(Sandali Mendis)
ඒ විසි එක්වෙනි සියවසේ මැද භාගය. ලෝකය මියයමින් පවතිනවා. දූවිල්ලෙන් නගර වැසී ගිහින්. වගා වනසන වසංගතයක් නිසා ආහාර උග්‍ර ලෙස හිඟ වෙලා. ජනගහණයත් විශාල ලෙස අඩු වෙලා. මේ තමයි Interstellar චිත්‍රපටයේ කථානායකයා වන කූපර් සිටි කාලයේ පෘථිවිය.

කූපර් කියන්නෙ හිටපු ගගනගාමියෙක්. නාසා ආයතනය වසා දැමුවට පස්සෙ ගොවිතැනට යොමු වුණ දක්ෂ ඒත් ටිකක් දඩබ්බර පුද්ගලයෙක්. ඔහු දරුවන් දෙදෙනෙකුගෙ පියෙක්. කූපර්ගේ බිරිඳ මිය ගිහින්. බිරිඳගේ පියා සමග තමයි කූපර් තමන්ගෙ දරුවන්ව බලාගන්නෙ. ඔවුන් ජීවත් වුණේ බොහොම රළු ලෝකයක.

මේ කාලෙ බොහෝ දෙමව්පියන් උත්සාහ කරේ තමන්ගෙ දරුවන්ව ගොවියන් බවට පත්කරන්න. මොකද කන්න බොන්න නැතිවුණොත් මිනිස් සංහතියම එකපාර වඳ වෙලා යන්න ඉඩකඩ වැඩියි. ඒත් කූපර්ට ඕන වුණේ තමන්ගෙ පුතා වුණ ටොම් සහ දුව වුණ මර්ෆ් තමන්ගෙ අඩි පාරෙ යනවා දකින්න. ඒ වෙනුවෙන් ඔහු ඉස්කෝලෙ ගුරුවරුන් සමග වාග් සංග්‍රාමයකට පවා එළඹෙනවා.
නමුත් ඒ කාලෙ සම්පත් හා මුදල් සීමිත නිසා විශ්ව විද්‍යාලවලට බඳවාගත්තෙ බොහොම සීමිත පිරිසක්. මේ නිසා කූපර් අකමැති වුණත් ටොම්ට සිද්ධවෙනවා උසස් අධ්‍යාපනය අතඇරලා ගොවිතැනට යොමුවෙන්න. ටොම් ඒක කැමැත්තෙන් කරත් කූපර්ගේ දුව මර්ෆ් කියන්නෙ නම් විද්‍යාවෙන් ගලවගෙන ගොවිතැනට යොමුකරන්න අමාරු චරිතයක්.

පුංචි මර්ෆ්ගේ හිතේ රැඳිලා තිබ්බ ලොකුම දේ තමයි තමන්ගෙ කාමරේ පොත් රාක්කෙ පිටිපස්සෙ හිටිය භූතයා. භූතයෙක්? විද්‍යාව එක්ක ජීවත්වෙන කූපර් නම් භූතයො විශ්වාස කරන්නෙ නෑ. ඒත් මර්ෆ්ගෙ පොත් රාක්කෙ තිබ්බ පොත් අද්භූත විදියට බිමට වැටෙන්නෙ මේ ආදරණීය භූතයගෙ ක්‍රියාවක් නිසා කියලයි මර්ෆ් විශ්වාස කරේ.
එක දවසක් මේ පවුලෙ අය යනවා බේස්බෝල් තරඟයක් බලන්න. ගිහින් එනකොට ඔවුන් ලොකු වැලි කුණාටුවකට මැදිවෙනවා.

