වසන්ත ඔබේසේකර නම් වූ සිනමාවේ දැවන්තයා සමු ගනී. වම් ඉවුරේ සිනමාකරුවකු ලෙස ද හැඳින් වූ වසන්ත ගේ විශිෂ්ට සිනමා නිර්මාණ අතර, වල්මත් වූවෝ,පළඟැටියෝ,දඩයම,කැඩපතක ඡායා, ආගන්තුකයා,සහ තවත් බොහෝ නිර්මාණ අපගේ මතකයට එයි.දේශීය සිනමාවේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් තෝරාගත් විශිෂ්ට සිනමා කෘති 10 අතරේ ඔහු ගේ දඩයම 8 වන ස්ථානයෙහි වේ.පළඟැටියෝ 7 වන ස්ථානයෙහිය. ඔහුගේ සිනමා ප්‍රතිභාව පිළිබඳ අන් කුමන කතා අවශ්‍ය ද?ඔහුගේ සිනමාව පිළිබඳ කතා කිරීමට දඩයම චිත්‍රපටය පමණක් වූවත් සෑහේ යැයි මට සිතේ.
අපගෙන් සමුගන්නට දින කිහිපයකට හෝ පෙර ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ස්වර්ණ සිංහ ගෞරව සම්මානය ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී ඔහුට පිරි නැමීම ඔහුගේ නිර්මාණ දායකත්වයට පමා වී හෝ කළ මහඟු උපහාරයක් ලෙස දකිමි.
වසන්ත ඔබේසේකර සුහද මිතුරාණෙනි, යහපත් දේශයක ඉපදෙන්නට ප්‍රාර්ථනා කරමි.
ඔහුගේ 75 වන ජන්ම දිනයේ දී තරංගණී සිනමා ශාලාවේ දි 2013 වසරේ පැවැති වසත් සිරිත ට පසු ඔහු වෙනුවෙන් එ දවස සොඳුරුමය තීරුවට මවිසින් රචනා කළ තීරුව අද දවසේ යළි පළ කරන්නේ ඔහුට අපගේ භක්ති ප්‍රණාමය පුදනු වස්ය
සිංහල සිනමාවේ වසත් සිරිත
ගෙවුණු 2013 වසරේ උඳුවප් මාසයේ සීතල කෙමෙන් මැකී යද්දී එක්තරා දිනෙක ශ්‍රී ලාංකේය සිනමාවේ, යුග පුරුෂයෙකුගේ ජන්ම දිනය යෙදී තිබූ බව අපට දැනගන්නට ලැබෙන්නේ අප අත පත් වූ අපූරු ආරාධනා පතකිනි. මේ සිනමා වේදියාගේ හැත්තෑ පස්වන ජන්ම දින සැමරුම නිමිති කොට ගෙන අභිනන්දන උළෙලක්, සංවිධානය කොට ඇති බවත්, ඊට අදාළව කෙටි වැඩසටහනක් පෙළ ගස්වා ඇති බවත් සඳහන් ඇරයුම් පත මගින් අප කැඳවා තිබුණේ කොළඹ, බෞද්ධාලෝක මාවතේ් පිහිටි තරංගනී සිනමා ශාලාවට ය. සිනමාවේදියකුගේ උපන් දිනයක් සැමරීමේ උත්සවයකට සිනමා හලකට වඩා තවත් හොඳ ස්්ථානයක් තිබිය හැකි දැයි මට කල්පනා විය.
2013 දෙසැම්බර් 29 දා ජන්ම දිනය සමරන්නට වාසනාව ලද මේ මහා සිනමාකරුවා, අපගේ සිනමාවේ මහා සිනමාකරුවන් අතර සිටිනා තවත් එක් පෞරුෂයක් වූ වසන්ත ඔබේසේකරයන් ය. ඔහු ගේ ජන්ම දින උත්සවය මෙලෙස සමරන්නට සිංහල සිනමාවේ වසත් සිරිත නමින්, ඔහුගෙන් පසු පරම්පරාවේ විශිෂ්ටයෙකු වන අශෝක හඳගම ලවා කෙටි දේශනයක් පවත්වන්නට, සමරු සම්මාන ප්‍රදානයක් කිරීමට, වසත් සිරිත නම් වූ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කොට ප්‍රදර්ශනය කිරීමට ඔහුගේම චිත්‍රපට නාමාවලියේ කඩඉමක් සේ සැලකෙන දඩයම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට හා අවසන ඔහු සමඟ උපන් දිනය බෙදාහදා ගන්නට උළෙලක් සැලසුම් කළෝ කවරහු ද? මෙවන් කටයුත්තකට බර පැන දරන්නේ කවුරුන් ද? මා අත පත් වූ ආරාධනා පත්‍රයෙහි, ජාතික චිත්‍රපට සංස්ථාව, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතනයක නමක් ගමක් වේදැයි දෙවනි වරටත් කියවා බැලීමි. එහෙත් එවැන්නක සේයාවක් හෝ මේ ඇරයුම් පතෙහි හමු නොවිණ.
