මා ළඟටම තව ළංවෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මාසීතාවෝ
සැතපෙනනින්දේ
නූපුරඕප්රියේ
පාසුළැඟිල්ලේ
අදනම්අවදිනොවේ...//
ඩබ්ලිව්.ඩී. ආරියසිංහ කී සැනින් ඉතාම රසාලිප්ත ගී වැලක් අපේ මතකයට නැගෙන්නේ නිරායාසයෙන්මයි. එහෙත් ඒ ගැඹුරු භාවාත්මක පිරිමි හඬ එක්වරම අපට නෑසී ගියේ මීට වසර හතරකටත් එහා දිනයකදීය. එදා පටන් අද වනතුරුත් ඔහු පිළිබඳ අකුරක්වත් අපට කියවන්නට නොලැබිණ. ඒ නිසාම දිගු නිහැඩියාව බිඳ දමන්නට අපි ඔහු වෙත ගියෙමු.
අපි මුලින්ම දැනගනිමු ඔබේ දිගු නිහැඩියාවට හේතුව ගැන?
මට එකපාරටම ස්ට්‍රෝක් එකක් ආවා. මට ගොඩක් අමාරු වුණා. වෛද්‍යවරු තමයි මාව බේරගත්තේ. ඒත් ඇවිදින්න, කතා කරන්න පවා අපහසු වුණා. කොළඹ මහ රෝහලෙනුත්, ජයවර්ධනපුරෙත් තමයි ප්‍රතිකාර ලබාගත්තේ. තාමත් ප්‍රතිකාර කරනවා. දැන් අවුරුදු පහකට කිට්ටුයි. මේ අවුරුදු හතර පහටත් වැඩි කාලය තුළ මගේ අසනීපය නිසා මා සන්තව තිබුණු සියලු මුදල් වියදම් වුණා. මේ වෙනකොට ආර්ථික අතිනුත් අසරණ වෙලා ඉන්නේ.
එතකොට ඔබේ රැකියාවට මොකද වුණේ?
මම කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ උපාධිධාරී සංගීත ගුරුවරයකු විදියට වැඩ කළේ. දේශපාලන හේතූන් මත රැකියාව නැතිවෙලා තිබුණේ මම අසනීප වෙනකොට.
වෘත්තීය කලාකරුවෙකු මෙවැනි තත්ත්වයකට පත්වූ අවස්ථාවක රටේ කලා කටයුතු සම්බන්ධ ආයතන ඔවුන්ට පිහිට වෙන්නේ නැද්ද?
අපෝ නෑ. එහෙම නිශ්චිත ක්‍රියාමාර්ගයක් නැහැ. පෞද්ගලික මට්ටමින් තමයි හැම දෙයක්ම වෙන්නේ. හිතවත් දේශපාලනඥයෝ හිටියොත් ලාභ ලැබෙයි. මම නම් ආයාචනා ලිපි ලිව්වෙත් නෑ. මට පුළුවන් හැටියට කරනවා. අපේ හිතට වදදෙන ප්‍රශ්න තමයි අපේ වටිනාකම දන්න අය මේ රටේ ඉන්නවද කියන එක.
ඔබ පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ ගීත ගයා නිකුත් කළ 'ප්‍රේම සැඳෑවෝ' ගීතාවලියත් එක්ක විශාල ආන්දෝලනයක් ඇතිවුණා. එදා ඇයි මෙවැනි දෙයක් කෙරුවේ?
ඉතා දිගු කතාවක් කෙටියෙන් කියන්නම්. මෙහෙමයි, කේමදාස මාස්ටර් සංගීතවත් කරපු, අමරදේව ශූරීන් ගැයූ ගීත සංගීතවේදී සමන්ත පෙරේරා සංගීතය මුසු කරලා යළි කරන්න කියලා මියුසික් ට්‍රැක් එක රෙකෝඩ් කෙරුවා. මේක ආරංචි වුණාම සංගීතවේදී ස්ටැන්ලි පීරිස්, ටොරානා එක හරහා අමරදේව එක්ක ඇග්රිමන්ට් ගැහුවේ නීති තුනකට. ඉතින් සමන්ත පෙරේරා මියුසික් ට්‍රැක් කරලා අමරදේව සර්ට කතා කළා. ඒකට ඇග්රිමන්ට් බෑ කියලා. ඒ අතර කේමදාස මාස්ටර්ට ඒකට කේන්ති ගිහිල්ලා. ඒ ගීත ටික මා ලවා ගායනා කෙරෙව්වේ. ඕක තමයි කෙටියෙන්ම සිද්ධිය.
අමරදේව ශූරීන්ට වගේම ඔබටත් ඩබ්ලිව්.ඩී. අකුර මුලට තිබිම 'අ' යන්නෙන්ම නම පටන් ගැනීමත් දෛවෝපගතයි නේද?
ඇත්තටම ඔව්. සී.ඩී. කවරෙ බැලුවම තමයි මටත් ඒක වැටහුණේ.
අද වන විට අමරදේව ශූරීන් අප අතර නෑ. ඒ සමාන හඩින් ගී ගැයූ ඔබ නිහඬයි. හිතෙන්නේ නැද්ද යළිත් එවැන්නක් කරන්න?
සියයට පන්සීයක් කැමතියි. හැබැයි අමරදේව සර්ගේ ගීත නොවෙයි. නිවැරදි, හරබර, අරුත්බර වචන යෙදුණ පද මාලා සහිතව එම 'ආරේ' ගීත ගයන්න කැමතියි. ඒ වගේ වැඩකට අතගහන්න කැමති පිරිසක් ඉන්නව නම් මම සූදානම්.
දැන් ඔබ යළිත් නිහැඩියාව බිඳ දමන්න සූදානම්. ඒ ගැන කතා කරමු.
එළිමහන් සංදර්ශනවලට යන්න බෑ. සිටගෙන ගයන්න අමාරුයි. ශාලා ඇතුළේ තියෙන ඒවට යනවා. වාඩිවෙලා තමයි කරන්නේ. ගොඩක් දුර යන්නත්, නිදි මරන්නත් ටිකක් අමාරුයි. විදේශ සංචාරයක් ලැබුණොත් යනවා. ඒ වගේම පටිගත කිරීම්වලට යන්න පුළුවන්. චිත්‍රපට, ටෙලි නාට්‍යවලට ගයන්න කැමතියි. ඒවා ස්ටූඩියෝවලනේ කෙරෙන්නේ. ගොඩක් මහන්සි වෙන්න ටිකක් අමාරුයි. මම ඉල්ලා සිටිනවා මාව මතක් වුණොත් මට ආරාධනා කරන්න කියලා.
භාතිය මදනායක- ලක්බිම