දෙන්නේ.
* හමුදා නිලධාරියෙක් හැටියට ඉඳලා කලා ක්ෂේත්‍රයට හැඩගැහෙන්න ඉසුරුට අසීරු වුණේ නැද්ද?
රඟපෑම කියන එක මට අහම්බයක් නෙමෙයි. මම පාසැල් කාලේ නාට්‍ය කලාව හැදෑරුවා. කලා ක්ෂේත්‍රයට හැඩගැහෙන්න මට ඒ නිසා අමාරු වුණේ නැහැ. මම යුද හමුදාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙන්. ඒ කාලෙදි රඟපෑමට විරාමයක් ලැබුණා කිව්වොත් හරි. නමුත්, හමුදාවෙන් ඉගෙන ගත්තු වෙලාවට වැඩ කිරීම ජ්‍යෙෂ්ඨයන්ට, ගරු කිරීම, වැඩ කටයුතු පිළිවෙළට කිරීම සහ වගකීමෙන් වැඩ කිරීමට ලැබුණ පන්නරය කලා ක්ෂේත්‍රයේ වැඩවලදි සෑහෙන්න බලපෑවා.
*ඒ කියන්නේ ඕන වැඩකට හැඩගැහෙන්න පුළුවන්?
මාව මහණ කරන්න කාටවත් බෑ. මගේ තට්ටෙ ගාන්න අමාරුයි. කෙනෙක්ට මාව අන්දන්න වුණත් ලේසි නෑ. මම ලබපු වෘත්තීය පන්නරය ඒක තමයි.
* නාට්‍ය කලාවට ආ හැටි කියමු?
මගේ පළවෙනි රංගනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන් දෙදෙනා සමග කළ 'දෙන්නට දෙන්නා' නාට්‍යයේ. දෙසීයක් විතර පිරිසක් මැද්දෙ අත්පුඩි ගහන්න තමයි මම නාට්‍යයේ හිටියෙ. මම කවුද කියලවත් ඒ නාට්‍යයේ හඳුනාගැනීමට අමාරුයි. ඒ වගේ පියවරෙන් පියවර පටන්ගත් ගමනක් තමයි මේ ඇවිත් තියෙන්නේ.
* මුලින්ම ක්ෂේත්‍රයට ආවේ ඉසුරු කියන නළුවද, හඬ නළුවද?
හඬ නළුවා තමයි මුලින්ම කරලියට එන්නේ සිරස ටීවීහි තුසිත කරවිට මහතාට තමයි ඒකේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ. Boys over the flowers කොරියානු නාට්‍යයේ ගු ජුම් පියෝ කියන චරිතයට හඬ කවන්න මං ගැන විශ්වාසය තිබ්බේ ඔහු තමයි. අවුරුදු දෙකකට පස්සේ මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වූ True Beauty කොරියන් ටෙලිනාට්‍යයේ ලී ජූ හුන් චරිතයේ හඬකැවීම්වලටත් පසුව මම සම්බන්ධ වුණා.
* මේ වෙනකල් රඟපෑව චරිතවලින් වැඩියෙන් කැමැත්ත දක්වන චරිතය කිව්වොත්?
ජානක සිරිවර්ධන සහ නිමල් රත්නායක මහත්වරුන් සමග කළ මලී නාට්‍යය, නාලන් මෙන්ඩිස් මහත්මයා සමඟ දූවරු ටෙලි නාට්‍යයේ වැඩ කරන්න ලැබීම, ලක්ෂ්‍ය සාරංග මෙන්ඩිස් මහතාගේ ගිනි අවි සහ ගිනි කෙලි මගේ වෘත්තීයේ හැරවුම් ලක්ෂ්‍ය හැටියට මම සලකනවා. සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට සුදේශ් වසන්ත මහතා අධ්‍යක්ෂණය කළ මගේ පළවෙනි චිත්‍රපටය රන්සයුර, ඒ මහතාගේම හුස්ම චිත්‍රපටිය, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ President Super Star චරිත මට විශේෂයි. අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත සහ අංග රචනා ශිල්පී නලින් ප්‍රේමතිලක මහත්වරුන් මම කවදාවත් අමතක කරන්නේ නෑ. ඔවුන් මුල සිටම මම සිනමාවට ගැලපෙන බවට මා ගැන විශ්වාසය තැබුවා. ඒ ගැන මට තිබෙන්නේ විශාල ගෞරවයක්.
* ඒ කියන්නේ සිනමාව තුළ ඉසුරුට වටිනාකම හිමි වෙලා තියෙනවා?
