lan englan tam

විශේෂාංග

බල්සාක් කැෆේ : බහුචිතවාදියා ගැන බහුබූත රචනාවක් | මංජුල වෙඩිවර්ධන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'බහුචිතවාදියා' ගැන යමක් නො ලියන්නේ නම් සමාජයෙන් කොන් විය හැකි තත්ත්වයක් උදාවී ඇත.

මෙය ලියන්නේ ඒ නිසාවෙන් විය හැක යන අදහස අවශ්‍ය නම් ඔබට බාරගත හැකි යථාර්ථයකි. නමුත් වෙනත් යථාර්ථයන් ද තිබෙන්නට පිළිවන.

මා මේ ලියවිල්ලට එළඹෙන්නේ නාඩගමක් කැටුව ය. බහුබූතයා හෙවත් බහුබූත කෝලමා නාඩගමේ ස්ථාවර පාත්‍ර චරිතය, මද්දල තාල ප්‍රභේදයක් වන තංගපාට තාලයට 'කියා නටන' මෙම පරම රමනීය වචන ලීලාව කියවා බලන්න.

‘බහුචිතවාදියා’ මූලයන් බහුබූත නාඩගමේ මෙන්ම බහුබූත යෙදුමේ නොවන්නේ ද ?

 "ආයුබෝවන් සබේ මහතුන්ටා
බොහෝමා කාලෙකින් ආවේ දැකගන්ටා

 හෙරලි ටිකක් මම කෑ සදිනා - සොඳ
 මගේ හැකිලී තිබුන බඩ ඩෝලේ වුණා

 නැන්දා මේ මට යස වැඩක් කළා
 දත්ත බින්දා ය හිරමන කොටෙන් තලා

 බොලං සෙලක්කේ වෙනදා වගේ
 නුඹේ රාල දැනුත් බොනවාද ළඳේ

 සෙල්ලං කරන මගෙ බෝලේ ලිදේ
 මගෙ බෝලෙ අරන් දෙනවාද නගේ

 සිංහ පැටවු තණකොළ නොකති
 හරි සිංහලයෝ අවලං නොවෙති

 සුද්දා වගේ සුදු මාගේ පියා
 කළු වැද්දි සරණ කර ගත්තේ දයා

වංසේට කැත නොකියන්න පුතේ
මහවංසේ අරං බලපන්න පුතේ"

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කලකට ඉහත ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පමණක්ව සිටි සමයේ මෙකී බහුබූතවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය එකට හනා එවක යහපාලනාගමැති රනිල් වික්‍රමසිංහට ආරෝපණය කළේය.

"රනිල් කියන්නෙ බහුභූත ප්‍රජාතන්ත්‍රවාදියෙක්" මැයෙන් වන එම මනරම් "කුමාර බණවර" තවමත් යූ නලයේ ඇත.

ඔහු මෙසේ පවසයි. "රනිල් වික්‍රමසිංහ කියන්නෙ, තමන්ට වාසි වෙනකොට ව්‍යවස්ථාව කඩන, තමන්ට අවාසි වෙනකොට ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින බහුබූත ප්‍රජාතන්ත්‍රවාදියෙක්."

ඉකුත් ජනපතිවරණ මාලිමා මැතිවරණ ප්‍රචාරණ සමයේ මහා කතිකයකු වූ කලාකාරී අප කලණ මිත්‍ර කලණ ගුණසේකර ‘ගෝල්ෆේස්’ කේන්ද්‍ර කරගත් දකුණේ මහජන නැඟීටීමේ එක් දරුණු ප්‍රකාශිතයෙක් විය. එ සමයේ, මැඳැඟිල්ල පෙන්නා සිදුකරන අවලං ආංගික ප්‍රතිචාරය, රැඩිකල් කලා ප්‍රකාශනයක් බවට පත් කරලමින් මෙකී මැඳැගිල්ලට කුරහන් සාටකයක් පටලවා ප්‍රදර්ශනය කරලන්ට වූයේ බහුචිතවාදියාට පණපෙවූ කලණයන් ය.