ගෙදර ආවම මර්ෆ්ට මතක් වෙනවා යන්න කලින් කාමරේ ජනේලෙ වහලා යන්න අමතක වුණා නේද කියලා. මර්ෆ් කූපර් එක්ක කාමරේට ගිහින් බලද්දි ඔවුන් දකින්නෙ පුදුමාකාර දෙයක්. මර්ෆ්ගෙ කාමරේ පොත් රාක්කෙ ළඟ බිම වැලි වැටිලා තිබ්බෙ අමුතුම රටාවකට.
මේක දකින කූපර්ට පුදුම හිතෙනවා. ඇත්තටම භූතයෙක් ඉන්නවා වත්ද? මේ වැලි රටා දිහා බලාගෙන ඉන්න කූපර්ට තේරෙනවා මේ නිකන්ම නිකන් රටා නෙමෙයි ද්විමය සංඛ්‍යා පාදක කරගත් රටාවක් කියලා. ඒ රටාවෙන් කියවෙන්නෙ යම් ස්ථානයක පිහිටීමේ භූගෝලීය ඛණ්ඩාංක. කවුද මේ ඛණ්ඩාංක දෙන්නෙ?

මේ ඛණ්ඩාංකවලට අදාල තැන හොයාගෙන යන කූපර්ගෙයි මර්ෆ්ගෙයි මුළු ජීවිතයම වෙනස් වෙනවා. ඒ ඛණ්ඩාංකවල පිහිටලා තියෙන්නෙ වෙන මොකක්වත් නෙමෙයි මහජනයාට රහසිගතව ක්‍රියාත්මක වෙන නාසා ආයතනය. මෙතනදි කූපර්ට හම්බෙනවා ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන මහාචාර්ය බ්‍රෑන්ඩ් හා ඔහුගේ දියණිය අමීලියා බ්‍රෑන්ඩ්ව.

මහාචාර්ය බ්‍රෑන්ඩ් කූපර්ට කියනවා ලෝකය විනාස වෙමින් මියයමින් පවතින නිසා එයින් මනුෂ්‍ය සංහතිය බේරගන්න කරන්න යන අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුමක් ගැන. මේ මෙහෙයුමේ සැලසුම් දෙකක් තියෙනවා.
Plan A තමයි මිනිස් වර්ගයා ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝකයකට රැගෙන යාම. මේ දේ කරන එක ගොඩක් අමාරුයි. ප්‍රායෝගිකව දුෂ්කරයි. නිකමට හිතන්න මිනිස්සු බිලියන ගාණක් ආහාර, ජලය වගේ සැපයුම් එක්ක අභ්‍යවකාශයට අරන් යන්නෙ කොහොමද? මිනිස්සුන්ට පියාඹන්න බෑනෙ. අභ්‍යවකාශ යානාවල අරන් යන්න ගියත් පෘථිවියෙ ගුරුත්වය ඊට දරුණු බාධකයක් වෙනවා. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බාධකය විසඳන්න මහාචාර්ය බ්‍රෑන්ඩ් උත්සාහ කරමිනුයි ඉන්නෙ.
Plan A සාර්ථක නොවුණොත් කරන්න වෙන්නෙ ආරක්ෂිතව ගබඩා කරපු මිනිස් කළල ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝකයකට ගෙනිහින් එහෙ ජනාවාසයක් ඇතිකරන එක. හැබැයි එතකොට පෘථිවියෙ දැනට ඉන්න අයට දෙවියන්ගෙම පිහිටයි. ඒ තමයි Plan B.
ඔය මොන ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නත් ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝකයක් හොයාගන්න ඕනනෙ. අපි හැමෝම දන්නවනෙ එහෙම ග්‍රහලෝක හොයාගෙන තියෙන්නෙ අපිට ආලෝක වර්ෂ බර ගාණක් ඈතින් කියලා. ආලෝකයේ වේගයෙන් ගියත් ඒවට යන්න සැලකිය යුතු විශාල කාලයක් ගතවෙනවා. ඉතින් එතකන් මනුෂ්‍ය වර්ගයා පවතියිද? ඒ වගේ ගමනක් ප්‍රායෝගිකව මිනිස්සුන්ට යන්න පුලුවන්ද? එතකොට මොකක්ද මේ මහාචාර්ය බ්‍රෑන්ඩ්ගෙ මෙහෙයුම? හිතළුවක්ද?
නෑ. මෙතන අමුතු සංසිද්ධියක් වෙනවා. ලෝකෙට රහසේ යම් දෛවෝපගත සිදුවීමක් සිදුවෙනවා. මේ සිදුවීම් වෙන්න කාලෙකට කළින් නාසා ආයතනයෙන් හොයාගන්නවා සෙනසුරු ග්‍රහයා අසළ හදිසියේ මතුවුණ Wormhole එකක්. හදිසියේ මතුවුණා කිව්වට මේක කවුරුන් හෝ ඕනකමින්ම ගෙනල්ලා තිබ්බා කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නෙ. Wormhole එකක් කියන්නෙ සරලවම කිව්වොත් shortcut එකක්. අභ්‍යවකාශයේ දුර තැන් දෙකක් කෙටි දුරකින් යා කරන උමගක් වගේ දෙයක්.

