ඔබේ කැමරාකරණ දිවියේ ආරම්භය සිහිකළොත්....?
මගේ ආරම්භය පටන්ගන්නේ ‘දවස’ පත්තරයෙන්. ඩී.බී. ධනපාල මහතා තමයි මාව දවස පත්තරයට ගත්තේ. එහි ඡායාරූප අංශයේ සිටියදීම කැමරා මාධ්‍යවේදියෙක් වුණා. ඩී.බී. ධනපාල මහතාගේ පුත්‍රයෙක් වෙන ඩී.බී. සුරනිමල හොඳ කැමරා ශිල්පියෙක්. ඔහු ඒවෙද්දී දවස පත්තරේ කැමරා අංශයේ ප්‍රධානියා. ඩී.බී. ධනපාල මහතා ඔහුට මාව භාරදුන්නා. කුඩා කාලයේ ඉඳන්ම කැමරාවට මගේ ආසාවක් තිබ්බා. මම කැමරා කරලා තිබ්බ නිසා ඒ අත්දැකීම් එක්ක මාසයක් ඇතුළත දවස පත්තරේට පින්තූර ගන්න මාව තේරුණා පුවත්පත් ඡායාරූප ශිල්පියෙක් විදිහට.
සිනමා කැමරාකරණයට යොමුවෙන්න අවස්ථාව ආවෙත් පත්තර කන්තෝරුවේදිමයි නේද....?
ඔව්. ඒ අවස්ථාව ලැබුණේත් ඩී.බී. ධනපාල මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය වූ විශිෂ්ට චිත්‍රපට අධ්යක්ෂ, කැමරා අධ්යක්ෂ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් නිසයි. ඔහු දවසක් සිනමා කැමරාවකුත් අරගෙන දවස පත්තර කන්තෝරුවට ආවා. ඒ පැමිණීම මගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඔහු මාව දැනගෙන හිටියේ. මම ඔහුට කිව්වා සිනමා කැමරාකරණය ඉගෙන ගන්න ආසයි කියලා. ඔහුත් මාව දන්නවා..එතකොට ඔහු කිව්වා “අපි ළඟදී වැඩක් පටන් ගන්නවා. එන්න පුළුවන්ද..? ”කියලා.
සිනමා කැමරාකරණයේදී ඔබේ ගුරුවරයා වූයේ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්...?
ඔව්. දවස පත්තරේ 1960 ගණන්වල අවුරුදු 03ක් ඉද්දී තමයි ඩී.බී. නිහාල්සිංහ මහතා ළඟට ගියේ. ඔහු යටතේ මට සහය කැමරා ශිල්පියෙක් විදිහට වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඒ 1965, 1966 වගේ. ඔහුගේ පළමු සිනමා කැමරාකරණයේදී තමයි මාව සම්බන්ධ කරගත්තේ. ඒ සුගතපාල සිල්වා අධ්‍යක්ෂණය කළ ‘සමනළයෝ’ චිත්‍රපටයට. ඒත් එහි වැඩ අවසන් කරන්න බැරිවුණා. ඒක නිහාල්සිංහ මහතාගේ පළවෙනි සිනමා කැමරා අධ්‍යක්ෂණය. නිහාල්සිංහ මහතා ළඟ ඉද්දී වෙනත් කැමරා අධ්‍යක්ෂවරුන්ගේ සහය කැමරා ශිල්පියා විදිහටත් මම වැඩකළා.
සිනමා කැමරා අධ්‍යක්ෂණයේදී ඔබට නොයෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ගුරුහරුකම් ලැබුණා නේද...?
