දශක හතරක් පුරා කලා ක්ෂේත්රයේ රැඳී සිටින ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනගේ සුභාවිත ගී ඇතුළත් ‘ඔබේ අතගෙන පෙර සැඳෑවක‘ ප්‍රේමණීය ගී ප්‍රසංගය ලබන 28 වැනි සිකුරාදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.
නිර්මලා රණතුංග, දමයන්ති ජයසූරිය, සෙව්වන්දි රණතුංග, අනුරාධා නන්දසිරි, සන්ධ්‍යා බුලත්සිංහල යන ප්‍රවීණ ගායන ශිල්පිනියන් යුග ගායනයෙන් දායකවන මෙම ප්‍රසංගය විශාරද මනෝජ් පීරිස්ගේ සංගීතයෙන් රසවත් වන අතර වසන්ත රෝහණ නිවේදනයෙන් සහාය වෙයි.
1960 දශකයේ චිත්‍ර ශිල්පියකු ලෙස දස්කම් ප්‍රකට කළ රෝහණ කොළඹ ආනන්ද මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් කාලයේ ප්‍රේමවංශ හපුවලාන සහ අනිල් මිහිරිපැන්න ගුරුවරුන් යටතේ සංගීතය හදාරා කරුණාරත්න අබේසේකර මහතාගේ ‘ළමා පිටියෙන්‘ ගායනයට හා නාට්‍ය ශිල්පයට අත්පොත් තැබීය.
1970 වසරේ දී ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කළ රෝහණ 1975 සිට සරල ගී ශිල්පියකු , නාට්‍ය ශිල්පියකු මෙන්ම වැඩ සටහන් සම්පාදක වරයකු ලෙස කටයුතු කළේය. එසේම රෝහණ ගුවන් විදුලියේ Aශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙසද සමත්ව ඇත. 1995/ 96 දී ඕ.සී.අයි.සී. ජාත්‍යන්තර උණ්ඩා අභිනන්දන සම්මාන උලෙළේදී ‘ස්වර්ණ‘ සම්මානය හිමිකරගත් රෝහණ සත්වෙනි දවස, නිල්ල සොයා, කවුද හරි, යන චිත්‍රපටවලට යුග ගායනයෙන් දායකවී ඇත.
ඔබේ අතගෙන, දේව මන්දීරේ, සීත කඳුරැල්ලේ, මටත් හොරෙන්, ලියූ පෙම්වදන්, ලොවේ කොයි කාටත් හොරෙන්, ඔබේම ඉන්දු, හමුවේවා, ඈ සසැලී සහ වරදින්නේ නැත මට හැමි බත් පත වැනි ගීත අදටත් ජනප්‍රියය. කැසට් යුගය උදා කරමින් 1979 වසරේ මෙරට සුභාවිත ගීතය උදෙසා ‘සින්ග් ලංකා‘ ආයතනය නිෂ්පාදනය කළ කැසට්පට සඳහා ශිල්පීන් 10 දෙනකු තෝරාගත් අතර රෝහණ සිරිවර්ධන ගැයූ මටත් හොරෙන් කැසට් පටය ඊට ඇතුළත් විය. ලලිත කලාව සහ පුණ්‍ය කටයුතු සංවර්ධනය තේමා කොටගෙන මෙම ප්‍රසංගය සංවිධානය කරනුයේ සඳල කලා සංසදයයි.
සිළුමිණ