රියැලිටි වෙදිකාව ජයගැනීමේ ගමන් මගේදී අතීත ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ තරුණ කලාකරුවෙකි උදාර කෞෂල්‍ය. එසේම තමන් කරන නිර්මාණද එවැනි අතීත ගුණාංග සහිතව ජනතාව අතරට ගෙන ඒමට දරන උත්සාහය අත් නොහැර කටයුතු කරන කලාකරුවෙකි. නව නිර්මාණ රසිකයා අතරට යන්නේද නොයන්නේද පිළිබඳව උදාරගෙන් විමසීමේදි ඔහු දැක්වූ අදහසකි මේ.
"මට දැනෙන හැටියට මේ වෙද්දි හැදිලා තියෙන රැල්ලත් එක්ක තමයි දිගුකාලීනව නෑසෙන සින්දු නිර්මාණය වෙන්නේ. අපිත් ඒ නිසාම එවැනි ගීත හදන්න පෙළඹෙනවා. නමුත්, මේවා හරසුන් ගීත කියලා එයින් කියවෙන්නේ නෑ. ඉස්සර සින්දු වගේ රසයක් තියෙන සින්දුත් වර්තමානයේ ඇහෙනවා. නමුත්, ඒ ගීත වගේ මේ ගීත මතකයේ රැඳෙන්නේ නෑ. ඒක ඇත්තක්. ඒවට ආස වෙන්න හේතු විදිහට මම දකින්නේ ඒ කාලේ සෝෂල් මීඩියා කියලා එකක් තිබුණේ නෑ. ගීත යන්නේ රේඩියෝ එකේ තමයි වැඩියෙන්ම. ඒ ගීත එකවර අල්ලගන්න බැහැ. එකවර ලියාගන්න බැහැ. මොකද ගුවන්විදුලි නාලිකාව ප්‍රචාරය කරද්දි විතරයි අහන්න පුළුවන්. දැන් අපිට එක් සින්දුවක් ඇහුනම ආයෙත් ඒක එවෙලෙම හොයාගෙන අහන්න පුළුවන්. එතකොට වරින් වර ඇසීමක් වෙන්නේ නැහැ. ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා වැඩියි. ඒ නිසාම ගීත ප්‍රචාරණය වෙන්නෙත් ගණන් කළ නොහැකි විදිහට. අලුතින් එන ගීත නිර්මාණ වැඩි වෙනකොට ගීත එකක්ම ප්‍රචාරය කරන්න බැහැ. ඉතින්, හැමතැනම ඇහෙනකොටත් ගීතවල වටිනාකම දැනෙන්නේ නෑ. ඒ කාලේ සින්දු අහන්න ඕන වුණාම කැසට්පට, සීඩීපට හොයාගෙන මිනිස්සු අහනවා. සින්දු 16ක් තමයි උපරිම අහන්න පුළුවන්. අද සින්දු 07,08ක් එකවර වැටෙනවා එකක් හොයනකොට. මම උත්සාහ කරන්නෙත් හැමදාටම පවතින සින්දුවක් හදාගන්න. ඒ කාලේ ට්‍රෙන්ඩින් ලිස්ට් තිබුණෙත් නැහැ. ඕනම කෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ තමන් නැති කාලෙක තමන්ගේ සින්දුවක් ඇහෙන එක. අලුතෙන් ක්ෂේත්රයට ආ කෙනෙක් හැටියට මමත් ඒකට උත්සාහ කරනවා. නමුත්, ඒ සඳහා සෑහෙන්න ප්‍රශ්න අපට තිබෙනවා. බාහිරව දකින කෙනෙකුට කියන්න ලේසි දෙයක් වුණාට මේක ඇතුළෙ ඉන්න කෙනාට තමයි අසීරුතාව තියෙන්නේ. දැන් තියෙන රැල්ලට අනුගත නොවුණොත් මිනිස්සු සින්දු අහන්නේ නෑ. පැරණි අයගේ අලුත් ගීත වුණත් ඇහෙන්නේ නැත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. පැරණි ඒවා ඒ කාලේ තිබ්බ තත්ත්වය අනුව ජනප්‍රිය වුණා. යළි යළිත් කියලා ඒවා අදටත් මිනිස්සු ආසාවෙන් අහනවා. නමුත්, අද සින්දුවක් කරනවා කියන්නෙම ගේමක්. ඒ කාලේ තිබුණ රහට ගීත හැදුවට අද ට්‍රෙන්ඩින් තමයි බලන්නේ. ප්‍රොමෝෂන් වැඩියි. මියුසික් වීඩියෝ ඕනෙමයි. ටික් ටොක්වලින් වගේ මාධ්‍යයෙනුත් මිනිසුන් දිනාගන්න වෙනවා. මේක ලියන කෙනාගේ සහාය අනුවත් පවතින කාලය වැදගත්. මේ ගොඩක් කාරණා නිසා ටික කාලයක් තමයි හදන සින්දුවක් ඇහෙන්නේ.
නිහාල් නෙල්සන් මහතා ඉන්න කාලේ මට කිව්ව දෙයක් කියන්නම්. ඒ දැන් තියෙන සින්දුවක්ම කරන්න එපා, සින්දු 10ක් කරනවා 10ම වෙනස් විදිහට කරන්න බලන්න කියන එකයි. ඇන්ටන් ජෝන්ස් මහතාගේ සින්දු මිනිස්සු ආසාවෙන් අසන්නෙනේ මහතා සමාජයේ පවතින සිද්ධි, රඳා පැවති තත්ත්වය ගැන ගීත නිර්මාණය කළා වෙනස් විදිහට. නමුත්, අද කාලේ එකම වචන ටිකක් එක්ක යන සින්දු නිර්මාණය කිරීම තමයි ට්‍රෙන්ඩ් එක. ඒවත් මිනිසුන් ආසාවෙන් අසනවා. තමන් තමන්ගේ රසයට අනුව ඒ කාලේ ගීත නිර්මාණය කිරීමත් එම්.එස්. ප්‍රනාන්දු මහතා වගේ අය කළා. ඒකත් මේ ජනප්‍රියකමට හේතුවක්. එතුමගේ ගීත ජනප්‍රිය වූ ඒවා හෙව්වොත් ඔහුම ලියා, තනු යොදලා, ඔහුම ගැයූ ගීත තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒකත් බොහෝ අයට නොපිහිටන ලොකු හැකියාවක් තමයි."
ශිවන්ති ප්‍රනාන්දු - අනිද්දා