පැහැදිලිවම..ඒ දවස්වල ලංකාවේ හිටියේ දෙමළ අධ්යක්ෂවරු, දෙමළ කැමරා, ශිල්පීන් මස්තාන්, සිවගුරුනාදන් වගේ අය ලංකාවේ වැඩකළා. ඔවුන්ගේ කැමරා සහයක විදිහට වැඩකරන්න මට හොඳම අවස්ථාවක් ලැබුණා. චිත්‍රපට 75ක විතර සහය කැමරා ශිල්පියා ලෙස වැඩකළා. පළමු චිත්‍රපටය කැමරා අධ්‍යක්ෂණය කළාට පසුවත් මම සහය කැමරා ශිල්පි වෘත්තියෙන් ඉවත් වුණේ නැහැ. මට හොඳට දැනීමක්, පන්නරයක් ලබාගන්න පුළුවන් වුණේ විවිධ චිත්‍රපට කැමරා අධ්යක්ෂවරු යටතේ වැඩකළ නිසා. ඔවුන් එකිනෙකාගේ ක්‍රමය වෙනස්. ඒක හරියට විශ්වවිද්‍යාලයකට ගියා වගේ දැනුමක් ලැබුණා. සහය කැමරා ශිල්පි තනතුරේ ඉද්දී හොඳට කැමරා ශිල්පය හැදෑරුවා.
මොනවද ඒ ශිල්පක්රම....?
ඒකාලයේ කොච්චර චිත්‍රපට අධ්යක්ෂවරුන් හිටියත් කැමරා අධ්යක්ෂවරයා තමයි අධ්යක්ෂණයට මුල. අධ්යක්ෂවරු පවා කැමරා අධ්‍යක්ෂගේ කීම තමයි ඇහුවේ. මම මෙහිදී ඉගෙනගත්තා ෂොට් එකක් ගන්නේ කොහොමද?, කොහොමද කාචයක් පාවිච්චි කරන්නේ..?, කොහොමද කෝණයක් ගන්නේ? , අවශ්‍ය දර්ශනයට මොනවගේ ලෙන්ස් එකක්ද පාවිච්චි කළයුත්තේ...? ආදී හැමදේම ඉගෙනගත්තා. ඒ දැනීමෙන් මට සෑහෙන්න ඉල්ලුමක් හැදුණා කිව්වොත් හරි. ඒවගේම වේගවත්ම කැමරා ශිල්පියා බවටත් මම පත්වුණා.
ඩී.බී. නිහාල්සිංහයන්ට ලැබුණු අවස්ථාවක් ඔබට ලැබුණා නේද....?
ඔව්. ඒ සිද්ධිය මේකයි. ජී.ඩී.එල්. පෙරේරා මහතා ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයෙන් පසුව නිහාල්සිංහයන්ට කිව්වා දෙවැනි චිත්‍රපටයත් පටන්ගන්න ඕන කියලා. ඔහු කාර්යබහුලයි කියා නිහාල්සිංහ මහතා පැවැසුවා. ඒ හේතුවෙන් ජී ඩී.එල්. පෙරේරා මහතා නිහාල්සිංහ මහතාට කිව්වා “එහෙනම් මම කේ.ඩී. මල්ලිව අරන් කරන්නම්” කියලා. එහෙමයි මට ඒ අවස්ථාව ලැබුණේ. කලාපෙළ හවුලේ පාඨමාලාවේදී ඔවුන්ට මම කැමරා ගැනත් කියාදුන්නා. ඒකෙන් මම කවුද කියලා ජී ඩී.එල්. දැනගත්තා. ඔහු මට ගෙදරටම ඇවිත් ආරාධනා කළා.
ප්‍රවීණයෝ යටතේ හොඳ ගමනක් යන්න ඔබට අඩිතාලම වැටුණා. ඒවගේම සිනමාස්කෝප් චිත්‍රපටවලටත් ඔබ සම්බන්ධ වුණා...?
ඔව්. ඩොනල්ඩ් කරුණාරත්නයි මමයි එකට ආවේ ඒ යුගයේ. ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන් ළඟට ගියා. මම නිහාල්සිංහයන් ළඟට ගියා. පතීගේ “එයා දැන් ලොකු ළමයෙක්” කැමරාකරණය කළේ මමයි. ඒක සිනමාස්කෝප්නේ. සිනමාස්කෝප් චිත්‍රපට කැමරාකරණය ලංකාවේ කරලා තිබ්බේ නිහාල්සිංහ මහතායි මමයි විතරයි. පතිරාජට සිනමාස්කෝප් කරන්න ඕනවුණාට ඒ තාක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න දැනගෙන හිටියේ නැහැ. ඒකෙන් මට චාන්ස් එක ආවා පතිරාජ එක්ක වැඩකරන්න. ‘වැලිකතරේ’ සහය කැමරා ශිල්පියේ විදිහට වැඩකරලා මට දැන් හොඳටම පුරුදුයි. ‘වැලිකතර’ත් සිනමාස්කෝප්නේ. ඊටපස්සේ එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘සිකුරුලියා’ සිනමාස්කෝප් චිත්‍රපටයත් කළා.