නිකමට හිතන්න අපි පොත් කඩවල්වලින් ගන්න ලෝක සිතියම ගැන. ඒ ලෝක සිතියමේ ජපානයේ ටෝකියෝ ඉඳන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් දක්වා ඉරක් අඳින්න ගියොත් ආසියාව, යුරෝපය හා අත්ලාන්තික් සාගරය හරහා යන දිග ඉරක් තමයි අඳින්න වෙන්නෙ. හැබැයි ඒ සිතියම තියෙන්නෙ 2D කොළේක නිසා. ඇත්තටම ත්‍රිමාණ අවකාශයේ පෘථිවිය කියන්නෙ ගෝලයක්. ඒ ගෝලය මත ජපානයේ ටෝකියෝ ඉඳන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් දක්වා ඉරක් අඳින්න ගියොත් පැසිෆික් සාගරය හරහා විතරක් ගමන් කරන කෙටි ඉරක් අඳින්න පුලුවන්.
මේ විදියටම නොවුණත් තරමක් මේ වගේ දෙයක් තමයි wormhole එකකත් වෙන්නෙ. Interstellar චිත්‍රපටයේ අපිට පෙන්නනවා Wormhole එකක් මගින් ඉහළ මාන ඔස්සේ කාලාවකාශය රෙද්දක් වගේ නවලා දුර ස්ථාන දෙකක් අතරෙ කෙටි මාර්ගයක් නිර්මාණය කරනවා කියලා.
මෙන්න මේ වගේ wormhole එකක් නාසා ආයතනය හොයාගත්තට පස්සෙ ඔවුන් ඒ තුළට ගවේෂණ කණ්ඩායම් යවනවා. ඒ යන ගවේෂණ කණ්ඩායම් wormhole එක තුළින් වෙනත් මණ්දාකිණියකට ගමන් කරලා හොයාගන්නවා ජීවයට සුදුසු ග්‍රහලෝක 3ක්. ඉතින් මෙන්න මේ ග්‍රහලෝක ගවේෂණය කරන්න කූපර්, අමීලියා බ්‍රෑන්ඩ්, TARS හා CASE යන රොබෝවරුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් යවන්න මහාචාර්ය බ්‍රෑන්ඩ් තීරණය කරනවා. අන්න ඒ කණ්ඩායමේ කතාව තමයි Interstellar කියන්නෙ.

Spoilers Ahead!
මෙන්න මේ ගවේෂණ කණ්ඩායම wormhole එක තුළින් ගමන් කරලා මුලින්ම යන්නෙ Miller කියන විද්‍යාඟවරිය සොයාගන්නා ග්‍රහලෝකයට. හැබැයි එය පිහිටලා තියෙන්නෙ Gargantua කියන විශාල කළු කුහරයට ළඟින්. ඒ කළු කුහරයේ ප්‍රබල ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා ඒ ග්‍රහලෝකයේ කාලය ගතවෙන ආකාරය වෙනස්. ඒ ග්‍රහලෝකයේ ගතවෙන පැයක් කියන්නෙ පෘථිවියේ අවුරුදු 7ක්.
මිලර්ව සොයමින් මේ ග්‍රහලෝකයට ඇතුල් වෙන කූපර් ඇතුළු ගවේෂණ කණ්ඩායමට මිලර්ව හොයාගන්න ලැබෙන්නෙ නෑ. හැමතැනම වතුර. සාගරයක් වගේ. ඒ විතරක් නෙමෙයි නොසිතුව මොහොතක අති විශාල උදම් රැළි ඇතිවෙනවා. Gargantua කළු කුහරයේ අධික ගුරුත්වාකර්ෂණය මිලර්ගේ ග්‍රහලෝකය මත ඇතිකරන බලපෑම නිසා තමයි මේ විශාල උදම් රැළි ඇතිවෙන්නෙ.

