lan englan tam

විශේෂාංග

අග්‍රගණ්‍ය කලා නිර්මාණයක් හඳුනාගන්නේ කොහොමද? (පලමුවන කොටස) | භාග්‍යා රාජපක්ෂ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝකයේ ඕනෑම වර්ගයක විශිෂ්ටතම කලා නිර්මාණයක් පිළිබඳව කතා කරන විට එකී කලා කෘතිය හැඳින්වීමේ දී පාරිභාෂිත පදයක් ලෙස ‘මාස්ටර්පීස්‘ යන්න යොදා ගනු ලැබේ.

එසේ වුවත්, ඇතැම් අවස්ථාවල මෙය අතිශයෝක්තියෙන් ද භාවිතා වෙයි. එමෙන්ම එවැනි සහජ නිර්ණායක ගුණාංග නොමැතිවද මෙම විශේෂණය කලා කෘති සඳහා යොදනු දැකිය හැකිය. ඒ අනුව වඩා පුළුල් අරුතකින් ‘මාස්ටර්පීස්’ යන්න විමසා බැලීම වැදගත් වෙයි.

කලා නිර්මාණයක් බිහිවන්නේ මූලික වශයෙන් නිර්මාණකරුගේ පරිකල්පනය පදනම් කරගෙනය. ඒ අනුව ලෝකයේ සියලු කලාවන්හි ආරම්භය සිදුවන්නේද මානව පරිකල්පනය කේන්ද්‍ර කර ගනිමිනි. එසේත් නොමැතිනම් මානව සන්තානයේ පහළ වන්නා වූ රූපාකෘතියකින් කලාකෘති බිහිවේ. එසේ මවා ගන්නා සංසිද්ධිය වාච්‍යාර්ථයෙන්, නාදාර්ථයෙන් හෝ රූපාර්ථයෙන් අන් අයට සන්නිවේදනය කිරීමට ගන්නා උත්සාහය කලා කෘතියක් බිහිකිරීමේ මූලික ක්‍රියාවලියයි. එය මානවයා සතු අපූරු සාමාර්ථ්‍යකි.

 

යම් නිර්මාණයක් කලා කෘතියක්ද? එසේ නොමැති ද? යන්න නිශ්චය කිරීමෙහිලා පිළිගත් නිර්ණායක තුනක් ඩේවිඩ් මාටින් සහ ලී.ඒ. ජේකොබස් විසින් රචිත ‘ද හියුමැනිටීස් තෲ දි ආර්ට්’ ග්‍රන්ථයෙහි දැක්වෙයි. එනම් නිර්මිත වස්තුව හෝ සිද්ධිය කලාකරුවකු විසින් නිර්මාණය කර තිබීම, එය නිර්මාණකරු විසින් චේතනාන්විතව කරන ලද කෘතියක් වීම සහ පිළිගත් කලා විශාරදයන් විසින් එය කලා කෘතියක් වශයෙන් හඳුනාගෙන තිබීම එකී සාධක ත්‍රිත්වයයි.

කලා කෘතියක් විශිෂ්ට ගණයේ එකක්ද, සාමාන්‍ය මට්ටමේ නිර්මාණයක්ද, නැතිනම් එකී විෂයේ දුර්වල අඩුපාඩු සහිතව පවතින්නක්ද වශයෙන් වර්ගීකරණය කිරීමේදී කලා ඉතිහාසඥයන්, කලා රසාඥයන්, කලා අභිරක්ෂකයන්ගේ සහ කලා විචාරකයන්ගේ තීරණ මුඛ්‍ය වේ. කලා නිර්මාණ සම්බන්ධයෙන් එවැන්නන්ට ඇති විවේචනාත්මක දෘෂ්ටිය, ගැඹුරු අවබෝධය, කාල නිර්ණය හා සැසදීමේ හැකියාව සහ කලා ඇසුරේ පරිචය යනාදිය මෙහිදී බලපවත්වයි. කිසියම් නිර්මාණයක් තුළින් සන්නිවේදනය කරන පණිවිඩය හා ආකෘතිය වටහාගැනීමට කලා විශාරදයන් තුළ ඇති විචක්ෂණශීලී භාවය කලාකෘතියක් එයට හිමි ස්ථානයේ ස්ථාපනය කිරීම කෙරෙහි බලපාන බව කිව හැකියි.