වසන්ත ඔබේසේකර යනු අපගේ සිනමාවේ දැවැන්තයෙකු බවට විවාදයක් නොවේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර යන දැවැන්ත සිනමා පුරුෂයන් ගේ නාම ත්‍රිත්වයෙන් පසු නාමාවලිය අතර තවත් බොහෝ විශිෂ්ටයන්ගේ නම් හමුවන බව සැබෑ ය. එහෙත් සිනමා වසන්තයේ සුපිෂ්පිතව, සුවඳ පතුරුවාලන, මේ පුෂ්පය මතකයට නැගුනේ කිනම් පුද්ගලයෙකුට ද, නැත්නම් පුද්ගලයන් සමූහයකට ද? සොයන්නාට සම්භවේ කියමන සනාථ කරමින්, වසත් සිරිතෙහි තිරය පිටුපස සිටින්නන් හඳුනා ගැනීමට හැකි වූ බැවින්, ඔවුන් කවුරුන් දැයි පළමුවෙන් හඳුන්වා නොදී වසත් සිරිත පිළිබඳ තවදුරටත් ලියන්නට මට සිත නොදෙන බව දැනේ.
මේ දැවැන්ත මිනිසා වෙනුවෙන්, දැවැන්ත කටයුත්තකට අත ගසා තිබුණේ සිරුරින් දැවැන්තයින් නොවන, එහෙත් තමන් නිරත වෘත්තීය හා කලා මාධ්‍ය ක්ෂේත්‍ර තුළ, දැවැන්ත ප්රතිරූප ගොඩනගා ගන්නට සමත්ව සිටින්නන් සිව් දෙනෙකි. මේ චතුර් පුද්ගල නාමාවලිය සැදෙන්නේ රවී, ප්‍රේම්, සමන් හා රෝහණ යන්නන් ගෙන්ය. චිත්‍රපට සංස්කරණයේ දැවැන්තයා, රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රචාරණ කලාවෙහි පොතපත මුද්‍රණයෙහි, ප්රකාශනයෙහි හා තවත් කලාංශ රැසක දැවැන්තයා ප්‍රේම් දිසානායක, සංගීත ක්ෂේත්රයෙහි ඉහළ අසුනක වැජඹෙන්නා රෝහණ වීරසිංහ හා ජනමාධ්‍යයෙහි, නිවේදනයේ හා සාහිත්‍ය කලාවන් රැසක ඉදිරියෙන්ම ගමන් ගන්නා සමන් අතාවුදහෙට්ටි නම් වූ චතුර් පුද්ගල කමිටුව විසින් වසත් සිරිත මෙරට සිනමා කලා රසික ජනහද හමුවට ගෙන එන්නට නිහඬව කටයුතු කළ බව දැන ගත්තෙමි.
චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහයන් තම සිනමා ශාලාව සපයාදීමෙන් ද වාර්තා චිත්‍රපට තිර පිටපත රචනා කොට නිර්මාණය කිරීමෙන් තවත් වසන්තයෙක් වූ වසන්ත කොටුවැල්ල සහෘදයා ද ඉහත කමිටුවට ශක්තියක් වූ බව ද කියැවිණ. අප ගේ සිනමාවේ ප්‍රාඥයා, දැවැන්තයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, අපගේ සංගීත ක්ෂේත්රයෙහි, ගායන කලාවෙහි දැවැන්තයා වන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආදීන් වෙනුවෙන්, ඔවුන් විසින් කරන ලද මෙහෙවර උදෙසා නොඅඩුව ගරු බුහුමන් පිදෙන මුත්, පසු පරම්පරාවන් හි දැවැන්තයන් සිහිපත් නොකෙරෙන, නිසි ඇගයුමට ලක් නොවන සමයක වසන්ත ඔබේසේකරයන් වෙනුවෙන් පැවැත්වුණු මේ කෙටි, චාම්, එහෙත් ගාම්භීර උළෙල සංවිධානය වෙනුවෙන් ඉහත කී චතුර් පුද්ගල සංසදය අපගේ කෘතවේදීත්වය ට ලක්විය යුතුම ය.
