පූසාරියෙක්! තට්ටු ගොඩනැඟිල්ලකින් බිමට! මැරිලා ද? මැරිලා! ලේ! මේ මොකද්ද... භීෂණ යුගයේ වධකාගාරයක්? "මගේ ගාව පොඩි බඩු නෑ, මරදානට හරි ගෝල්ෆේස් යන්ඩ!"
'වාලම්පූරි හෙවත් හීන හතාමාරක්!' - මම බලන්න ගියේ පුතා එක්ක. දැන් උසස් පෙළ ලියලා. ඒත්, මේ මම ම එක්ක ඇවිත්, පෙන්නන්නේ... "හැමිනෙනවා!" චරිතයක් කියයි. "එහෙම වෙයි ද?" මගේ සිත අසයි.
ලක්මාල් ධර්මරත්න ගේ පළමු චිත්‍රපටය ආරම්භ වන්නේ එ සේ ය. ත්‍රාසජනක කුතුහලයකින් අප ඇද-බැඳ ගනිමිනි.
ගමේ පිරිමි

කතාව නැතිනම් චිත්‍රපටය කා ගැන ද? රජරට, වඩා නිශ්චිත ව කියන්නේ නම් , සීගිරිය අසබඩ ගමක - ඒ රජරට තවත් එක් ගමක් ද? නැතිනම් අපේ ඉතිහාස කතාවේ, වෙන ම අනන්‍යතාවක් වන, ලෞකිකත්වය කියාපාන සීගිරිය ද? මුලින් ම හැඟුණේ සිඩ්නි, දික්ඔය, නිමලේ මාමා, චින්තක ඇතුළු පිරිස ගැමි කලාකරුවන් බව ය. නාට්‍ය රඟ දැක්වීම ඔවුන් ගේ ජීවිකාව සේ ය. එහෙත් ක්ෂණයකින් ඒ රඟපෑම ද රඟපෑමක් බව වැටහුණේ ඔවුන් ගේ සැබෑ අරමුණ නිධානයක් හෑරීම බව පෙනුන විට ය. මෙය හුදු අහම්බයක් නොවන බව, නාට්‍ය රඟ දක්වෙන්නේ ම නිධාන හැරීම උදෙසා බව චිත්‍රපටය දිගහැරෙන විට අපට වැටහේ. නාට්‍ය රඟදක්වන්නේ, සැබෑව ඥානනය කිරීමට ය. එහෙත් මෙහි දී, නාට්‍ය රඟදක්වන්නේ, රඟපාන්නේ, සැබෑව සැඟවීමට ය. සැබෑ අරමුණ සඟවා, සඟවා ඇති වස්තුව අත්පත් කරගැනීමට ය.
සිඩ්නි ජිවනෝපාය ලෙස රෝහල්ගත වන ලෙඩුන් බලාගැනීමේ සිට සිරුරේ ලේ විකිණීම දක්වා කුමක් හෝ, ලෙඩවූවකු ගේ, නැතිනම් ලෙඩකු ගේ ඥාතීන් ගේ අවශ්‍යතා සපුරාදීමට තැත් කරයි. දික්ඔය කරණවෑමියෙකි. නිමලේ මාමා දේශීය විදේශීය සංචාරකයන්ට බුදු පිළිමයක් නැතිනම් ව්‍යාජ පුරාවස්තුවක් විකිණීමේ පරිශ්‍රමයක නිරත වේ. නිදන් සොයායෑම ඔවුන් ගේ ම අදහසක් ද, නැතිනම් ඊට පහසුකම් සලසන ප්‍රියංකර (මුදලාලි) ගේ ද යන්න පැහැදිලි නැත.
වාලම්පූරියක්!

මේ අතර පූසාරිවරයෙක් වාලම්පූරියක් සොරකම් කිරීමේ සැලස්මක කොටසක් රඟපෑමට සිඩ්නිලාව යොදාගනී. කලබගෑනිය අතර අනපේක්ෂිත ව වාලම්පූරියක් චින්තක අතට පත් වේ. ඒ සමඟ ම සැප වෙනුවට දුක - නැතිවූ වලාම්පූරිය සොයන ව්‍යාපාරිකයන් ගෙන් / දේශපාලන බලවතුන් ගෙන් / පොලිස් නිලධාරියා ගෙන් පහරකෑම්, වද-බන්ධන, මරණීය තර්ජන ඔවුනට දායාද වේ.
ඔවුන් වාලම්පූරිය ගැන නොවෙහෙසේ. එය පසකින් තබා සුපුරුදු ලෙස ජීවිකාව ගෙන යයි. එහෙත් සිඩ්නිලා ගේ නීති විරෝධි නිදන් හෑරීමේ ප්‍රයත්නයක දී ඔවුන්ව කොටු කරගෙන වාලම්පූරිය හෙවත් තමා ගේ නිධානය ඔවුන් සන්තකයේ ඇති බව සොයා-ගැනීමට පොලිස් නිලධාරියා - පොලිස් සමන් සමත් වේ. වලාම්පූරිය විකුණා මුදල බෙදාගැනීම ඔහු ගේ යෝජනාව යි.
ඒ අනුව, වලාම්පූරිය විකිණීමට කොළඹ දී දරණ ප්‍රයත්නය, අගනාගරික ජීවිත හා 'ගම්කබරයන්', අහිමුඛවීම ප්‍රේක්ෂක අප හමුවේ විදාරණය කරයි. රැවටීමේ, ඇන්දීමේ, රඟපෑමේ ජවනිකා දාමයකට පසු, ඔවුන් ආපසු ගමට එයි. වාලම්පූරිය පසකින් තබා, යළි සුපුරුදු ජීවිතයට යොමු වේ. යළිත් ඔවුන් නාට්‍යයක් රඟ දක්වනු පෙනේ.
ආපසු රඟපෑමට?

මේ සියලු අත්දැකීම්වලින් පසු ඔවුන් නාට්‍යයක් රඟපානවා ද? නැතිනම් පෙර සේ ම, තවත් නිධානයක් හෑරීම වසාගැනීමේ රංගනයකයක ද? වලාම්පූරිය ඔවුනට 'සැපවත්' ජීවිතයකට මඟපාදා ඇද්ද? සිඩ්නිට තමා ගේ ගෙදර නිධානයක් ඇති බව, නිදන් පසුපස හඹායමින් තමා ඒ නිධානය අහිමි කරගනිමින් සිටින බව, ආදරණීය බිරිය හා දරුවා සමඟ ජීවිතය අහිමි කරගනිමින් සිටින බව වටහා දී ඇද්ද? දික්ඔයට ද තරුණියක ගෙන් බත් මුලක් ලැබෙද්දී ගෘහණියක් කෑමට එන්න කීමෙන් පෙනෙනේ ඔවුනට ජීවිතයක් ගොඩනඟා ගැනීමේ අවකාශයක් ඇති බව ද?
රැකියා වෙළෙදපොළකින් තොර ග්‍රාමීය පිරිමියා

ඇත්තට ම ඔවුනට මිනිසුන් ලෙස ජීවත්වීමේ අවස්ථා තිබේ ද? සිඩ්නි ගේ දස වසරක අධ්‍යාපනය ඔහුට ලබා දී ඇති ජීවන අවස්ථා කවරේ ද? ආර්ථික දුෂ්කරතා හමුවේ ඔහු ගේ බිරියට ඇගලුම් කර්මාන්තයේ රැකියා අවස්ථාවක් විවර ව ඇති මුත් ඔහුට?
ලක්මාල් ධර්මරත්න අප හමුවට ගෙන එන්නේ වෘත්තීය ජීවන අවස්ථා අහිමි කරනු ලැබ ඇති ග්‍රාමීය ප්‍රජාව ගේ, නෑ, ග්‍රාමීය පිරිමියා ගේ ඛේදවාචකය ද? එතකොට පොලිස් සමන්? සිඩ්නිලා පමණක් නොව මේ මාධ්‍යම පාන්තික ජීවිත ද දිවීමක් මිස දිනීමක් නැති ජීවිත ද? නිදහසේ පටන්, ඩී.එස්. ගේ පටන් මේ ඛේදවාචකයට වගකිව යුතු රාජ්‍ය නායකයන් (ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ) ඔහු චිත්‍රපටය ආරම්භයේ අපට මුණගස්වති. නැතිනම් මේ අලින් ගේ අපේ (?) කෙරුම් නිසා නිර්මාණය කෙරී ඇති සමාජය මේ ය, දැන්වත් ඇස් ඇර බලව ය යි ලක්මාල් කියන්නා සේ ය. ඒත්, ඒ චිත්‍රය සම්පූර්ණ ද? මේ රාජ්‍යය, රාජ්‍ය නායකයන් ගේ ම නිර්මාණයක් ද? එන්.එම්. ගේ හා විජේවීර ගේ අදහස් නැති ව ඒ නිරූපණය සම්පූර්ණ ද?
විශිෂ්ට රංගනය

අධ්‍යක්ෂක රඟපෑම කෙරෙහි සුවීශේෂ අවධානයක් යොමු කරන බැවින්, සිය රංග පිරිවර ඉතා සියුම් ලෙස තෝරා-බේරාගෙන ඇත. සිඩ්නි ලෙස ප්‍රියන්ත සිරිකුමාර, ස්වාමී ලෙස දර්ශන් ධර්මරාජ්, දික්ඔය ලෙස අශාන් ඩයස්, චින්තක ලෙස අංජන ප්‍රේමරත්න, නිමලසිරි ලෙස සරත් කොතලාවල, ශ්‍රියානි ලෙස උදයන්ති කුලතුංග, මැඩම් සිසිකා ලෙස දිල්හානී ඒකනායක සුවිශේෂි රංගන ඉදිරිපත් කරති. ප්‍රියංකර ලෙස තුමිඳු දොඩම්තැන්න හා පොලිස් සමන් ලෙස වසන්ත මොරගොඩ විශිෂ්ට ය.
බඹර කැපීමේ පව්කාරකමත්, ජීවිත අවධානමත් කැටි කරගත් ජනකවියා ගේ හෘදසාක්ෂිය තේමා ගීයට යොදාගැනීම යළි ප්‍රබල රූපිකාර්ථ නංවයි. සංගීතය නැතිනම් ශබ්දය චිත්‍රපටය පුරාවට යොදාගන්නා ආකාරය විශිෂ්ට ය. සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි ගේ ය. ශබ්දය විෂයෙහි චිත්‍රපට තිරය ඉක්මවා, ශාලාව ම ප්‍රේක්ෂක වින්දනය වෙනුවෙන් යොදාගෙන ඇති ආකාරයට ලක්මාල් අපට ගඳ-සුවඳත් දැනෙන්නට සලස්වාවි දෝ යි සිතුණේ වාරයක් දෙකක් නොවේ.
හීන හතාමාරක්?

හීන හතාමාරක්? ඇයි හතාමාරක්? නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනෑ ය යි ජනවහරේ එයි. අවුල හීන හතින් නොනැවතී හතාමාරක් වීමේ ද? අවුල වාලම්පූරිය මුදල් කරගැනීමට යෑමේ ද? නිදන් හඹා යෑමේ අවුලක් නැති ද? හීන හතක් කමක් නැති ද? හීන නැති ජීවිත ජීවිත ද? එතකොට හීන විතරක් ඇති ජීවිත?
චිත්‍රපටයේ අධ්‍යක්ෂක රඟපෑම ගැන සුවිශේෂි අවධානයක් යොමු කර ඇති බව පැහැදිලි ය. සිඩ්නි සිය දුව හා රංගනයක යෙදෙමින් බිරිය දෙස හොරැහින් බලයි. රංගනය ද රංගනයක් ද? "ලෝකය ම රඟ මඬලකි. සකලවිධ ස්ත්‍රී-පුරුෂයන් හුදු රඟන්නන් ය" - ශේක්ස්පියර් ගේ ප්‍රකට කියමනකි. ඇත්තට ම, ජීවිත්වීම ම රඟපෑමක් ද?
ලක්මාල් අපව උස්සා පොළොවේ ගසා ඇත. ස්වාමි මාකන්දරාජා මෙන් කණින් කටින් ලේ වගුරවමින් මිය යා ද? මිය ගොස් ඇති මොළගෙඩි සෙල වී, සසල වී, මිනිසුන් ලෙස සිතන්නට ගනීවි ද?

සටහන - ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(theleader.lk ඇසුරින්)