 

‘මාස්ටර්පීස්’ යන වචනය සමඟ එකට ගමන් කරන තවත් යෙදුමක් වන්නේ ‘මැග්නම් ඕපස්’ (Magnum Opus) යන්නයි. එය ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වූ වචනයකි. මෙහි අර්ථය ‘විශිෂ්ට කර්තව්‍ය’ (Great Work) යන්නය. කලාකරුවෙකුගේ නිර්මාණ ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටම කලාකෘතිය හැඳින්වීමේ දී ‘මැග්නම් ඕපස්’ යන වචනය භාවිතා වෙයි. යම් කෘතියක් ‘මාස්ටර්පීස්’ එකක් වශයෙන් නිශ්චය වී තිබුණත් එය අදාළ නිර්මාණකරුගේ නිර්මාණ දිවියේ හොඳම කෘතිය නොවිය හැකියි. නිර්මාණකරුවෙකු ‘මාස්ටර්පීස්’ මට්ටමේ කෘති ගණනාවක් නිර්මාණය කළද ඔහුගේ එකී නිර්මාණ අතර ‘මැග්නම් ඕපස්’ නිර්ණය කිරීම ඇතැම් විට දුෂ්කරය.

මේ සදහා නිරවද්‍ය නිදර්ශනය වන්නේ මයිකලාන්ජෙලෝය. ඔහුගේ ‘ඩේවිඩ්’, සිස්ටීන් බිතුසිතුවම්, ‘පියෙටාව’, මෙඩිචි මන්දිරයේ මූර්ති සහ ‘මෝසස්’ මූර්තිය යන සියල්ල එකකට එකක් දෙවැනි නොවන ‘මාස්ටර්පීස්’ ය.

 

කලාත්මක නිර්මාණයක් බිහිවන්නේ පුද්ගල කේන්ද්‍රීය නිර්මාණාත්මක ප්‍රකාශනයක් ලෙස වන අතර එය රස විඳීම, අගය කිරීම, විවේචනය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරනු ලබන්නේ තවත් එවන් වූ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කලා රසික ප්‍රජාවක් විසිනි. කලා නිර්මාණයක පැවැත්ම තීරණය වන්නේ පුද්ගල අභිරුචීන් විසින් ගොඩනගන වලංගුභාවයන් තුළිනි. මීට අමතරව නිර්මාණකරුගේ පරිකල්පනය සමඟ ආත්මගත වූ දෘෂ්ටිවාදී හැඩගැස්වීම් කලා නිර්මාණයක වලංගුභාවය මෙන්ම එහි පැවැත්මේ ස්වභාවයද තීරණය කරනු ලබයි.

කලා නිර්මාණයක් ‘මාස්ටර්පීස්’ එකක් බවට පත්වීමෙහිලා බලපාන තවත් පොදු සාධක තුනක් වෙයි. එයින් පළමුවැන්න නම් යම් කලා කෘතියක් කෙතරම් අපූර්වතාවකින් යුක්ත ද යන්නයි. එකී අපූර්වතාවය යනු එම ලක්ෂණය මින් පෙර නොපැවති බව කලා කෘතිය තුළින් සන්නිවේදනය වීමයි. එමෙන්ම එය බලපෑම් සහිත ලක්ෂණ වලින්ද යුක්ත වීමයි. කලා රසිකයා නිර්මාණයට ආකර්ෂණය වීම යනු මේ බලපෑම් සහිත ලක්ෂණය කලා කෘතිය තුළ අඩංගුව තිබීමයි. දෙවැන්න නම්, යම් නිර්මාණයක් සමාජ මෙන්ම පුද්ගල අවකාශය තුළ රැඳී සිටීමට සමත් වන කාලසීමාවයි. මේ කාලසීමාව දින ගණන්වල සිට සියවස් ගණන් දක්වා ගමන් කරයි. බොහෝ විට පළමුවැනි සාධකය ලෙස ගෙන හැර දැක්වූ අපූර්වතාව යන්න කලා නිර්මාණයක දිගුකාලීන පැවැත්ම කෙරෙහි සෘජුවම බලපායි. අපූර්ව දෙයක් කිසිදින ප්‍රතිස්ථානගත කළ නොහැකිය. ප්‍රතිස්ථානගත කිරීමට ඇති නොහැකියාව එකි නිර්මාණයේ පැවැත්ම සියවස් ගණනාවකිනුත් ඔබ්බට රැගෙන යයි. යම් කලා නිර්මාණයක් ‘මාස්ටර්පීස්‘ එකක් බවට තහවුරු කරන තෙවැනි සාධකය නම් එම පළමු නිර්මාණයෙන් පසුව බිහිවන නොයෙකුත් නිර්මාණ කෙරෙහි අනාගත නිර්මාණකරුවන්ගේ නිර්මාණ ව්‍යාකරණයේ දිශානති තීරණය කිරීමෙහිලා හෝ හැඩගැස්වීමෙහිලා මෙන්ම විපරිවර්තනය කීරීමෙහි ලා ඒ පළමු නිර්මාණය සතුව පවතින උසස් පූර්වාදර්ශ ශක්‍යතාවයයි. එවැනි කලා නිර්මාණයක් බොහෝ අවස්ථාවල නව කලා ශෛලියක මූලාශ්‍රයක් වෙයි. චිත්‍ර, මූර්ති, සංගීත, නර්තන, සාහිත්‍ය මෙන් ම සිනමා ආදී වූ කලාවන් තුළ නිර්මාණය වූ ශෛලීන්ට කාලය හා අවකාශමය පරිවර්තනයන්ට යටත්ව සියවස් ගණනක් පැවතීමේ හැකියාව මෙමගින් පැහැදිලි වෙයි.