වසන්ත ඔබේසේකර නම් වූ පුවත්පත් කලාවේදියා සිනමාවට පිවිසෙන්නේ, මෙරට සිනමාව මතු නොව, අන් සියලු කලාවන්හි වසන්ත සමය සේ සැලකෙන හැත්තෑව දශකයේ දී ය. වෙස්ගත්තෝ චිත්‍රපටය සමඟ ඇරඹෙන වසන්තගේ චිත්‍රපට චාරිකාවෙහි කඩඉම් චිත්‍රපට රැසකි. වල්මත්වූවෝ, පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා, දොරකඩ මාරාව, සලෙළු වරම, හා ආගන්තුකයා වැනි සිනමා කාර්යයන් මගේ මතකයට නැගේ.
සමාජ ජීවිතය විවරණය කිරීම, මිනිස් ජීවිත කෙරෙහි පවත්නා සමාජයෙහි දේශපාලනය කරනු ලබන බලපෑම ආදිය තම මාධ්‍යය තුළින් කතා බහ කරන්නට රුචියක් දක්වන වසන්තගේ චිත්‍රපට තිරකතා රැසකට පාදක වී ඇත්තේ සත්‍ය සිදුවීම් ය. ජනමාධ්‍ය වාර්තා වූ එවන් බොහෝ නිර්මාණ ප්‍රේක්ෂක, රසික පිරිස් විසින් වැලඳගනු ලබන්නේ, ඊට මුල් වූ මූලික සත්‍ය ප්රවෘත්තින්ගෙන් ඔබ්බට ගිය ජීවිත විවරණයක්, සමාජ, දේශපාලනික පසුබිම් හා මිනිස් ජීවිත එකිනෙකට ගැටෙන ආකාරය පිළිබඳ සියුම් නිරීක්ෂණයක්, සංකීර්ණතා හඳුනාගැනීමක් නිර්මාණාත්මකව ඉදිරිපත් කෙරෙන බැවිනි. දඩයම, සලෙළු වරම, ආගන්තුකයා හා දොරකඩ මාරාව වැනි වසත් සිරිතෙහි හමුවන සිනමා කාර්යයන් ඊට නිදසුන් කිහිපයකි.
චිත්‍රපටය යනු හුදු විනෝදාස්වාදන මාර්ගයක්ය යන්න නොඇදහූ නිර්භීත සිනමාකරුවකුගේ හැඩ රුව ගුණ රුව, වසන්ත ඔබේසේකර චිත්‍රපට නාමාවලිය පිරික්සීමෙන්, ඒවා නැරඹීමෙන් අපට පසක් කොට ගත හැකිය. වසත් සිරිත පෙළ ගැස් වූ විසිනව වන ඉරිදා, යළිත් ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයක් වූ දඩයම නැරඹීමෙන් පසු හැඟී ගියේ චිත්‍රපටය යනු අධ්යක්ෂවරයාගේ ම ඍජු ප්රකාශනයක් නොවේ ද කියායි. සිනමා කැමරාකරණය, රංගනය, සංස්කරණය ප්රමුඛ අනෙකුත් සියල්ල සඳහා විශාල පිරිසක් සම්මාදම් වූව ද අවසන් නිර්මාණයෙහි අධිපතිත්වය සතු වන්නේ අධ්යක්ෂවරයාටම නොවේ ද කියා මැනවින් කියා දෙන්නෙක් ලෙස වසන්ත හැඳින්වීම නිවරද යයි මට හැඟිණ. දඩයමෙහි රන්මලී ගේ භූමිකාව නිර්මාණයෙහි ලා ස්වර්ණා මල්ලවාරච්චි පළ කරන රංගන ප්‍රතිභාව අති විශිෂ්ට ය. එහෙත් ඈ සතු වූ රංගන ශක්තිය තමන්ට අවශ්‍ය පරිදි භාවිත කිරීමට හැකිවන්නේ අධ්යක්ෂණ කාර්යය කුමක් දැයි හොඳින් දන්නා නිර්මාණකරුවෙකුට පමණි.
වසන්ත දඩයම චිත්‍රපටයේ දී එය මැනවින් ඉටු කොට පෙන්වයි. ස්වර්ණාගේ රඟපෑම් වර්තමාන නිළි පරපුර විසින් දඩයම වැනි චිත්‍රපටයක් නැවත නැවත නරඹා රූප රාමුවෙන් රාමුවට සියුම් ලෙස නිරීක්ෂණය කොට උගත ගත යුතු රංගනයක් බව නිසැකවම පැවසිය හැකි ය. චිත්‍රපට පුරා, වරින් වර, තිර නාටකයෙන් මතුකොට දෙනු ලැබූ එකිනෙකට වෙනස් වන්නා වු ජීවන අරගලය හමුවේ ස්වර්ණා මල්ලවාරච්චි නම් වූ රංගන ශිල්පිණිය ඇගේ මුහුණේ ඉරියව් මගින්, ඇයට හිමි සංවාද ප්‍රකාශ කරන විලාසයෙන්, ගමනින් බිමනින්, සැණෙකින් වෙනස් වෙමින්, ඇගේ චරිතයෙහි වූ සංකීර්ණතා මනාව හඳුනාගෙන නිරූපණය කරන අපූර්ව විලාසය රංගනය නම් මේ යයි කියාදෙන පාඩමක් වැන්න.