මේ උදම් රැළිවලට මුහුණ දෙන්න ගිහින් බලාපොරොත්තු වුණාට වඩා වැඩි කාලයක් මිලර්ගෙ ග්‍රහලෝකය මත ගතකරන්න ගවේෂණ කණ්ඩායමට සිද්ධ වෙනවා. ඔවුන්ගේ එක් සාමාජිකයෙක් උදම් රළ නිසා මියයනවා. කූපර්, අමීලියා සහ CASE මිලර්ගේ ග්‍රහලෝකෙන් ආයි ඔවුන්ගේ ප්‍රධාන යානය Endurance වෙත එද්දි පෘථිවි වර්ෂ 23 කුත් මාස 4 කුත් දින අටකුත් ගතවෙලා.

අනිත් ග්‍රහලෝක දෙක අතරින් නිරන්තරයෙන්ම ධනාත්මක සංඥා ලැබුණ ආචාර්ය මෑන්ගේ ග්‍රහලෝකයට යන ඔවුන්ට මුහුණ දෙන්න වුණේ ඊට වඩා භයානක දේකට. ඒ තමයි පිටුපෑම. අවුරුදු තුනකට කලින්, තමන් ගොඩබැස්ස ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු නැති බව දැනගත්තම ආචාර්ය මෑන්ගේ ස්වභාවික මිනිස් ගතිගුණ එළියට එනවා. ඔහු ඒ ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසුයි කියලා බොරු සංඥාවක් එවනවා. ඒ කවුරුහරි ඇවිල්ලා තමන්ව ගලවාගනියි කියන බලාපොරොත්තුවෙන්.

ඒත් මෑන්ගේ ග්‍රහලෝකයට යන කූපර් හා අමීලියා ඇතුළු කණ්ඩායමට මෑන්ගෙ මේ බොරුව හෙළිවෙනවා. ඒත් එතකොට පරක්කු වැඩියි. Endurance ප්‍රධාන යානයට ගොඩවෙන්න හදන මෑන්ගේ වැරැද්දකින් ඒ යානය විනාශ වෙන්න ගන්නවා. ඒ, මෑන්ව හඹා යන කූපර්, අමීලියා, TARS හා CASE ගේ නැවත පෘථිවියට යෑමේ බලාපොරොත්තු සුන් කරමින්.
මහාචාර්ය බ්‍රෑන්ඩ්ගේ ප්‍රධාන සැලැස්ම Plan A නෙමෙයි Plan B කියලා දැනගන්ත කූපර් දැඩි තීරණයක් ගන්නවා. ඒ තමයි තවමත් ගවේෂණය නොකළ ඉතිරි ග්‍රහලෝකය, ඒ කියන්නෙ අමීලියාගෙ පෙම්වතා වුල්ෆ් එඩ්මන්ඩ්ස්ගෙ ග්‍රහලෝකය වෙත ඇයව පිටත් කරන්න. ඒත් ඒ දේ කරන්න නම් කූපර්ට තමන්ගෙ ජීවිතය Gargantua වෙත අත හරින්න වෙනවා.

CASE සහ මනුෂ්‍ය කළල සමගින් අමීලියාව එඩ්මන්ඩ්ස්ගෙ ග්‍රහලෝකයට පිටත් කරන කූපර් සහ TARS දෙදෙනා වෙන වෙනම Gargantua කළු කුහරයට ඇදී යනවා. මෙන්න මෙතනින් තමයි චිත්‍රපටියේ හොඳම කොටස ආරම්භ වෙන්නෙ.