 

‘මාස්ටර්පීස්’ යන යෙදුම ‘ශෙෆ් දෝවේ’ (Chef d’oeuver) හෙවත් ‘මුඛ්‍ය කෘතිය’ යන අර්ථයෙන් පළමුව සඳහන් වන්නේ දොළොස්වන සියවසේ මධ්‍යකාලීන ප්‍රංශ ලේඛනවලය. මෙය මධ්‍යකාලීන ශිල්ප ශ්‍රේණි (Craft Guilds) ආශ්‍රිතව ව්‍යවහාරයට පැමිණි වචනයකි. ශිල්පශ්‍රේණියක් වශයෙන් හැඳින්වෙන්නේ කලා ශිල්පමය අරමුණු මෙන්ම සමාජ යහපැවැත්ම පිළිබඳ අරමුණු මුල් කරගෙන ඉහළ නිපුණත්වය මෙන්ම ප්‍රවීණතාව අවධාරණය කරමින් ඒවාට සම්බන්ධ කලා ශිල්පීන් (Craftsmen) විසින්ම පිහිටුවාගන්නා ලද සන්ථවයන් ය. මධ්‍යකාලීන යුරෝපයේ ශිල්ප ශ්‍රේණියකට ශිල්පියකු ඇතුළත් කර ගැනීමේ දී එම ආධුනික ශිල්පියාගේ අධ්‍යාපනය සහ ශිල්පීය නිපුණතාව විදහා දැක්වීම සඳහා උසස් නිර්මාණ කෘතියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය විය. තම ශිල්පීය හැකියාව මෙන්ම නිර්මාණාත්මක හැකියාව සම්මිශ්‍රණය කරමින් ඉදිරිපත් කළ යුතු එම කෘතියට එකල ව්‍යවහාර වූ නාමය වූයේ ‘මාස්ටර්පීස්’ යන්නයි. ආධුනික කලාශිල්පියෙකු කලා විශාරදයෙකු (Master) වශයෙන් පිළිගැනීමට නම් ශිල්ප ශ්‍රේණියක සාමාජිකත්වය ලබා ගැනීම එකල අත්‍යවශ්‍ය සාධකයක් විය.

 

ඇමරිකානු ඉතිහාසඥ මහාචාර්ය වෝල්ටර් කැන් විසින් 1979 දී රචිත ‘මාස්ටර්පීස්: චැප්ටර්ස් ඔන් ද හිස්ටි්‍ර ඔෆ් ඇන් අයිඩියා’ නම් වූ පොතෙහි සඳහන් කරන ආකාරයට ශිල්ප ශ්‍රේණියකට ආධුනික ශිල්පියෙකු ඇතුළත් වීමේ දී ‘මාස්ටර්පීස්’ එකක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මුලින්ම දක්වා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1261-1271 අතර එතියොන් බ්වෙලෝ විසින් සංගෘහිත කරන ලද ‘කර්මාන්ත සංග්‍රහය’ (Book of Trade) නම් පැරිස් නගරයේ වෙළඳ හා කලා ශිල්ප නියාමනය කරන ලද ආඥා පනත් අඩංගු ලේඛනයේය.

