lan englan tam

විශේෂාංග

"බහුචිතවාදීයා" සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන-ආර්ථිකය පිළිබද නියෝජනයක් ලෙස | Nirmal Dewasiri

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය සමයේ, 2015 ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ, මෙම කතිකාවට මැදිහත් වූවන් “ටොයියන් සහ බයියන්” යනුවෙන් වූ කාණ්ඩ දෙකකට වර්ග කරණු ලැබීමයි.

මෙම වර්ගීකරණය නිර්මාණය කරනු ලැබුවේ, වර්ගීකරණය තුළ තමන් විසින්ම “ටොයියන්” යනුවෙන් හඳුන්වාගනු ලැබූ පිරිස් විසින් බව පෙනේ. එසේම “බයියන්” යනුවෙන් “ටොයියන්” ලෙස ගර්හා සහගත ලෙස හඳුන්වනු ලැබූ පිරිසද ක්‍රමාණුකූලව “බයියන්” යන පදය, උත්ප්‍රාසයක් සහිතව, තමන් වෙනුවෙන් යොදා ගැනීමට උත්සුක විය.

මෙම “ටොයි/බයි” විභේදනය සමකාලීන දේශපාලන කතිකාමය අවකාශය තුළ පවතින බහුවිධත්වය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්නක් නොවුනත් මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” ( The Undecided) චිත්‍රපටය පිළිබඳ මගේ සාකච්ඡාවට ප්‍රවේශ වීමට මෙය කදිම කවුළුවක් බව යෝජනා කිරීමට කැමැත්තෙමි.

“බයියන්” සාමාන්‍ය වශයෙන් ගත්කළ “දේශප්‍රේමීන්” ලෙස හඳුන්වා දීමට පුළුවන. “දේශප්‍රේමී නමින්” යන ප්‍රවර්ගය නිර්වචනය කිරීමට යාමේ දී අපට මුහුණ පෑමට ඉඩ තිබෙන සංකීර්ණ ගැටලු‍ වෙත යොමු නොවී, කතිකාව තුළ “දේශප්‍රේමීන්” ලෙස හඳුනා ගැනෙන පිරිස්ම තමන්ගේ චරිත ලක්ෂණ ලෙස යෝජනා කරන ඇතැම් ලක්ෂණ තුළින් අපට “දේශප්‍රේමීන්” හඳුනා ගැනීමට පුළුවන. ඒවා අතරින් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ “බයියන්” රටට ආදරය කරන අතර “ටොයියන්” එහි ප්‍රතිපක්ෂය වීමයි.

මාලක දේවප්‍රියගේ ගේ “බහුචිතවාදියා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සසිත නමැති තරුණයාගේ මූලික අභිමතාර්ථය වන්නේ කෙසේ හෝ ලංකාවෙන් පිටවී යාමයි. ඔහු වරක් සිය “විධිමත්” පෙම්වතිය කාන්චනා සමග සිය පිටරට සිහිනය මෙලෙස ධූරාවලිගත කරයි. ඒ අනුව අංක එක වන්නේ යුරෝපයයි. ඊළඟට ඇමරිකාව වන අතර ඉන් පසුව ඕස්ට්‍රේලියාව‍, ජපානය වැනි රටවල් පෙළ ගැසී ඇත. ඒ අවස්ථාවේ ඔහුගේ පෙම්වතිය ප්‍රකාශ කරන්නේ “මට නං ලංකාව හැර කොහේ වුණත් හොඳයි. ඉන්දියාව වුනත් කමක් නැහැ” වැන්නකි. “ටොයියන්” යන ප්‍රවර්ගයට අයත් වන ඇතමුන් අතර ප්‍රචලිත ව්‍යවහාරයක් වන්නේ “ලංකාව අප්සෙට්” යන්නයි.

“බහුචිතවාදියා” හි අපට හමුවන තරුණයා මෙන්ම ඔහුගේ “විධිමත් පෙම්වතිය” කාන්චනා ද මෙම “ටොයි” මානසිකත්වයේ ප්‍රතිමූර්තීන් ලෙස කෙනෙකුට පෙනී යාමට ඉඩ තිබේ.

