ධනපාල උඩවත්ත 70 දශකය මුලදී සංගීත ශිල්පියෙකු ලෙස කලා ලෝකයේ අත්පොත් තැබූ ජනප්‍රිය තරුවකි. තමන් ගැයූ ගීත කොතරම් ඉමිහිරිද ඒ වෙනුවෙන් අතිශය වටිනාකමක් තවමත් ලබමින් සිටින ගායකයකු වශයෙන් ධනපාල උඩවත්ත හැඳින්විය හැකිය. පසුගිය සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී මේ තවමත් ජනප්‍රිය මේ ගායකයා සිය දශක ගණනක ගීත මිහිරියාව වෙනුවෙන් උපහාර ලැබුවේ 'ඔබ ආයෙමත් ඇවිදින්' ගී ප්‍රසංගය වෙතිනි. ඔහුගේ පුතුන් දෙදෙනාද ගීත ගායනාවලට එහිදී සහභාගි වූහ. මේ ඔහු සමග කළ කෙටි සංවාදයකි.
* ධනපාල උඩවත්ත නම් ගායකයා ක්ෂේත්රයට ආ තැනින් අපි පටන් ගමු?
"මම ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 57ක්. 70දි 'කියයි මිහිරි කතා' ගීතය කියමින් තමයි මම ගායකයෙකු හැටියට සම්බන්ධ වුණේ. ඊට පසුව ඈ නීල වරල පීරලා ගීතයත් අනතුරුව ගැයූ ගීතවලටත් ඉහළ රසික ප්‍රසාදයක් හිමි වුණා. අදත් මේ ගීත ගයන්න ප්‍රසංග වේදිකාවල ඉහළ ඉල්ලුමක් තියෙනවා. රටේ බාහිර ප්‍රශ්න ඇරෙන්න මේ වෙනකල් සංගීත ප්රසංගවලටත් ලැබෙන ආරාධනාවල අඩුවක් නෑ.
* තවමත් ඔබ ගැයූ 'බයිලා' ගීත ජනප්‍රියයි?
1968දි මම ගුවන් විදුලියේ 'බයිලා ඔඩිෂන්' පාස් වුණා. 88 දෙනෙක් සහභාගි වුණ ඔඩිෂන් එකෙන් 08 දෙනෙකු පමණයි තෝරා ගැනීමට නියමිත වුණේ. මම එයින් පළමුවැනියා වුණා. රුක්මණි දේවී, සී.ටී. ප්‍රනාන්දු, රූබසිංහ මාස්ටර්. ඊට පස්සේ මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණිය සමත් සරල ගී ගායකයෙකු වුණා. ඒ නිසා මම බයිලා ගීත ගායකයෙකු විතරක් හඳුන්වනවාට මම කැමති නැහැ. 80දි මා ආදරණීය මගේ අම්මා වෙතටයි, 93දි හසලක ගාමිණී ගීතය ගායනා කළා. ඩයනා කුමරිය ගැන පවා පාදක කරගෙන ගීත නිර්මාණයක කළ. සමාජයේ සත්‍ය සිදුවීම් ගැන දිගටම ගීත හැදුවා. ඒවා බයිලා ගීත නෙවෙයි.
* මේ ඔක්කොම ගීත එකතුව කීයක් විතරද?
මේ වෙද්දි මම සින්දු 700ක් පමණ ගායනා කරලා තියෙනවා. ජෝතිපාල මහත්තයා සමග චිත්‍රපටි ගීත ගායනා කළා. රඟපෑමටත් යොමු වුණා. අපි එන කාලෙත් වෙනත් අය ගායනා කළ ජනප්‍රිය සින්දු තිබුණා.
* එහෙම තියෙද්දි ඔබත් ජනප්‍රිය ගායකයෙක් වුණා?
ගීත නිර්මාණය කිරීමට අපිම යොමු වීම නිසා අපි වැඩිදියුණු වුණා. ඒ නිසාම අදත් ඒ සින්දු මිනිසුන් අහනවා. අපි සැබෑ ප්‍රශ්න සිදුවීම් ගැන අපේ ගීතවලින් කතා කළා. එම්.එස්. ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස් වැනි මිනිසුන් ගැන හැදෑරුවා. ඔවුන් අනුගමනය කළා. සැප්තැම්බර් 20 වැනි බදාදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පස්වරු 02ට 'ඔබ ආයෙමත් ඇවිදින්' ගී ආවර්ජනා සැමරුමක් කරන්නට තරම් මා සුදුස්සෙකු වුණේ මගේ ඒ කැපවීම නිසා බවයි මට වැටහෙන්නේ. මගේ පුතා සංගීත සංයෝජනය කළ 'මං ඉතාලියේ තනි වුණා' ගීතයත් එහිදී ගයන්නට යෙදුණා. ඒ හැරෙන්නට ඈ නීල වරල පීරලා, පායල අසඳ, කියයි මිහිරි කතා, මා ආදරණීය මගේ අම්මා වෙතටයි ඇතුළු ජනප්‍රිය ගීත 10ක් ගායනා කෙරුණා. මගේ පුතුන් වන ගයාන්, ශවීන්ද එහිදී මා සමග ප්‍රසංගයට සහභාගි වුණා.
* දරුවන්ගේ ගීත ලැදියාව ගැන කියමු?
මගේ පුතා ගයානුත් මේ වෙද්දි ගුවන්විදුලි ඔඩිෂන් සමත් වෙලයි ඉන්නේ. ඔහු 'ජිප්සීස්' කණ්ඩායම හා සම්බන්ධ වෙලා සංගීත කටයුතු ආරම්භ කළේ. තවමත් එහි කටයුතුවල නියැලෙනවා. දෙවැනි පුතාටත් ඒ හැකියාව ඉහළින් තියෙනවා.
* මේ ගමනේ සාර්ථකත්වයේදී අමතක නොකරන්නේ කාවද?
වර්නන් පෙරේරා මහතා නිසා තමයි අද ධනපාල උඩවත්ත කියලා කෙනෙක් ඉන්නේ. ඔහු මට බෙහෙවින් ගුරුහරුකම් දුන්නා මේ ගමන එන්නට. මගේ තත්තත් ටවර්හෝල් නළුවෙක්. තාත්තත් අම්මත් නිසා තමයි මම අද මේ වගේ තැනකට ආවේ. ඒ නිසාම මම අද තවමත් ක්ෂේත්රයේ ඉහළින්ම ඉන්නවා.
සංවාදය : ශිවන්ති ප්‍රනාන්දු