සිනමාවෙන් බලාපොරොත්තු වෙන වටිනාකම ලැබුණා කියලා ඒකෙන් කියන්නේ නෑ. එහෙම ලැබිලා නැත්තෙ කරුමයට කියලා නෙමෙයි මම කියන්නේ. ඒත්, අපි නළුවෝ වෙලා ආව මිනිස්සු නෙමෙයි. අපි නිකන් කුරුල්ලෝ වගේ. ඇස් ඇරිලා හොට ශක්තිමත් වෙලා, අත්තටු හයිය වෙලා පියාඹන්න අපිට කාලය ගත වුණා. දැන් අපි පියාඹද්දි හිම වැටෙනවා, වටපිට හුළඟ සැරයි. ඒ වටපිටාවත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ.
* නිසි වටිනාකමක් ලැබුණෙත් නෑ කියන එකද ඒකෙන් කියන්නේ?
අපිට මේක එකපාර ලැබුණේ නැහැ. අපි මේ ක්ෂේත්‍රයේම හිටිය මිනිස්සු නෙමේ නිසා මේ ගමන ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට තටු තිබුණට පියාඹන්න අමාරුකම් වැඩියි. මේ රට, සමාජය ගත්තම අපි ලොකු ප්‍රශ්න ටිකක හිර වෙලා ඉන්නවා. පියාඹන්න ඉගෙනගත්තට කොහෙද අපි පියාඹන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. අපිව කූඩු කරලා දාලා තියෙන්නේ. ඒත් කූඩු කරන්න අපි ලව් බර්ඩ්ස්ලා නෙවෙයි.
* තරු ගුණය තියෙන ඉසුරු, සාමාන්‍ය ඉසුරු කියන්නේ දෙන්නෙක්ද?
මට පුළුවන් තරු හතේ තැනකින් කන්නත් තලවතුගොඩ මාතර බත් කඩේට ගිහින් කන්නත්. මේක මට ලැජ්ජාවක් නෙමේ මම යුද හමුදා සේවයේ ඉන්නකොට ක්‍රීඩා කරලා, සමාජයේ ඉන්න ඕන විදිහ පුහුණු වෙලා, හැම දෙයක්ම හොඳින් කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒත් මම ඒක ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මට ඕන නම් හැන්දෙන් ගෑරප්පුවෙන් කන්නත් පුළුවන්. නමුත් මට අතින් කන එක ලැජ්ජාවක් නෙමෙයි. චීනාට, ජපන් ජාතිකයන්ට පුළුවන් නම් කෝටු දෙක අරන් ගිහිල්ලා තමන්ගේ කෑම ඕන රටක ඒ විදියට කන්න, අපිටත් අතින් කන්න පුළුවන් වෙන්න ඕන. අපි අතින් කෑවොත් ඒක විහිළුවක් වෙන්නේ නෑ. අපේ තත්ත්වය පෙන්නන්න භාෂාව, ඇඳුම, වාහනය පාවිච්චි කරන එක නෙමෙයි අපි කරන්න ඕන.
* ඒ කියන්නේ 'බ්‍රෑන්ඩඩ්' තෝරාගැනීම් නෑ කියන එකද?
කොළඅතු ඇඳලා හරි ඒක බ්‍රෑන්ඩ් එකක් කරන එකයි අපි කරන්න ඕන. එහෙම නැතුව බ්‍රෑන්ඩ් එකක් ඇඳලා අපි බ්‍රෑන්ඩඩ් වෙන්න හදන එක නෙමෙයි.
* ප්‍රේමය ගැන, ජීවිතය ගැන ඉසුරුට තිබෙන සිතුවිලි ගැනත් කියමු?
මම බෞද්ධ පරිසරයක් ඇතුළේ ජීවත් වුණේ. මම ජීවිතේ දකින්නේ මගේ තාත්තාගෙන්. තාත්තා තමයි මට උපේක්ෂාවෙන් ජීවිතය ගෙනියන්න කියලා දුන්නේ. හමුදාවෙන් ලැබුණු පන්නරයත් මගේ ජීවිතේ මම ඉතාම ඉහළින් තියාගන්නවා. තාත්තා තමයි මට කියලා දුන්නේ පොළොව හොඳ වුණත් බීජ හොඳ වුණත් ඒ දෙක නොගැලපෙනවා නම් ඒක දලු දාන්නේ නැහැ කියලා. ඒ වගේම තාත්තා තමයි කියලා දුන්නේ සමහර ගස් තියෙනවා වේලිලා කෝටු වෙලා තිබිලා, ආයෙත් කොළ හැදිලා මල් පිපෙනවා කියන එක. මේ දහම, දර්ශනය මට කියලා දුන්නේ මගේ තාත්තා. මම අටලෝ දහමින් කවදාවත් කම්පා වෙන්නේ නැහැ. හැබැයි මටත් සාමාන්‍ය මිනිසුන්ට දැනෙන හැම වේදනාවක්ම දැනෙනවා.
සංවාදය : ශිවන්ති ප්‍රනාන්දු
ඡායා: වීනස්