ටෙලිසිනේ ආයතනයට ඔබ යොමුවූ අයුරුත් එහි වාර්තාමය වැඩසටහන්වලට දායක වූ අයුරුත් සිහිකළොත්...?
නිහාල්සිංහ මහතා අවුරුදු 10කට සිතන කෙනෙක්. එහෙම හිතලා තමයි ඔහු වැඩකරන්නේ. ඔහු ඉක්මනින්ම ටෙලිසිනේ බඩු ගෙන්වගත්තා. ඔහු යටතේ අවුරුදු 15ක් විතර ඉද්දී මට හිතුණා දැන් ඊඍ පැත්තට යන්න ඕන කියලා. නිහාල්සිංහ මහතා ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යය කරද්දී මම ගියා සැලසිනේ එකට. එහිදී ප්‍රධාන කැමරා ශිල්පියා වුණේ මමයි. එතැන මම අවුරුදු 09ක් හිටියා. ඒ ඉද්දී ‘ලොකු තාත්තා (1983), මල් වරුසා’ (1986) චිත්‍රපට දෙකේ කැමරාකරණය සහ අධ්‍යක්ෂණය කළේ මම. මේ චිත්‍රපට දෙකම දින 100 දිව්වා. සැලසිනේ ආයතනය කළ සියලුම වාර්තාමය වැඩසටහන් කළේත් මම. ‘ගිරාඳුරුකෝට්ටේ, මහවැලි ජලාශය, කොත්මලා" වැනි වාර්තාමය වැඩසටහන්වල ප්‍රධාන කැමරා ශිල්පියා මම. එසේ වාර්තා වැඩසටහන් 50කට වඩා කළා. එතැනින් ගිහින් ආයේ චිත්‍රපට කළේ ප්‍රධාන කැමරා අධ්යක්ෂවරයා ලෙසයි.
රූපවාහිනියට දායක වූ ආකාරය පැහැදිලි කළොත්...?
සැලසිනේ ආයතනයේ ඉද්දී කළ වාර්තාමය වැඩසටහන් සියල්ල රූපවාහිනියේ විකාශනය වුණා. ටෙලිනාට්‍යත් 10ක් 12වගේ මම කැමරා අධ්‍යක්ෂණය කළා. නිශාන්තද අල්විස්ගේ ටෙලිනාට්‍ය 03,04ක් කළා. පරාක්‍රම නිරිඇල්ල එක්ක 90 දශකයේ මුල්කාලයේ ‘සඳගිරි පව්ව’ කියලා හොඳම ටෙලිනාට්‍යයක් කළා. ඒක හොඳ ගණනකට එක කොටසක් විකුණුණා. රවින්ද්‍ර රන්දෙණිය, යශෝධා විමලධර්ම, අශෝක පීරිස් වගේ අග්‍රගණ්‍ය නළුනිළියන් පිරිසක් එහි රඟපෑවා. සැලසිනේ ආයතනයේ කළා ‘ජයග්‍රහණය’ නමින් ටෙලිනාට්‍යයක්. ඒක මෛත්‍රී රත්නායක අධ්‍යක්ෂණය කළේ. එහිත් ප්‍රධාන කැමරා ශිල්පියා වුණේ මම. ඒක රූපවාහිනියේ මුල්ම කාලයේ විකාශය වූ ටෙලිනාට්‍යයක්.
චිත්‍රපටයක කැමරා අධ්‍යක්ෂණය කියන ටයිටල් එක නාමාවලියේදී හරිගැස්සුවේ ඔබ කියලා මම අසා තිබෙනවා...?