 

ඡායා - Shehan Gunasekara

මහජන නැඟීටීමේ තවත් එක් සුප්‍රකට සංස්කෘතික-දේශපාලන ප්‍රකාශනයක් ලෙස ජෙහාන් අප්පුහාමී සහෝදරයා කටුවාපිටියේ සිට ගෝල්ෆේස් දක්වා කුරුසියක් කරගහගෙන ආ සංසිද්ධිය ඉතිහාසය තුළ පවතී. ජෙහානුවන් ජීසස් සෙයියාවෙන් දුකවිඳිමින් එනතුරු පෙරකී සංඛේතීය සාටකය ගෙල පටලාගෙන සටන් භූමිය තුළ වැතිරී නිරාහාරව බලා උන්නේ ද කලණයන් ය.

kalana jehan

 

දකුණේ මහජන නැඟීටීම සමයේ මා ලියූ කවි ඇතුළත් ‘අප්‍රේල් හටන් කවි’ කෘතියේ මෙම සංසිද්ධියට අදාල කවි කිහිපයක් ඇති අතර කලණයන්ගේ නිරාහාර යාච්ඤාව අරභයා මා ලියූ කවිය පටන් ගන්නේ මෙහෙම ය.

‘‘ගෙල රුවාගෙන හිඳිමි
මෙ කුරහන් පෙකෙණිවැල සාටකේ
සබඳ නුඹ නාවොතින්
දිවිය අත් හැරෙනු ඇත හාමතේ’’  

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සාටක නඩය බියපත්වැ පළායාමෙන් පසු බලය සියතට ගත් රනිල් වික්‍රමසිංහ මුලින්ම සිදුකළේ රාජ්‍ය මර්දන යන්ත්‍රය යොදවා නිරායුද ගෝල්ෆේස් සටන් කරුවන්ට පහර දී සටන්බිම ‘සුද්ද කිරීම’ය.

2023 වසරේ ජූනි මාසයේ කලණ ගුණසේකර ‘හරි ටීවී’ වෙනුවෙන් ලහිරු මුදලිගේ සමඟ කරන සංවාදයේදී ගෝල්ෆේස් අරගලයේ ඵල නෙලා ගත් රනිල්ට සැලියුට් ගහන බව ප්‍රසිද්ධියේ කීවේ ය. ඒ අප තරුණ මිත්‍රයා, රනිල් වික්‍රමසිංහ, රටේ පැවති ආර්ථික තත්වය පාලනය කරලූ අන්දම ගැන හිතා ප්‍රමෝදයට පත් වී ගැසූ සැලූටයකි.

 

‘’රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං අකමැති පුද්ගලයෙක් නෙවෙයි. දේශපාලනික චරිතයක්. එයාට මේ රට පාලනය කරන්න පුළුවන් යම් කිසි හේතු ටිකක් තියෙනවා.’’ යැයි කී ඔහු ඉකුත් මැතිවරණ සමයේ ‘මතක පද’ හා එක්වෙමින් ගැමුණු වන්නිනායක අප මිත්‍රවරයාගේ ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු සමඟ කීවේ තමන් එසේ සැලූටයක් ගැසූවාට රනිල්ට රට පාලනය කළ හැකි බව කිසිවිටෙක නොකී බවයි.

 

රනිල්ට බහුබූතබාවය ආරෝපණය කළ ද මඟ වණමින් රනිල් මඟම යන අනුර කුමාර දිසානායක ජනපති සහෝදරයා සහ රනිල් වික්‍රමසිංහට සැලියුට් ගැසූ කලණ ගුණසේකර සහෝදරයා එකට තබා ‘බහුචිතවාදියා’ සමඟ කියවා බැලූ විට හැදෙන ජයග්‍රාහී රූපය නරුමවාදී ධනේෂ්වරය පිළිබඳ ‘ලකානියානු’ ටෙලි මාලා ප්‍රකාශනය වූ ‘කූඹියෝ’ මොහොත සමඟ කොතරම් සමපාත වන්නේදැයි සිතීම මගේ බහුභූත සිතීමක් පමණක් වන්නට පවා ඉඩ තිබේ.

ඉදින් මා මේ ලියන දෑ බහුචිතවාදියා සිනමා කෘතියට අදාල නැතැයි ඕනෑනම් ඕනෑම කෙනෙක්ට ඕනෑ පරිදි සිතන්නටත් ඕනෑ පරිදි තර්ක කරන්නටත්, එසේ තර්ක කරමින් ‘මොනාද මූ මේ කියන බහුභූත’ යැයි කියා ඕනෑ පදම්  මා පතුරු ගසන්නටත් ඕනෑ තරම් නිදහස තිබේ. මා පට්ට පතුරු ගැසීම, බහුබූත වැඩක් යැයි මා නම් කියන්නේ නැත.  