කළු කුහරය තුළට ඇදී යන කූපර් එක්වරම අද්භූත අවකාශයකට ඇදී යනවා. ඒ අවකාශයේ එක් තැනක දී ඔහු දකිනවා පොත් රාක්කයක් වගේ දෙයක්. ඒ පුංචි මර්ෆ්ගෙ පොත් රාක්කෙ. ඒත් කූපර් කළු කුහරය තුළට ඇදී යන කාලය වෙනකොට මර්ෆ් තවදුරටත් පුංචි නෑ වයසට ගිහින්.

ඒත් මේ පොත් රාක්කෙන් එපිට හිටිය මර්ෆ් තාමත් පුංචියි. ඒ කූපර් දැකලා තියෙන්නෙ අතීතයේ එක් දවසක්. තමන්ගෙ පොත් රාක්කෙ භූතයෙක් ඉන්නවා කියලා මර්ෆ් දැනගන්න දවස. ඒ කියන්නෙ පොත් රාක්කෙ භූතයා වෙන කවුරුවත් නෙමෙයි මර්ෆ්ගෙ තාත්තා කූපර්.
එතකොට කළු කුහරෙ ඇතුළට ඇදී ගිය කූපර් කොහොමද මර්ෆ්ගෙ පොත් රාක්කෙ පිටිපස්සට ආවෙ. ඇයි මර්ෆ්ට කූපර්ව පේන්නෙ නැත්තෙ? මේ අද්භූත අවකාශයේ ඉන්න කූපර්ට TARS ගෙ හඬ ඇහෙනවා. TARS සමග කරන කතාබහින් කූපර්ට තේරෙනවා තමනුත් TARS ත් මේ ඉන්නෙ උසස් ජීවීන් විසින් නිර්මාණය කරපු ටෙසරැක්ට් එකක කියලා.
අපි දන්නවා මනුෂ්‍යයන් විදියට අපිට දිග, පළල, උස කියන අවකාශයීය මාන හොඳින් දැකගන්න පුලුවන්. අපිට x, y හා z කියන අක්ෂ ඔස්සේ දෙපැත්තට ගමන් කරන්න පුලුවන්. කාලය කියන සිව්වෙනි මානය අපිට අත්විඳින්න පමණයි පුලුවන්. අපිට එය දැකගන්න හෝ අල්ලන්න බෑ. මනුෂ්‍යයන් විදියට කාලය ඔස්සේ අපිට ගමන් කරන්න පුලුවන් එක් දිශාවකට පමණයි. මනුෂ්‍යයන් විදියට තවමත් අපිට අතීතයට යන්න බෑ.
ඒ කියන්නෙ කාලය කියන සිව්වන මානය තියෙන්නෙ අපේ පාලනයෙන් බැහැරව. එතකොට ඊට ඉහළ මාන? පස්වන, සයවන, සත්වන මාන? මේ දේවල් මොන වගේද කියන එකවත් බොහෝ දෙනෙක්ට පරිකල්පනය කරන්නවත් අමාරුයි. ඒ දේවල් දැකගන්න තරම් අපි දියුණු නෑ.
ඒත් මෙන්න මේ ටෙසරැක්ට් එක නිර්මාණය කරපු ජීවීන්ට නම් මේ උසස් මාන ගෝචරයි. චිත්‍රපටය බැලුවම අපිට තේරෙනවා ඒ අය සිව්වන හා පස්වන මානය යම් තාක් දුරකට පාලනය කරනවා කියලා. ඒත් මේ උසස් මාන කූපර්ගේ දෑසට ගෝචර නෑනෙ. අන්න ඒ නිසා ඒ මාන කූපර්ගේ දෑසට ගෝචර වන ආකාරයට ඔවුන් ටෙසරැක්ට් එක නිර්මාණය කරනවා. TARS මේ බව කූපර්ට පැහැදිලි කරලා දෙනවා.
ඒ කියන්නෙ ටෙසරැක්ට් එක ඇතුළෙ එක් එක් කොටස් තුළ කූපර්ට ගෝචර වෙන විදියට මර්ෆ්ගේ හා ඔහුගේ අතීතයේ වැදගත් අවස්ථා උසස් ජීවීන් විසින් කූපර්ට පෙන්වනවා. කූපර්ට පුලුවන් ඒ එක එක අවස්ථාව නිරීක්ෂණය කරන්න.
මේ ටෙසරැක්ට් එක ඇතුළෙදි කූපර් තේරුම්ගන්නවා ගුරුත්වාකර්ෂණය භාවිතා කරලා මර්ෆ්ගේ අතීතයට පණිවුඩ දෙන්න පුලුවන් කියලා. මර්ෆ්ගේ කාමරයේ වැලි රටා මවමින් නාසා ආයතනයේ ඛණ්ඩාංක ලබාදෙන්නෙත් එහෙමයි. ඔව්, ඒ කියන්නෙ අතීත කූපර් නොදැනුවත්ව හෝ ඔහුට නාසා ආයතනය හොයාගන්න ඛන්ඩාංක ලබාදෙන්නෙත් කූපර්ම තමයි.
මතකද මහාචාර්ය බ්‍රෑන්ඩ්ගෙ Plan A ට එරෙහිව තියෙන විශාල බාධකය? ගුරුත්වාකර්ෂණය. පෘථිවියේ දැනට වෙසෙන ජනතාව බේරාගන්න පුලුවන් වෙන්නෙ Gargantua කළු කුහරයේ දත්ත උපයෝගි කරගෙන එම බාධකය බිඳ දැම්මොත් පමණයි කියලා කූපර්ට මතක් වෙනවා. ඒ දත්ත මෝස් කේත ලෙස මර්ෆ්ට යවන්න TARS කූපර්ට උදවු කරනවා.
හැබැයි පුංචි මර්ෆ් කොහොමද මෙච්චර බරපතල හා සංකීර්ණ භෞතික විද්‍යාත්මක සංකල්ප තේරුම්ගන්නෙ? මේ ටෙසරැක්ට් එක ඇතුළෙදි කූපර් දැක්කෙ මර්ෆ්ගේ පුංචි කාලෙ සිදුවීම් විතරක් වුණාට චිත්‍රපටියෙ අපිට පෙන්නනවා වසර ගණනාවකට පස්සෙ මර්ෆ් ආයි තමන්ගෙ කාමරේට ඇවිල්ලා පොත් රාක්කෙ දිහා බලන් ඉන්නවා. තමන්ගෙ තාත්තා යන්න කලින් තමන්ට දුන්න අත් ඔරලෝසුව හොයාගන්නවා.