ලංකාවේ කැමරා අධ්යක්ෂවරයා කියන කෙනාව ගොඩදෙනෙක් හඳුනාගත්තේ නැහැ. ඉස්සර කැමරාව ගෆූර්, කැමරාව සුමිත්ත අමරසිංහ, කැමරාව ඩී.බී. නිහාල්සිංහ, කැමරාව කේ.ඩී. දයානන්ද වගේ ලේබල් ඇලවිලා තිබ්බේ. ඒ විදිහටම චිත්‍රපට නාමාවලියේත් සඳහන් වුණා. මම ඒක නිවැරදි කළා. මම කිව්වේ කැමරාව එරිෆෙක්ස්, මගේ නම නෙවෙයි, මගේ නම කේ.ඩී. දයානන්ද. කැමරා ශිල්පියා හෝ කැමරාව මෙහෙයවීම කේ.ඩී. දයානන්ද විය යුතුයි කියලා. මම ඒක හරිවිදිහට පෙන්වා දුන්නා. කැමරාව ගෆූර් කියන්න බැහැ. කැමරාව එරිෆෙක්ස්. කැමරා ශිල්පියා ගෆූර් විය යුතුයි. එසේ චිත්‍රපට නාමාවලියේත් තිබිය යුතුයි කියා මම පෙන්නුවා. විදෙස් අධ්යක්ෂවරු සහ මෙරට ප්‍රවීණ අධ්යක්ෂවරු එක්ක වැඩකරද්දී මම දැනගත්තා කැමරා ශිල්පියා හරි උතුම් වස්තුවක් කියලා.
කැමරා අධ්‍යක්ෂණය, කැමරා ශිල්පියා දෙන්නෙක්ද....?
පැහැදිලිවම ඔව්. කැමරා අධ්යක්ෂවරයෙක් වෙන්න නම් එයාට හොඳ දැනුමක් තියෙන්න ඕන. ලෙන්සස් ගැන දැනගන්න ඕන, කැමරා ෂොට්ස්, කාච ගැන දැනගන්න ඕන, ආලෝකය ගැන දැනගන්න ඕන. අද ආලෝකකරණය යටතේ වෙනත් නමක් යොදනවා. එහෙමනම් ඔහු කැමරා අධ්යක්ෂවරයෙක් වෙන්නේ නැහැ. ඔහු කැමරා ශිල්පියෙක් විතරයි. කැමරා අධ්යක්ෂ නම් ආලෝකකරණය වගේම කැමරාකරණයේ සියලු අංශ ගැන ඔහුට දැනුමක් තියෙන්න ඕන. චිත්‍රපට අධ්‍යක්ෂට කාර්මික දැනුම නොමැතිවීමෙන් සිනමාව කඩාවැටුණා. සමහර අධ්‍යක්ෂවරුන්ගේ දුර්වලතා තියෙද්දී කැමරා අධ්යක්ෂවරයා නිසා ගොඩගිය අවස්ථා එමටයි.
ඩිජිටල් සිනමාවට මුලපිරුවෙත් ඔබ නේද...?
ලංකාවේ මුලින්ම රූපවාහිනී කැමරාවෙන් චිත්‍රපටයක් කළේත් මම. ඒ උදයකාන්ත වර්ණසූරියගේ ‘බහුභූතයෝ’ චිත්‍රපටය. බීටා කෑම් එකෙන් කළේ. ඒකේ ටේප් එකක් විතරයි තිබ්බේ. නෙගටිව් නෙවෙයි. ඒක බලලා ලංකාවේ අධ්යක්ෂවරු කිව්වා මේ තාක්ෂණය හොඳයි, ලාභයි කියලා. ඊටපස්සේ දිගටම ඒ තාක්ෂණය පටන්ගත්තා. ඒ තාක්ෂණයෙන් කළාට ඔරිජිනල්ම තාක්ෂණය ඒක නෙවෙයි. ඩිජිටල් කැමරාව ආවා ඊටපස්සේ. ඒකෙන් තමයි ‘ගින්දරී’ කළේ. ‘ගින්දරී, ගෞතම සිද්ධාර්ථ, සිරි දළදාගමනය’ වගේ චිත්‍රපට කළේ කළා ඒකෙන්. ‘රෙඩ්’ කියන ඩිජිටල් කැමරාවත් මීටකලින් ලංකාවට ආවා. ඒකෙන් මම සිරිතුංග පෙරේරාගේ ‘කන්‍යාවි’ චිත්‍රපටය කළා.
