lan englan tam

විශේෂාංග

පොල් ලෙලිගහන නිළියන් සහ ‘ඉරගිනි මද්දහන’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-ලක්මිණ රණසිංහ-

'ඉරගිනි මද්දහන' ටෙලිඩ්‍රාමා එකේ සමන්තා පොල් ලෙලිගහන සීන් එක මට අති විශේෂයි.

ඒකට හේතුව තමයි; ඒ සීන් එකේ සමන්තාට රඟපාන තරින්දි පොල් ගෙඩිය ලෙලිගහන්නෙ ඇත්තට! ඔව්.. ඒ විදිහට පොල් ලෙලිගහන්න මටත් අමාරුයි! පොල් ලෙලිගහපු අය දන්නවා ඒක මොනතරම් අමාරු ද කියලා.

ඒත් හරි විදිහට පොල් ලෙලිගහන ගමන්, ළඟ නැවෙන විවිධ සංකීර්ණ moods වල දෙබස් කිය කිය, ඒ moods මූණෙන් පෙන්නගෙන, ගාණට reaction දිදී, inner & outer play බැලන්ස් කරගෙන, රඟපාන්නෙ නෑ කියලා හිතෙන ලෙවල් එකට ආත්මයෙන්ම රඟපානවා කියන්නෙ පට්ට අමාරු වැඩක් මිත්‍රයා.

විද්‍යාත්මකව ගත්තොත් මේ වැඩේට ඇඟත් මනසත් අතර coordination (Embodied acting + Physical acting) සහ motor skills ගොඩක් හොඳට තියෙන්න ඕනෙ. ඉතිං තරින්දි තමන්ගෙ රංගනය ඇතුලෙ මේ දේවල් හොඳටම කරනවා. තරින්දිගෙ විශිෂ්ටත්වයට මීට වඩා උදාහරණ ඕනෙ නෑ. ඒ නිසා තරින්ගෙ විශිෂ්ටත්වය නාන දර්ශනවලටයි, අඬන දර්ශනවලටයි ලඝු කරන්න එපා.

පොල් ලෙලිගහනගමන් රඟපානවා කියන දේ මාරයි, විශිෂ්ටයි, පිස්සු පීකුදුයි කියලා මම කිව්වත් සමහරවිට තරින්දිට මේ වැඩේ මහලොකු කජ්ජක් නොවෙන්නත් පුළුවන්. තරින්දි ඒ තරම් මේ සමන්තා චරිතෙට අනුගත වෙලා play කරනවා.

දැන් ඉන්න නිළියන්ට පොල් ලෙලිගහන්න පුළුවන් ද? ඔව් පුළුවන්! ඒත් මම මේ අහන්නෙ තරින්දි ඉරගිනි මද්දහනෙ පොල් ලෙලිගහපු විදිහට පොල් ලෙලිගහන්න පුළුවන්ද කියලා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ!!

සතර අභිනය න්‍යායක් විදිහට දන්නෙ නැති වුනත්, රංගනය ගැන මහා ලොකු තියරි දන්නෙ නැති වුනත් යම් නළුවෙකුට හෝ නිළියකට ප්‍රායෝගිකව හොඳට රඟපාන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ. රඟපාන හැම කෙනාම හැමදේටම දක්ෂ වෙන්න ඕනෙ නෑ. ඒත් කුඹුරු කෙටීම, ගස් නැගීම, සිපගැනීම, පොල් ලෙලිගැසීම, බයිසිකල් - ත්‍රීවීල් පැදීම, එළවළු කැපීම, දර පැලීම වගේ එදිදෙනා ජිවිතෙන් එකතු කරගත්ත ප්‍රායෝගික දේවල් තමන් ළඟ තියනවා නම්, ඒක රංගනයේදී බෝනස් එකක්. Tharindi Fernando ළඟ ඒ බෝනස් එක තියනවා මිත්‍රයා.

පිටපත සහ අධ්‍යක්ෂණය පැත්තෙන් සමන්තා කියන රළු චරිතෙට ලොකු පරාසයක හොඳ ට්‍රීට්මන්ට් එකක් දීලා තියනවා. සමන්තා චරිතයේ තියන උනන්දුව, වේදනාව, තනිවීම, උත්සහය, අසරණ වීම, කඩිසර බව, වීර්ය, දරාගැනීම, වේගය වගේ සාධක හරිම පදමට තරින්දි කරනවා.

ඉරගිනි මද්දහනට අමතරව තරින්දි කරපු තවත් වැඩ ගොඩක් මම සමීපව නිරීක්ෂණය කළා. ඒ වැඩවලදී ඉහළ තීව්‍රතාවකින් ප්ලේ කරන්න පුළුවන්, රළු, දරුණු, වේදනාකාරී, කටුක, දුෂ්කර, වේගවත්, සරාගික, වේදනාබරිත, උච්චස්වර, බිහිසුණු, හැඬුම් සහිත නිරූපණ තරින්දි අති විශිෂ්ට විදිහට කරනවා මිත්‍රයා.