83801917 2729197660475297 4051378526455070720 n

නමුත් තත්වය එතරම් සරළ නැත. සිය පිටරට සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාද, යම් යම් ද්‍රව්‍යමය වාසි ලබා ගැනීම සදහාද, ලිංගික ස්ව්‍යං වින්දනය සඳහා උත්තේජනයක් ලෙසද, මූලික වශයෙන්, අන්තර් ජාලය ඇසුරු කරගෙන සබඳතා පවත්වන මැද පෙරදිග පෙම්වතියන්ට සමග ඔහුගේ සංවාද නිමා වන්නේ “බයියන්ගේ” කතිකාව සිහිගන්වන “බුදු සරණයි” යන ප්‍රාර්ථනා වෙනි.

481234268 1095753492566813 9068474488436947419 n

අපගේ තරුණයා අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහරින ආයතනයක බෙදාහරින්නෙකි. ඔහු සිය රැකියාව තුළ තමන්ට මුණ ගැසෙන මධ්‍යම පංතික ස්ත්‍රීන් දෙදෙනෙක් සමඟ ලිංගික ඇසුරක් ඇතුළත් කිට්ටු සබදතා පවත්වාගෙන යයි. ලිංගික ඇසුරට අමතරව ඔහුගේ බලාපොරොත්තුව වන්නේ මේ ස්ත්‍රීන් මාර්ගයෙන් තමන්ට පිටරට යාමට පොටක් පාදා ගැනීමයි.

මේ ස්ත්‍රීන් දෙදෙනා අතරින් එක් අයෙක් මැදි වයසේ පසුවන්නියකි. තනිවම සුඛෝපපොගී තට්ටු නිවාසයක ජීවත්වන ඇය ජීවිතයේ තනිකම නැතිකර ගැනීමට නියැලෙන එක් ක්‍රියාකාරකමක් වන්නේ “බයියන්ගේ කතිකාවට” අයත් ඇතැම් රූපවාහිනී වැඩ සටහන් නැරඹීමයි. බෞද්ධ ධර්ම දේශනා මෙන්ම “දොරමඬලාව” වැනි වැඩ සටහන්ද ඇගේ රූපවාහිනී වැඩ සටහන් ලැයිස්තුවට අයත්ය. නිතරම අපගේ තරුණයා හා මේ ස්ත්‍රීය අතර ඇතිවන සංවාද අපට ශ්‍රවණය වන්නේ මේ රූපවාහිනී වැඩ සටහන්වල කතිකාව සමග මිශ්‍රිතවයි.

spennrfurkxb7eal7svb

 

“බහුචිතවාදියා” චිත්‍රපටයේ මට දැකගත හැකි එක් විශිෂ්ට ලක්ෂණයක් වන්නේ ඒ මගින් සමකාලීන අගනාගරික භූමි දර්ශනය අප වෙත පමුණවන ආකාරයයි. චිත්‍රපටයේ ආරම්භය තුළ දිස්වන සසිත සිය භාණ්ඩ බෙදා හැරීමේ චාරිකාවන්හි නිරතවන දර්ශනයේ පටන්ම බොහොවිට කැමරාව දිශාගත වී ඇත්තේ වීදි දිගේ ඇති ගොඩනැගිලිවල උඩුමහල් වෙතටයි. චිත්‍රපටය තුළ අපට මුණ ගැසෙන සිදුවීම් බහුල සංඛ්‍යාවක් සිදු වන්නේ ද මේ උඩු මහල්වලදී වීම විශේෂත්වයකි. මේ උඩුමහල් අපට සිහි ගන්වන්නේ ඇමරිකාවේ මෑන්හැටන් හෝ හොංකොං වැනි අග නාගරික භූමි දර්ශනයක් නොව ඊට වඩා බෙහෙවින් අවිධිමත් නාගරීකරණයක් පිළිබද හැඟීම් ඇති කරන භූමි දර්ශනයකි. මෙහි මස්තක ප්‍රාප්තිය ලෙස හැඳින්වීමට පුළුවන් වන්නේ සසිත සිය මිතුරාත් සමඟ ගංජා ඉරීම සඳහා භාවිතා කරන දිරාපත් වී ඇති උඩුමහල් සඳළු තලයයි. මේ බෙහෙවින් ජරාවාස වී ඇති සඳළු තලය තුළින් අපට සාමාන්‍ය වශයෙන් ජනාකීර්ණ, අග නාගරික මංසන්දියක් ද දැක ගැනීමට ඉඩ සැලසේ.