‘’මේ තියෙන ජඩ දේශපාලන රටාවට මුහුණ දීමට පුළුවන් ශක්තියක් අනුර කුමාරට නෑ කියලා මම විශ්වාස කරනවා’ යැයි පෙරකී සංවාදයේදීම ලහිරු මුදලිගේ සමඟ පැවසූ කලණ ගුණසේකර මා තරුණ මිත්‍රයා සමඟ ‘කෝවිඩ් ලෝකඩවුන් සමයේද, හරියටම කියන්නේ නම් 2020 නොවැම්බර් 10වැනිදා, මම ‘මේ මාස්කෙක හින්දා’ නමින් දේශපාලන අදහස් ප්‍රකාශනයක් කළෙමි.  එහිදී ඔහු රංගනයක් නොවන රංගනයට පිවිසෙන්නේ මා ලියූ මේ වදන් පවසමිනි. ‘’අපි කාලය ගත කරන්න ඕනි විදිහ, අවකාශයේ ස්ථානගත වෙන්න ඕනි විදිහ, අපට තීන්දු කරන්න බෑ’’ මහා කැපවීමක් සහිත, මෙකී කලණ සමඟ එක්ව කළයුතු අලුත් වැඩක් ගැන අලුත් සැලසුමක් සැකසෙමින්ද පවතී. ඒවා අමතර ‘බහුභූත’ ය.

බහුචිතවාදියා බැලීමේ වරම් නොමැතිව කොන්ව සිටි තවද එක් සමයක මාලක දේවප්‍රිය සිනමාවේදියා විසින් ම බහුචිතවාදියා දැක බලා ගන්නට වරම් උදා කර දෙනු ලැබිණ. පිටිසරබදව අහුලන් කමින් හිඳ, කොලඹප්ප්‍රාප්ත, බුද්ධිමය සංචාරක පක්ෂීන් මෙන් නොව ඔරිජිනල් ම කොලඹ කාක්කෙක් වූ මගේ ම අග නගරයේ ගෙන්දගම් සිතිවිලි එකෙල මෙකෙල කරවූ බහුචිතවාදියා, බරපතළව බාරගත යුතු ශ්‍රමයකි. තර්කයක් නැති.

එමෙන්ම බහුචිතවාදියා කැටුව, මගේ ම වූ ස්කයිපයීය මතක කුණු කන්දල් අතර සැරිසරන්නට වූ මගේ ම කොළඹ කපුටු ආත්මය වයිබරීය, වට්සැප්මය, මං ඔස්සේ ද, සූම් ඈ වූ නා නා වයිරසීය අවකාශයන් තුළ නැවත නැවතත් මට අභිමුඛ වෙමින් තිබිණ .  

491942501 1142025714606257 7073372493849697470 n 2

ඒ ගැන යමක් ලියන්නට හිත හදාගත් මොහොතක තිලක් කෝදාගොඩ සහෝදරයා බරපතළ ලියවිල්ලක යෙදෙමින් මගේ චින්තාව සැහැල්ලු කළේ ය.  "එහිම සුදුමැලි පිටපතක්" ලෙස රමණීය වැ මුද්‍රණයෙන් එළිදැක්වී ඇත්තේ ඔවුන්ගේ ඒ න්‍යායික මැදිහත්වීමයි.

500848857 1118801390292565 4106530995850894075 n

 

එසේ ම වසන්ත වක්කුඹුර සහෝදරයා "අස්ථායි ආත්මීයත්වය සහ  නාගරික අද්භූතය" නම් කේන්ද්‍රීය ශීර්ෂයෙන් යුතු දීර්ග රචනාවක් බහුචිතවාදියා අරභයා ලියා ඇතැයි දැනගන්නට ලැබිණ.

මේවා කියවමින් විධිමත් ලෙස කතාකාවට ඇතුළු විය යුතු නමුදු මේ මොහොතේ යමක් නොලිවීම නම් කොන්වීමට මඟකි.