ඒත් මිත්‍රයා සමහර තැන්වල... ප්‍රේමණීය, හුරතල්, සිනහා මුසු, විහිළු සහගත, සතුට දනවන, කෝළම් සහතග සමහර අවස්ථා නිරූපණය කරද්දි, අදාළ නැති අදහසක් මතුවනෙ outer play එකක් තරින්දිගෙ මූණෙන් පේනවා. මට තියන ලොකුම අවුල තමයි "දංකුඩ බණ්ඩා" ගේ ඉඳලා විසේකාරි, ඉරගිනි මද්දහන සහ සින්ටො වෙනකම් කාලාන්තරයක් තිස්සෙ මේ පුංචි දෝෂය මට නිරීක්ෂණය වුන එක. මේක ඉතිං ටිකක් විතර තාක්ෂණිකව හිතලා, මසල් මෙමරි එකෙන් ඩිලීට් කරලා, facial expression වලින් ඉක්මනටම හදාගන්න ඕන දෙයක්.

හරියට ගේම් එක ගැහුවොත් බොහෝ දුරට තරින්දි කියන්නෙ ඊළඟ "දශකයේ නිළිය!" ඒ නිසා තව ටික කාලයක් යද්දි තරින්දිට තවත් ලොකු ෆෑන් බේස් එකකට අමතරව ඉරිසියාකාරයෝ තරහකාරයෝ ගොඩක් ඇතිවෙයි. මම මේ ලියන review එකත්, තරින්දිට වෘත්තීමය ඉරිසියාකාරියො වැඩි වෙන්න හේතුවක්. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ.

ඉරගිනි මද්දහනේ "බණ්ඩාර"ගේ චරිතය රඟපාන Dananjaya Siriwardana තමන්ගේ අත්දැකීම්වලින් උපරිම රංගනයක් කරන නිසා බණ්ඩාර කියන චරිතයත්, තරින්දිගේ ප්‍රතිචාරත්මක රංගනයත් අති සාර්ථක වෙලා තියනවා. අර පොල් ලෙලිගහන සීන් එකේ ධනාගෙ කවුන්ට ඇටෑක් වර්ගයේ විශිෂ්ට කරට කර රංගනය මරු!! ඒ සීන් එකේ කෙළ ගහන තැනේ ඉඳලා සරම උස්සලා ගැටගහන තැන වෙනකම්ම ධනංජය රියල් විදිහට ඩීටේල් රඟපානවා.

කතාව පුරාවටම බණ්ඩාර කියන චරිතය විවිධ මට්ටම්වලින් play වෙනවා. ඒ හැම තැනකදීම අදාළ චරිතයේ ඒ මොහොතට ගැළපෙන විදිහට ඩීටේල් play කිරීම අතින් ධනා අතිශය ධනාත්මකයි මිත්‍රයා. තමන්ට ආවේණික ලක්ෂණත්, චරිතයට ආවේණික ලක්ෂණත් හරි මිම්මට ගලපගෙන ධනංජය සුපිරි ගේමක් ගහනවා.

499715831 709091921798073 7107870505361365064 n

ඉරගිනි මද්දහනේ "මහතුන්" චරිතයේ තියන emotional ලක්ෂණ රඟපාන එක ලේසි නෑ. දුවලා, දඟලලා, කෑගහලා, අඩි පොලේ ගහලා රඟපාන්න ඒ චරිතෙට බෑ. එහෙම දේවල් නැතුව passive acting රීතියකින් දැනෙන්න රඟපානවා කියන එක නළුවෙක්ට ලොකු අභියෝගයක්. එත් Chameera Liyanage ඒ අභියෝගය සෑහෙන දුරට දිනලා තියනවා.

ඉරගිනි මද්දහන ටෙලිඩ්‍රාමා එකේ සහය චරිත රඟපාන Subuddhi Lakmali, Rupa Pathirana, Awanthi Aponsu , Sapna Padukka, පවිත්‍රා වික්‍රමසිංහ කියන අය තමන් රඟපාන සහය චරිතවලට අසහාය රංගන දායකත්වයක් අති විශිෂ්ට විදිහට දෙනවා.

ඊට අමතරව අනිල් ජයසිංහ, Lochana Isurindi, නයනා රඹුක්කනගේ, උදේනි නදීකා, මනෝහාරි, චන්දන ඉරුගල්බණ්ඩාර ඉතා හොඳ රංගන දායකත්වයක් දෙනවා.

ඉරගිනි මද්දහන හරිම ලස්සන කතාවක්. ඒත් ස්ක්‍රිප්ට් එක ඇතුලේ සමහර චරිත හිටපු ගමන් ඉබාගාතේ යනවා. සමන්තාගේ මල්ලි මුළු කතාවම අන්ජබජල් කරලා පිටපතෙන් අතුරුදහන් වෙනවා. කතාවේ main impact එක් හෙවත් main discourse එක create කරන්න දායක වුන බණ්ඩාරගේ අම්මා කතාව මැද්දෙදි නොපෙනී යනවා. චේන් පනිනවා වගේ ලොකේෂන් පනිනවා. මේ වගේ තවත් සිද්ධි කිහිපයක් නිසා පිටපතේ අති විශිෂ්ට බව ටිකක් අඩු වුනා කියලා මට දැනෙනවා.

iragini maddahana full

මිත්‍රයා, 2024 දි වගේ 2025 දිත් ජාතික රූපවාහිනියට යම් වාසනාවක් තියනවද කියල උරගා බලන්න පුළුවන් නියම අවස්ථාවක් තමයි මේ ඉරගිනි මද්දහන.

 

කර්තෘ -ලක්මිණ රණසිංහ-

('Lakmina Ranasinghe' මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී) 

kemadasa

Back to top
Go to bottom