චිත්‍ර ශිල්පීන්ට, මූර්ති ශිල්පීන්ට, රන්කරුවන්ට, කම්මල්කරුවන්ට, රෙදි වියන්නන්ට, සපතේරුවන්ට සහ වඩුවන්ට ශිල්ප ශ්‍රේණි වලට ඇතුළත් වීම සඳහා, තම උපරිම ප්‍රවීණතාව සහ කුසලතාව ප්‍රදර්ශනය කරමින් අන් අයෙකුට පහසුවෙන් අනුකරණය කළ නොහැකි කලාත්මක මෙන්ම සංකීර්ණ නිර්මාණයක් හෙවත් ‘මාස්ටර්පීස්’ එකක් ඉදිරිපත් කිරීම තුලින් තම ආධුනික භාවය අවසන් කරමින් අදාළ ශිල්ප ශ්‍රේණිය තුළ විශාරදයකු ලෙස පිළිගැනීම සිදුවිණි. එමෙන්ම ශිල්ප ශ්‍රේණියක් විසින් කලා ශිල්පියෙකු ගේ ‘මාස්ටර්පීස්’ එක ප්‍රතික්ෂේප කළහොත් එම කලාශිල්පියාට එම නිර්මාණය නැවත දෙවරක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණි.

 

14 සහ 15 වන ශතවර්ශයේදී පුනරුද යුගයේ ආරම්භය සහ වර්ධනය සමඟ සිතුවම්කරණය සහ මූර්ති කලාව ව්‍යාපාරයක් හෝ ශිල්පයක් (Trade or Craft) වශයෙන් නොව කලාවක් වශයෙන් සංස්ථාපනය වීම සිදුවෙයි. එසේ කරනු ලබන්නේ මේ වන විට ස්ථාපනය වී තිබූ ‘ඇකඩෙමියාව’ විසිනි.

මේ කාලය වන විට ‘මාස්ටර්පිස්’ යන යෙදුමේද යාවත්කාලින වීමක් සිදුවිය. ‘මාස්ටර්පීස්’ යන්න කලාකරුවකුගේ නිර්මාණ ප්‍රවීණත්වයේ උච්ඡත්වය විදහා දක්වන කෘතිය වශයෙන් වූ අදහස නොවෙනස්ව පැවතියද යුරෝපයේ පුනරුදයේ වර්ධනයත් සමඟ කලා නිර්මාණ කෙරෙහි පෙර නොවූ විරූ ප්‍රභූත්වයක් ආරෝපණය විය. කලා කෘතියක් නිර්මාණය කිරීමෙහිලා ශිල්පිය නිපුණත්වය පමණක් ප්‍රමාණවත් නොවූ අතර එයින් ඔබ්බට ගිය සියුම් මෙන්ම සංකීර්ණ සුවිශේෂී කලාත්මක එළඹුමක අවශ්‍යතාවය මේ කාලයේ අවධාරණය විය.

‘මාස්ටර්පීස්’ යනු කුමක් විය යුතුද යන්නට බලපැවැත්වූ නිර්ණායකයන්හි යාවත්කාලීන වීම කෙරෙහි බටහිර කලා ඉතිහාසයේ ප්‍රථම කලා ඉතිහාසඥයා වශයෙන් සැලකෙන ජෝර්ජියෝ වසාරි (1511-1574) විසින් මහත් වූ බලපෑමක් ඇතිකළේය. 1550 දී වසාරි විසින් රචනා කරන ලද ‘ද ලයිව්ස් ඔෆ් ද මෝස්ට් එක්සලන්ට් පේන්ටර්ස්, ස්කල්ප්ටර්ස් ඇන්ඩ් ආකිටෙක්ට්ස්’ නැමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වූයේ සාමාන්‍ය මට්ටමේ කලාකරුවන්ගෙන් විශේෂිත කලාකරුවන් වෙන්කර හඳුනා ගැනීමයි. එමෙන්ම විශේෂිත කලාකරුවන් අතරින් අති විශේෂිත කලාකරුවන් හඳුනා ගැනීම යන්නද කලා ඉතිහාසයෙහි භූ දර්ශනය පූර්ණ වශයෙන්ම වෙනස් කිරීමෙහිලා හේතු වූ අතර කලාකරුවන් ධූරාවලි ගතවීමද එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවිය. කලාකරුවන්ගේ ධූරාවලි ගත වීම ‘කලා මාර්ගෝපදේශ’ හෙවත් කැනනයන් (Canon) බිහිවීමෙහි ලා හේතු සාධක විය.

‘කැනන්’ යන වචනය ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වී ඇති අතර ‘සම්මතය’ (Standard) හෝ ‘මිනුම් දණ්ඩ’ (Measuring Rod) වශයෙන් අර්ථ දැක්වෙයි. පුරාණ ග්‍රීක ඉහළ සම්භාව්‍ය යුගයට අයත් ‘පොලික්ලයිටෝස්’ කැනනය මුල් ග්‍රීක ප්‍රතිමා නිර්මාණයේදී භාවිතා වූ පැරණිම මාර්ගෝපදේශ කෘතියකි. එය බටහිර කලාත්මක මූර්ති සඳහා වූ කැනනයන්හි වැදගත්ම කෘතියකි. කතුවරයා සහ මූර්ති ශිල්පී පොලික්ලයිටෝස් ය. මෙම මුල් කෘතිය අද දක්නට නොලැබෙන අතර පොම්පෙයිවලින් හමුවූ රෝම පිටපතක් පවතී. රන් කර්මාන්ත කලාව සහ මූර්ති ශිල්පය පිළිබඳ 15 වන සියවසේ බිහිවූ තවත් කැනනයක් වන්නේ ඉතාලි ජාතික බෙන්වෙනූටෝ සෙලිනිගේ ‘ද ට්‍රිටීස් ඔෆ් බෙනුවෙනුටෝ සෙලීනි ඔන් ගෝල්ඩ් ස්මිත් ඇන්ඩ් ස්කල්ප්චර්’ ලේඛනයයි.

 

කලා ඉතිහාසය තුළ කලා සිද්ධාන්ත හෙවත් කැනන් වශයෙන් හඳුන්වනු ලබන්නේ අනාගතයේ බිහිවන කලා නිර්මාණ සඳහා සම්මතයන් හා නිදර්ශන සපයන විශේෂතා සහ ගුණාත්මකභාවයෙන් පිරිපුන් බලපෑම් සහිත මෙන්ම අග්‍ර තලයේ ස්ථානගත වූ කලාකරුවන්, කලා කෘති සහ කලා ශෛලීන් සමූහයකි. මෙරට පැරණි කලා සදහා ප්‍රකට කැනනයන් තුනක් ලෙස ‘මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍ර’ හා ‘චිත්‍රකර්ම ශාස්ත්‍ර’ මෙන්ම ‘ශාරිපුත්‍රය’ දැක්විය හැකිය. පුනරුද සමයේ කෘති වලට ආරෝපණය වූ සම්භාව්‍යත්වය සහ ප්‍රභූත්වය හේතු කරගෙන ‘මාස්ටර්පීස්’ යන්න නිර්ණය කරන සම්මතයන්ගේද විතැන්වීමක් සිදුවිය. උත්කෘෂ්ට කලා ශිල්පියකු (ගුරු) වීමට නම් පුරාතන සහ සම්භාව්‍ය කලා නිර්මාණවල ආභාෂය ඇසුරෙන් නිපුණතාව වර්ධනය කර ගැනීම ශිල්පියාගේ ප්‍රවීණත්වය තීරණය කරන ව්‍යවහාරික නිර්ණායකයක් බවට පත් විය. කලා කෘතියක් කලා සිද්ධාන්තයක් හෙවත් කැනනයක් බවට පත්වීම තුළ කාලයේ සහ අවකාශයේ පරිවර්තනයන් සමග පෞරාණික සම්භාව්‍යත්වයක් සහිතව අලුතෙන් බිහිවන කලා කෘතිවලට නිර්මාණවේශ සැපයීමේ අග්‍ර කෘති (Masterpiece) බවට ඒවා නිතැතින්ම පත්විය.

ශිල්ප ශ්‍රේණි අවධියේ ව්‍යවහාරයට පැමිණි ‘මාස්ටර්පීස්’ යෙදුම, කාලයත් සමග එහි අර්ථය, කලාත්මක සංයෝජන මෙන්ම මිනුම් දඬු, පුද්ගල මතවාදයන්හි ඇති වූ විපර්යාස සහ යාවත්කාලීන වීම් හේතු කර ගෙන එක් කුඩා සමූහයක් තුළ භාවිත වූ යෙදුමක සිට විශ්වීය සන්දර්භයක බහුලව භාවිතා වන යෙදුමක් දක්වා ව්‍යාප්ත විය. එනම් ගෝලීය වාස්තවික අවකාශය තුළ මෙන්ම සමාජ මාධ්‍ය අවකාශ ඇතුළු සියලු මාර්ගගත අවකාශ තුළ ‘අධිභාවිතයක්’ සහිත යෙදුමක් දක්වා එය පරිණාමය වී තිබේ. මේ කරුණ තවදුරටත් පැහැදිලි කරන්නේ නම් පුද්ගලබද්ධ අවකාශයේ කලාත්මක රසභාවයන් හි කාලානුරූපී විපර්යාස සමග ඒ ඒ වකවානුවල බිහිවන කලා නිර්මාණ කෘතිවල කලාත්මක විලාස, අන්තර්ගතය මෙන්ම කලාත්මක රූපාකාරය යනාදී අංගවල විපර්යාස සහ යාවත්කාලීන වීම් තවමත් සිදුවෙයි.

පුනරුදයට පෙර සහ පසු අවදිවල කලාත්මක පරිපූර්ණත්වය මෙන්ම පැවති කලා සම්ප්‍රදායන් නඩත්තු කරමින් තම ශිල්පීය ප්‍රවණතාව විදහා දැක්වූ කලා ශිල්පියකුගේ (Artisan) සිට පුද්ගල අභිමතයන්ට අනුව පුද්ගල අභිරුචීන්ට වැඩි ඉඩක් දෙමින් කලාවේ නව ශක්‍යතා ගවේෂණය කරමින් ඒවා වඩා නිදහස් අවකාශයක තම නිර්මාණ හරහා ප්‍රකාශයට පත් කළ කලාකරුවකු (Artist) දක්වා කලා නිර්මාණකරුගේ භූමිකාව විතැන් වීම සිදුවේ. මේ සඳහා ආදර්ශ සපයන පැරණි ප්‍රබලම චරිතය වන්නේ බෙන්වෙනුටෝ සෙලීනිය (1500-1571).

මෙතෙක් වස්තු විෂය නොවූ වාස්තවික ලෝකය සමග සමාජමය සහ පුද්ගල අනුභූතින් තම නිර්මාණ වලට හසුකර ගැනීම මෙන්ම නව කලා ප්‍රවණතා බිහිවීම මෙම තත්වය තීව්‍ර කරනු ලැබීය. කලාකරුවන් තම නිර්මාණ කාර්යයන්හි වඩාත් නිදහස්ව නිරතවීම පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නේ 18 වන සියවසේ සිට සිදුවන කලාවේ නව ප්‍රවණතා සමගය.

කලාකරුවෙකුගේ අවකාශමය, සංකල්පීය සහ සංයෝජනමය නිදහසේ උච්චතම අවස්ථාවක් ලෙස මෑතකාලීන නිදසුනක් වන්නේ 2019 දී ගෝලීය වශයෙන් මහත් වූ සංවාදයක් ඇතිකළ ඉතාලි ජාතික කලාකරුවකු වන මෞරුට්සියෝ කැට්ටෙලාන්ගේ ‘කොමඩියන් ’ නම් ඊයම් පැහැති ඇලවුම් පටියකින් සුදු පැහැති බිත්තියක රඳවන ලද කහ පැහැති කෙසෙල් ගෙඩියක් නිරූපිත කලාකෘතියයි. මේ කියන සංකල්පමය, අවකාශමය හෝ සංයෝජනමය නිදහස සියලු කලාත්මක ක්ෂේත්‍ර තුළ ද දක්නට ලැබෙන අතර මේ කාලානුරූපී විපර්යාසවලට සමගාමීව ‘මාස්ටර්පීස්’ අර්ථය වටා ගොනුවී තිබූ ප්‍රකාශිත සහ අප්‍රකාශිත හැඟවීම් කෙමෙන් ලිහිල් වෙමින් එය කලා නිර්මාණයක් හැඳින්වීම උදෙසා භාවිතා කළ හැකි නාම විශේෂණ පදයක තත්ත්වයට පරිවර්තනය වීම කලා ලොවේ සමකාලීන සංවාදයට ලක්වී තිබේ.

 මෞරුට්සියෝ කැට්ටෙලාන්ගේ ‘කොමඩියන් ’  

 

දහ අටවන සියවසේ මැද භාගයේ සිට වර්ධනය වීම ආරම්භ වූ ඡයාරූප කලාව දෘෂ්‍ය කලා නිර්මාණ සම්ප්‍රදායේ නව මානයක් සනිටුහන් කරන ලදී. ඡායාරූප කලාව බිහිවීමට පෙර දෘශ්‍ය රූප අභිලේඛනය (Record) කිරීමේ ප්‍රධාන මාධ්‍ය වූයේ චිත්‍ර කලාවයි. වාණිජ වශයෙන් සාර්ථක ප්‍රථම ඡායාරූප ශිල්ප ක්‍රමය වන ‘ඩගෙරොටයිප්’ (Daguerrotupe) ක්‍රමවේදය සොයාගත් ලුයී ජාක් මොන්ඩේ ඩගේහ් විසින් එය 1839 දී පැරිස් විද්‍යායතනයේදී මුල් වරට එළිදැක්වූ අවස්ථාවේදී එම ඡායාරූප සැකසුම් ක්‍රියාවලිය දුටු ප්‍රංශ සිත්තරෙකු වූ පෝල් ඩෙලාරොෂ් කියා සිටියේ “අද සිට චිත්‍රය මිය යන බවයි”.

තාක්ෂණික නව්‍යොත්පාදනයක් නිර්මාණාත්මක කලාවක් සමග සම්මිශ්‍රණයෙන් බිහි වූ ඡායාරූපය දෘශ්‍ය කලාවට නිර්මාණ ආවේශය සපයන මෙවලමක් විය. ඉතා කුඩා දෘශ්‍යමය දත්ත හා විස්තර ඡායාරූපයකට හසු කර ගැනීමට තිබූ හැකියාව තුළ නව්‍ය කලාත්මක ශක්‍යතා ගවේෂණය කරන්නටත් නිර්මාණය කරන්නටත් චිත්‍ර කලාවට සිදු විය. දහ නම වන සියවසේ සහ විසිවන සියවසේ චිත්‍ර කලා ප්‍රවණතා නිර්මාණය වීමට ඡායාරූප කලාව විසින් දැඩි රුකුලක් සපයනු ලැබීය.

දහ නම වන සියවසේ දෙවන භාගයේ ප්‍රංශයේ බිහිවුණු උපස්ථිතිකවාදය (Impressionism) වර්ණය, ආලෝකය හා චලනය යන මානයන් තම කලාවට අනුකලනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව කළ ගවේෂණයේ ප්‍රතිඵලයකි. උපස්ථිතිකවාදීන් තම චිත්‍රාධාරක පිටත පරිසරයට රැගෙන ගිය පළමු පිරිස වන අතර ඔවුන් පරිසරයේ ක්ෂණිකව දුටු දෑ සිතුවමට නැගීමට කටයුතු කළහ.

ඇතැම් උපස්ථිතිකවාදීන් සිතුවම් ඇඳීම සඳහා බාහිර පරිසරයට යන විට කැමරාවක් රැගෙන යාම පුරුද්දක් කරගෙන සිටියහ. භූ දර්ශන සහ වස්තූන් විරල දර්ශනකෝණ වලින් ඡායාරූපයට හසු කරගෙන ඒවා පසුව අධ්‍යයනය කළහ. එලෙස අධ්‍යනය කරමින් ඡායාරූපයකට කිසිදා හසු කරගත නොහැකි දර්ශන ඔවුන් තම සිතුවම් හරහා ප්‍රතිනිර්මාණය කළහ. ඇතැම් අය ඡායාරූප චිත්‍රයට තර්ජනයක් වේ යැයි අනුමාන කරන විට උපස්ථිතිකවාදීන් එය තම නිර්මාණ වෙනත් තලයකට ගෙනයාමට සැපයූ ආධාරකයක් ලෙස සලකනු ලැබීය. ඒ අනුව ඡායාරූප ශිල්පීය තාක්ෂණයේ ප්‍රගතිය විසින් දෘශ්‍යකලා ක්ෂේත්‍රයේ ප්‍රවණතා, ශෛලීන්, කලාත්මක ගොඩනැංවීම් සහ සංකල්පිය එලඹුම්වල දිශානතිය වෙනස් කරනු ලැබීය. එම විපර්යාසය සමග ‘මාස්ටර්පීස්’ වචන අර්ථයේ දිශානතිය ද ස්වංක්‍රීයව වෙනස් විය.

 

කර්තෘ - භාග්‍යා රාජපක්ෂ

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූ ලිපියකි.)

kemadasa

Back to top
Go to bottom