මෙන්න මෙතනදි තමයි මර්ෆ්ට තේරෙන්න ඔරලෝසුව හරහා තාත්තා මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා කියලා. ඒ කියන්නෙ කූපර් හා TARS එකතු වෙලා ඔරලෝසුවට එව්ව Gargantua කළු කුහරයේ දත්ත වැඩිහිටි මර්ෆ් තේරුම්ගන්නවා. කූපර්ගෙ දෑසට ගෝචර නොවෙන උසස් මාන හරහා කූපර්ව භාවිතා කරලා උසස් ජීවීන් මර්ෆ් සමග සන්නිවේදනය කරේ මේ අයුරින්.
ගුරුත්වාකර්ෂණ බාධකය විසඳන ආකාරය මේ දත්ත ආශ්‍රයෙන් වැඩිහිටි මර්ෆ් හොයාගන්නවා. කූපර්ගේ හා TARS ගේ කාර්යය අවසානයි. උසස් ජීවීන් ටෙසරැක්ට් එක වසා දමනවා. එඩ්මන්ඩ්ස්ගේ ග්‍රහලෝකයට ළඟාවෙන අමීලියා සහ CASE එහි මනුෂ්‍ය ජනාවාසයක් පිහිටුවන්න කටයුතු කරනවා.