ඔබ සිනමාවේ සම්මානනීය වූ අවස්ථා සිහිකළොත්...?
‘යස ඉසුරු’ චිත්‍රපටයට සම්මාන හිමිවුණා. ඒ සම්මානය දුන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ කැමරා අධ්යක්ෂවරයෙක් වශයෙන්. ‘චූඩා මාණික්‍ය’ චිත්‍රපටයට හෑගොඩ මහතාගේ ඡායාරූප ශිල්පී සංගමයෙන් සම්මානයක් ලැබුණා. ‘යස ඉසුරු’ සඳහා 1982 පැවැති 11 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළේදී හොඳම කැමරා ශිල්පියා වුණා. 1896දී ‘පූජා’ චිත්‍රපටය වෙනුවෙන් 15 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම කැමරා ශිල්පියා වුණා. ‘හිමගිර’ චිත්‍රපටය වෙනුවෙන් 1990 පැවැති 19 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළේදී හොඳම කැමරා ශිල්පියා වුණා. 1994 පැවැති 10 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී ‘ගුරුගෙදර’ චිත්‍රපටය වෙනුවෙන් දක්ෂතම කැමරා ශිල්පී සම්මානය හිමිවුණා. ඒවගේම ‘ගුරුගෙදර’ට 1994 පැවැති 06 වැනි ස්වර්ණසංඛ සිනමා සම්මාන උලෙළේදී හොඳ කැමරා අධ්‍යක්ෂණය සම්මානය හිමිවුණා. ‘රාජ්‍ය සේවය පිණිසයි’ චිත්‍රපටයට 2000 පැවැති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී දක්ෂතම කැමරා ශිල්පි සම්මානය හිමිවුණා.
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරුන් සමඟ ඔබ චිත්‍රපට රැසකටම සම්බන්ධ වුණා. ඒ මතකය යළි සිහිකළොත්....?
උදයකාන්ත වර්ණසූරිය එක්ක චිත්‍රපට 11ක් කළා. ‘බහුභූතයෝ, රන්දිය දහර, රන් කෙවිට, දියයට ගින්දර, ගින්දරී 1,2,3’’ වගේ ඒවා කළා. විජය ධර්මශ්‍රීගේ ‘ගුරු ගෙදර, චූඩා මාණික්‍ය, හිමගිර’ කළා. ඒවා ඉතා ජනප්‍රිය වුණු චිත්‍රපට.
ක්ෂේත්රයට එන නවකයන් ගැන ඔබේ අදහස....?
නවක අධ්‍යක්ෂවරුන්ට මම අත දෙනවා. අපේ කාලයේ අපට රජ සිනමාවක් තිබ්බා..දැන් අනාගත පරපුරට සිනමාවක් නැතිවෙලා. ප්‍රධානපෙළේ රංගන ශිල්පීන් මේ ගැන කතා කරන්නේවත් නැහැ. අපට තියෙන්නේ නවක පිරිස දිරිගන්වන්න. දැනටමත් මම කෙටි චිත්‍රපට 07,08කට උදව් උපකාර කරලා තියෙනවා
පවුලේ විස්තර කිව්වොත්....?
මගේ නෝනා ඇය ජයන්ති ප්‍රනාන්දු. දුවයි පුතයි අපට ඉන්නේ. දුව දුර්ගා රත්නමාලි. ඇයට බබෙක් ඉන්නවා. ඒ නිසා දැන් අපට මුනුපුරෙකුත් ඉන්නවා. පුතා පණ්ඩුක දයාන්. ඔහු ඉන්නේ නවසිලන්තයේ..පුතා චිත්‍රපට කිහිපයකම රඟපාලත් තියෙනවා...
මනෝජ් රුක්මල් කුමාරසිංහ සරසවිය පුවත්පතට කළ ලිපියකි.