508187397 24373082322284599 9094799132494924053 n

 

මාලක දේවප්‍රියගේ ගේ “බහුචිතවාදියා එක් අතකින් ඔහුට පෙර පරම්පරාවට අයත් සිනමා කරුවන් වූ අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැන්නන්ගේ සිනමා කෘතිවලින් රැඩිකල් ලෙස වෙන් වීමක් පෙන්නුම් කරන බව පෙනී යයි. එක් අතකින් එය ධර්මසේන පතිරාජ වැන්නෙකුගේ සිනමා කතිකාව කරා අපසු යෑමක් වැන්නක් ලෙස නම් කිරීමටද පුළුවන. විශේෂයෙන්ම හඳගමගේ ප්‍රවේශය තුළ දැකගත හැකිවන ලක්ෂණයයක් වන්නේ ප්‍රේක්ෂකයා සිය කතිකාව තුළට ප්‍රචණ්ඩ ලෙස ඇද ගැනීමට දරණ නිරන්තර උත්සාහයකි. මා එය දකින්නේ හඳගමගේ චිත්‍රපටවල දක්නට ලැබෙන දේශපාලන වශයෙන් ඉතාම වැදගත් ප්‍රභල ලක්ෂණයක් ලෙසටයි.

කෙසේ වෙතත් මාලක අනුගමනය කරන්නේ මීට වඩා බෙහෙවින් වෙනස් උපාය මාර්ගයකි. හඳගම අනුව යමින්“යථාර්ථය” ග්‍රහණය කරගැනීම පහසු කරවීම සඳහා තමන් විසින්ම නිර්මිත චරිත සහ අවස්ථා මගින් “යථාර්ථය” පිළිබද වියුක්ත (abstract) නියෝජනයක් වෙනුවට මාලක අපට පොරොන්දු වෙන්නේ, උදාරණයක් ලෙස “බඹරු ඇවිත්” වැනි චිත්‍රපටයක ධර්මසේන පතිරාජ අපට පොරොන්දු වන ආකාරයේ, “යථාර්ථය” පිළිබද සංයුක්ත (concrete) නියෝජනයකි.

මෙම සංයුක්ත යථාර්ථය යනු කවරක්ද? ආර්ථික යථාර්ථය දෙසට යොමු වූ කල්හි ගෝලීය සංසිද්ධියක් බවට පත් වෙමින් යන ශ්‍රම වෙළදපොළ විසින්, විශේෂයෙන්ම, ලංකාවේ අග නාගරික මෙන්ම ග්‍රාමීය ජීවිත කෙරේ සිදුකරනු ලැබ ඇති බලපෑම චිත්‍රපටයේ අපිට හමුවන සෑම චරිතයක්ම පාහේ මෙම නව ශ්‍රම වෙළඳ පොළේ යථාර්ථය මගින් හැසිරවේ. මෙහි දී අපට අදාළ පාත්‍රයින් ශ්‍රම වෙළඳ පොළ සමග තමන්ට ඇති සම්බන්ධයේ මානසික ආචරණය සම්බන්ධව වැදගත් වියහැකි නිරීක්ෂණයක් කිරීමට පුළුවන. එනම් ශ්‍රම වෙළද පොළ සමග ඍජු ලෙස ගණුදෙණු කරන ස්ත්‍රීන්ගේ දක්නට ලැබෙන ආර්ථික වශයෙන් සාපේක්ෂ වශයෙන් වූ තෘප්තිමත්භාවයත් (contentedness) පුරුෂයින් තුළ දක්නට ලැබෙන අතෘප්තියත් (discontent) ය.

 

චිත්‍රපටය තුළ අපට හමුවන සසිතගේ ප්‍රධාන පෙම්වතියන් පස් දෙනා වර්ග දෙකකට බෙදා වෙන් කිරීමට පුළුවන.

මෙරට සිටින විධිමත් පෙම්වතිය සහ මැදපෙරදිග පෙම්වතියන් දෙදෙනා සාමාන්‍ය වශයෙන් ආර්ථිකමය ලෙස තෘප්තිමත් බව පෙනේ. ඒ අයගේ ආසන්න ජීවන ඉලක්කය බවට පත් වී ඇත්තේ සුදුසු සහකාරයෙක් සොයාගෙන විවාහ ජීවිතයක් ආරම්භ කිරීමයි. ඒ තිදෙනාම සාමාන්‍ය වශයෙන් පහළ මධ්‍යම පංතික සමාජ පසුබිමක් ඇති අය ලෙස හඳුන්වා දීමට පුළුවන. සෙසු පෙම්වතියන් දෙදෙනාගේ ගැටළු වඩා සංකීරණ ඒවාය. සාමාන්‍යයෙන් ඒ දෙදෙනා අතරින් වඩා තරුණ ඉහළ මධ්‍යම පංතික ස්ත්‍රියට (සමනලී ෆොන්සේකා) සසිත සමඟ ඇත්තේ තම හුදෙකලා ජීවිතයට තාවකාලික සහනයක් ලබා ගැනීම සඳහා වූ සීමිත අරමුණක් පමණි. වියපත් ස්ත්‍රියගේ (වීනා ජයකොඩි) තත්වය වඩාත් සංකීරණ මනෝ-සමාජයීය තලයක් සමඟ සම්බන්ධ වී ඇත.

WhatsApp Image 2025 05 28 at 8.45.06 AM 1

 

අපට අභිමුඛවන ප්‍රධාන පිරිමින් තිදෙනාගේම (සසිත, සසිතගේ මිතුරා සහ සසිතගේ සේවායෝජකයා)ජීවිතය ව්‍යහුගත වී ඇත්තේ ආර්ථික වශයෙන් වූ අතෘප්තිය මතයි. සසිත “පිටරට පැනීම” මගින් ද, ඔහුගේ මිතුරා සසිතට පිහිට වීමේ මුවාවෙන් ඔහුගෙන් වංචනික ලෙස ආර්ථික ප්රීයෝජන ලබා ගැනීමෙන් ද, සසිතගේම සබඳතා පාවිච්චි කිරීමෙන් තම ගැලවීම සාක්ෂාත් කරගැනීම සඳහා යොමු වී සිටී. සසිතගේ සේවායෝජකයා වන හිටපු වාමාංශිකයා තමා යටතේ සේවය කරන්නන් රවටා අයථා ලෙස සිය ව්‍යාපාරය දියුණු කරගැනීම තම අරමුණ බවට පත්කරගෙන සිටී.

මගේ යෝජනාව වන්නේ “බහුචිතවාදියා” හරහා අපවෙත සම්ප්‍රේෂණය වන මේ තොරතුරු ලංකාවේ ආර්ථිකය ගෝලීය වශයෙන් ස්ථානගත වී ඇති ආකාරය තුළින් ජනිත වී ඇති ව්‍යුහාත්මක යථාර්ථයේ ඇතැම් සංයුක්ත ප්‍රකාශමාන වීම් බවයි. මා ඉහත සාකච්ඡා කළ “ටොයි/බයි” විභේදනය තුළ එක්තරා ආකාරයකට මෙම යථාර්ථය දෘෂ්ටිවාදීමය වශයෙන් මාධ්‍යය කොට (mediate) එම යථාර්ථය අපට නොපෙනෙන්නට සලස්වා තිබේ. මෙම යථාර්ථයේ කේන්ද්‍රයේ පවතින්නේ ගෝලීය ශ්‍රම වෙළඳපොළේ මිල මට්ටම්වල පවත්නා විචල්‍යයන් පිළිබඳ ගැටලු‍වයි.

ලංකාවේ ආර්ථිකය දැනට මුහුණ දී සිටින ප්‍රබල ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ ශ්‍රමිකයා සිය ශ්‍රමය සඳහා සාපේක්ෂ වශයෙන් ඉහළ මිළක් ඉල්ලා සිටීමයි. මෙය ලංකාවේ දැනට පවත්නා, විශේෂයෙන් අඩු වැටුප් සහිත, ආර්ථික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එසේම ශ්‍රමයේ මිළ ඉහළ යාම පිළිබද මෙම ගැටලු‍ව, දේශපාලකයින්ගේ වාග්කෝෂයේ නිරතුරුව දැකිය හැකි, ලංකාව වෙත විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම කෙරෙහි ද දැඩි ලෙස බලපා තිබේ. එසේ වන්නේ ශ්‍රමයේ මිළ ඉහළ යාම ලාභ අනුපාතිකය අඩු වීම කෙරෙහි ඍජුවම බලපාන නිසාය.

ශ්‍රමයේ මිල ඉහළ යාම ශ්‍රම වෙළඳ පොළේ ව්‍යුහය කෙරෙහි ආකාර කීපයකට බලපායි. එක් අතකින් එය ඍජුවම අඩු වැටුප් සහිත ආර්ථික කටයුතුවලින් ශ්‍රම වෙළඳ පොළේ සාමාජිකයින් විතැන් කරවීමට හේතු වේ. “බහුචිතවාදියා” හී සසිතගේ මිත්‍රයා රැකියා විරහිතව සිටින්නේ රැකියා වෙළඳ පොළේ රැකියා නොමැති නිසාම නොවේ. ඔහු වැන්නන් සඳහා වර්තමානයේ අවශ්‍යතරම් විවිධ ක්ෂේත්‍රවල ආර්ථික කටයුතුවල ඇති තරම් රැකියා සොයා ගතහැක. නමුත් සසිතගේ මිතුරා වැන්නන් ඒ සඳහා දක්වන නැඹුරුතාවය අඩුය.

අනෙක් ආකාර බලපෑම වන්නේ ඉක්මනින් ඉහළ වැටුප් තලයන්ට ගමන් කළ හැකි ඉණිමං සහිත ආර්ථික ක්ෂේත්‍ර සඳහාවූ නැඹුරුවයි. ස්ව්‍යං රැකියාවක් ලෙස රෙදි මැසීමේ නිරත වන සසිතගේ සොහොයුරිය සසිතට ආරාධනා කරන්නේ සිය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන ලෙසයි. නමුත් සසිත අඩුම තරමින් එම ආරාධනය සලකා බැලීමට හෝ යොමු නොවීම සෙවීම වැදගත්ය. ඔහු වැටුප පවා නිසි ලෙස නොලැබෙන අන්තර්ජාල බඩු බෙදාහැරීමේ ආයතනයේ රැකියාවේ නියැලෙන්නේ රෙදි මැසීමේ ව්‍යාපාරට වඩා සිය සිහිනය කරා වූ ඉණිමගක් ඒ හරහා සොයා ගැනීමේ විභවය වැඩි නිසාය.

සංතෘප්ත ශ්‍රමය සහ අසංතෘප්ත ශ්‍රමය අතර වෙනස කෙරෙහි ද “බහුචිතවාදියා” අපගේ අවධානය යොමු කරවයි. ගිෆ්ට්නෙට්හි හිමිකරුවා ප්‍රචණ්ඩ ලෙස සසිත ආයතනයෙන් එළවා දමා ඒ වෙනුවට ආයතනයට බඳවා ගන්නේ තම ලිංගික ශ්‍රමයද ඔහු වෙනුවෙන් ලබාදීම සඳහා සූදානමින් සිටින, සසිතගෙන් වෙන්ව සිටින ඔහුගේ කලින් පෙම්වතියයි. මේ වකවානුවේ පහළ පාංතික ස්ත්‍රීන්ගේ ශ්‍රමය සාපේක්ෂ වශයෙන් ලාභදායීවේ. සසිතගේ පැරණි පෙම්වතිය ගිෆ්ට්නෙට් හිමිකරුවා වෙත පැමිණීමට පෙර රැකියාව කරන්නේ, සාමාන්‍ය වශයෙන් ඉතා අඩු වැටුප් ගෙවන, සන්නිවේදන සේවා සපයන ස්ථානයකයි. ඇය ඒ ස්ථානයේ ද සාපේක්ෂ වශයෙන් සතුටින් සේවය කරන බව, පරිඝනක ක්‍රීඩා කරමින් රැකියා ස්ථානයේ පසුවන ඇය දෙස බැලීමෙන් අපට පෙනේ. ඇයගේ ජීවන අපේක්ෂාව වන්නේ, තම වැටුප් ඉහළ දමා ගැනීමට කටයුතු කිරීමට වඩා, සසිතගේ මැද පෙරදිග පෙම්වතින්ගේ මෙන්ම, පුරුෂයෙක් සොයා ගැනීමයි.

“බහුචිතවාදියා” අප වෙත පමුණුවන්නේ “දොරමඬලාව” අසන “බයියන්” සහ “ලංකාව හැර ඕනෑම රටක් පාරාදීසයකි” යැයි තනුක කරන ලද අර්ථයෙන් සිතන “ටොයියන්” ලෙස සරළ ලෙස බෙදී ගිය සමාජයකට වඩා වෙනස් වූ සමාජ-මානසික යථාර්ථයකි. එය අපගේ සමකාලීන යථාර්ථය පිළිබද අධිපති දෘෂ්ටිවාද විසින් අපගේ දේශපාලන දෙ ඇස මත පතිත කර ඇති දෘෂ්ටිවාදී ගණඳුර ඉරා දැමීමට අපව බලහත්කාරයෙන් තල්ලු‍ කරන ප්‍රබල කලා කෘතියකි.

 

Nir

 

සටහන - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොළඹ විශ්ව විද්‍යාලය

මෙම ලිපිය 'Nirmal Dewasiri' facebook පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී. 

 

kemadasa

shungara

Back to top
Go to bottom