අපිට පේන විදියට Plan A සහ Plan B යන දෙකම සාර්ථකයි. හැබැයි මෙතන ගැටළු කිහිපයක්ම තියෙනවා. ටෙසරැක්ට් එක තුළදි TARS කියනවා කළු කුහරයට වැටුණ කූපර්ව හා TARS ව අනාගත මනුෂ්‍යයන් විසින් බේරගන්නවා කියලා. කූපර් කොහොමහරි මරණ මංචකයේ සිටින වයසක මර්ෆ්වත් හම්බෙනවාත් අපිට පෙන්වනවා. ඊට පස්සෙ TARS සමග එකතු වෙලා අමීලියාව හොයාගෙන යනවත් අපිට පෙන්වනවා.

ඒත් ලොව පුරා රසිකයන්ට මෙතනදි ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. Gargantua කියන්නෙ කළු කුහරයක්. එයට දේවල් ඇදගන්නවා මිසක් එයින් දේවල් පිටතට විසිකරන්නෙ නෑ. එතකොට කූපර් සහ TARS බේරුණේ කොහොමද? ඒ වගේමයි මරණ මංචකයේ සිටින මර්ෆ්ව බලන්න යන කූපර්ව එතන ඉන්න වෙන කවුරුවත් ගණන් ගන්නෙ නෑ.
මෙන්න මේ ගැටළු දෙක ගැන තියෙන ප්‍රසිද්ධ මතයක් තමයි ටෙසරැක්ට් එක වසා දමද්දි කූපර් මිය යනවා කියන එක. එතනින් පසු අපිට පෙන්වන සියලු දේ ඔහු මරණ මංචකයේ දි දකින සිහිනයක් වගේ දෙයක් කියන එක. හරියට කිව්වොත් කූපර් කියන වීරයාට ලබාදෙන ආදරණීය සමුගැනීමක් වගේ.
මේ හැමදේම බලද්දි හිතෙන දේ තමයි Interstellar කියන්නෙ විද්‍යාත්මක න්‍යායන්, මතවාද වගේම සංකල්ප පිරුණ චිත්‍රපටයක් කියන එක. ඇත්තටම මේ වගේ අදහස් ඔලුවට එන්නෙ මොන වගේ අයටද?
Interstellar චිත්‍රපටයේ තිරරචනය සිදු කරලා තියෙන්නෙ ක්‍රිස්ටෝෆර් නෝලන් සහ ඔහුගේ සහෝදරයා ජොනතන් නෝලන් විසින්. චිත්‍රපටයේ මුල් පිටපත ලියන්න කලින් විද්‍යාත්මක සංකල්ප ගැන ඉගෙනගන්න ජොනතන් නෝලන් California Institute of Technology හි සාපේක්ෂතාවාදය පවා හදාරලා තියෙනවා. ඔහු අවුරුදු 4ක් පිටපත වෙනුවෙන් මහන්සි වෙලා තියෙනවා.

හැබැයි මේ නෝලන් සහෝදරයො දෙන්නට තමන්ට ඕන ඕන විදියට විද්‍යාත්මක සංකල්ප හරවන්න නමන්න නම් ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයෙක්ගෙන් ඉඩ ලැබිලා නෑ. ඒ තමයි නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ කිප් තෝර්න්. චිත්‍රපටයේ විද්‍යාත්මක පැතිකඩ වෙනුවෙන් ඔහු අති විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා.
ඇත්තම කිව්වොත් Interstellar චිත්‍රපටය ගැන අවුරුදු ගාණක් වුනත් කතා කරන්න පුලුවන්. පිටපත, සිනෙමාකරණය, සංගීතය, දෘශ්‍ය ප්‍රයෝග, රංගනය කියන මේ හැම පැත්තකින්ම විශිෂ්ටයි කියන්න පුලුවන් චිත්‍රපටයක් තමයි Interstellar කියන්නෙ.
රචනය - Sandali Mendis
(සිනමාවේදීන් - The Cinema People facebook පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