මාලක දේවප්‍රිය වචන සමඟ මතු නොව ස්වකීය නිර්මාණයන්ට ලැබ දෙන ශීර්ෂයන්ද අතිශය සෙල්ලක්කාරී වෙයි. ‘කණට පාරක්’ මැයෙන් යුතුව ඔහු විසින් එළිදැක්වුණු ශ්‍රව්‍ය නාටක සමුච්චය තුළ වූ ඇතැම් නාමකරණයන් ඍජුවම ඕමල්පේ සෝභිත වන් බෞද්ධ භික්ෂූන්ගේ විරෝධයට පාත්‍ර විය. එහි ආ ‘නිහොන් සැප ලැබේවා’, ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’, ‘තරුවන් සරණයි’ යන වඩාලාත් බෞද්ධ බද්ධ වෛරයට පාත්‍ර නාමකරණයන් හා සමාන්තරව මාලකීය වචන ක්‍රීඩාව කියවා ගනිද්දී  ‘බහුචිතවාදියා’ යන්න ‘භෞතිකවාදියා’ අලුතින් වර නැඟීමක් ලෙස ඉන්තේරුවෙන්ම කියවා ගත්ත හැකි ය. භාෂා යෙදුම්කරණයේ අර්ථ සම්පාදනය කෙරෙන්නේ එකී වචනමාත්‍ර හෝ යෙදුම්මාත්‍ර වර නැඟෙන භාෂා ශරීරය මත ය. එකී භාෂා ශරීරය චලනය වන භෞතික පරිසරය මත ය.  

එය එසේ වන්නේ වන නමුදු ඇතැම් යෙදුම් වර නඟන නිශ්චිත හැඟුම්කාරක සමාජ සන්දර්භය තුළ පවතී. බහුබූතභාවය එහෙම හැඟුම්කාරකයකි. බහුචිතවාදය යන යෙදුම පිණිස නිර්මාණකාරයාගේ යෝජිත අර්ථය මෙකී බහුබූතවාදය යන්නෙන් වියුක්තව ගත්ත නොහැකිය යන්න මගේ යෝජනාවයි. ඒ අර්ථයෙන් ගත්ත කල මාලකගේ චිත්‍රපටය බහුභූතයකි. චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය බහුභූත වැඩ කරන බහුභූත චරිතයකි.

උදයකාන්ත වර්ණසූරිය දෙදහ දශකය මුලදී පබෝධා සන්දීපනීගේ නාභිය කේන්ද්‍රයේ තබා ගනිමින් ‘බහුබූතයෝ’ මැයෙන් විකාරසහගත කොමඩියක් කළේ ය. චිත්‍රපට කර්මාන්තය මැයෙන් යුතු විනෝද කර්මාන්ත ප්‍රභේදයේ ආදායම් වාර්තා තබන්නට ඇති එකී උදයකාන්ත කොමඩිය යූ ට්‍යුබයේ පවා මිලියන තුනයි දශම හතක ග්‍රාහක පිරිසක් නරඹා ඇත.

ගතව යමින් තිබෙන්නේ නරුමක්කාර ධනේෂ්වරයේ සැබෑ බහුබූතීභාවය සීරියස් ලෙස කලාව හරහා ප්‍රතිනිර්මාණය කළ මාලක දේවප්‍රිය මිත්‍රයා තමන්ගේ සද්භාවී කලාකාරකමට ඔරොත්තු පවා නොදෙන නරුම ප්‍රචාරක යුද්ධයක, වින්දිතයකු නොවී ඉන්නට මහා පරිශ්‍රමයක් දරමින් සිටින මොහොතකි.  මෙකී නරුමවාදී උභතෝකෝටිකය සිනමා කෘතියේ නිර්මාණකරුවා වන ඔහුට පමණක් අත්පත්ව ඇති ඉරණමක් නොවේ.

92621060 2898648703530191 5072384843619237888 n

බහුචිතවාදියා ගැන යමක් ලිව්ව යුතුව ඇත්තේ මෙකී ඉරණම්සහගත කොන්වීමෙන් මිදීමට ය. ඉදින් මේ බහුබූතවාදී 'බල්සාක්' රචනාව මා ඉන් මුදාලනු සේක් වා යි පතමි.

 

Manjula wediwardhana

 

 

 

 

 

 

 

 

 

(සටහන | මංජුල වෙඩිවර්ධන)

Journalist / Writer
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
http://www.jdslanka.org/

(මෙම ලිපිය මේ සති අග 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

kemadasa

shungara

Back to top
Go to bottom