ස්වර්ණා, රවීන්ද්‍ර වැනි ප්‍රධාන භූමිකා නිරූපණය කළා වූ ශිල්පීන් ගේ රංගන කුසලතා සූරා ගන්නා වසන්ත, ඉතා ශූර ලෙස චිත්‍රපටයේ අප්‍රධාන චරිත රඟපාන ජේ. එච්. ජයවර්ධන, රන්මලී ගුණසේකර, දයා අල්විස්, සොමී රත්නායක වැන්නන් ද අධ්‍යක්ෂණයෙන් මෙහෙයවයි. ඉතාම මෑතක දී දඩයම නරඹන්නට ලැබුණු බැවින්, ඒ පිළිබඳ කතාබහ කළ ද, වසන්තගේ චිත්‍රපට කලාවෙහි ප්‍රදීපස්ථම්භ වැනි පළඟැටියෝ, දොරකඩ මාරාව හෝ ආගන්තුකයා වැනි චිත්‍රපට පිළිබඳ දීර්ඝ කතිකාවකට එළැඹිය යුත්තේ චිත්‍රපටයේ කතා ප්‍රවෘත්තිය අරබයා ඔහු ගේ දෘෂ්ටිය කුමක් ද යන්න විමසමින් හා සිනමා මාධ්‍යය නිවැරදිව භාවිත කිරීමේ ඔහු තුළ වන නිසඟ හැකියාව, අවබෝධය කෙතරම් පුළුල් ද යන්න සිත්හි රඳවාගෙන ය. ඔහුගේ සිනමා කෘති සියල්ල තුළම අපට හමුවන චරිත හෝ සිද්ධි, විවරණයට ළංවන ඹ්ෂතාභ්යන්තර ගැටලු මායාවෙන් ඈත් වූ යථාර්ථයට ළං වූ ප්‍රේක්ෂක හද සසල කරන්නා වූ නිර්මාණ බව නොබියව සඳහන් කළ හැකිය.
1947 – 1997 අතර පනස් වසක් තුළ සිංහල සිනමාවෙහි විශිෂ්ට නිර්මාණ දහය අතුරෙහි වසන්ත ගේ දඩයම හා පළඟැටියෝ යන චිත්‍රපට ද්වය, මෙරට විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වීම තුළින්ම ඔහුගේ සිනමා කලාවේ විශිෂ්ටත්වය කුමක් ද කියා අපට කියා දෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිර්මාණ ත්‍රිත්වයට පසු හොඳම චිත්‍රපට ද්වයක් ඇතුළත් වී නම් ඒ වසන්ත ගේ දඩයම හා පළඟැටියෝ ම පමණි. ඉදින් ඔහු ලෙස්ටර්ට පසු අපගේ සිනමාවෙහි දැවැන්තයා නොවන්නේ ද?
රංගණි අසුන් පිරිතිරී තිබිණ. දඩයම පෙරේදා නැරඹුවෝ එහි නව අරුතක් දුටහ. නව මානයක් දුට හ. වසන්තගේ අධ්‍යක්ෂණයෙහි, ස්වර්ණා, රවීන්ද්‍රගේ රංගනයෙහි අපූර්වත්වය පසක් කර ගත්හ. ඔවුන් ජාතිය සතු මා හැඟි වස්තූ®න් යයි යළිත් වටහා ගත්හ. තම නිර්මාණය වෙනුවෙන්ම කැප වී එහි නිරත වන, සමාජයෙන් වියුක්ත නොවී, ජීවිත පරිඥානය විශද කරන චිත්‍රපට කලාවකට අභිරුචියක් දක්වන අධ්‍යක්ෂවරයෙකු තම සැත්තෑ පස් වන ජන්ම දිනය සමරනු රසිකයෝ දුටහ. වසත් සිරිත රංග ගත කළ අදියුරන්ට වසන්ත වෙනුවෙන් ස්තුතිය කියා කියන්නට රසිකයෝ ඔවුන් කොහි දැයි සෙවූහ. රවී, ප්‍රේම්, රෝහණ හා සමන් ඒ අතර අපට හමුවිණ.
බුද්ධදාස ගලප්පත්ති
image capture: Maneesha (උත්තරිතර)
සබැඳි පුවත්
ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි